ඩයනා ගැන විමර්ශන සිදුකොට අධිකරණයට ඉදිරිපත් කරන්න

76

නීතිපති සී.අයි.ඩීයට දැනුම් දෙයි

හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ විසින් සිදුකර ඇතැයි අනාවරණය වන අපරාධ වැරදි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරිය සම්බන්ධයෙන් පවතින පැමිණිලිවලට අදාළව ඉදිරි පියවරයන් සඳහා උපදෙස් ඉල්ලා එවා තිබූ ලිපියකට අදාළවය.

ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරිය බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ශ්‍රී ලංකා පුරවැසියකු ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම, ඒ සම්බන්ධයෙන් විභාග වූ නඩුවලදී හා විමර්ශනයන්වලදී අසත්‍ය ලිපි හා කරුණු ඉදිරිපත් කිරීම, ඇතැම් කරුණු සැඟවීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන පරිදි ක්‍රියා කිරීම ආදී වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහි විමර්ශන සිදු කර ඉදිරි පියවරයන්ට නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර තිබිණි.

ඇයට එරෙහිව සිදුකරන විමර්ශනයන්ට අනුව යම් අපරාධමය කරුණක් සම්බන්ධයෙන් ඇයට එරෙහි සාක්‍ෂි හා කරුණු ඉදිරිපත් වන්නේ නම් චෝදනා ගොනු කර ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති උපදෙස් මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment