ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කැපවෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

48

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ”DIGIECON 2030″ එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ අපට සංවර්ධන විභවයක් ලබා දෙනවා. එය අප ග්‍රහණය කර ගත යුතුයි. ඒ වගේම සියවසේ මැද භාගයට ගැලපෙන, ඉහළ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් අප දැන් සැලසුම් කළ යුතුයි.

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කැපවෙනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉහළ තරගකාරීත්වය කියන්නේ සෑම අංශයකම තරගකාරීත්වය නොවෙයි. අපට එසේ කළ නොහැකියි. නමුත් අපට තරගකාරී විය හැකි ක්ෂේත්‍ර තිබෙනවා. උදාහරණයක් ලෙස, කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස සහ කෘෂිකර්මාන්තයේ සමහර අංශ පෙන්වා දෙන්න පුළුවන්. එම ක්ෂේත්‍ර අප හඳුනා ගත යුතුයි. දෙවනුව එම අධික තරගකාරී ආර්ථිකය හරිත ආර්ථිකයක් ද විය යුතුයි. මොකද හරිත ආර්ථිකයක් ලෙස ගොඩ නැඟීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා.

තෙවනුව, අධික තරගකාරී ආර්ථිකය, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි. මේ මාර්ගය තමයි අපට ගැලපෙන්නේ. මේ ක්ෂේත්‍ර දෙකම එකට එකතු විය යුතු අතර පසුව එය ඉතා තරඟකාරී ආර්ථිකයක් විය යුතුයි. මේ අංශ කෙරෙහි තමයි අප සංවර්ධනය කරා යන විට අවධානය යොමු කළ යුතු වන්නේ.

ඩිජිටල් ආර්ථිකයට යොමු වීම වෙනුවෙන් මෙතෙක් සිදු කර නොමැති අපගේ ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් කිරීමට සිදු වෙනවා. මේ පිළිබඳ බොහො අදහස් යෝජනා තිබුණත් එය සිදු කළ යුතුවන්නේ මෙම කර්මාන්තයට සමගාමීවයි. රජයේ වියදම් මගින් ඩිජිටල් ආර්ථිකය මෙහෙයවිය නොහැකියි. ඩිජිටල් ආර්ථිකය මෙහෙයවිය යුත්තේ පෞද්ගලික අංශය විසිනුයි.

රජයට කළ හැක්කේ ප්‍රවර්ධනය කිරීම මිස බාධා කිරීම නොවේ. අපගේ ප්‍රතිපත්තිය එයයි. අපගේ ඩිජිටල් ප්‍රතිපත්තිය වන්නේ කෘත්‍රිම බුද්ධිය අඩංගු වන ඩිජිටල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමයි. මෙය සිදු කිරීම සඳහා, පළමුව, අපි මිනිස් බලය ගොඩනගා ගත යුතුයි.

රජය ඒ සඳහා මුදල් ආයෝජනය කරන විට එම මිනිස් බලය වර්ධනය වනු ඇත. පෞද්ගලික අංශය සිදු කළ යුත්තේ මෙයයි. මොකද මේ දක්වාත්, තව දුරටත් මේ ක්‍ෂේත්‍රය සඳහා අප අඛණ්ඩව අරමුදල් සපයනු ලබනවා.

සමස්ත ඩිජිටල් කර්මාන්තය සළකා බැලුවහොත්, එහි දැවැන්තයන් දෙදෙනා වන්නේ එක්සත් ජනපදය සහ චීනයයි. ඇමරිකා එක්සත් ජනපදයේ වගේම චීනයේද මෙම ක්ෂේත්‍ර මෙහෙයවනු ලබන්නේ වෙළඳපොළ විසිනුයි. චීනයේ සමස්ත සංවර්ධනයම සිදුවූයේ වෙළෙඳපොළ හරහා බැවින් ඩිජිටල් ප්‍රතිපත්තිය රජය වටා කේන්ද්‍රගත විය යුතුයි කියා අප නොසිතිය යුතුයි.

නමුත් රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින් ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයේ වගකීමක් වෙනවා. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට අපි සැලසුම් කර තිබෙවා. එම පියවර ඔබට ඩිජිටල් ප්‍රතිපත්තිය සැකසීමට සහ එය වේගවත් කිරීමට උපකාරී වනු ඇති බව අපේ විශ්වාසයයි.

මේ සඳහා අපට වැඩි කාලයක් වැය කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම මෙම කටයුත්තේදී අප අපගේ ආසන්න රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මෙම ක්ෂේත්‍රයේ සීග්‍රයෙන් දියුණු වුණ ඉන්දියාව සමඟ විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවක් ඇතිව කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තමයි ශ්‍රී ලංකා ඩිජිටල් ප්‍රතිපත්තියේ පසුබිම.

මෙම ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් පෞද්ගලික අංශයෙන් ලබා දිය යුතුයි. ආණ්ඩුවට එසේ කිරීමට හැකියාවක් නැහැ. පුද්ගලික අංශය මගින් යටිතල පහසුකම් සැපයීම සිදු කරන විට රජය මඟින් එය ප්‍රවර්ධනය කරනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට රජය පෙළඹී ඇති එක් හේතුවක් ලෙසත් මෙය හඳුන්වා දිය හැකියි. අපට මේ සඳහා යෙදවීමට මුදල් නැහැ.

මේ සම්බන්ධයෙන් අපට අවශ්‍ය විදේශ ආයෝජන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඊට සම්බන්ධ අනෙකුත් ආයතන හරහා ලැබෙන්න ඉඩ හරින්න. මේ ආකාරයට ඩිජිටල්කරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියකට අප අඩිතාලම දමමින් සිටිනවා. එය නව ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වනු ඇත. මේ සම්බන්ධයෙන් අප කළ යුතු දේ අපට පැවසීම ඔබගේ යුතුකමක්. ඔබ සැම මේ සම්බන්ධයෙන් රජය සමඟ කටයුතු කළ යුතුයි. එසේත් නැත්නම් රජය ඔබ සැම සමඟ කටයුතු කළ යුතුයි.

සියලු නව තාක්ෂණයන් ශ්‍රී ලංකාව තුළ අත්හදා බලන නිසා මෙම ප්‍රතිපත්තිය සැකසීම රඳා පවතින්නේ තොරතුරු තාක්ෂණ අංශයේ තීරණ මතයි. තාක්ෂණය සඳහා කර්මාන්ත පදනම් කරගත් නව ආර්ථිකයක් ගොඩනැගීමට අපට අවශ්‍යයි.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, නිෂ්පාදන සේවා ආදී අංශ, තව වසර 20 කින් ඔබ අප අද දකින තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විව හැකියි. මෙම ක්ෂේත්‍රයන්, ඉන්දියාව දියුණු වන විට දකුණු ආසියාවට පැමිණෙනු ඇතියි.

අප කරන්න හිතාගෙන ඉන්න දේ මම කියා තිබෙනවා. අපට දැන් කැබිනට් කමිටුවක් තිබෙනවා. දැන් අප අවධානය යොමු කළ යුතු වන්නේ අපට සංවර්ධනය කිරීමට පහසු ක්ෂේත්‍ර පිළිබඳවයි. කෘතිම බුද්ධිය එවන් අංශයක්. කෘත්‍රිම බුද්ධිය යනු කුමක්ද? එය මනසට සම්බන්ධ වන්නේ කෙසේද? මේක දැන් මෙතන ඉන්න අප බහුතරයට බෞද්ධයන් ලෙස හුරුපුරුදු මාතෘකාවක්.

අප දන්නවා ධම්මපදයට අනුව හැම දේම තීරණය කරන්නේ මනස බව. එසේනම් මනස සහ කෘත්‍රිම බුද්ධිය අතර ඇති සම්බන්ධය කුමක්ද? මම හිතන්නේ එය අප අධ්‍යනය කළ යුතු එක ක්ෂේත්‍රයක්. දෙවැන්න වන්නේ පර්යේෂණයි. ලංකාවේ පර්යේෂණ කිරීම් අඩුයි. මම කිසිම ආකාරයකින් නව පර්යේෂණ ආයතන ආරම්භ කිරීමට අදහස් කරන්නේ නැහැ.

රජයට අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය සම්බන්ධ කිරීමයි. අප අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා උදව් කරනවා. නමුත් පෞද්ගලික අංශය තමයි පර්යේෂණ මෙහෙයවිය යුත්තේ. පුද්ගලික අංශයට ඒ සඳහා මුදල් ආයෝජනය කිරීමට සිදු වෙනවා. ඔවුන්ට එයින් කොටසක් අහිමි විය හැකියි. නමුත් ඉතිරි ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගත හැක්කේ පර්යේෂණ මගින් පුද්ගලික අංශය මෙම කර්මාන්තය මෙහෙයවන බව සහතික වන නිසයි.

මේ සඳහා විශ්වවිද්‍යාල සහ උපකාර කළ හැකි වෙනත් ආයතන තිබේ නම්, නිසැකවම ඒ සියල්ල ඒකාබද්ධ කෙරෙනවා. මෙම ප්‍රතිපත්තිය සැලසුම් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා ඔබ සැමට කතා කර නැවත කැබිනට් කමිටුවට වාර්තා කරනු ඇත. මේ වසරේ ආරම්භයක් ලෙස මම රුපියල් මිලියන 100ක් ඒ සඳහා වෙන් කරනවා.

ලබන වසරේ, අපට පර්යේෂණ අවශ්‍යයි. ඔබ කෘත්‍රිම බුද්ධිය කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කළ යුතුයි. ඒ සඳහා මේ වසරේ ඔබගේ කාර්ය සාධනය මත පදනම්ව ලබන වසර සඳහා මම රුපියල් බිලියනයක් වෙන් කරනවා. ඉන්පසු 2025ට කරන්න පුලුවන් මොනවද කියා අපි තීරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment