නඩු කැඳ වූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා තම අධිකරණය විසින් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට උදෑසන නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය පෙරේදා (05දා) දහවල් නියෝග කළාය.
ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන විගමන පනත යටතේ ගොනු කර තිබූ නඩු හතක් ඊයේ උදෑසන කැඳවිණි. එකී නඩු කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නඩුවල සැකකාරිය ලෙස නම් කර තිබූ ඩයනා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළාය. එලෙස වරෙන්තු නිකුත් කර විනාඩි කීපයක් ඇතුළත ඇය අධිකරණය හමුවට පැමිණි අතර ඇගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසම් පත්‍රයක් අනුව එම නඩු ඉන් පැය කීපයකට පසුව විවෘත අධිකරණය හමුවේ කැඳවිය.
සිය සේවාදායිකාව නිසි වෙලාවට අධිකරණය හමුවට පෙනී නොසිටීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවත් ඇයට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඉදිරි නඩු දිනයේදී එනම් අප්‍රේල් 24 වැනිදා නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළාය.
ඒ.ජේ.ඒ. අබේනායක