ඩයනාට දුන් තීන්දුව අරගලය හා ආණ්ඩුව!

617

මේ සතියේ සමාජ- දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍රවල පමණක් නොව, බොහෝ පුරවැසියන්ගේ ද ප්‍රබල අවධානයට මෙන්ම සංවාදයට ද නිමිත්ත වූයේ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ක්‍රියාකිරීම නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද ඓතිහාසික නඩු තීන්දුව ය. ගාමිණි අමරසේකර, කුමුදිනී වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව ප්‍රකාශයට පත් කරන ලද එම නඩු තීන්දුව නිසැකයෙන්ම මෙරටේ අධිකරණයේ ගාම්භීරත්වය, විශිෂ්ටත්වය හා අදීනත්වය ද පිළිබඳ තිරසර ලකුණකි. එමතු ද නොව, සමාජ- දේශපාලන මතුමහලේ වැජඹෙන අයට ද වෙනත් නිලබල උසුරුවන ප්‍රභූතන්ත්‍රවලට මෙන්ම කවර බලපරාක්‍රමයකින් යුතු කිසිවකුට වුවද අධිකරණයට ඉහළින් සිටිය නොහැකි බවද එහි අවධාරණයි. සත්තකින්ම අද මෙරටේ සමාජ අසාධාරණයට එරෙහිව යුක්තිය හා සත්‍යය උදෙසා අප්‍රමාණව පෙනී සිටින පරම බලකේන්ද්‍රය අධිකරණයයි. විපතට පත් සියල්ලෝ ද ඒ අධිකරණයෙන් සුවපත් වන්නාහුය.

ඩයනා ගමගේ යනු ස.ජ.බ. දේශපාලනයත් සමග සමාජ දේශපාලනයට එක්වූ අතිශය ආන්දෝලනාත්මක චරිතයකි. ඇය මෙම අධිකරණ තීන්දුවෙන් පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින තෙක් ම සමාජ මාධ්‍යවල පුවත් මවන්නියක් බවට ද පත්ව සිටියාය. ඇය ස.ජ.බ ය සමග ඇති කරගත් දේශපාලන මතභේද ඇතැම් අවස්ථාවල උණුසුම් ගැටුම් දක්වා ද වැඩුණු අයුරු අපට මතකය. ඇතැම්විට දේශපාලන සන්දර්භයට අනුචිත වෛරී ප්‍රතිචාර ලෙස ද ඒවා දැකගත හැකි විය. ඇගේ ප්‍රතිවාදීන් වූයේ ද ඇයගේ ම දේශපාලන පක්ෂයේත් ඇගේ දේශපාලන සම්ප්‍රාප්තියට අවකාශ ලබාදුන් ස.ජ.බයත් බව ද කවුරුත් දනිති. සජබයෙන් පාර්ලිමේන්තු වරම් ලද ඩයනා රාජ්‍ය ඇමති ධුරයක් ලබාගැනීමට ද සමත් වීම ද සුවිශේෂී සිදුවීමකි. එසේම සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළව ඇය විසින් දක්වන ලද අදහස් හා ඇතැම් යෝජනා ද විවාදාත්මක විය.

ඩයනාට එරෙහිව ලබාදෙන ලද තීන්දුවට හේතු වූයේ ඇයට මෙරටේ පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකි වීමත් ඇය බි්‍රතාන්‍ය පුරවැසි භාවය ලද අයකු වීමත්ය. මෙහිදී අභියාචනාධිකරණය විසින් මෙයට පෙර ඇයට ලබාදෙන ලද තීන්දුවක් බලරහිත කිරීම ද තවත් විශේෂත්වයකි. මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඬුල්ලේ අවධානයට ලක්වූ තවත් කරුණක් වූයේ ඇය අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාධාරණ හේතු තිබිය හැකි වුවත් නීතිය ඉදිරියේ කිසිම පුද්ගලයකුට විශේෂත්වයක් නොදැක්විය යුතු බව ය. නීතියේ දෙවඟනගේ දෑස් බැඳ ඇත්තේ නීතිය හමුවට එන පුද්ගලයන්ගේ ධනය, බලය හෝ වෙනත් හේතු මත ඔවුන් නීතිය හමුවේ වෙනස්කම්වල ට ලක්නොවිය යුතු නිසා බව ද මෙම නඩු තීන්දුවෙන් පෙන්වා දී තිබේ. බි්‍රතාන්‍යයේ සිට මෙරටට පැමිණි වග උත්තරකාර ඩයනා ගමගේට මෙරට පුරවැසි භාවය ඔප්පු කිරීමට කිසිදු කරුණක් අධිකරණය ට ඉදිරිපත් කිරීමට නොහැකි බව ද අදාළ නඩු තීන්දුවේ සඳහන් වී ඇත.

