ටැප් එක ළඟ…

927

පාසල්වල ජල බිල්පත දෙමාපියන්ගෙන් අයකරන ලෙස ජල මණ්ඩලය ඉල්ලා ඇතැයි යන පුවතක් ඊයේ දිවයිනේ පළ වී තිබේ. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ ඉල්ලීමට එකඟ වී නැත. අපේ පුවතේ සඳහන් වන පරිදි ශී‍්‍ර ලංකාවේ පාසල් පද්ධතියට ජලය ලබාදීම සඳහා ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මසකට රුපියල් මිලියන එකසිය විස්සක් හෙවත් අවුරුද්දකට රුපියල් බිලියන එකහමාරකට කිට්ටු මුදලක් වැය වන බවත් දැනගන්නට තිබේ. මේ ජලයෙන් සෑහෙන ප‍්‍රමාණයක් අපතේ ද යයි. අපතේ යෑම වැඩි වශයෙන් සිදු වන්නේ ඉස්කෝලේ ටැප් එකෙන් වතුර බීමට යෑමේදීය. මේ රටේ කිසිදු පාසලක ටැප් එක ළඟ වතුර බීම සඳහා කෝප්පයක් තබා නැත. ලංකා ඉතිහාසයේ පාසල්වලට නළ ජල පහසුකම් ලැබුණු දා සිටම ළමයින් වතුර බොන්නේ ටැප් එකට කට තබාය. එසේ වතුර බොන විට වතුරවලින් 75% කට වඩා අපතේ යයි. පාසල් දරුවන් වැඩිපුරම ජලය පානය කරන්නේ පාසලේ විවේක කාලයේදී සහ පාසල නිම වූ අවස්ථාවේදීය. මේ අවස්ථා දෙකකදී පාසල් දරුවන්ගෙන් 75% ක් පමණ වතුර බීම සඳහා ටැප් ළඟ පොර කති. විවේක කාලය අවසන් වනවිට ටැප් එක අවට භූමිය කුඹුරු ලියද්දක් මෙන් මඩ වී තිබේ. ඒ අනුව වතුර බී ඇත්තේ ළමයින් නොව මහ පොළොවය. බාහිර පෙළැඹවීමක් නොමැතිව ජලය පරිස්සම් කිරීමට හෝ ජලය පිරිමැසීමට කුඩා දරුවන් තුළ පුරුද්දක් නැත. එනම්, ඔවුන් ඉපදෙන්නේ ‘ජලය පරිස්සම් කරමු – ජලය අපතේ නොයවමු’ යන තේමාව අතින් ගෙන නොවේ. මේ නිසා ජලය අපතේ නොයවන ලෙස පාසල තුළදී දූදරුවන්ට පෙළැඹවීමක් ද එම පෙළැඹවීම කි‍්‍රයාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් වශයෙන් කෝප්ප එකක් හෝ කිහිපයක් ටැප් එක ළඟට සැපයීම ද කළ යුතුය. මීට අමතරව ඉස්කෝලේ ටැප් එකෙන් වතුර හොරා ගැනීම අහල පහල පිහිටි කඩවල් සහ ගෙවල් මගින් බොහෝ විට කරනු ලැබේ. ඉස්කෝලෙට යන ටැප් ලයින් එක මගින් හිල් කර වතුර සොරා ගැනීම ඉතා පහසුය. ඒ සමගම ඇතැම් ගුරුවරු සිය කාර් එක ද ඉස්කෝලේ ටැප් එකෙන් සෝදන අවස්ථාද තිබේ. ඒ කරන්නේ ‘ආෆ්ටර් ස්කූල්’ අවස්ථාවේදීය. ජාතික පාසල්වල ස්විමිං පූල් එකද වතුර කන එහෙත් අත්‍යවශ්‍ය සාධකයකි. එසේම පාසලේ කැන්ටිමට ද විශාල වශයෙන් ජලය පාවිච්චි වේ. කැන්ටිම් කරු ඒ වෙනුවෙන් පාසලට කිසිදු ගෙවීමක් කරන්නේ නැත. මීට අමතරව පාසලේ මුරකාරු ද නාන්නේ ඉස්කෝලේ ටැප් එකේම වතුරය. සමහර විට මුරකාරයාගේ පවුල පාසල තුළ පිහිටි ‘ක්වෝටර්ස්’ වල පදිංචි නම් ඒ අයට ද ඉස්කෝලෙ ටැප් එකම පාවිච්චි කිරීමට සිදුවන්නේ ඒ අය උපන් ගමෙන් දිනපතා වතුර ගෙන ඒමට නොහැකි නිසාය. මේ නිසා මසකට රුපියල් මිලියන එකසිය විස්සක වියදමෙන් පාසල්වලට ජලය සපයා බේරීමට හැකි වීම ජල සම්පත් මණ්ඩලයේ වාසනාවකි. කෙසේ හෝ වේවා පාසලේ මාසික ජල බිල දෙමාපියන් පිට පැටවුවොත් එක දරුවකු වෙනුවෙන් රුපියල් දහයකට වඩා මසකට ගෙවීමට සිදුවන්නේ නැත. ඒ මුදල ටොෆි දෙකක් ලබාගැනීමට සෑහෙන මුදලකි. එහෙත් ඒ වෙනුවෙන් එම පවුලේ උදවිය ආණ්ඩුවට ඉල්ලන හෙණ ප‍්‍රමාණය අකුණු සන්නායක සියයක් සවි කරවත් නැවැත්වීමට නොහැක.

