ටැක්ස් කෙළිය

1028

මෙදා සැරේ tax කෙළිය වෙනදා tax කැපිල්ල මෙන් නොව කිසියම් ආකාරයක මහජන නොමනාපයක මූලයක් බවට පත්ව තිබේ. ආණ්ඩුව විසින් වැටුප් සහ ආදායම් ලබන ජනතාව වෙනුවෙන් හඳුන්වා දී ඇති අලුත් tax එක ක්‍රියාත්මක වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ලබන අයවලුන් සඳහා පමණි. මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනගහනයක් සිටින අතර එයින් ලක්ෂ දහයකටවත් ලක්ෂයකට වැඩි පඩියක් මාසයකට ලැබේදැයි අපි නොදනිමු. එසේම මසකට මිලියන 1.5 ක් හෝ මිලියන 2 දක්වා වූ මාසික වේතන ලබන අය ද සිටිති. ආණ්ඩුවේ tax ප්‍රතිපත්තියට විරුද්ධව උද්ඝෝෂණය කළ යුතුව ඇත්තේ එම tax කැපිල්ල මගින් ඍජුවම කරදරයට පත්වන දස ලක්ෂයක පමණ ජනතාවකි. එහෙත් එම tax එකෙන් කිසිදු පීඩාවක් නැති මිලියන ගණනක ජන රැළක් ආණ්ඩුවේ tax ප්‍රතිපත්තියට විරුද්ධව අතන මෙතන කුණු කුණු ගාමින් සිටිනු දැකගත හැකිය. යූ ටියුබ් එක සහ ෆේස්බුක් එක බැලුවොත් tax වලට විරුද්ධව කරන වැඩසටහන් සහ share කරන post ප්‍රමාණය අති විශාලය. ඒ විශාලත්වය බැලූ විට ලංකාවේ සමස්ත ජනගහනය පමණක් නොව ඉන්දියාවේ ජනතාව ද ලංකාවේ tax කැපිල්ලට එරෙහිව අන්තර්ජාලයට පිවිස කරණම් ගසන බව පෙනෙයි. ශ්‍රී ලංකාවේ ජනතාව මේ අවස්ථාවේදී ආදායම් බදු නමැති ප්‍රෙස් එකට දමා සාරය උරා බීමට ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය බරපතල වරදකි. ලයිට් බිල්, වතුර බිල් සියල්ල ඉහළ ගොස් ජීවන වියදම ද විශ්වයේ ඈත කොනක් බලා ඉහළ නගිමින් සිටින මේ අවස්ථාවේ අලුත් ආදායම් බදු ක්‍රියාත්මක කිරීමට රජය උත්සහ කරන්නේය යන මතය පැතිරීම ඉතා නරකය. මෙමගින් ජනතාවගේ මොරාල් එක බහින අතර ආණ්ඩුවේ ශක්තිමත්භාවය ද ඇසිඩ් රැල්ලකට හසු වූ කොරල් පරයක් මෙන් ක්ෂය වීමට පටන් ගනී.

ශ්‍රී ලංකාවේ ජනයා බදු අය කිරීමට මේ තරම් පැකිලෙන්නේ බදු ගෙවීම සම්බන්ධයෙන් ඔවුන් තුළ පළපුරුද්දක් නැති නිසා යැයි කියනු ලැබේ. එහෙත් ලංකාව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදීත් ආදායම් බදු ගෙවා ඇත. මේ බදු ක්‍රමය මූලික වශයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ කෘෂිකර්මය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය පටන් ගන්නා විට බුද්ධ පරිනිර්වාණය සිදුවී අවුරුදු තුන්සීයක් පමණ වේ. අපේ මිනිසුන් බදු ගෙවන විට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ මහම්මත්තුමා මෙලොව පහළ වෙලාවත් නැත. එච්චර පැරණි බදු ඉතිහාසයක් ඇති මේ රටේ ජනයා බදු ගෙවීමට අකැමැත්තේ බදු පැහැර හැරීමට කැමැත්තේත් ඒ ගැන හරි දැනුමක් නැති නිසා බව අපගේ පිළිගැනීම ය. කිසියම් ආණ්ඩුවක් අලුත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාව තුළ එවැනි සංවිධානාත්මක වැඩපිළිවෙළක් නැත. මේ රටේ ජනතාවගෙන් 99.99% ක්ම අලුත් බද්ද ගැන නොදනිති. ඔවුන් කල්පනා කරන්නේ කවර හෝ ආකාරයෙන් සාක්කුවට රුපියල් ලක්ෂයක් වැටුණු විට සාක්කුව තුළ සැඟව සිටින බදු නිලධාරියෙක් එයින් සෑහෙන කොටසක් පැහැරගෙන පලායන බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ සමාජ මාධ්‍ය ජාල හරහා ඇත්තටම බදු ගෙවිය යුත්තේ කව්ද, ගෙවිය යුත්තේ කොපමණද යන්න කීවේ නම් ජනතාව තුළ හටගන්නා කැළඹිල්ල මීට අඩුය. මේ වන විට අලුත් ආදායම් බද්දට එරෙහිව මේ රටේ වෘත්තික කොටස් සෑහෙන ප්‍රමාණයක් පාරට බැස ඇත. මේ අනුව ඊයේ හෝ පෙරේදා දොස්තරලා ද බද්දට එරෙහිව සටන් පාඨ උස්සාගෙන කෑ ගසන්නට පටන් ගත්හ. ඇතැම් දොස්තර කෙනෙක් චැනල් සේවා මගින් දිනකට රුපියල් දෙලක්ෂයක පමණ ආදායමක් ලබයි. ඇතැම් නීතිඥ මහතෙක් නඩු කාර්යයක් උදෙසා දිනකට රුපියල් ලක්ෂ 15 ක් පමණ උපයයි. මේ ඉපයීම් දෙකටම බිල් කැඩීමක් සිදු නොවේ. අප පුද්ගලික රෝහලකින් බෙහෙත් ගන්නට ගිය විට doctors charges යනුවෙන් රුපියල් දහ පහළොස්දාහක් සඳහන් කෙරෙනු බිලක් අපට ලැබේ. හැබැයි ඒ දොස්තර මොකාදැයි බිලේ නැති නිසා ඒක අල්ලා ගැනීමට ආදායම් බදු දෙපාර්තමේන්තුවට නොහැක. ඇතැම් නීතිඥ මහත්වරුන් පිළිබඳ තත්ත්වයත් මෙයමය. මේ රටේ සිටින ඇතැම් ලෝයර්ලා සල්ලි අච්චු ගහන සමාගමක් වූ බියගම තෝමස් ඩිලාරු සමාගමේ කුඩා ආකෘතීන් බඳුය. ඇතැම් නීතිඥයන්ගේ දවසේ collection එක ගෙනයෑම සඳහා බැංකුව සන්නද්ධ රථයකින් හවසට නීතිඥයාගේ ගෙදරට යයි. මේ මුදල් ආදායම් බද්දට අසුවුණා ද නැද්ද යන්න අපි නොදනිමු.

ලෝකයේ පළමුවන බදු ක්‍රමය රෝමය, ග්‍රීසිය සහ ඊජිප්තුව ආශ්‍රිතව පටන්ගත් බවට සාක්ෂි තිබේ. මෙලොව මුලින්ම පහළ වූ බද්ද රේගු බද්ද බව කියනු ලැබේ. එයට හේතුව පිටරටකින් තවත් රටකට බඩුවක් එන විට එයින් බද්දක් අය කිරීම පහසුවීමය. රටක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී එම බඩු පිළිබඳව විගණනයක් තබා ගැනීමට මීට අවුරුදු හාර පන්දාහකට පෙර ක්‍රමවේදයක් තිබී නැත. ඒ නිසා රේගුවට පිටරටින් එන බඩුවල අයිතිකාරයන්ගේ බෙල්ල පාගා බදු ගැනීම සිදුකරන ලදි. අදටත් මේ ප්‍රශ්නය මෙසේම පවතී. ලංකාව වැනි රටවල කිසි කෙනෙක් තම ආදායම හෝ තම නිෂ්පාදනය හරියට හෙළිදරව් කරන්නේ නැත. ඒ නිසා හරියට බදු අය කිරීමට ද පුළුවන් වන්නේ ද නැත. තමන් විසින් ව්‍යාපාරයක් අරඹන විට තමන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් රෙජිස්ටර් වී බදු ලිපි ගොනුවක් විවෘත කරගන්නා ජනයා සිටින රටවල් යුරෝපයේ ඇත. එහෙත් ඉන්දියාව සහ ලංකාව වැනි ආසියාතික සංස්කෘතීන් තුළ එවැනි යහගුණ නැත. බදු කෙළියේ කතාව මෙතැනින් අවසන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment