ඩුබායි යන්නේ බලාගෙනයි

5905

මිහිපිට සුරපුර හා මිහිපිට අපායේ ඇතුල් පැත්තේ කතා…

රස්සාවක් කරගෙන හොඳට ජීවත් වෙන අයත් ඉන්නවා!

සේවා සපයන මුවාවෙන් අන් අය අමාරුවේ දාන අමුතු ගැහැනියක්!

නීත්‍යානුකූලව යනවා නම් ප්‍රශ්නයක් නෑ

විසිට් වීසාවලින් ගියොත් අනාථයි.

මහා කාන්තාරයක් මැද පිහිටියත් “ඩුබායි” කියන්නේ මේ ලෝකෙ මිහිපිට සුරපුරය. හුඟක් අය එහෙම හිතුවා. ඇත්ත තමයි. අහස සූරන තට්ටු සිය ගණන්වල බිල්ඩින්, මහේශාක්‍ය මහ මන්දිර, ධාවනපථ දහය දොළහ එක පැත්තට වැටි මං මාවත්, ගැට ගැහුනු ගුවන් පාලම්, යටින් දිවෙන උමංමාර්ග, උඩින් දිවෙන විදුලි දුම්රිය මාර්ග, මේවා මැද අලංකාර මලින් සැදී උද්‍යාන, ඒ උද්‍යාන මධ්‍යයේ අරාබි නිසොල්ලාසය මතක් කරවන මහා මන්දිර, අලංකාර දේවස්ථාන, සමුද්‍රාසන්න ජලඋද්‍යාන. මෙන්න මේ වගේ ඇස් නිලංකාර කරවන විසූක දස්සන කොතෙක්ද.

මේ චමත්කාරය විඳින්න, මේ නිදහස අයිති කරගන්න ලෝකේ පුරාම ඉන්න ධනකුවේරයෝ, කුලවතුන් බලවතුන් ධනවතුන් සුකුමාර ජීවිත ගත කරන්නන් ඔක්කොම ඇදෙන්නේ ඩුබායිවලට. සල්ලි තියෙනවනම් ලෝකෙ ඉන්න ඕනම කෙනෙකුට නිදහසේ ඉන්න හොඳම තැන තමයි ඩුබායි. ඒකයි මිහිපිට සුරපුර කියලා කවුරුත් ඩුබායිවලටත් කිව්වේ. අනිත් එක ලෝකෙ තියෙන අංක එකේ තරගකාරී ආර්ථික මර්මස්ථානයක් නිසා සල්ලිවලට කරන්න දෙයක් නැති සල්ලි කාරයෝ ඩුබායි මුල් කරගෙන බිස්නස් කරනවා. ඔන්න ඕක හින්දා අද ලෝකෙ ඉන්න ඉංජිනේරුවෝ, ගණකාධිකාරිවරු, අයි ටී වැඩ්ඩො, චෙෆාලා වගේම මූල්‍ය කළමනාකරුවන්ගේ ඉඳලා පටන් ගත්තම සෙකියුරිටි හා සුවසේවා කම්කරුවා දක්වා රැකියා අවස්ථා ලක්ෂ ගණන් ඩුබායිවල බිහිවෙලා. ඒව කරන්නත් උගත් නූගත් පුහුණු නුපුහුණු කම්කරුවෝ ලක්ෂ ගාණක් ඩුබායිවල ඉන්නවා කියල කිව්වොත්… ඒක ඉතිං අතිශයෝක්තියක් නම් නෙවෙයි.

හැබැයි එකම කාසියක දෙපැත්ත වගේ මතුපිටින් පේන මිහිපිට සුරපුරයට යටින් ඩුබායිවල මිහිපිට අපායකුත් තියන බව අමතක කරන්නත් නරකයි. ඒ මොකද සල්ලිකාරයෝ ඩුබායිවලට එනවා කිව්වම එන්නේ ඔක්කොම හොඳ මිනිස්සු විතරක් නෙවෙයි. මුළු ලෝකයෙම ඉන්න අංක එකේ ජාවාරම කාරයොයි, කුප්‍රකට ව්‍යාපාරිකයොයි, මත්ද්‍රව්‍ය වෙළෙන්දොයි, දාමරිකයොයි කළු සල්ලි සුදු කරගන්න එන ජල්තර කාරයෝයි ඔක්කොම බහින තැනත් ඩුබායි ම තමයි. ඉතින් කොහොමට ඇත්ද හිතන්න.

අද මෙන්න මේ විදිහෙ සේවා සපයන්න, ජොබ් කරන්න ඩුබායිවලට පිටරටවල්වලින් ගිය පිරිස ඩුබායිවල ජීවත්වෙන අරාබි ජාතිකයන්ටත් වඩා වැඩියි කියලයි කියන්නේ. ඒකෙනුත් වැඩිපුරම ඉන්නේ (27%) ඉන්දියන් කාරයෝ. පාකිස්තානය, බංග්ලාදේශය, පිලිපීනය යනාදී වශයෙන් ගණන් බැලුවාම ලංකාවට හිමි වෙලා තියෙන්නේ හත්වෙනි තැන (3.17%). හැබැයි ගාණ පුංචි නෑ. ලක්ෂ තුන හමාරකට වඩා අපේ එවුන් ජොබ් කරන්න එහේ ගිහින් ඉන්නවා කියලයි 2023 අලුතෙන්ම ගණන් බලාපු සංඛ්‍යාලේඛනවලත් තියෙන්නේ.

ඔය අතරෙ ඉංජිනේරුවෝ, ගණකාධිකාරිවරුන්, බැංකුකරුවො, නිර්මාණ ශිල්පියෝ, තොරතුරු තාක්ෂණ ශිල්පියෝ කෝකිවරු වගේ හොඳ වැදගත් වෘත්තිය වටිනාකමක් තියෙන රස්සා කරන අයත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. හැබැයි ඉතින් ගෘහසේවක සේවිකාවො, රියැදුරෝ, මුරකරුවෝ, කම්කරුවෝ වගේ අය වැඩියි. ඒ අතර රැකියා නොකර එක එක හොර බිස්නස්වලින් හරි හම්බ කරන ජාවාරම් කාරයොත් නැතුවා නෙවෙයි. ලංකාවේ මිනීමැරුම් මං කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ අපරාධ හා අරගලවලට සම්බන්ධ එව්වොත් වැඩිපුරම දැන් ආරක්ෂාවට මෙහෙන් පැනලා ගිහිං ඉන්නෙ ඩුබායිවල කියලා කවුරුත් දන්නවා. සල්ලි තියෙනවනම් ඔය කොයි කාට වුණත් ආරක්ෂා වෙලා ඉන්න හොඳම තැනක් තමයි ඩුබායි. ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන එවුන්ගේ මහ මොළකාරයෝ ඔක්කොම ටිකත් දැන් ඉන්නේ ඩුබායිවල කියන එකත් රහසක් නෙවෙයි…

හැබැයි මං මේ කියන්න යන කතාව නං මේ අය ගැන නොවෙයි. මේ අයත් පසුබිමේ ඉන්නව තමයි. හැබැයි මම මේ කියන්න යන කතාවේ කර්තෘ කාන්තාවක්. අපි එයාට දාමුකෝ අන්වර්ථ නමක්. එතකොට කතාව කියන්න හරි ලේසියි. මෙයාට අපි “කෝසලා” කියලා කියමුකො. වැඩ කරන්නේ ඩුබායි වල තියන “තසීල් සෙන්ටර්” කියලා ආයතනයක. උන්දැත් “ඩුබායි සරණං ගච්ඡාමි” කියලා රස්සාවට ගිහින් වැඩි කලක් නෑලු. ගිය අවුරුද්දෙ අවසාන කාර්තුවේ රස්සාවට බැඳුණා කියලයි සංඛ්‍යාලේඛනවලින් කියවෙන්නේ. ආරංචියෙ හැටියට අනුරාධපුරේ පැත්තේ අම්මණ්ඩි කෙනෙක්.

අපි බලමු දැන් මෙයාගේ රස්සාව මොකක්ද කියලා…. ඇත්තම කියනවනම් මෙයාගෙ රස්සාව ලංකාවෙන් රැකියා කරන්න ඩුබායි ගිහින් එහේ නීතිය නෙදන්නාකම නිසා නීතිය ඉදිරියේ අසරණ වුණ අපේ අයට සේවා සපයන්න මග පෙන්වන එක. ඉතින් ඒක හොඳ වැඩක්නෙ. ඒත් අපි බලමු මෙයා ඒ මුවාවෙන් මොනවද කරලා තියෙන්නෙ කියලා.

ඩුබායිවල රස්සාවක් හොයාගන්න එක වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, ගෘහ නිර්මාණ ශිල්පී, කෝකි, වගේ උසස් වෘත්තින්වලට ප්‍රශ්නයක් නෑ. ඒජන්සියක් මාර්ගයෙන් හෝ අන්තර්ජාලයෙන් ඒ වගේ රස්සාවක් හොයාගෙන නීත්‍යනුකූල ක්‍රම මගින් ඉල්ලුම් කළාම එයාලට වුවමනා job visa රැකියා බලපත්‍ර ඔක්කොම ලැබෙනවා. හැබැයි ඉතින් ගෘහසේවිකා කම්කරු මට්ටමින් ඩුබායිවල වැඩට යන අය තමයි හුඟක් දුරට මේ කියන අවුල් වියවුල්වලට මාට්ටු වෙන්නේ. අපි බලමු කොහොමද ඒව වෙන්නේ කියලා.

අපේ කට්ටිය රැකියා ඒජන්සි ආයතන මාර්ගයෙන් ගෘහ සේවිකාවන් ලෙස, ඉදිකිරීම් කේෂ්ත්‍රයේ කම්කරුවන් ලෙස, වෙළෙඳ ආයතන සේවක සේවිකාවන් ලෙස, උද්‍යාන හා වැඩබිම් කම්කරුවන් ලෙස රැකියා සොයාගෙන ඩුබායි යනවා. හැබැයි ඒ ගියාම තේරෙන දෙයක් තමයි ඔවුන් ඒජන්සියක් සමඟ නීතියෙන් බැඳිලා ඇවිත් කරන රස්සාවට වඩා වැඩි පඩි ලබන රස්සාවල් ඕනතරම් පිටස්තර සමාජයේ විවෘතව තිබෙන බව. ඉතිං අපේ අයියලා අක්කලා මොකද කරන්නේ. රස්සාවෙන් පනිනවා. ඔන්න ඔය වගේ අය තමයි මෙන්න මේ අප්සට් කේස්වලට මාට්ටු වෙන්නේ. ඒ විතරක් නොවෙයි. තව තියනවා.

අනිත් එක තමයි ඒජන්සිවල මාර්ගයෙන් විදේශසේවා එක හරහා ඩුබායි ගියාම ඉස්සරවෙලාම රස්සාවක් කරන්න වෙන්නේ අඩු පඩියට බව දැන් සමාජය දන්නවා. ඔන්න ඉතින් ඒකට අපේ එවුන් විකල්පයක් හොයා ගත්තා. ලංකාවෙන් “විසිට් වීසා” එකක් ගහගෙන අතින් ටිකට් අරගෙන ඔන්න යනවා ඩුබායි. වීසා එක දෙන්නෙ සතියයි දෙකයි නැත්තං වැඩිපුරම මාසයයි. ඊට පස්සේ job market එකෙන් තමන්ට ගැළපෙන මොකක් හෝ රස්සාවක් හොයාගන්නවා. යාළුවෙක්ගේ හරි අඳුරන කෙනෙක්ගෙ හරි නවාතැනක ගජේ ගහගෙන නතර වෙනවා. වීසා එකේ කාලේ ඉවර වෙන්නේ සතියෙන්ද දෙකෙන්ද. ඔන්න ඊට පස්සෙ තමයි එයාලටත් බඩේ රුදාව හැදෙන්නේ.

ඒ මොකද දන්නවද… විසිට් වීසා එකකින් ඩුබායි ඇවිල්ලා අදාළ කාල සීමාව ඉවර වුණාට පස්සේ වීසා එක නිකුත් කරන්න ඇප වුණු කොම්පැණිය ආගමන විගමන එකට දැනුම් දෙනවා… මෙන්න මේ අහවලාගේ වීසා කාලය දැන් ඉවරයි. මෙතැනින් පස්සේ එයා ගැන අපේ කිසිම වගකීමක් නෑ කියන පණිවිඩය. අර නීත්‍යනුකූල ක්‍රමවලින් ඇවිල්ලා රස්සාවලින් පැනලා එලියට යන අයටත් ඔය සන්තෑසියම තමයි. වීසා එක දීපු අය කියනවා මෙයාලා පැනලා ගිහිල්ලා. ආගිය අතක් නෑ… මෙතනින් පසු අපේ වගකීමක් නෑ කියලා.

ඩුබායි ආණ්ඩුවෙන් ඊට පස්සේ නිකුත් කරනවා ඒ අය වෙනුවෙන් දඩයක්. දඩය දවසට ඩිරාම් පනහයි. එහේ ඕකට කියන්නේ absconding ගහනවා කියලා. absconding වැදිච්ච කෙනෙක් පාරෙදි හරි රස්සාවක් කරද්දි හරි පොලිසියට අහු වුණොත් හිරේ තමයි. අනිත් එක එහෙම අයට රස්සා දෙන්න කවුරුත් කැමතිත් නෑ. absconding වැදුණම පාස්පෝට් එක බලපු ගමන් ඒක අහු වෙනවා.

හැබැයි ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවට ඒ දඩය ගෙවලා අලුතෙන් වීසා එකයි වර්ක් පර්මිට් එකක් හදාගත්තාම තමන් කැමති තමන්ට ගැළපෙන ඕනෑම තැනක රැකියාව කරන්න එයාලට අවසර ලැබෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අන්න ඒ දඩය ගෙවන්න, අන්න ඒ ලියකියවිලි ටික හදාගන්න අපේ මිනිස්සුන්ට පාර පෙන්නන්න කෙනෙක් නැති එක. එක එක ජල්තරවලට ඔවුන් අහුවෙන්නෙ එතනින් තමයි.

තව කට්ටියක් ඉන්නවා ඩුබායි ඇවිල්ල හොඳට රස්සාව කරගෙන වැදගත්කමට ජීවත් වෙනව. කලක් ගිහින් එයාලා එහේ ස්ථාවර වුණාම බිරිඳයි දරුවොයි ගෙන්න ගන්න ඕන වෙනවා. එතකොට එයාලට වීසා හදාගන්නත් ඩුබායි ආණ්ඩුවේ ආගමන විගමන එකේ සහයෝගය වුවමනයි. මෙන්න මේ වගේ එකක් දෙකක් නෙවෙයි. එතකොට බිස්නස් රෙජිස්ටේ්‍රෂන් එකක් ගන්න. ඔය වගේ විවිධ අවශ්‍යතාවලට ඩුබායි ආණ්ඩුවේ සහයෝගය ගන්න ඩුබායිවල සේවය කරන හැමෝටම ආණ්ඩුවේ පය පාමුලට යන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ මොකද ඩුබායිවල ඕනම දේකට නිදහසක් තියෙනවා කියල කිව්වට එහේ නීති හරි තදයි. පොලිසිය හරි දියුණුයි. කිසිම කෙනෙකුට ඩුබායි රටේ වීසා එකක් නැතුව, රැකියා බලපත්‍රයක් නැතුව හොර රහසෙ හැංගිලා ඉන්න අවකාශ නෑ. නීත්‍යනුකූලව අවශ්‍ය බලපත්‍ර ලිය කියවිලි ඔක්කොම හදාගන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් සල්ලි ලොකුවට තියනවනම් ඔය කියන දේවල් එකක්වත් ප්‍රශ්න නෙවෙයි.

ප්‍රශ්නේ කියන්නේ අපේ එවුන්ට සල්ලි වියදම් කරන්න බැරි එකනේ. ඒක හින්දා අපේ අයියලා කෙටි පාරවල් හොයාගෙන වෙට්ටු දාන්නයි නිතරම උත්සාහ කරන්නේ.

මෙන්න මේ විදියට ආණ්ඩුවෙන් immigration එකෙන් වැඩ කරගන්න නීත්‍යනුකූල ලිපි ලේඛන කටයුතු සිද්ධ කරගන්න ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල හා කොන්සල් ජනරාල් කාර්යාල නිරතුරුව විවෘතයි. ඒ වුණාට හැමෝටම එතෙන්ට ගිහිල්ලා එකපාර කෙළින්ම වැඩ කරගන්න හයියක් නෑ. ඒක හින්ද ඒ කටයුත්තට පහසුකම් සපයන්න ඩුබායි රජයම සූදානම් කළා අර්ධ රාජ්‍ය ආයතනයක් (AMIR) අමිර් ආයතනය කියලා.

අමිර් ආයතනයට වැඩ කරගන්න එන දහස් සංඛ්‍යාත ජනතාවට පහසුකම් සලසන්න තමයි “තසීල් සෙන්ටර්” කියන පුද්ගලික ආයතනය බිය වුණේ. එයාලා යම් සේවාවක් සපයලා, අමීර් එක සමග කතාබහ කරලා දඩ මුදල් පවා අඩු කරවලා දෙන සම්බන්ධීකරණ සේවාව සපයනවා කිව්වොත් බොරු නොවෙයි.

එතන ඉන්නවා කාමරවල counter සිංහල දෙමළ ඉංග්‍රීසි හොඳින් දන්න නෝනල මහත්තුරු. කරදරයට ලක්වුණ අය එතනට ගිහිල්ලා එයාලාගෙන් කෙනෙක්ට තමන්ගෙ විස්තර ටික ඔක්කොම සපයනවා. ඒ අය කාරුණිකව විස්තර ටික රජයෙන් ලබා දීපු ආකෘතිපත්‍රවල පුරවලා බිල් පතක් ලබා දෙනවා. ඒ බිල්පත එතන තියෙන නීත්‍යනුකූල කවුන්ටරයට ගෙව්වම තසීල් ආයතනය මොකද දන්නවද කරන්නේ..? ඒ ලියකියවිලි ටිකයි අදාළ මුදලයි ඔක්කොම අමීර් එකට භාර දෙනවා. අමීර් එක අතරමැදියා ලෙස තානාපති කාර්යාලය හරහා ඩුබායි ආණ්ඩුවෙන් එකී සේවාදායකයාට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා දඩ මුදල් ගෙවා නීත්‍යනුකූල මුදල් ගෙවා සේවාව සලසා දෙනවා.

මුලින් අර තසීල් එකෙන් මුදල් ලබා ගනිද්දී එයාලා ගණන් හදන්නේ සියලු සේවාවන් සඳහා වැඩිපුර මුදලකුත් එක්ක. වංචාවක් එතන නෑ. ඒ ඒ කටයුතුවලට දඩවලට මුදල් වැයවූ පසු ඉතුරු යමක් වේ නම් ඒ මුදලත් ආපසු සේවාදායකයාට ලබා දෙනවා. ඒ වගේම දඩය අඩුකරලා දෙන්නත් මැදිහත් වෙනවා. ඇත්තම කියනවා නම් තසීල් ආයතනය සලසන්නේ සේවාවක්. ඒක හොඳ වැඩක්. ඒ ආයතනය අයිතිකාරයා මර්වාන් කස්කියූස් නම් ඩුබායි ජාතිකයෙක් වුණත් හොඳ මිනිහෙක්. ඒත් ඉතින් මේ ප්‍රශ්නය මතු වුණේ ඒ ගොල්ලගෙන් නෙවෙයි. කෝසලා කියන කාන්තාවගෙන්.

කෝසලා බොහොම සූක්ෂ්ම කාන්තාවක්. බැලූ බැල්මට සිත්ගන්නාසුලු තරුණ පෙනුමක් තියෙන ඇයට ඕනම කෙනෙක් නම්ම ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ඇයට ඉස්සෙල්ලම අහුවුණේ “ඩුබායි අත්වැල” කියන ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන ශවේන්ද්‍ර සිං කියන ලංකාවේ පුද්ගලයෙක්. තසිල් ආයතනයෙන් සලසන සේවාව ගැන ඔහු ඔහුගේ වෙබ් අඩවියේ ලොකු විස්තරයක් කරනවා. ඒත් එක්කම අපේ කතානායිකාව, ඒ කියන්නේ කෝසලාව නීති උපදේශකවරියක් කියලා ජනතාවට හඳුන්වා දෙනවා.

හැබැයි ඉතින් ඔහුත් මේ වැඩේ සද්භාවයෙන් කරන්න ඇති කියලා කියල තමයි හිතෙන්නේ. ඒ මොකද පස්සේ, තමන් කරපු වැඩේ නිසා රැවටිලා අවසානයේ ලංකාවේ මිනිස්සු දාස් ගණන් වංචාවල්වලට අහුවෙලා අමාරුවේ වැටෙන කොට මිනිහටත් දරාගන්න බැරිවෙන්න ඇති.

ශවින්දර් කෝසලාව වෙබ්සයිට් එකෙන් ජනතාවට අඳුන්වලා දෙනවා විතරක් නෙවෙයි. ඊට පස්සේ එයාව (මේ සිද්ධියට අහුවුණ මිනිස්සු කියන විදිහට) තානාපති කාර්යාලයට හා කොන්සාල් ජෙනරාල් කාර්යාලයටත් හඳුන්වා දෙනවා. මෙන්න මේ රෙකමදාරුව මත ඇය පහුගිය පෙබරවාරි මාසේ ලංකාවේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන “ජාතිකදින උත්සවය” දවසේ එතන කවුන්ටරයක් විවෘත කරගෙන පූර්ව ප්‍රචාරක වැඩ සටහනක යෙදෙනවා.

ඇය මෙතනදි කියලා දෙනවා ඇබ්ස්කොන්ඩින් absconding භාවයෙන් මිදෙන්නේ කොහොමද, දඩ ගෙවලා වීසා ගන්නේ කොහොමද, අලුතින් ඩුබායිවල ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද, වීසා බලපත් දික් කරගන්නේ කොහොමද, පවුලේ අයව එහාට ගෙන්වනවා නම්, ඔවුන්ට අලුතෙන් වීසා බලපත් ඉල්ලුම් කරලා ලබාගන්නේ කොහොමද ආදී අපේ අයට අවශ්‍ය කරුණු ගොඩක්. ඒක ඉතාම සාර්ථක වැඩසටහනක් ලෙසයි කවුරුත් දැක්කෙ.

ඊට පස්සේ තසිල් ආයතනයේ කෝසලාගේ කවුන්ටරය හොයාගෙන වැල නොකැඩී මිනිස්සු ඇදී එන්න පටන් ගත්තා. අනිත් කවුන්ටර හිස්. ඒත් කෝසලාගේ කවුන්ටරයේ පෝලිම. කෝසලා ජනප්‍රිය කාන්තාවක් වුණා. ඇයට මේ තරම් ඉල්ලුමක් ඇයි කියලා තසීල් හිමිකරු මර්වාන් කස්කියූස් මහතාත් මවිතයට පත් වුණා.

ඩුබායි වල වැඩිම වර්ක් පර්මිට් ගාණක් තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ පකිස්තානයේ බංගලිදේශයේ, පිලිපීනයේ ඉරානයේ, ඊජිප්තුවේ, නේපාලෙ කාටවත් නැති ප්‍රශ්න තමයි ලංකාවෙ අයට තියෙන්නේ….” තසීල් හිමිකරු මර්වාන් කිව්වා.

හැබැයි ඉතින් ලංකාවේ “ප්‍රශ්න පෝලිම” මෙච්චර දික් වුණේ කෝසලා ගහපු දහං ගැටයක් නිසා කියලා මර්වාන් දැනං හිටියේ නෑ.

කෝසලා එතෙන්දි උපක්‍රමයක් පාවිච්චි කරමින්, ඉක්මනට වැඩ කරල දෙන්න නම් තසීල් එකේ කවුන්ටරයට සල්ලි නොගෙවා වෙනත් ගිණුමකට සල්ලි බැර කරන ලෙස ඉතා සුහදව සේවාදායකයන්ට යෝජනා කළා. හැබැයි ඒ ගිණුම කෝසලාගේ පුද්ගලික ගිණුමක් බව කලින් හුඟ දෙනෙක් දැන හිටියේ නෑ.

අන්තිමේ එහෙම සල්ලි පිටට ගෙවපු බොහෝ දෙනෙක්ට absconding දඩ මුදල්වත්, අලුතෙන් වීසා බලපත් ගාස්තුවත්, වෙනත් බලපත්‍ර ගාස්තුවත් ගෙවා දමා සේවාව ඉටු කර දෙන්න ඇය මහන්සි වී තිබුණේ නෑ. ඒ වෙනුවට ඔවුන් නිතර ගෙන්වමින් නිතර රස්තියාදු කරමින් ආපසු යවමින් කල් මරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන් ගත්තා.

මේ තත්ත්වය උදා වෙනකොට මේ කියන අසහනයට පත් වුණ අපේ මිනිස්සු සමහරු ඩිරාම් 1000 සිට 10,000 දක්වා වියදම් කරලා. තවත් සමහරු ඇයගේ ගිණුමට ඩිරාම් 30,000ත් දාලා. ඩිරාම් 1000ක් කියන්නේ කීයක්ද දන්නවද…. රුපියල් 90,000ක්. අයියෝ සාමී කියලා හිතෙන්නේ නැද්ද.

මේ විදියට දවසින් දවස එකතුවෙන දඩ මුදල් ගෙවා ගන්න බැරුව අසරණ වුණ සමහරු පැමිණ කෝසලාට මේ බව ඇවිටිලි කරන්නට වුණා. ඒවාට නම් ඇය සතු උත්තර බොහොමයි. අර කිල්ලට අහුවෙලා වගේ උත්තර…

“මොකක් හෝ වැරැද්දක් තියෙනවා. මම ඔක්කොම හරියට කළානේ. මම වීසා එක ගහලා වැඩේ හරිගස්සලා දෙන්නම්. හැබැයි එතකම් ඔයා මෙහෙ ඉන්න එපා. ලංකාවට යන්න. වීසා එක රෙඩි වුණාම දන්වන්නම්. එතකොට එන්න.” ඇය සමහරුන්ට එහෙම කිව්වා. කියලා ඒ අයව නොමග යවලා ආපහු ලංකාවට එව්වා. හැබැයි එහෙම ආපු ගොඩක් අය දැනගෙන හිටියේ නෑ, තමන් එහෙ තියෙන දඩය නොගෙවා ආපහු මව් රටට ගියාම ආයෙත් කවදාවත් ඩුබායි රටට අඩියක් තියන්නවත් ඒ අයට ඉඩක් නෑ කියලා. අන්තිමේ වීසා එක හරි යනකන් තාවකාලිකව ලංකාවට ආපු බොහෝ දෙනකුට සිදු වුණේ තමන්ගෙ බඩු මුට්ටු ටික, හම්බ කරපු දේවල් එහේ කාමරේ දාලා මෙහාට වෙලා බකන්නිලාගෙන ඉන්ඩ විතරයි.

මේ අයුරින් නොයෙකුත් වංචාවන් නිසා අසහනයට හා අමාරුවට පත් වෙච්ච ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව දැන් දවසින් දවස ඉහළ ගිහින්. සිය ගණනක් ලංකාවට ඇවිත්. තවත් සිය ගණනක් කට්ටි පැන පැන පොලිසියට වහන් වෙවී එහෙට වෙලා රැකියාවකුත් නැතුව තැන තැන හිටියත් කෝසලා නිසි උත්තරයක් දී තිබුණේ නැහැ…

දවසකට සීයක් දෙසීයක් විතර ලාංකිකයෝ මේ දුක කියාගෙන තසීල් ආයතනයට ආවත් කිසිවෙකුට විසඳුමක් ලැබුණේ නෑ. details වල යම් වරදක් ඇතැයි කියමින් කෝසලා ඉතා සූක්ෂම ලෙස ඒ ප්‍රශ්නය සේවාදායකයා මතම පටවා තැබුවා. බොහෝ දෙනා කලබල කරන්නට නොගියේ ප්‍රශ්න ඇති වුණොත් නීතිය තව තවත් තමන්ට අවාසි වන බව දැනුවත් නිසා වන්නට ඇති.

මේ විදියට සීමාවන් සපයාගන්න කෝසලාගේ බැංකු ගිණුමට බැර කළ මුදල කොච්චරද කියල කියන්න කිසි කෙනෙක් ළඟ ගණන් මිනුම් තිබුණෙත් නෑ. තම රිසිට් තිබුණට අනිත් අය ඔක්කොම ගෙවපු ගණන් කොච්චරද. ඒ වගේ හොර පාරෙන් වෙට්ටු දාන වැඩ කරගන්න ගිහින් අනාථ වුණ අය තනි තනිව දුක විඳ දරා ගත්තා මිස කාටවත් කියන්න ගියෙත් නෑ. හැබැයි ඉතින් මේ ගැන කතා වුණු ෆේස්බුක් පිටුවල whats app group වල මේ විස්තර දෝරෙ ගලාගෙන හුවමාරු වන්න පටන් ගත්තට පස්සේ කෝසලාටත් රාජකාරිය තරමක් දුෂ්කර වුණා. ඇය පසු පාදයේ ක්‍රීඩා කරන්නට පටන් ගත්තේ ඊට පස්සේ.

කෝසලා වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වලා නීතියේ පිළිසරණ පතන්න තරම් පැමිණිල්ලක් කරන්න මේ ඉන්න සේවාදායකයන් බය වුණේ ඇගේ පැත්තටත් යම්කිසි පිරිසක් වගකිව යුතු යම් යම් තැන්වල බලවත්ව හිටපු නිසා කියලයි කියන්නෙ. කොහොමත් ඉතින් ජල්තරවලට තියෙන තැන ජෙනුයින් වැඩවලට කොතනකවත් ලැබෙන්නේ නෑනේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා හිත හදාගන්න අපේ මිනිස්සුන්ට සිද්ධ වුණා.

අන්තිමේ කෝසලාගේ මේ ජල්තර වැඩ හා වෙට්ටු දැමිලි තසීල් ආයතනයටත් බරපතළ ප්‍රශ්නයක් වුණා. ඇය නීති උපදේශක ලෙස සමාජයේ පෙනී සිටියත් නීතිය ගැන මළපොතේ අකුරක් දැනන් හිටියේ නෑ. හැබැයි ඉතින් වචනවලින් මිනිස්සු නවලා ගොනා කරවලා බොක්කටම බේත් කවලා මිනිස්සු දැපනේ දාගන්න අවශ්‍ය මායං හා සෙල්ලන් ටික හොඳට දැනං හිටියා. ඈ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.

ඇය දැන් වගකිවයුතු කවුන්ටර වල රාජකාරියෙන් ඉවත් කරල කියලයි ආරංචි. තවමත් පිළිගැනීම් නිලධාරිනියක ලෙස තසීල් එකේ සේවය කරන මේ කාන්තාව ගැන හරිහමන් පරීක්ෂණයක් කරලා අසහනයට පත් වුණු අපේ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරන්නේ කවදාද කියලා ඩුබායිවල අපේ කට්ටිය බලන් ඉන්නවා. තනි තනිව වුණත් ඔවුන් ළඟ මේ ජල්තර වැඩ ගැන විස්තර ගොඩයි. ඉදිරියෙදි ඔවුන් ඒ විස්තර අපට දේවි.

අපි ඒවා විෂයබාර ඇමැතිට යොමු කරනවා. විදේශ සේවා කාර්යාංශයත් ඒ විෂය පථයත් භාරව ඉන්නේ හොඳ මාධ්‍යවේදියෙක්. වැදගත් මහත්තයෙක්. අපේ හිතවතෙක්. ඒ තමයි මනුෂ නානායක්කාර මැතිතුමා. ඔන්න අපි, අපට කරන්න පුළුවන් දැනුවත් කිරීම ඔබ වෙනුවෙන් කළා… දැන් බලමු ඔබ කාගේ පැත්ත ගනීවිද කියලා. ලස්සන කෝසලා නෝනගේ ද… නැත්නම් ඩුබායි රස්සාවක් කරන්න රට ගිහින් අසරණ වුණ දහස් ගණනක් අපේ මිනිස්සුන්ගේද…? මනුෂ මල්ලියේ… ඔන්න කරනවානම් වැඩ.

මතු සම්බන්ධයි

තොරතුරු
[email protected] ලිපිනයට එවන්න.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment