ඩබල් බ්ලූ හොකී සෙවන්ස් තරගාවලිය හෙට

36

කොළඹ වෙස්ලි විද්‍යාලයීය ආදී ශිෂ්‍ය ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර ඇති දෙවැනි “ඩබල් බ්ලූ හොකී සෙවන්ස්” තරගාවලිය හෙට (21) බොරැල්ල කැම්බල් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දේශීය හොකී කෙළිබිමට විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ඇති පාසල් 14 ක ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙවර තරගාවලියට එක්ව සිටීම විශේෂත්වයකි. ඒ, පිරිමි කණ්ඩායම් 10 ක් සහ කාන්තා කණ්ඩායම් 04 ක් ලෙසිනි.

කොළඹ වෙස්ලි, කොළඹ රාජකීය, ගල්කිස්ස සාන්ත තෝමස්, කොටහේන ශාන්ත බෙන්ඩික්ට්, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන ශාන්ත ජෝශප්, කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, මහනුවර කිංග්ස්වුඩ් සහ මහනුවර ශාන්ත ත්‍රිත්ව ආදී ශිෂ්‍ය කණ්ඩායම් පිරිමි ශූරතාව දිනා ගැනීම සඳහා තරග වදින අතර කාන්තා තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීමේ අරමුණින් කොළඹ විශාඛා, කොළඹ බිෂොප්, නාවල ජනාධිපති බාලිකා සහ කොළඹ මියුසියස් යන ආදි ශිෂ්‍ය කණ්ඩායම් තරග වදිති.

මෙරට හොකී ක්‍රීඩාවේ ආදී කර්තෘවරයකු මෙන්ම වෙස්ලි විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන “වෝල්ටර් ජයසූරිය මහතා” අනුස්මරණය කරමින් මෙවර තරගාවලියේ ශූරයන් උදෙසා ප්‍රදානය කෙරෙන අභියෝග කුසලානය නම් කර තිබීම ද මෙම තරගාවලියේ ඇති විශේෂත්වයකි.

පසුගිය වර තරගාවලියේ පිරිමි ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් ආදි ශිෂ්‍යයන් සමත් වන අතර වාරයේදී නාවල ජනාධිපති ආදි ශිෂ්‍යාවන් කාන්තා ශූරතාව දිනා ගත්හ.

කොළඹ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය උප සභාපතිවරුන් වන රොහාන් අමරසිංහ මහතා සහ ජීවන් ආරුමුගම් මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් මෙවර තරගාවලිය සංවිධානය කර තිබේ. කොළඹ වෙස්ලි විදුහල බිහි කර ඇති දක්ෂතම හොකී ක්‍රීඩක රොහාන් අමරසිංහ මහතා හිටපු ජාත්‍යන්තර හොකී විනිශ්චයකරුවකු ද වෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment