ඩයලොග් පාසල් රග්බි පාපන්දු මධ්‍යම පළාත් තරග අද ඇරැඹේ

89

දිවයිනේ කලාප 05 ක් යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ඩයලොග් පාසල් රග්බි පාපන්දු තරගාවලියේ මධ්‍යම පළාත් පාසල් වයස අවුරුදු 20 න් පහළ රග්බි පාපන්දු තරගාවලිය අද (27 වැනිදා) පල්ලේකැලේ පිහිටි මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පාසල් සංඛ්‍යාව 08 කි. මහනුවර ත‍්‍රිත්ව, මහනුවර ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ, මහනුවර කිංග්ස්වුඞ්, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ශාන්ත සිල්වෙස්තර, මහනුවර ශ‍්‍රී සුමංගල සහ කටුගස්තොට ශ‍්‍රී රාහුල එම විදුහල් වෙති.

‘ඒ’ සහ ‘බී’ යනුවෙන් කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක වන මූලික වටයේදී ඉහළම ප‍්‍රසාද ලකුණු ලබා ගන්නා දෙපිල මෙවර තීරණාත්මක ‘කුසලාන’ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබති.

ඊට අමතරව ‘පළඟ’, ‘බඳුන’ සහ ‘පළිහ’ ශූරයින් තීරණය කෙරන අවසන් තරග ද පැවැත්වීමට නියමිතය.

කොළඹ රාජකීය විදුහල්පති බී. ඒ. අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරන මෙවර තරගාවලිය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග‍්‍රාහක දායකත්වයෙන් පැවැත්වේ.

මෙහි වයඹ පළාත් තරග හෙට (28) දින කුරුණෑගල දී ද සබරගමුව පළාත් තරග 30 (බ‍්‍රහස්පතින්දා) දින රුවන්වැල්ලේ දී ද දකුණු පළාත් තරග 31 (සිකුරාදා) දින කොග්ගල දී ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙවර බස්නාහිර පළාත් තරග මාලාව පසුගිය 18 සහ 19 දින පැවති අතර එහි ‘ඒ’ කොටසේ ශූරතාව තහවුරු කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හැකි විය. පිළියන්දල මැදි මහ විදුහලට එකී ‘බී’ කොටසේ ශූරතාව හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment