බඩෝවිට අසංකගේ කල්ලිය හා සබඳතා පවත්වලා
ඉන්ටපෝල් හරහා ගෙන්වා ගන්න වැඩ පටන් ගත්තා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (08 දා) රාත්‍රි 10.15ට කටුනායක ගුවන් තොටුපළින් හොර රහසේම ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් ඇත.
මෙම කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනි අවිය වන ටී – 56 අවිය සහ ජීව උණ්ඩ 30 ක් ද රැගෙන ගොස් ඇති අතර ඒවා ආපසු භාරදී නැත.
මොහු පාතාල කල්ලියක් සමග සබඳතා පැවැත්වූවේ ද යන්න පිළිබඳ සැක පහළ කරන බව පොලිසිය පවසයි. වසර තුනක පමණ සේවා කාලයක් ඇති මෙම කොස්තාපල්වරයා පෙරේදා සවස ගල්කිස්ස නගරයේ මාර්ග රාජකාරි සඳහා ටී 56 අවිය සහ උණ්ඩ 30 ක් ද රැගෙන පොලිසියෙන් පිටව ගොස් ඇත.
එහෙත් මොහු රාජකාරි සඳහා වාර්තා කර නොමැති බවත් එදින රාත්‍රි 11.00 ට පමණ මෙම පොලිස් කොත්තාපල්වරයා කටුනායක ගුවන් තොටුපළ හරහා ඩුබායි රාජ්‍යය වෙත පලා ගිය බවත් පසුව හෙළි වී තිබිණ.
මෙසේ රටින් පලා ගිය පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම මොහු සොරාගෙන ගිය ටී 56 අවිය සහ උණ්ඩ 30 සෙවීමේ විමර්ශනයක් ද පොලිසිය ආරම්භ කර තිබේ.
සිය රාජකාරි ගිනි අවිය තුන්වැනි පාර්ශ්වයකට ලබාදී කොස්තාපල්වරයා රාත්‍රි 10.15 ට කටුනායක ගුවන්තොටුපළින් ඩුබායි වෙත පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මෙම කොස්තාපල්වරයා පෙරේදා (08 දා) සවස සිට මාර්ග රාජකාරීන් සඳහා යොදවා සිටි බවත්, පස්වරු 5.30 ට පමණ ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ රාජකාරිය සඳහා
ටී පනස්හය ගිනි අවියක් සහ ජිව උණ්ඩ 30 ක ප්‍රමාණයක් ඔහු පොලිසියෙන් රැගෙන ගොස් තිබූ බවත් ඒ මහතා කීය.
මෙම නිලධාරියා මාර්ග බාධක රාජකාරීන් සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් සොයා බැලීමේදී ජංගම දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූ බව ද හෙතෙම කීය. කොස්තාපල්වරයා පොලිස් ස්ථානයෙන් පිටව යෑමේදී කිසිදු සටහන් යෙදීමක් හෝ රාත්‍රි කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමක් සිදුකර නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව මෙම පුද්ගලයා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය හරහා අවශ්‍ය කටයුතු මේ වනවිට අරඹා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 4 ක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීය.
සැකකාර පොලිස් නිලධාරියා ‘බඩෝවිට අසංක’ නමැති පාතාල කල්ලිය සමග සබඳතා පවත්වන අයකු බව ද සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පලාගොස් සිටින පොලිස් කොස්තාපල්වරයා ජයකොඩි (10430) නමැති අයකු බවත්, ඔහු අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටත් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
ඔහු පොලිස් සේවයට බැඳී අවුරුදු 3 ක් බවත් ගල්කිස්ස පොලිස් බැරක්කයේ නැවතී හිඳිමින් ගල්කිස්ස අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි සිදු කර ඇති බවත් හෙළිවී ඇත.
විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ විලච්චිය නිවසට යෑමට ඊයේ සූදානමින් සිටියහ.
හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පළිහවඩන, පින්සිරි ආරියරත්න – රත්මලාන