ඩයනාගේ පුරවැසිභාවය උසාවියේ විභාගයට – සියලු ලේඛන උසාවි ගේන්න – ආගමන විගමන පාලකට නියෝග

170

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට ඊයේ (28 දා) අවසර ලබාදුන් අභියාචනාධිකරණය එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.

එකී පෙත්සම් විභාගය ලබන 12 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල, ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන එදින අධිකරණය හමුවට ඉදිරිපත් කරනා ලෙසට ද ආගමන විගමන පාලකවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක වන බැවින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට හිමිකමක් නොමැති බවටත් ඇගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනා නියෝගයක් නිකුත් කරනා ලෙසටත් පෙත්සම්කරු එමගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආගමන විගමන පාලක, පාර්ලිමේන්තු මහ ලේකම්, මැතිවරණ කොමිෂන් සභාව හා එහි සාමාජිකයන් හා නීතිපති ඇතුළු 15 දෙනකු නම්කර තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆිල් පාරිස් මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment