ටී. වී. සංවාදයේදී ට්‍රම්ප්-බයිඩන් එදිරිවාදිකම් මතුවෙලා

267

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වන ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (27දා) පැවැති රූපවාහිනි විවාදයකදී එකිනෙකාට චෝදනා කරමින් හැසුරුණු ආකාරය මේ වන විට එරට දේශපාලන විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.

ඇමෙරිකානු මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් එරට දේශපාලන විචාරකයන් පවසා ඇත්තේ විශාල පිරිසක් සජීවීව නැරඹූ මෙම විවාදයේදී ජනාධිපතිවරුන් දෙදෙනා බොරු කියූ බවයි.

මෙම විවාදයේදී ට්‍රම්ප්, බයිඩන්ගේ ආර්ථික හා විදෙස් ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ අතර බයිඩන්, ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවට චෝදනා කර ඇත.

එසේම ස්ටෝමි ඩැනියෙල්ස් නමැති නිළියක් හා ට්‍රම්ප් අතර තිබුණු සම්බන්ධතාවයක් පිළිබඳව මෙම විවාදයේදී බයිඩන් කරුණු දක්වා තිබුණු අතර ට්‍රම්ප් එම චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත.

එළඹෙන නොවැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා ඉදිරිපත් වන බවට මේ වනවිට තහවුරු වී ඇති අතර ඒ වෙනුවෙන් මොවුන් දෙදෙනා ප්‍රසිද්ධ විවාදයකට එක්වූ පළමු අවස්ථාව මෙයයි.

කමල් බෝගොඩ


advertistmentadvertistment