21 හැවිරිදි මව පොලිසියේදී වමාරයි
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමූ 21 හැවිරිදි මවක් එම දරුවාගේ සිරුර වීඩියෝ හා ඡායාරූප ගතකර පැය තුනකට පසු රෝහල් ගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ගම්පොළ ගලහ පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.
මව විසින් මෙසේ මරාදමා ඇත්තේ ගලහා කස්තුරි වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස මාස 18 ක් වූ කුලතුංග මුදියන්සේලාගේ ලිතුමි සෙහංසා නමැති තම දරුවායි.
වරදවීරන් ලක්ෂිකා නමැති විසිඑක් හැවිරිදි මෙම මව විවාහ වී සිටින කුලතුංග මුදියන්සේලාගේ ඉසුරු ඉමේෂ් රැකියාව ලෙස හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අතර මොවුන් දෙදෙනා අතර වරින් වර අඬදබර සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන ගලහා පොලිසිය පවසයි.
වයස අවුරුදු දාහතරේ සිට ප්‍රේමකොට ඉතා අඩු වයසින් මෙම දෙදෙනා විවාහ වුවත් සැමියා නිවසින් පිට රැකියාවක් කිරීම සමඟ මෙම කාන්තාව ටික් ටොක් පෙම්වතෙක් හඳුනා ගැනීම නිසා මෙම ආරවුල් හටගෙන ඇති බවත් ඔහු සමග යන ලෙස සැමියා පවසන බවත් අනාවරණය වී ඇත.
මෙවර පැවැත්වූ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හොරණ සිට ඉසුරු ඉමේෂ් නිවසට පැමිණ නැවත යළි නිවසින් පිටත් වූ බව පවසයි.
තනිව සිටින මෙම මව දරුවාට වඩා නිතරම ජංගම දුරකථනය බැලීම සඳහා ඇබ්බැහි වී සිටි බවද ප්‍රකාශ වේ.
රාත්‍රී හතට පමණ දරුවාගේ හැඬීම නිසා එම දරුවා වඩාගත් මව හුස්ම ගැනීමට නොහැකි වන අයුරින් බොහෝ වේලාවක් දරුවාගේ මුඛය හා නාසය තදින් මිරිකා එම දරුවා මෙසේ බිමට අතහැරි බව පොලිසියට ප්‍රකාශ කර ඇත.
එසේම ඇය මුලින් ප්‍රකාශකොට ඇත්තේ දරුවාට පහර දී බිම අතහැරි බවයි. කෙසේ වෙතත් බිම වැටුණු දරුවා යළි නැගිට අඩි කිහිපයක් පිය නඟා ඇතුළු කාමරය දොර ළඟ වැටී මිය ගොස් තිබේ.
මෙම මව එම දර්ශන වීඩියෝ හා ඡායාරූපගත කර ඇති අතර පැය තුනකට පමණ පසු මොවුන්ගේ කුලී නිවස අයිතිව සිටින යාබද නිවැසියන් පැමිණ මෙම දරුවා රාත්‍රී දහයයි විස්සට පමණ ගලහ රෝහලට රැගෙන ගොස් තිබේ.
ඒ වන විටත් දරුවා මියගොස් සිටි නිසා රෝහලින් ඒ පිළිබඳව ගලහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ගලහ රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී රුවන් රවින්ද්‍රනාත් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සැක කටයුතු මෙම මරණයේ මූලික කටයුතු සිදු කර තිබුණි.
ඊයේ (25 දා) දහවල් මහනුවර වැඩබලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා මෙම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස පවසන ලදී.
ගලහ පොලිසිය මගින් මව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය විසින් දරුවාගේ අවසන් අවස්ථාවන් වීඩියෝ හා ඡායාරූප ගතකර තිබෙන ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක, පොලිස් අධිකාරී කමල් ආරියවංශ, ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සමන් ගුණසේකර යන අයගේ උපදෙස් මත ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි ධනවතී රණසිංහ, අපරාධ අංශ ස්ථානාධිපති සුගත් විජේසිංහ, උ.පො.ප. සතරසිංහ, පො.සැ. (47224) රණසිංහ, පො.කො. (99519) රාජපක්ෂ, ගම්පොළ ස්ථාන අපරාධ පරීක්ෂණාගාරයේ උ.පො.ප. මැන්දිස්, පො.සැ. (71950) කපිල, කා.පො.සැ. (2972) ඉනෝකා, පො.කො. (77177) අනුරුද්ධ උඩදෙල්තොට ග්‍රාම නිලධාරී දමයන්ති බෝගහවෙල පුහුණු ග්‍රාම නිලධාරීන් වන ඩබ්ලිව්. ඒ. ද සිල්වා. යූ. හින්දුජා, එම්. එස්. කීර්තිනා යන නිලධාරීහු පරීක්ෂණ කිරීම සඳහා එක්ව සිටියහ.
ගම්පොළ – සුරංග දිල්හාන්