ඩී. බී. ජනපති කරපු මොහොතේ  සිරිමාවෝගේ ආදර්ශය අදටත් වටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

190

වසර 50 ක දේශපාලන පළපුරුද්ද ඇති විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරාජිකත්වයට පත්ව තිබෙන ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට ඔසවා තබන බවට කිසිදු සැකයක් නැති බවත්, ඒ ගමන් මඟ තවත් ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයන් එකමුතුව එතුමන්ගේ ගමන් මඟට ශක්තිය ලබාදිය යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

 රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඊයේ (19 දා) කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.

 අපි මතක තබා ගන්න ඕන අපේ රටේ තවත් වැදගත් ඉතිහාසයක් තියෙනවා. ඒ 1993 මැයි 01 දා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ඝාතනය කළා. ඝාතනය කරලා පැය කීපයකදී හිටපු අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග මහතා දිවුරුම් දීම සිදුවුණා. ඩී. බී. විජේතුංග මහතා අග්‍රාමාත්‍යවරයා හිටියටත් වැඩබලන ජනාධිපති හැටියටත් දිවුරුම්දීම සිදුවුණා. මැයි මාසයේ 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවලා එවකට කථානායකවරයා ඒ බව නිවේදනය කළා.

 මං කියනවා මේ දේශපාලනඥයන් කරුණාකරලා එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකාව බණ්ඩාරනායක මැතිනිය කරපු කතාව අරගෙන කියව ගත්තොත් පාර්ලිමේන්තුවේ සියලුම මහජන නියෝජිතයන්ට එය ඉතා වැදගත් වේවි. එතුමිය කියනවා අපට ප්‍රශ්න තිබෙනවා. හැබැයි අපි අවි ආයුධවලින් ඝාතනය කරලා, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබතුමන්ලාගේ හිටපු අගමැතිවරයා, ජනාධිපතිවරයා ලෙස අපි පිළිගන්නවා. එතැනින් කතාව අවසන්. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නෑ මෙවන් අවස්ථාවක පොරයකට ඇවිල්ලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් කරන්න. එතුමිය කියනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න අවශ්‍ය නිසා අපි කිසි කෙනෙක් මේ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. පැය කීපයකදී ජනාධිපතිවරයා ස්ථිර කරලා මේ කතාව අවසන් වෙනවා.

 ඒක අවසන් වුණාම එවකට සභානායක රනිල් වික්‍රමසිංහ මහතා කතාවක් කරනවා. එතුමා විජේතුංග මහතාගේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම කියලා කියනවා අවුරුදු 33 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙන ඩී. බී. විජේතුංග මහතා අද දවසේ මේ පාර්ලිමේන්තුවෙන් විධායක ජනාධිපතිවරයා ලෙස අපෙන් පිටවෙලා යනවා. අපි එතුමාට සුබ පතමු.

 අපි දන්නවා එතුමා පළපුරුදු නායකයෙක් හිටියට මේ වගකීම ඉෂ්ට කරයි. එහෙම කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව අවසන් කරනවා. ඒ කියමන අදටත් ගැළපෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා වියරු ගිනිදැල් නොවෙමු කැලය අවුලා තබන – සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින, එහෙමයි කතාව අවසන් කළේ. මහා ගින්දරක් ගිනි ගන්න අවස්ථාවක මහා වැසි වළාවකින් එය නිවේවා කියලයි එතුමා එදා කතාව අවසන් කරලා ප්‍රාර්ථනා කළේ.

 පසුව දිනේෂ් ගුණවර්ධන මහතා, තොණ්ඩමන් මහතා, වාසුදේව මහතා කතා කරනවා. මේ වගකිවයුතු නායකයන් හැමදෙනාම කියනවා ප්‍රශ්න තිබුණා. එක්සත් ජාතික පක්‍ෂය දිගු කාලයක් රට පාලනය කරපු අවස්ථාවක්. විශාල ප්‍රශ්න තිබුණා අනිත් පක්‍ෂවලට හැබැයි රටේ වගකිවයුතු දේශපාලන නායකයන් හැටියට ඔවුන් එදා හැසිරුණා.

 විපක්‍ෂ නායකවරිය හැටියට බණ්ඩාරනායක මැතිනිය දී තිබෙන ආදර්ශය පාර්ලිමේන්තුවට ඉතා වැදගත්. රාජ්‍ය තාන්ත්‍රිකභාවය එදා එතුමිය ප්‍රදර්ශනය කළා. තණ්හාවෙන් පොරකන්න ගියේ නැහැ. පසුව 1994 දී දැවැන්ත ජයග්‍රහණයක් කරා ගමන් කළා, චන්‍ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ප්‍රධානත්වයෙන්.

 වැඩබලන ජනාධිපතිතුමා කියන විදියට පරිස්සමින් දේශපාලනයත්, ෆැසිස්ට්වාදයත් වෙන්කර ගත යුතුව තිබෙනවා. ෆැසිස්ට්වාදයට යටත් වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට හිරිහැර කරන අය පාලනය කළ යුතුව තිබෙනවා. මහජන නියෝජිතයන්ට පහර දෙන්න බෑ. මහජන නියෝජිතයන් ආරක්‍ෂා කළ යුතුව තිබෙනවා. එය එසේ කරන බව වැඩබලන ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment