ව්‍යාජ තොරතුරු දී පාස්පෝට් ගත්තාට සැකකාරියක කරයි
ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමෙන් ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය.
මෙතෙක් සිදුකළ විමර්ශන අනුව ඇය අධිකරණය හමුවේ ගොනු කර ඇති විමර්ශනවල සැකකාරියක ලෙස නම් කළ හැකි යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නඩුවේ සැකකාරියක ලෙස ඩයනා ගමගේ මහත්මිය නම් කිරීමට නියෝග කළේය.
එම සැකකාරිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර වහාම ගන්නා ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට විමර්ශනවල ප්‍රගතිය වහාම තම අධිකරණයට වාර්තා කරන ලෙසටද වැඩිදුරටත් නියෝග කළේය. සමාජ ක්‍රියාකාරියකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේ මහත්මිය දැරූ පාර්ලිමේන්තු ධුරය අහෝසි කරමින් පසුගිය මැයි 8 වැනිදා තීන්දු ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ අනුව ඇයට රටින් පිටවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද පසුගිය 9 වැනිදා නියෝගයක් නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක