අගෝ: 1දා උසාවි කැඳවයි
පාස්පෝට් එකත් උසාවිය භාරයට
බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11දා) චෝදනා හතකින් යුත් චෝදනා පත්‍රයක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම ඇතුළු එකී චෝදනා පත්‍රය සැකකාර ඩයනා ගමගේ මහත්මියට කියවාදීම සඳහා ලබන අගෝස්තු 1 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11දා) දින නියම කළේය.
එම සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විදේශීය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේ මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩිෂල හේරත් මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි 8 වැනිදා තීන්දුවක් ලබාදෙමින් ඇය මන්ත්‍රි ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කොට තිබිණි. ඉන් අනතුරුව නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ ඩයනා ගමගේ මහත්මිය රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කොට තිබිණි. එදින ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයක් අනුව විමර්ශන අවසන් කොට චෝදනා පත්‍රයක් ගොනු කිරීමට විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගෙන තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක