ට්‍රිලියන 5.8ක සංවර්ධන ව්‍යාපෘති සීයයට 73ක් ෆේල්

466

භෞතික වත්කම් ඉදිකිරීම්, හෝ මිලදී ගැනීම් හා වෙනත් ආයෝජන අත්පත්කර ගැනීම සඳහා වැයකළ මුදලින් රුපියල් මිලියන 5,535,721ක මුදලක් හෙවත් සියයට 68ක වටිනා වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කොට නැහැ.

මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් සඳහා 2022 වර්ෂය වනවිට රුපියල් ට්‍රිලියන 5.8ක් ආයෝජනය කරලා.

ව්‍යාපෘතිවල නිම කළ වැඩ සඳහා ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 93ක්.

මෙරට මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලින් සියයට 73ක් සඳහාම සිදුකළ ආයෝජනයන් පලදායි අයුරින් උපයෝජනය වී නැහැ.

ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාදවීම නිසා එකී ව්‍යාපෘතිවල සංවර්ධන ප්‍රතිලාභ ඉලක්කගත ප්‍රජාවට භුක්තිවිඳීමේ අවස්ථාව ඇහිරීගිහින්.

දුම්රිය ව්‍යාපෘති 03ක් සඳහා වැයකළ මිලියන 15,864ක මුදල් අපතේ යයි.

රටක ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීම සඳහා මහපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ශ්‍රී ලංකා රජය පසුගිය වසර කිහිපය තුළ විදේශ ණය ලබාගෙන මෙරට මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඇතැම් ව්‍යාපෘති තවමත් ක්‍රියාත්මක වෙමින් ඇත්තේය. සමහරක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීම සඳහා විදේශ ණය ලබාගෙන තිබුණේ ගිනි පොලී මුදලකටය. ඒ විතරක් නොව ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සුදු අලි බවට පත්ව තිබුණි. මෙකී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි සිදුවී ඇති මහාපරිමාණ වංචා දූෂණ පසුගිය කාලයේ විගණන වාර්තා මගින්ද අනාවරණය කොට තිබුණි. ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වර්ෂය අවසන් වනවිට මෙරට රුපියල් ට්‍රිලියන 5.8ක් වූ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් ක්‍රියාත්මක වෙමින් ඇත්තේය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙකී මහාපරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම දැඩි අභියෝගාත්මක කරුණක් බවට පත්ව ඇත. මෙකී මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 2030 දක්වා කාලය තුළ විවිධ වර්ෂයන්හි නිම කිරීමට සැලසුම්කොට ඇත. එහෙත් එක් එක් අමාත්‍යාංශ මගින් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වූ ප්‍රතිලාභ අපේක්ෂිත කාලය තුළ අත්පත්කරදීම දැඩි අසීරු කරුණක් බවට පත්ව ඇති බැව් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහසයි. ද්විපාර්ශ්වික මූල්‍යාධාර සැපයුම්කරුවන් විසින් අරමුදල් සැපයීම තාවකාලිකව අත්හිටුවීම, රට තුළ උද්ගත වී ඇති විදේශ විනිමය අර්බුදය, ඉන්ධන හා අමුද්‍රව්‍යවල මිල ඉහළයෑම නිසා ව්‍යාපෘතිවල ඇස්තමේන්තුගත පිරිවැය අසීමාන්තිකව ඉහළයෑම මෙම තත්ත්වයට හේතු වී තිබුණි.

ඒ කොයිහැටිවුවද 2022 වර්ෂයේ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් සඳහා වෙන්කරනු ලැබූ මුදල දළ වශයෙන් රුපියල් බිලියන 796කි. 2022 වර්ෂය අවසන් වනවිට මින් රුපියල් බිලියන 604ක මුදලක් උපයෝජනය කොට තිබුණි. කෙසේවුවද දේශීය ණය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා වෙන් කළ ප්‍රතිපාදනයෙන් උපයෝජනය කොට ඇත්තේ සියයට 20කි. ඒ විතරක් නොව 2022 වර්ෂයේ සිව්වන කාර්තුව වනවිට ව්‍යාපෘතිවල නිම කළ වැඩ සඳහා රුපියල් බිලියන 93ක හිඟ බිල්පත් ගෙවීමට තිබුණි. ඉන් විදේශ ණය මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල නිම කළ වැඩ වෙනුවෙන් රුපියල් බිලියන 37ක් හිඟ බිල්පත් පියවීමට ඇත. මින් වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ ලෝක බැංකුව, චීන සමූහආණ්ඩුව හා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය යන සංවර්ධන පාර්ශ්විය ආයතනයන් මගින් මූල්‍යනය කරනු ලැබූ ව්‍යාපෘති සඳහාය.