ඩයනාට දුන් තීන්දුව අරගලය හා ආණ්ඩුව!

කෙසේ හෝ ඩයනා ගමගේට පෙර ද මෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වූ කීපදෙනෙක්ම සිටිති. පාර්ලිමේන්තුව ට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ එම ධුරය අහෝසි කිරීමට නිශ්චිත හේතු මෙන්ම අධිකරණයක නියෝගය ද අත්‍යවශ්‍ය වේ. කුමක් වුවත් මෙරටේ උත්තරීතර ආයතනය මෙන්ම රටේ නීති සම්පාදනය හා මූල්‍ය විනය ද පවත්වා ගෙන යෑමේ බැරෑරුම් වගකීම ද පැවරී තිබෙන විශිෂ්ට ආයතනය ලෙස පාර්ලිමේන්තුව හැඳින්විය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතී වූ ද රටේ ආරක්ෂාව, මහජන යහපත ආදිය උදෙසා කැප වූ පුද්ගලයකු ලෙස සුසම්මත වූ අයෙකි. එනිසා ම ඔහුට විශේෂ වරප්‍රසාද පවා ලබා දී තිබේ. එසේ ම ඔහුට තම අභිමතය පරිදි ක්‍රියා කිරීමේ නිදහසක් ද හිමි ව තිබේ. එහෙත් මේ නිදහස පොදුජන අභිවෘද්ධිය වෙනුවෙන් හෘද සාක්ෂියට ද එකඟව භාවිත කළ යුතු දෙයකි.

කිසියම් දේශපාලන පක්ෂයකින් මන්ත්‍රී වරමක් ලබාගන්නා කවරකුට වුවද තම පක්ෂයේ ප්‍රතිපත්ති හා තීරණවලට එරෙහිව ක්‍රියා කළ නොහැක. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු වූ නසීර් අහමඩ්ට එරෙහිව පක්ෂය විසින් ගන්නා ලද තීන්දුවක් අනුව ඔහු පක්ෂයෙන් නෙරපා දමනු ලැබුණි. ඔහු එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වූයේ ඔහුට එරෙහිව ලබා දී තිබෙන පක්ෂයේ තීන්දුව නිවැරදි බවය. මෙයින් පෙනී යන්නේ හිතුමතයට පක්ෂ මාරු කළ නොහැකි බවය. පක්ෂයේ තීන්දුවලට උඩින් පැන කිසිවකුට ක්‍රියා කළ නොහැකි බව ජයවර්ධන පාලන යුගයේ දීත් තහවුරු විය. එදා එ.ජා.පයේ තීරණයකට පටහැනිව ක්‍රියා කළ ගාමණී ජයසූරිය ඇතුළු කීපදෙනකුට ද මන්ත්‍රී ධුර අහිමි වී ඇත. පසු කාලයක (2017) ගීතා කුමාරසිංහට ද ද්විත්ව පුරවැසි භාවය නිසා මන්ත්‍රී ධුරය අත්හැරීමට සිදුවිය. මන්ත්‍රී ධුරයක් යනු ගෞරවනීය හා සුවිශේෂ ප්‍රභූත්වයක් ද හිමි වන්නකි. එහෙත් අද වනවිට ඒ ගෞරවනීය භූමිකාව සම්බන්ධ සත්‍යය කුමක් ද? දසක කීපයකට පෙර ගරු මන්ත්‍රීවරියකු ලෙස හැඳින්වූ ඒ ජනතා නියෝජනියගේ තත්ත්වය කෙබඳු ද?

ඩයනා ගමගේට එබඳු දේශපාලන ඉරණමක් අත්වූයේ ද මූලිකවම ඇයට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් නොතිබීම නිසා ය. එසේම ඇය නියෝජනය කළ දේශපාලනය කෙතරම් ගර්හිත එකක් ද? වසර හතරකට අධික කාලයක් ඇය මෙරටේ උත්තරීතර ආයතනය නියෝජනය කළේ තමන්ට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බව දැන දැනම දැයි අපි නොදනිමු. එහෙත් මන්ත්‍රී ධුරයක් හෙබවීමට අවශ්‍ය නෛතික කොන්දේසිවල ට අමතරව තම හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කිරීමට ද මහජන නියෝජිතයකු බැඳී සිටින බව අපගේ අදහසය.

ඩයනා ගමගේ තමන්ට ඒ සඳහා වුවමනා නීතිමය තත්ත්වය ගැන සෑහීමකට පත්ව සිටියේ ද යන්න හොඳාකාරවම දන්නේ ඇයත්-ඇගේ පක්ෂය සමග සිටි නායකයනුත් පමණි. ඩයනා සමග ඇති වූ දේශපාලන ගැටුම්වලින් පසු ඇගේ අඩුපාඩු දොස් දැකීමක් සිදුවූයේ නම්, එය ද යහපත් දෙයක් නොවේ. තම පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනයට තෝරා ගන්නා අය ගැන පක්ෂ නායකත්වයට ද වගකීමක් තිබේ. තමන්ට පක්ෂය ලබාදීමේ හිලව්වට එබඳු ගෙවීමක් කර තිබේ ද යන්න දන්නෙත් ඩයනා හා එම පක්ෂයේ අය පමණි. පසුගිය දිනක මුජිබර් රහමන් (ඔහු දැන් ඩයනාගේ අසුනට නිර්දේශිතය) කීවේ ඩයනා ගැන තමන් පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරද්දී ජනාධිපති රනිල් එයට සිනාසෙමින් “ඔබලාට පක්ෂයක් ලබාදුන් කෙනකුට ආණ්ඩුව ගමන් බලපත්‍රයක් ලබාදීමේ වැරැද්ද කුමක් දැයි විමසූ බවකි. එය උත්ප්‍රාසය දනවන ඇනුම් පදයක් වුවත් ඇත්ත වසයෙන්ම ඩයනාට රාජ්‍ය ඇමති ධුරය ඇතුළු සියල්ලක්ම ලැබුණේ සජබයට දක්වන දේශපාලන ප්‍රතිචාරයක් වශයෙන් බව පැහැදිලිය. ඒ හැර ඇය සතු සුවිශේෂ දේශපාලන දැක්මක් හෝ ඇගෙන් ආණ්ඩුවට අලුත් දේශපාලන යෝජනාවලියක් ඉදිරිපත් වූ නිසා හෝ නොවේ. එය එක් අතකින් බොළඳ දේශපාලනයකි.

ඩයනාට දුන් තීන්දුව අරගලය හා ආණ්ඩුව!

අද මෙරටේ දේශපාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන පොදු චිත්‍රය හා ආකල්පය වන්නේ ද එය අඳුරු හා දූෂිත එකක් බවය. මේ ආණ්ඩුව තුළ සිටින ඇතැම් අය දශක කීපයක් මුළුල්ලේ විවිධ නායකයන් සමග එක්ව ඇමති ධුර ලබාගත්තෝ වෙති. එහෙත් ඒ බොහෝ ඇමතිවරුන්ගෙන් රටේ සංවර්ධනයට, ප්‍රතිපත්තිමය දේශපාලනයට ඉටු වූ සාධනීය මෙහෙවරක් තිබේ ද? මහජන නියෝජිතයා යනු හොරෙක්, දූෂිතයෙක් නීති විරෝධි පැවැතුම් සහිත අශිෂ්ටයෙක් ලෙස හැඳින්වේ නම් එවන් රටක දේශපාලනය ගැන කවර කතා ද?

අද ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම අර්බුදවල හිර වී සිටියි. ශ්‍රී.ල.නි.ප ය ගමනක අවසානයේ අඳුර පෙන්වයි. පොදුජන පෙරමුණට රටට වුවමනා දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහසක් නැත. එහි නායකයන්ගේ එකම අරමුණ තම බලය රැකගැනීමය. තම පවුල් සමාගම වර්ධනය කිරීමය. දින කීපයකට පෙර රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවට එක්වූ ජා.ජ.බ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ ද මේ රට විනාශ වූයේ දූෂිත දේශපාලනයත් ආර්ථික සාධාරණත්වයත් අහිමි වී ගිය නිසා බවය. එම සාකච්ඡාවේ දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද චෝදනා එකක්වත් පදනම් විරහිත යැයි කිව නොහැක. ඒවා මෙහි සඳහන් කිරීමට අප සූදානම් නැත. එහෙත් ඔහුගේ දීර්ඝ සමාජ දේශපාලන ආර්ථික විවේචනයෙහි හරය වූයේ එදා එනම් 2022 මැයි 09 දා සිදු වූ ගාලු මුවදොර විරෝධතාවේ අපේක්ෂාවන් හා අභිලාෂයන් සියල්ල යටපත් කරමින් යළිත් සුපුරුදු ජරපත් ප්‍රභූතන්ත්‍රයම තම බලය රඳවා ගැනීමට පෙරට ගෙන ඇති බවය.

ඔහු සඳහන් කළ පරිදිම මෙම 09 දිනට එම විරෝධතාවට දෙවසරක් සපිරුණි. ජනාධිපති රනිල් එදින පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් ද කළේ ය. එහෙත් එහි කිසිම තැනක මේ සම්බන්ධයෙන් සඳහනක් හෝ නොවීය. තමන් විසින් භාර ගන්නා ලද්දේ ගිනිගත් රටක් බවත්, තම දැනුම සැලසුම හා ජාත්‍යන්තර සබඳතා උපයෝගී කරගනිමින් රටට යම් ආර්ථික ස්ථාවරත්වයක් ලබාදුන් බවත් ජනාධිපති රනිල් පැවසීය. මේ සඳහා සියල්ලන් ම එක්විය යුතු බවද ජනාධිපති ප්‍රකාශ කරද්දී විපක්ෂ නායක සජිත් කියා සිටියේ ඒ මල්වට්ටියට අත ගැසීමට විපක්ෂය සූදානම් නොමැති බවය.

ඇත්ත වශයෙන් ම 2022 මැයි 9 වැනිදා ගාලු මුවදොර (අරගලයට) විරෝධතාව සම්බන්ධයෙන් විවිධ කියවීම් තිබේ. නිදහසින් පසු රට භාරව ක්‍රියාකළ දේශපාලන පක්ෂවලටත් ඒවායේ නූතන නායකයන්ටත් එමඟින් දැඩි විවේචනයක් පමණක් නොව, විරෝධයක් ද ඉදිරිපත් විය. ඒ අරගලයෙන් අපේක්ෂා කළ දේශපාලන ආර්ථික වෙනස ට අදාළව කිසිදු ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් මේ ආණ්ඩුව ඉදිරිපත් කර නැත. දේශපාලන හා නිලධාරි තන්ත්‍රය යන දෙක ම බරපතළ දූෂණ, වංචා අක්‍රමිකතාවලින් යුතුව පිරිහෙමින් තිබේ. ඩිජිටල්කරණය ගැන බොහෝවිට ඇසුණත් එවැන්නකට මුල පිරීමක් හෝ සිදුව නැත. රාජ්‍ය ආයතන යළිත් හිතවතුන්ට භාර වීමත් පරාජිත දේශපාලන චරිත ආණ්ඩුවේ මුල් පුටුවලට පත්කර ගැනීමත් හැර වෙනත් දෙයක් සිදුවී නැත. කොටින්ම අරගලය ම්ලේච්ඡ හා බිහිසුණු ව්‍යාපාරයක් බව ආණ්ඩුවත් රාජපක්ෂවාදීන් බහුතරයකුත් කියා සිටිති. සමහරු එහි ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්නේ ඒ සඳහා ඉදිරිපත්වූ රාජපක්ෂවරුන්ගේ අනුගාමිකයන්ගේ මැදිහත් වීම් අමතක කරමින්ය. මෑත යුගයේ අප දුටු නිර්භීත ජනතා ප්‍රතිචාරයක් ලෙස මෙය හැඳින්විය හැකි වුවත් එයට ඉදිරි දැක්මක් වූ බවක් නොපෙනුණි.

අරලිය ගහමැඳුර අභියසින් ඇරඹුණු ප්‍රහාරය අවසානයේ දී රටම ගිනිගත් විපතක් බවට පත් වූ අතර අහිංසක මන්ත්‍රීවරයෙක් ද මහමඟ මරා දැමුණි. ආණ්ඩුව භාරගත් රනිල්ගේ මර්දන ක්‍රියාදාමය සාර්ථක විය.

ගෝඨාභයට ඒ සියල්ල මර්දනය කිරීමට සිතක් පහළ නොවීම මොනතරම් අස්වැසිල්ලක් රටට ලබා දුන්නේ ද? කුමක් වුවත් අරගලයේ තේමාවට පටහැනිව කිසියම් මැර මෙහෙයුමක් සිදුවිය. නිවාස ගිනිබත් කිරීම් හා දේපළ පැහැර ගැනීම් ද සිදුවිය. ඒවායේ මැරයන් හඳුනාගැනීම ආරක්ෂක අංශවල කාර්යයකි.

අද වනවිට රට දේශපාලන හා සංස්කෘතික වශයෙන් ද බරපතළ පරිහානියකට ලක්ව තිබේ. එක් රූපවාහිනී සජීව සංවාදයකට පොදුජන පෙරමුණු නියෝජනය කරමින් පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනා දෙස බලද්දී මේ විනාශයේ ප්‍රමාණය මැන ගතහැකි ය. සංවාදයේ අශිෂ්ට ග්‍රම්‍ය වචනවලින් ප්‍රකාශිත වූයේ ඔවුන් අයත් පක්ෂයේ අශිෂ්ට, අශීලාචාර විලාසය දැයි සමහරු ප්‍රශ්න කළහ. එක් අයෙක් නිවේදකයාට පහර දීමට කීපවරක් ම නැඟී සිටි අයුරු ද දැකගත හැකි විය.

ඔවුන් ට මතවාදීව විවාද කිරීමට පුරුද්දක් නොවූ බව ඉතා පැහැදිලිය. එළැඹෙන මැතිවරණයේ පෙර ගමන්කරුවන් ලෙස මේ වර්ගයේ චරිතවලට හොඳ ඉල්ලුමක් ඒ අශිෂ්ට වේදිකාවලදීත් ලැබෙනු ඇත.

දේශපාලනය විනය ගරුක ශිෂ්ට හා අවංක පිරිසක් අතට පත් කිරීම සඳහා අද ජනතාව ද බලා සිටිති. වෘත්තිකයන් විශ්වවිiාල ක්ෂේත්‍රවල වියතුන් සිවිල් සංවිධාන ඒ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදිය යුතුය. 2022 මැයි 09 අරගලය වළලා දමා ඇතැයි ප්‍රභූතන්ත්‍රය ට සතුටු විය හැකිය. එහෙත් ඒ අරගලයේ අපේක්ෂා මෙන්ම සටන්කාමී ස්වරය ද නිහඬ වී ඇතැයි සිතිය හැකි ද? විධායක ජනාධිපති ක්‍රමය බලවත් හා ශක්තිමත් බවට උදන් ඇනූ ආකාරය ද අපට මතකය. එහෙත් ඒ විධායකය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය ඇතුළු නීති ක්ෂේත්‍රවල පමණක් නොව, සිවිල් සංවිධාන හා වෘත්තිකයන්ගේ ද විවේචන ඇසෙයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සුරැකීමටත් රටේ කිසිවකු නීතියට උඩින් නොසිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවෙන් තහවුරු කර තිබේ. සත්‍යය හා යුක්තිය කිසි දිනක කිසිවකුට වළ දැමිය නොහැකි බවද එහි සනාතන අරුතය.

advertistmentadvertistment
advertistmentadvertistment