ලෝකයේ තිබෙන ප‍්‍රමුඛතම ප‍්‍රශ්නය භූමිය නොව පිරිසිදු ජලයයි. ඇතැම් අය රුපියල් කෝටි ගණන් දී ඉඩම් මිලට ගත්තද ඒ ඉඩමේ වතුර නැත්නම් හෝ වෝටර් බෝඞ් එකේ ටැප් ලයින් එක ඉඩමේ ඉස්සරහින් යන්නේ නැත්නම් ඒ ඉඩමෙන් තඹ සල්ලියක වැඩක් නැත. ලෝකයේ හතරෙන් තුනක්ම ජලයෙන් හෙවත් මහා සාගරයෙන් වැසී තිබේ. එහෙත් එම ජලය පානය කිරීමට නොහැකි ලූණු සහිත ජලය වේ. එපමණ ලූණු තිබිලත් මේ රටේ ලූණු කිලෝවක් රුපියල් 130 කට කිට්ටුය. එය පසුව සාකච්ඡුා කරනු ලැබේ. මේ නිසා මිරිදිය ජලය යනු වැඩිපුරම සාකච්ඡුාවට පත් නොවන, මිනිසුන් විසින් නිතරම දූෂණය කරනු ලබන සම්පතකි. මේ සම්පතේ අගය තේරෙන්නේ මාසය අන්තිමට වතුර බිල එන විට සහ ජල මණ්ඩලයේ මාසික වියදම තක්සේරු කරන විටය. මේ රටේ ජනයා මේ වනවිට ආර්ථික ළිඳේ සවි කළ බොලොක්කයේ ලණුව කඩාගෙන බාල්දියත් සමගම ළිං පතුළට වැටී ඇත. මේ වැටීමේදී බාල්දිය ද ඩැමේජ් වී ඇති අතර එය අලූත්වැඩියා කර ගැනීමට ද සල්ලි නැත. ආහාර පාන, බස් ගාස්තු, ඉන්ධන ඇතුළු හැම දෙයකම මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව අකුණු සන්නායක ද හරි ගණන් ය. අප ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලන්නේ අකුණු සන්නායක මිල අඩු වන තුරුවත් පාසලේ ජල බිල දෙමාපියන්ට බෙදා නොදෙන ලෙසය.







 

advertistmentadvertistment
advertistmentadvertistment