ඉකුත් වර්ෂයේ දී (2022) මෙකී වෙන්කරනු ලැබූ ප්‍රතිපාදනවලට සාපේක්ෂව ඉහළ මූල්‍ය උපයෝජනයක් වාර්තා වුවද සමස්තයක් වශයෙන් සංවර්ධන ව්‍යාපෘතිවල භෞතික කාර්යසාධනය ඉතා පහළ මට්ටමක පැවතුණි. 2022 වර්ෂයේ අවසන් කාර්තුව තුළ කිසිදු භෞතික ප්‍රගතියක් අත්කර නොගත් ව්‍යාපෘති සංඛ්‍යාව 67කි. ඉන් ව්‍යාපෘති 21ක්ම ණය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති විය. නිරාකරණය කරගත නොහැකි වූ ගැටලු හේතුවෙන් ව්‍යාපෘති 29ක් අත්හිටුවා තිබුණි. එමෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති 192ක් ඉතා දුර්වල මට්ටමේ විය. මේ අනුව 2022 වර්ෂය අවසන් කාර්තුව වනවිට ව්‍යාපෘති 261 අතුරින් ඉතා හොඳින් ක්‍රියාත්මක ව්‍යාපෘති බවට වාර්තා වූයේ ව්‍යාපෘති 22ක් පමණි. මින් 2022 වර්ෂයේ අවසන් කාර්තුව අවසන් වනවිට සංවර්ධන ව්‍යාපෘති 109ක කටයුතු අවසන් කර ඒවායේ ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදිය යුතුව තිබුණි. එහෙත් වැඩ අවසන් කොට තිබුණේ ව්‍යාපෘති 27ක් පමණි. ඉන් ව්‍යාපෘති 06ක් තම එකඟ වු විෂය පථය අඩුකර වැඩ අවසන් කළ ව්‍යාපෘති විය.

එමෙන්ම මෙකී කාර්තුව අවසන් වනවිට ව්‍යාපෘති 49ක කොන්ත්‍රාත් 5716 ක ක්‍රියාකාරිත්වය අත්හිටුවා තිබුණි. මින් කොන්ත්‍රාත් 5,505 ක්ම මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩිදියුණු කිරීම යටතේ ප්‍රදානය කොට තිබූ කොන්ත්‍රාත්ය. අනික් කාරණය වන්නේ ඇතැම් ව්‍යාපෘති නිමකොට ඇතත් විවිධ ගැටලු හේතුවෙන් එකී ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට නොහැකි වී ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය, මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටු වූ ජල පර්යේෂණ මධ්‍යස්ථානය යන ව්‍යාපෘති පෙන්වා දිය හැක. මෙකී ව්‍යාපෘතිවල නිමවුම් ආශ්‍රිත ඉදිරි ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අධිකාරි බලය, තාක්ෂණික දැනුම, මූල්‍ය හා භෞතික සම්පත් එම ආයතනයන් තුළ නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවී තිබුණි.

ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මෙරට මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලින් සියයට 73ක් සඳහාම සිදුකළ ආයෝජනයන් පලදායි අයුරින් උපයෝජනය වී නොමැති බවය. මෙකී ව්‍යාපෘති බෝහෝමයක් කාලීන අවශ්‍යතාවන් හඳුනාගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වේ. එහෙත් එකී ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාදවීම තුළ එකී ව්‍යාපෘතිවල සංවර්ධන ප්‍රතිලාභ ඉලක්කගත ප්‍රජාවට භුක්තිවිඳීමේ අවස්ථාව ඇහිරීගොස් තිබුණි. ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාදවීම නිසා මෙකී ව්‍යාපෘති මගින් ප්‍රතිලාභීන්ට ලැබීමට ඇති පලදායිතාවද හිනවී තිබුණි. පසුගාමී තත්ත්වය සඳහා මෙම කාලය තුළ රටේ පැවති අවිනිශ්චිත භාවය පමණක් නොව අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිඵල කාලීනව ජනිතකර ගැනීම අදාළ අමාත්‍යාංශයේ සෘජු වගකීමක් ලෙස නොසැලකීමද මේ සඳහා හේතුවී තිබුණි.

එමෙන්ම 2006 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ භෞතික වත්කම් ඉදිකිරීම හෝ මිලදී ගැනීම හා වෙනත් ආයෝජන අත්පත් කරගැනීම සඳහා රුපියල් මිලියන 8,199,316 ක මුදලක් වැයකොට තිබුණි. රජයේ මූල්‍ය ප්‍රකාශවලට අනුව මින් ගිණුම්ගතකර තිබු මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 2,663,5914කි. ඒ අනුව මෙකී කාලය තුළ භෞතික වත්කම් ඉදිකිරීම් හෝ මිලදී ගැනීම් හා වෙනත් ආයෝජන අත්පත්කර ගැනීම සඳහා වැයකළ මුදලින් රුපියල් මිලියන 5,535,721 ක මුදලක් හෙවත් සියයට 68ක වටිනා වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට අපොහොසත් වි තිබුණි. 2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලපරාසය තුළ මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කර නොතිබුණි.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවලට අනුව පසුගිය වර්ෂ කිහිපය තුළ සංවර්ධන ව්‍යාපෘති 775ක් සඳහා රුපියල් බිලියන 3,780 ක ණය ලබාගෙන තිබුණි. මීට අමතරව විදුලිබල මණ්ඩලය හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැනි ආයතන සෘජුවම ණය නියෝජිත ආයතනවලින් ණය ලබාගෙන තිබුණි. විගණනය මගින් පෙන්වා දෙන ආකාරයට පසුගිය කාලය තුළ ලබාගෙන තිබූ බොහෝ ව්‍යාපෘති ණය ඒ සඳහා ලැබෙන ප්‍රතිලාභ සලකා බැලීමකින් තොරව ආයෝජනය කොට තිබීම නිසා ඒවා රටේ ආර්ථික වර්ධනයට වඩා රටේ ණයගැතිභාවය වැඩිවීම සඳහා හේතුවී තිබුණි.

මෙකී ව්‍යාපෘතිවලින් බෝහෝමයක් ණය ගිවිසුම්වලට එළඹීමේදී ඒ සඳහා විගණන ප්‍රතිපාදන ඇතුළත් කිරීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර නොතිබුණි. මේ නිසා මේවායේ විගණන කටයුතු විගණකාධිපති විසින් සිදුකර වෙනම වාර්තාවක් නිකුත්කර නොතිබුණි. අනික් කාරණය වන්නේ මෙකී විදේශ ව්‍යාපෘතිවලින් බොහෝමයක් සැදැහුම් නොකළ පිරිවැය පදනම මත ආරම්භ කර තිබූ අතර එම නිසා ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිවල වාසි රටට නොලැබී තිබුණි. මේ හේතුවෙන් ව්‍යාපෘති බොහෝමයක් රටේ ආයෝජන අවශ්‍යතා ඉටුවීම සඳහා හේතු වී නොතිබුණි. ජලසම්පාදන, සනීපාරක්ෂක, මාර්ග ඉදිකිරීම් හා ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති, සමාජ සුබසාධන, අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය, නාගරික වැනි ප්‍රධාන අංශ 09ක් යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබුණි.

මෙකී සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ජාතික විගණන කාර්යාලය මගින් 2021 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත. ඒ අනුව 2021 වර්ෂයේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා විදේශ ණය මත රුපියල් මිලියන 17,129ක මුදලක් වෙන්කොට තිබුණි. එකී මුදලින් සියයට 78ක් උපයෝජනය කර නොතිබුණි. ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදුවීම හා රුපියලේ අගය අවප්‍රමාණය වීම මත වරාය පිවිසුම් මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියේ පමණක් රුපියල් මිලියන 369ක විදේශ විනිමය අලාභයක් වාර්තාකොට තිබුණි. මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති 07ක ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඉඩම් හිමියන්ට වන්දිගෙවීම ප්‍රමාද වී තිබුණි. මේ නිසා ඉඩම් පනතේ 35 වැනි වගන්තිය යටතේ පොලී ගෙවිය යුතුය. ඒ අනුව 2021 වර්ෂය තුළ වන්දිගෙවීම ප්‍රමාදවීම මත ව්‍යාපෘති 04ක් සඳහා පමණක් රුපියල් මිලියන 2870ක පොලී මුදලක් ගෙවීමට සිදුවී තිබුණි.

ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජකයන් තෝරාගෙන නොතිබුනද රුපියල් මිලයන ගණන් වැයකොට ව්‍යාපෘති කළමනාකරණ ඒකක ආරම්භකොට තිබුණි. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ මාර්ගය ඉදිකිරීමේ කටයුතු 2016 වර්ෂයේදී ආරම්භකොට තිබුණි. එහෙත් 2022 වර්ෂයේ අගෝස්තු මස දක්වා සිවිල් වැඩ ආරම්භ කර නොතිබුණි. ආයෝජකයකුද තෝරාගෙන නොතිබූ අතර එහෙත් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙනුවෙන් රුපියල් මිලියන 227 වියදමක් දරා තිබුණි. ඇතැම් සංවර්ධන ව්‍යාපෘතිවල දුර්වල කළමනාකරණය හේතුවෙන් රජයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි. ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ අත්හැර දමනු ලැබූ කොන්ත්‍රාත් පැකේජ 06ක ඉතිරි වැඩ කිරීම සඳහා නැවත කොන්ත්‍රාත් ප්‍රදානය කොට තිබුණි. එහෙත් මූලික කොන්ත්‍රාත් මිල සමග සංසන්දනය කිරීමේ දි නැවත ප්‍රදානය කරනු ලැබූ කොන්ත්‍රාත්වල විටිනාකම රුපියල් මිලියන 4,808.8කින් වැඩිවී තිබුණි.

එමෙන්ම කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා උපදේශන ගාස්තු ලෙස රුපියල් එකසිය හතලිස්හතර කෝටි හැටනමලක්ෂ පනස්දෙදහස් තුන්සිය අසූඑකක (1,446,952,381) ක මුදලක් වැයකොට ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස්කළ වසරක් පමණ ගතවී තිබුණද මේ දක්වා එකී වාර්තාව ක්‍රියාත්මක නොකිරීම නිසා රටේ ආර්ථිකයට කිසිදු ප්‍රයෝජනයක් අත්වී නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් යටතේ මෙකී ශක්‍යතා අධ්‍යන වාර්තාව සකස්කිරීම සඳහා මුදල් වැයකොට ඇත. මෙහි පළමු ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් 275,000 මුදල 2022 මාර්තුමස 15 වැනිදින ගෙවා ඇත. ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දිනට මූල්‍ය ගාස්තු සඳහා ණය පොලී ලෙස රුපියල් 69,345,336ක මුදලට සමාන ඩොලර් මිලියන 380,000ක මුදලක් ගෙවා තිබුණි. 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වනවිට ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 1506කට සමාන ඇමරිකානු ඩොලර් මිලියන 8397 ක මුදලක් මේ සඳහා ලබාදී තිබුණි. එම මුදලින් සියයට 96ක්ම වැයකොට ඇත්තේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කිරීමට උපදේශන ගාස්තු ගෙවීම සඳහා බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ඉදිරි වර්ෂ 20 සඳහා ජාතික ප්‍රවාහන පද්ධතියට එහි දායකත්වය තහවුරු කිරීම හා කොළඹ තදාසන්න ප්‍රදේශයේ දුම්රිය ජාලය සංවර්ධනය කිරීම මෙකී ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. දුම්රිය මාර්ග 04ක් සඳහා ශක්‍යතා අධ්‍යයන හා විස්තරාත්මක සැලසුම්කරණය සිදුකිරීම ව්‍යාපෘතියට ඇතුළත්ව තිබුණි.

ඒ විතරක් නොව වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ සංවර්ධන ව්‍යාපෘති හතරක් සඳහා වසර 14ක කාලසීමාවක් තුළ රුපියල් මිලියන අනූදහස් දෙසීය අනූහතරයි දශම පහක මුදලක් (90,294.5) වැයකොට ඇතත් එකී ව්‍යාපෘති වලින් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත්තේය. මෙකී ව්‍යාපෘති නිමකිරීම සඳහා සැලසුම් කළ කාලය මෙන් දෙගුණයටත් වඩා වැඩි කාලයක් ගතවී තිබුණද එකී ව්‍යාපෘති මෙවනතෙක් නිමකොට නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී සංවර්ධන ව්‍යාපෘති වන්නේ තල්පිටිගල ජලාශය, පලදායිතා ප්‍රවර්ධනය සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය, ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය සහ උමා ඔය හැරවීමේ ව්‍යාපෘතියයි. මෙකී ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන එකලක්ෂ පනස්තුන්දහස් නමසිය පහළොවයි දශම හතකි (153,915.7) මෙකී ව්‍යාපෘති අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී මූලික අරමුණු යටතේ ඉදිරිපත්කොට තිබූ ආර්ථික වාසි සැලසුම්ගත පරිදි ලබා ගැනීමට නොහැකි වී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ පිළිබඳ විශ්ලේෂණය කර වගකිවයුතු පාර්ශ්ව පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමක් සිදුකොට නොමැති බවද විගණනය මගින් පෙන්වා දී ඇත.

මෙම ව්‍යාපෘති ප්‍රමාදවීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිලාභ සඳහා වන බලපෑම තක්සේරුකර ඒ පිළිබඳ වන බලපෑම අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත. එමෙන්ම කාර්ය මණ්ඩල සඳහා සේවා දිගු ලබාදීමේ දී ප්‍රමාදවීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිලාභ අහිමිවීමේ බලපෑම පිළිබඳ සලකා බැලිය යුතු වන අතර කාලය දර්ඝ කිරීමේ අනුමැතිය ලබාගෙන සැලසුම් කළ කාලය තුළ ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මූලික කටයුතු සියල්ල අවසන් කර ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් සියයට 09ක පමණ ආසන්න ප්‍රමාණයක වැඩකොටසක් අවසන් කොට ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. පලදායිතා ප්‍රවර්ධනය සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන හා අක් මුදල් ප්‍රමාණය නොලැබීම නිසා බලාපොරොත්තු වූ ඉලක්කවලට ළඟා වීමට නොහැකි වී ඇති බවත් මේ නිසා සමස්ත භෞතික ප්‍රගතිය සියයට 12.16කට සීමා වී ඇති බවද ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත. ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය පවත්නා ආර්ථික, සමාජිය සහ දේශපාලනික තත්ත්ව මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති බවත් ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කොට ඇත.

උමා ඔය හැරවීමේ ව්‍යාපෘතියේ 2022 දෙසැම්බර් මස අවසන් වීමට පෙර සියලු වැඩකටයුතු අවසන් කර ප්‍රධාන වාර්මාර්ග ජලාශයට ඩයරබා සහ පුහුල්පොළ ජලාශ 02න් නිකුත් කරනු ලබන ජලය ලබාදීමට සැලසුම් කොට ඇති බව ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. එමෙන්ම බණ්ඩාරවෙල, දියතලාව සහ හපුතලේ ජල යෝජනා ක්‍රම ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවද ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කොට ඇත.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත නවතා දමා තිබූ සැහැල්ලු, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, සඳහා ඒ වනවිට වැයකොට තිබූ මුදල රුපියල් මිලියන 10,677ක් වූ අතර බස්නාහිර කලාපීය සැහැල්ලු, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 860ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම නියමිත පරිදි ආරම්භකොට නොතිබූ කොළඹ නගරාසන්න, දුම්රිය ව්‍යාපෘතිය සඳහා වැයකොට තිබූ මුදල රුපියල් මිලියන 4,327කි. මෙකී ව්‍යාපෘති තුන සඳහා වැයකරනු ලැබූ රුපියල් මිලියන 15,864 ක මුදල් නිෂ්කාර්ය වියදමක් වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

බිලියන, ට්‍රිලියන ගණන් විදේශ ණය මුදල් ලබාගෙන මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළද මෙකී ව්‍යාපෘති වලින් රට්ටුන්ට පලදායී ලෙස ප්‍රතිලාභ ලැබී නොමැති බව විගණන වාර්තා මගින් පැහැදිලි වන්නේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment