ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

123

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට අධිකරණයේ අවසරයකින් තොරව ලබන 17 වැනිදා දක්වා විදේශ ගතවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (11දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගැනීම ඇතුළු චෝදනා එල්ල වී ඇති එම රාජ්‍ය ඇමැතිනිය රටින් පලායෑමේ සූදානමක් ඇති බව කියමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් කළ කරුණු දැක්වීම සලකා බැලු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තම අධිකරණයේ එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමටද නියෝග කළේය.

නීතිඥ ගුණරත්න මහතා 11 වැනිදා පෙරවරුවේ එම නඩුව කැඳවන ලෙසට මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම අනුව නඩුව කැඳවූ මහෙස්ත්‍රාත්වරයා රාජ්‍ය ඇමැතිනිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට අදහස් කරන කරුණු දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයට දැනුම් දුන්නේය.

ඒ අනුව නීතිඥ තුසිත ගුණසේකර මහතා නීතිඥ ප්‍රජාව වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර එකී කරුණු තහවුරු කළ අතර ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරියට එලෙස විදේශ ගමන් තහනමක් පැනවූ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඇයට විදේශ ගතවීමේ අවශ්‍යතාවයක් ඇත්නම් අධිකරණය හමුවේ පෙනී සිට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමේ අයිතිය පවතින බවද දැන්වීය.

ඇගේ විදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත හා උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව සිදු කරන විමර්ශන සඳහා ප්‍රකාශ ලබාගැනීමට ඇයව ලබන බ්‍රහස්පතින්දා (17දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව දැනගන්නට ලැබී ඇතැයිද එම නීතීඥවරුන් එහිදී අධිකරණයට පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment