ඩුබායි – පිටකොටුව කප්පම් ත්‍රස්තවාදය

981

ලංකාවේ පාතාලය ඩුබායි රාජ්‍යයේ සිට පාලනය වීමට පටන්ගෙන තවමත් අවුරුදු 5 ක්වත් ගතවී නැත. එහෙත් අවුරුදු 50 ක පමණ සිට එම මෙහෙයුම ක්‍රියාත්මක වන සෙයක් පෙනෙන පරිදි තත්ත්වය දරුණු වී තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා කෙරෙන සන්නිවේදනය පසුගිය අවුරුදු දෙක තුන තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමය. මෙය අපරාධ කර්මාන්තයේ ස්වභාවයකි. මෙයට අවුරුදු සීයකට පමණ පෙර ලෝකයේ බලවත්ම සාපරාධී කේන්ද්‍රය තිබුණේ ඉතාලියේ සිසිලි දූපතේ ය. ඒ දූපතේ පිහිටි සාපරාධී කල්ලි, මාෆියා කල්ලි ලෙස හඳුන්වන ලදි. ඒ දූපතේ ජීවත් වූ ප්‍රමුඛ දාමරිකයන් ගෝඩ් ෆාදර් ලා ලෙස හඳුන්වන ලදි. සිසිලි දූපත කොතරම් බලවත් වීද යත් පසුකාලයේදී ඉතාලියෙන් සිසිලිය පාලනය වීම නොව සිසිලියෙන් ඉතාලිය පාලනය වීම සිදුවිය. මේ තත්ත්වය වැඩි දියුණු වන විට ඉතාලි ආණ්ඩුව සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් සිසිලියට යවා එහි සිටි දාමරික කල්ලි සියල්ලම ෆ්ලැට් කර දමන ලදි. ලෝකයේ විවිධ රටවල මේ මොහොතේදී ලාංකික පාතාල කණ්ඩායම් සිටිති. ඉතාලිය, රුසියාව යන රටවල් දෙක මෙවැනි පාතාල කල්ලි සිටින ප්‍රදේශ ලෙස හඳුනාගත හැකිය. එසේම ඇමරිකාවේ මැන්හැටන් ප්‍රදේශයේ එක් පැත්තක ලාංකික පාතාල කණ්ඩායම් කිහිපයක් එකට එකතු වී සිටිති. ඔවුන්ගේ ගෙවල් විශාල මන්දිර වන අතර මේ හැම පාතාල පවුලකටම මිල අධික කැඩිලැක් වාහන දෙක තුනක් තිබේ. නිව්යෝර්ක් බල ප්‍රදේශයට අයත් මැන්හැටන්වලදී මේ පිරිස සුරතල් සුනඛ පෝතකයන් ලෙස වලිග වැනුව ද ඇමරිකාවෙන් පිටට ගිය විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉතා දරුණුය. ඩුබායි රාජ්‍යයේ සිටින ලාංකික අපරාධකරුවන් ද එහි ජීවත් වන්නේ ඉතාම අහිංසක ලෙසය. සමහරු වාහන අලුත්වැඩියා කරන ආයතන පවත්වාගෙන යති. තවත් සමහරු වැල්ඩින් වැඩපොළවල් ආරම්භ කර ඇත. ඩුබායි රාජ්‍යයේ වෙසෙන කොස්ගොඩ සුජී හෝ කන්ජිපානි ඉම්රාන් ගැන ඒ රටේ සිටින මුස්ලිම් ජනයා කිසිත් නොදනිති. මෙහිදී මතක් කළ යුතු තවත් කාරණයක් තිබේ. ඉන්දියාවේ තමිල්නාඩුව තුළ ද ලංකාවේ පාතාලයක් ඇත. මේ පාතාලය run කරන්නේ ලංකාවෙන් ඉන්දියාවට පැන්න පාතාලකරුවන් විසිනි. ඔවුන්ගේ මෙහෙයුම් ඉන්දියාවේ දෙමළ පාතාලය සමග ඒකාබද්ධ වී ඇත. ලංකාවට කුඩු එවීම, ලංකාවේ සිටින ධනවතුන්ගෙන් කප්පම් ලබාගැනීම, ලංකාවේ සිටින විරුද්ධවාදීන් මැරීම සඳහා කොන්ත්‍රාත් ලබාගැනීම තමිල්නාඩු ලාංකික පාතාලයේ ප්‍රධාන ආදායම් මාර්ග වේ. යුද සමයේදී බුද්ධි අංශ නිලධාරියකු වූ මේජර් මුතාලිෆ් නමැති යන අය කිරිබත්ගොඩදී ඝාතනය කළ අයිස් මංජු නමැති සිංහල කොටියා පැන්නේද තමිල්නාඩු පාතාලයටය.

කොට්ටාව – පිටකොටුව 138 බස් මාර්ගයේ වැඩ කළ බස් රියදුරකුට ඩුබායි සිට මරණ තර්ජන කරමින් කප්පම් ලබාගැනීමේ යෙදුනු පුද්ගලයකු මීට තෙදිනකට පෙර කොළඹදී අත්අඩංගුවට ගන්නා ලදි. මේ තර්ජනය සිදුකරන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින ජගත් නමැති කුඩු ජාවාරම්කාරයා ය. මුලදී කොස්ගොඩ සුජී, මාකඳුරේ මධූෂ් වැනි අය ද ඩුබායි නගරයේදී මෙවැනි කප්පම් වැඩ කර ඇත. ඇතැම් විට සිය ප්‍රතිවාදී කුඩු මුදලාලි ඝාතනය කරන අවස්ථාව වීඩියෝ ඇමතුම් ඔස්සේ සජීවීව නැරඹීම ඔවුන් කර තිබේ. දකුණු පළාතේ කොස් මල්ලි නමැති දාමරිකයාගේ ගෙල මධූෂ්ගේ කොන්ත්‍රාත්තුවක් මත කපා වෙන්කෙරුණු අවස්ථාවේදී මධූෂ් වට්ස්ඇප් හරහා එම ක්‍රියාව සජීවී ලෙස නැරඹුවේය. පිටකොටුවේ බස් රියදුරාගේ කප්පම් ඉල්ලීමේ සිදුවීමේදී ඊට සහභාගි වූ කොන්ත්‍රාත්කරුවා අදාළ බස් රියදුරාගේ ඡායාරූපයක් ක්ෂණිකව ගෙන වට්ස්ඇප් හරහා STF ජගත්ට යවා තිබිණ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් මානව හිමිකම් කල්ලිවලට කුදගසා ගන්නැයි කියා මෙවැනි කප්පම්කාරයන් සහ කොන්ත්‍රාත් ඝාතකයන් එකෙනෙහිම සංහාරය කළ යුතු බව අපගේ විශ්වාසය වේ. නොඑසේ නම් මතුයම් දිනකදී අප මහ පාරේ ගමන් කරන විට පැමිණෙන කප්පම් කොන්ත්‍රාත්කාරයකු අපේ ඇඟෙන් කෑල්ලක් කපාගෙන දිව යනවා ඇත. අවශ්‍ය කප්පමදී ඒ කෑල්ල ලබාගැනීමට අපට පුළුවන.

මෙයට අවුරුදු ගණනාවකට පෙර පිලිපීනයේ ජනාධිපති වූ පුද්ගලයෙක් කුඩු වෙළෙඳුන් සහ දාමරිකයන් සංහාරය කිරීම සඳහා රජය සමග ඒකාබද්ධ වූ බහුජන ව්‍යාපාරයක් ආරම්භ කළේය. කුඩ්ඩන් සහ වෙනත් අපරාධකරුවන් දුටු තැන ඝාතනය කරන ලෙස ඒ ජනාධිපති ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ ඉල්ලීම ඇසූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යන කණ්ඩායම් පිලිපීන ජනාධිපතිට විරුද්ධව ඔළුවෙන් හිටගෙන දඟලන්නට පටන් ගත්හ. ඒත් ජනාධිපතිතුමා ඒ ගැන තුට්ටුවක තැකීමක් කළේ නැත. මෙවැනි මෙහෙයුම්වල තිබෙන ලොකුම වරද වන්නේ කුඩුකාරයන් ලෙස නම්කර අහිංසක විරුද්ධවාදීන් ද ඝාතනයට ලක්වීමය. පිලිපීනයේ පාතාල සංහාරයේදී සාමාන්‍ය ජනයාගෙන් 1% ක් පමණ පෞද්ගලික පළිගැනීම්වලට ලක්විය. මහජනතාව අතට නීතියේ ආධිපත්‍යය ලබාදුන් කල්හි මෙවැනි වැරදි සිදුවේ. එහෙත් පෙරකී ජනාධිපතිතුමාගේ පාතාල සංහාරයෙන් පසු පිලිපීනයේ පාතාල ක්‍රියාකාරකම් 80% න් පමණ අඩු විය. අප ඉහත සඳහන් නිදසුන ගෙන දැක්වූයේ ක්‍රියාත්මක කිරීමට නොව දැනගෙන සිටීම පිණිසය.

advertistmentadvertistment
advertistmentadvertistment