ටිකට් නැතිව මගීහු නොමිලේම කෝච්චියේ යති

243

ටිකට් කවුළු වසා දමා එස් එම්ලා ස්ට්‍රයික්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (30දා) සවස 4.30 සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ක්ෂණිකව ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමත් සමග කොළඹ කොටුව ඇතුළු බොහෝ දුම්රිය ස්ථානවල දැඩි උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

මගීන් දුම්රිය ස්ථානවලට පැමිණි අවස්ථාවේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දමා තිබූ අතර, මේ හේතුවෙන් මගීහු ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියවල ගමන් කරන්නට වූහ.

කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීහු ප්‍රධාන දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ ධාවනය වූ දුම්රියවල නොමිලේම ගමන් කළහ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වූයේ ඉල්ලීම් කීපයකට විසඳුම් නොලැබුණු නිසා බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා “දිවයින”ට පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණු බව ද හෙතෙම කීය.

එසේම, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බවත් එම ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධව බොහෝ දුම්රිය මගීන් ඊයේ දැඩි අප්‍රසාදය පළ කරන අයුරු ද අසන්නට ලැබුණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා


advertistmentadvertistment