ඩ්‍රයික්ලීන් කළයුතු dirty අරගලය

920

බහුජන පදනමක් ඇති සෑම අරගලයක්ම පන්ති අරගලයක් බවට පිළිගැනීමක් තිබේ. පසුගිය දිනවලදී ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට එරෙහිව ගෝල්ෆේස් පිට්ටනියේදී ආරම්භ කෙරුණු ජන අරගලයද පන්ති පදනමක් සහිත අරගලයකි. එම අරගලය කෙරුණේ පාලක පන්තියට එරෙහිව මධ්‍යම පන්තිය විසිනි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය මේ වන විට වඩාත් බරපතළ මත දරන, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මත දරන, භාෂණ නිදහස පිළිබඳ ගැඹුරට හිතන පන්තියක් බවට පත්ව තිබේ. ගෝල්ෆේස් අරගලයෙන් රටේ පාලක පන්තිය යම් පරාජයක් ලබද්දී පාලිත පන්තිය යම් ජයග්‍රහණයක් ලදහ. මේ කතාව තවදුර ගෙන යෑමට පෙර අරගලය යන වචනයට කාල් මාක්ස් විසින් දී ඇති, ඔහුගේ සමකාලීන සමාජවාදී න්‍යායවාදියකු වූ ෆෙඩි්‍රක් එංගල්ස් විසින් අනුමත කරන්නට යෙදුනු අර්ථ නිරූපණය මෙසේය. “ධනවාදයේ වර්ධනයත් සමගම පන්ති අරගලය උග්‍ර විය. අරගලය හටගන්නේ ධනවාදයෙන් ප්‍රයෝජන ලබන පන්තිය සහ එම පන්තියෙන් බැට කන පන්තිය අතරය. ධනවාදී පන්තියේ නිර්මිතය වන්නේ රජ පවුල හෙවත් කොම්ප්‍රදෝරු පන්තිය සහ එම පන්තියේ පස්ස හෝදන මෙන්ම නිෂ්පාදන සාධකවල හිමිකාරිත්වය දරන බූෂුවා පන්තියයි. කම්කරු පන්තිය මේ බලවතුන් වෙතින් ගැහැටට ලක්වන පිරිස වන්නේ ය. පන්ති භේදය පදනම් කරගත් ලොව පළමුවැනි අරගලය වූකලී 1789 ප්‍රංශ විප්ලවය බව කියනු ලැබේ. එහෙත් අපගේ විශ්වාසය නම් ඊට පෙර කුඩා ප්‍රමාණයේ පන්ති අරගල ලොව පුරා රටවල්වල ඇති වෙන්නට ඇති බවත් රාජාණ්ඩු හෝ ගෝත්‍රික පාලකයන් විසින් ඒවා බිමට සමතලා කරන්නට ඇති බවත්ය. අරගලය සහ පන්ති පදනම පිළිබඳ විග්‍රහය මෙතැනින් අවසන් කරන්නේ පාඨකයාට එය වාතයක් නොවනු පිණිසය. අද අපේ මාතෘකාව වන්නේ ගෝල්ෆේස් අරගලයට මේ වන විට කුමක් වී ඇත්ද යන්නය.

ගෝල්ෆේස් අරගලය පටන් ගන්නේ කොවිඩ් 19 වසංගතයෙන් පසු රට සම්පූර්ණ ලෙස විවෘත කළවිට ආර්ථිකය සම්පූර්ණයෙන්ම අල වූ නිසාය. මේ අලවීමේ ආරම්භය රසායනික පොහොර සිද්ධියයි. රසායනික පොහොර ගෙන ඒමට ආණ්ඩුවට ඩොලර් නැති විය. ඒ නිසා රසායනික පොහොරවලට වඩා කාබනික පොහොර ගුණදායක බවට බොරු කියූ ආණ්ඩුව ගොවි ජනතාවගේ වගා කන්න දෙකක්ම නන්නත්තාර කළේය. ඊළඟට ගෑස් හිඟයක් ඇතිවිය. තෙල් පෝලිම් ද පටන් ගත්තේය. ලයිට් කැපීම ඇරඹිණ. කිරි පිටි හිඟයක් හටගෙන එහි මිල තුන් ගුණයකින් ඉහළ ගියේය. සහල් මිල ඉතා වැඩි විය. රුපියල් 300 ට තිබූ ටින් මාළු කෑන් එක රුපියල් 800 ටත් රුපියල් හාර පන්සීයට තිබූ හාල් මැස්සන් කිලෝව රුපියල් 2500 ටත් ඉහළ ගියේය. මෙතැනදී ශ්‍රී ලංකාවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ නාගරික මධ්‍යම පන්තියේ තරුණ කොටස තීරණයක් ගත්තේය. එනම් ගෝඨාභය සහ මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව පලවාහැරිය යුතු බවය. ගෝඨා ගෝ හෝම් කියමින් ඒ සඳහා ගෝල්ෆේස් පිට්ටනියට මුලින්ම එකතු වූ තරුණ පිරිස නිර්දේශපාලනික කණ්ඩායමක් විය. එය පිරිසිදු අරගලයකි. එමගින් මුලින්ම මහින්දවත් දෙවනුව ගෝඨාභයවත් ගෙදර යැවීමට අරගලකරුවන්ට හැකිවිය. ඒ අතර යූ ටියුබ් කාරයන් පිරිසකුත්, තකතීරු දේශපාලන න්‍යායවාදීන් කිහිපදෙනකුත්, හදවතින් ඔක්තෝබර් විප්ලවයේ ජීවත්වූ සන්නද්ධ මානසිකත්වයක් ඇති කට්ටියකුත් අරගලය තුළට කාන්දු වූහ. මේ කාන්දු වීම Infiltration ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලැබේ. එතැන් සිට එම අරගලය දූෂණය විය. විමල් වීරවංශ කියන පරිදි සැබෑ අරගලය අරාජිකවාදීන්ගේ අරගලයක් බවට පත්වන්නේ මෙතැන් සිටය. අරගලකරුවන් කොළඹ ජනාධිපති මන්දිරයේ ගේට්ටු බිඳගෙන එහි ඇතුළුවීම අරගලයේ තීරණාත්මක අවස්ථාවකි. ඔවුන් එසේ කිරීමට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති මන්දිරයේ ගේට්ටුව ඉදිරිපිටට ගොස් බිම වැටෙමින්ද, බිම දිගේ පෙරළෙමින්ද, කරණම් ගසමින්ද විප්ලවවාදී නාඩගමක් නැටූ නමුත් කිසි කෙනෙක් එය ගණන් ගත්තේ නැත. අන්තිමේදී හිරුණිකා මතවාදී වශයෙන් චොර වී ගෙදර ගියාය. ඒ අතර අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව බිඳගෙන ඇතුළට ගිය අවස්ථාව දෙස බලමු. මෙහිදී මුලින්ම ඇතුළට යන්නේ උගත් මධ්‍යම පන්තිය නියෝජනය කළ විප්ලවවාදී තරුණ පිරිසය. ඔවුන් පසුපසින් පාදඩයෝද, රස්තියාදුකාරයෝද, ගංජාකාරයෝද, අයිස් ගහන කට්ටියද, හොරුද, මංකොල්ලකාරයෝද ජනාධිපති මන්දිරයට ඇතුළු වූහ. එතැන් සිට අරගලයේ ස්වරූපය සහ ව්‍යුහය වෙනස් විය. මේ වනවිට අරගලය සමාන වන්නේ පණුවන් සහ නිල මැස්සන්ගෙන් ගහන කුණු වළකටය. අරගලයට සහභාගි වූ ප්‍රගතිශීලී පිරිසිදු පිරිස ගෝඨාභය සහ මහින්ද ගෙදර යැවීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම මත ආපසු ගෙවල් බලා ගොස් සිටිති. එමගින් හිස්වුණු තැන්වලට රිංගා ඇත්තේ ටෙලි නාට්‍ය නිළියෝය. එසේම ධනිෂ් අලි වැනි විකාරකාරයෝය. ධනිෂ් අලි යනු නාමල්ගේ නිල් බළකායේ ගොට්ටෙක් බවද කියැවේ. තවත් විටෙක ගෝඨාභයවාදියෙකු බවද කියැවේ. එහෙත් මේ වන විට ධනිෂ් අලි නොම්බර එකේ වාතයකි. එබැවින් මේ අරගලය ලොන්ඩරියකට දමා වහාම ඩ්‍රයික්ලීන් කළ යුතුය. නැත්නම් සිදුවන්නේ තරුණ පිරිස් නිරපරාදේ පොලිසියෙන් ගුටි කෑමත් රට සිවිල් යුද්ධයක් කරා යොමු වීමත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment