ඩුබායි වර්ණවත් කළ සිංහබාහු අසිරිය

233

මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර ජීවත් ව සිටියා නම් ඔහු තම 108 වන ජන්ම දින උත්සවය සමරන්නේ ජුනි 3 වැනිදා ය. 1914 ජුනි 3 වැනි දින ගාල්ලේ රත්ගම දී උපන් එතුමා 1996 අගෝස්තු 16 වැනි දා තම දිවි සැරිය නිමා කරන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ විශිෂ්ටතම ප්‍රාඥයකු, ශාස්ත්‍රඥයකු මෙන් ම සිංහල නාට්‍ය වංශ කතාවේ දිදුලන ඓතිහාසික වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කළ මහා නාට්‍යවේදියා ලෙස ද ගෞරවයට හා කීර්තියට පාත්‍ර වෙමිනි. එතුමන් ගේ එකසිය අට වන ජන්ම දිනයේ දී ඇරැඹුණු අසිරිමත් සිදුවීමක සංක්ෂිප්ත සටහනක් ලිවීම මේ ලිපියේ අරමුණ ලෙස සඳහන් කරමි. සිංහල නාට්‍ය වංශ කතාවේ මුදුන් මල්කඩ ලෙස විවාදයකින් තොරව පිළිගැනෙන මනමේ හා සිංහබාහු නාට්‍ය ද්වය අතරින් විචාරක සම්භාවනාවට පාත්‍ර වී ඇති සිංහබාහු නාටකයේ රැඟුම් වාර දෙකක් සඳහා එම නාට්‍ය කණ්ඩායම ඩුබායි නගරය බලා පියාසර කිරීමේ අසිරිමත් අවස්ථාව ජුනි තුන්වැනි දා උදා වී තිබිණ. 1995 දී තරම් ඈත කාලයක සිංහබාහු නාටකය ඩුබායි හි රඟගත වීමෙන් අනතුරුව දශක දෙකකට පමණ පසුව සිංහබාහු වැනි නාටකීය ගුණයෙන් හා ඉන් ප්‍රකට කෙරෙන ජීවන ප්‍රවෘත්තියේ සාර්වත්‍රික අගයෙන් යුතු නාට්‍ය නිර්මාණයක් ඩුබායි වැනි නගරයක ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවේ රඟ දක්වන්නට ලැබීම අසිරියක් නොවන්නේ ද?

ඩුබායි වර්ණවත් කළ සිංහබාහු අසිරිය

මැදපෙරදිග ඩුබායි ප්‍රමුඛ නගරවල වෙසෙන බහුතර ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවගේ විනෝදාස්වාදය සඳහා මෙතෙර සිට එහි ගොස් ඉදිරිපත් කෙරෙන විවිධ සංගීතමය හා වේදිකා නාට්‍ය රංගන ඇතුළත් ක්‍රියාකාරකම් වාර්ෂිකව සිදුවීම් එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට අමුත්තක් නොවේ. වේග රිද්මයේ සංගීතය රැගත් ගායන ඇතුළත් හෝ හුදු හාස්‍ය රසයට මුල් තැන් දුන් නාට්‍ය රංගන ඇතුළත් වැඩ සටහන් රස විඳින්නට පුරුදු ව සිටි ප්‍රේක්ෂාගාරයක් හමුවට සිංහබාහු වැනි නාට්‍යයක් රැගෙන ගොස් ඔවුන්ගේ රසවින්දනය ඔසවා තැබීමට උත්සාහ කිරීමේ අගනා වටිනා එහෙත් විශාල අවදානමකින් යුතු කාර්යයකට ඉදිරිපත්වන්නෝ මෙවන් කාලයක සිටිත් ද යන්න ප්‍රශ්නයකි. එහෙත් එම අවදානම හිසට ගෙන විසි දෙනෙකුගෙන් සමන්විත සිංහබාහු නාට්‍ය කණඩායම ඩුබායි නගරයට කැඳවා ගොස් දර්ශන වාර දෙකක් රඟ දැක්වීමේ සියලු බරපැන හා අවදානම දැරූ තරුණයන් තිදෙනෙකු අපට හමු විණ. පාසල් සමයේ සිංහබාහු නරඹා ඔවුන් ලද ආස්වාදය සිතින් බැහැර නොකළ මෙම යොවුනන් ත්‍රිත්වය, පසිඳු උමයංග (පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය), සුදේශ් කුලසේකර (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය) හා දුෂාන් කුරේ (කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය) කෙසේ හෝ සිංහබාහු ඩුබායි නගරයට රැගෙන යන්නේ ය යන තිර අදිටන සිතින් අත් නොහළහ. සරච්චන්ද්‍ර නාට්‍යාවලිය රැක ගනිමින් භාරකාරීත්වය දරන ලලිතා සරච්චන්ද්‍ර සමග ඔවුන් කතිකාව ඇරැඹූයේ වසරකට පමණ පෙර සිට වුවත් ඇගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු වෙනුවට ඇසුණේ ඔවුන් අධෛර්යමත් කෙරෙන පිළිතුරු පමණි. “මේ වගේ කාලෙක මෙච්චර ලොකු නාට්‍ය කණ්ඩායමක් පිටරටක ගෙනියන්න, සුමානයක් විතර බලාකියාගන්න ලොකු වියදමක් දරන්න වෙනව නේ ද පුතාලා” යනුවෙන් ඈ ප්‍රශ්න කළේ නාට්‍යයට මෙන් ම මේ තරුණ පුතුන් කෙරෙහි ද වූ දයාවෙනි. එහෙත් ඔවුන්ගේ දැඩි අධිෂ්ඨානය සැණින් ඊට පිළිතුරු සැපයී ය. “මැඩම් බය වෙන්න එපා අපි ඒ ඔක්කොම බලාගන්නවා, අපි මේකෙ අවදානම ගැන හොඳට දන්නව. ඒත් අපට ඕන කොහොම හරි මේ වැඩේ කරන්න. අපි කොහොම හරි ඩුබායිවලට සිංහබාහු ගෙනියනවා…” තරුණයන් තිදෙනාගේ නොසැලෙන අධිෂ්ඨානය හමුවේ නිරුත්තර වූ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඔවුනට ආශීර්වාද කරමින් එතෙර රංගන සඳහා සුදුසු නාට්‍ය කණ්ඩායම සංවිධානයෙහි හා පුහුණු කරවීමෙහි නිරත වූවා ය.

මහැදුරු සරච්චන්ද්‍රගේ උපන් දිනය දා ම එනම් ජුනි 3 වැනිදා විසි දෙනෙකුගෙන් යුත් සිංහබාහු නාට්‍ය කණ්ඩායම ඩුබායි බලා පියාසර කළේය. නාට්‍යයේ ප්‍රධාන චරිත හා සෙසු චරිත රඟන සියල්ලන්ම, එනම් ජනක මුණසිංහ (පොතේ ගුරු), සනත් විමලසිරි (සිංහබාහු), ජගත් කුමාර ජයසිංහ (සිංහයා), නිහාරි වික්‍රමාරච්චි (සුප්පා දේවී) තිලිණි පාරාගොඩ (සිංහ සීවලී) හා රජිත හේවා තන්ත්‍රිගේ (යුව රජ) ආදීන් ඇතුළත් වූ නළු නිළි කණ්ඩායමට අමතරව සංජය කුමාර ජයලත්, නන්දන ගුණසිංහ මද්දල වාදක යුවළ ප්‍රමුඛ සංගීත වෘන්දය ද කණ්ඩායම පිළිගෙන රැක බලා ගැනීමට සුදේශ්, දුෂාන් හා පසිඳු තිදෙනා පෙරමග බලා සිටියහ. මේ සා විශාල කණ්ඩායමකට නවාතැන් පහසුකම් සැලසීම අධික වියදම් සහිත කාරණයක් වූව ද ඒ පිළිබඳ විශේෂ අවධානයක් සහිතව කටයුතු කළ තරුණයන් තිදෙනා විසින් ඩුබායි හි පිහිටි නවීන පහසුකම් සහිත සුඛෝපභෝගී Studio M හෝටලයෙහි සිංහබාහු කණ්ඩායමට නවාතැන් පහසුකම් සපයන ලදි. ජූනි 5 දා එමිරේට්ස් අන්තර්ජාතික පාසල් වේදිකාවේ Emirates International School දී සිංහබාහු රඟ දැක්වුණේ විශාල ප්‍රේක්ෂක සමූහයක් අබිමුවය. එකී ප්‍රේක්ෂාගාරයේ සිංහබාහු නැරැඹූ ඇතැමෙක් මීට පෙර ශ්‍රී ලංකාවේ දී නාට්‍යය නරඹා තිබූ අතර බහුතරයක් දෙනා පළමු වර නැරැඹූවෝ වූහ. හාස්‍යය මුල් කරගත් සංවාද නාට්‍ය හා ඝෝෂාකාරී සංගීතය පිරි‘තිරී ගිය වේග රිද්ම සංගීත ප්‍රසංග නැරැඹීමෙන් හෙම්බත් ව සිටි ප්‍රේක්ෂකයන්ගේ හදවත් සසල කළ ජීවන අනුභූතියක් රැගත් නාට්‍යයක් නැරැඹීමේ පහන් සිතින් ඔවුහු සැනැහී තුටු වී සිටියහ. නාට්‍යය ඩුබායි නගරයට රැගෙන ආ තරුණයන් තිදෙනාගේ මුහුණු ජයග්‍රාහී හැඟුමින් පිරී තිබුණේ ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සැබෑ නාටකීය අත්දැකීමක් ලබා දෙන්නට ඔවුන්ට දායක වන්නට ලැබුණේ ය යන තෘප්තියකිනි. නාට්‍යය නැරැඹීමෙන් අනතුරුව ප්‍රතිචාර දැක් වූ ප්‍රේක්ෂකයකු පැවසූයේ සිංහල නාට්‍යයක් මේ තරම් කලාත්මක හා නාට්‍යමය බව ඔහු මීට පෙර නොදැන සිටි බවයි. නාට්‍ය අත්දැකීම හා ආත්මීයව බැඳුණු කාන්තාවකගේ නෙත‘ග කඳුළක් රැඳී තිබුණේ සිංහබාහු විසින් තම පියා විද මැරූ මොහොතෙහි හා ඊට පෙර සුප්පාදේවී විසින් තම පුතුට පියා හා සටනට නොයන ලෙස ඉල්ලා සිටිමින් ඇසට නැතේ දකිනේ පුතු මාගේ ගීතය ගායනා කළ මොහොතෙහි ය. සුප්පාදේවී ලෙස නිහාරි තම භූමිකාවේ අවසන් ගීතය ගැයූ මොහොතෙහි ප්‍රේක්ෂාගාරය අත් පොළසන් හඬින් ගිගුම් දුන් ආකාරය විස්මයජනකය. තම දරු මල්ලන් ද කැටුව පැමිණ සිටි බොහෝ ප්‍රේක්ෂකයන් තෘප්තිමත් හා සතුටු සිතින් රඟහල හැර ගියේ අපූරු නාට්‍යයක් නැරැඹීමේ සතුටකිනි. නාට්‍ය කණ්ඩායම තම රංගනය නිමාකොට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් තොටුපළට එන තෙක් ම ඔවුන්ගේ දුක සැප බලා ගත් සුදේෂ්, දුෂාන් හා පසිඳු තිදෙනාගේ සහායට නිරතුරුව ම අත්වැල් බැඳ ගෙන නාට්‍ය කණ්ඩායමේ ද හොඳ හිත දිනාගත් පරිවාර මිතුරු මිතුරියන් පිරිසක් ද සංවිධායක තරුණයන් සමග සිටිනු දක්නට ලැබිණ. ශ්‍රීනාත් ප්‍රහර්ෂිණී යුවළ, ලක්නා ලක්මාල් දෙදෙනා හා රවී ආශා දෙපොළ නිරතුරුව ම නාට්‍ය කණ්ඩායම සමග තම සහෝදර සහෝදරියන් පිරිසක් රැක බලා ගන්නා අයුරින් ඔවුනට කිසිදු අඩු පාඩුවක් නොදැනෙන සේ එක් ව සිටියේ සැබෑ ශ්‍රී ලාංකික සත්කාරශීලී ගුණයට සාක්ෂි දරමිනි. ඔවුන්ගේ ඇතැමෙක් තම රැකියාවට නොගොස් නිවාඩු ලබා ගෙන සිංහබාහු කණ්ඩායමේ සුබසාධනය වෙනුවෙන් කළ කැපවීම අගය කළ යුතු ය.

නාට්‍ය දර්ශන රඟ දැක්වීමෙන් පමණක් තම යුතුකම නිම නොකළ සිංහබාහු නළු කැල ජුනි 4 වැනි දා ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ දූ පුතුන් වෙනුවෙන් නාට්‍ය වැඩමුළුවක් ද පවත්වා ඔවුන්ගේ රස වින්දනය හා ඔවුන් තුළ වූ රංගන හා ගායන හැකියාව මතු කර ගැනීමට උපදෙස් ලබා දීම ද සිදු විණ. සනත්, නිහාරී, කසුන් හා රජිත මුල්වෙමින් පැවැත් වූ වැඩමුළුවේදී කුසලතා පිරි දරු දැරියන් මෙන් ම වැඩිහිටියන් ද හමු වූ බව කියැවේ. සහභාගී වූ හය හැවිරිදි දැරියක් ලප නොම වන් සඳ ගීතය ගායනා කළා ය. ගල් ලෙන බිඳලා ගීතය ගායනයේ දී දහම් පාසල් සිසුවියන් තිදෙනකු අත්වැල් ගායනාවට සහභාගී වීය. තවත් පිරිමි දරුවෙක් ඉදිරිපත් වී රාගධාරී ගීතයක කොටසක් ගායනා කළේය. නාට්‍ය රඟ දැක්වීමට අමතරව ඉටු කළ සත්කාරය පිළිබඳව ද ඩුබායි ශ්‍රී ලාංකිකයන් නොමඳ ව සතුටු වීය. එක්සත් එමීර් රාජ්‍යයේ තානාපති මල්රාජ් ද සිල්වා නාට්‍ය කණ්ඩායම හමු වී නිෂ්පාදිකා ලලිතා සරච්චන්ද්‍ර හට කෘතඥතා තිළිණයක් පිරිනැමීම ද මේ අසිරිමත් මොහොතේ සිදු වීය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලද කෘතඥතාව මෙන් ම නාට්‍ය නැරැඹූ ප්‍රේක්ෂකයන් දැක් වූ උණුසුම් ප්‍රතිචාරය වනාහි මහැදුරු සරච්චන්ද්‍ර තම 108 වන ජන්ම දිනය වෙනුවෙන් ලද මාහැඟිම තිළිණයකැයි සිතමි.

තම මව්බිමට අවශ්‍ය විදේශ විනිමය සොයා දෙන ප්‍රමුඛයන් පිරිසකගේ රසවින්දනය ඉහළ නැංවීමෙහි ලා සිංහබාහු වැනි දෘෂ්‍ය කාව්‍යයක් විශාල වියදමක් දරමින් ඩුබායි වැනි නගරයක සංවිධානයට උරදුන් තරුණයන් තිදෙනා මෙන් ම ඔවුනට අනුග්‍රහය දැක් වූ එරට අනෙකුත් ශ්‍රී ලාංකික විප්‍රවාසීන් විසින් ද ඉටුකරන ලද්දේ ජාතික මෙහෙවරක් බව පැවසීම අතිශයෝක්තියක් නොවන්නේ ය. නාට්‍ය කණ්ඩායම
ප්‍රේක්ෂකයන්ගෙන් ලද නොමඳ ගෞරවයෙහි කොටස්කරුවන් වීමට සංවිධායක තරුණයන් තිදෙනාට අයිතියක් සතු බව කිව මනා ය. හාස්‍යය, විනෝදය ප්‍රවණතාවක් වී ඇති සමාජයක සිංහබාහු වැනි විශිෂ්ට රංගයක් එතෙරට ගෙන යෑම හා සාර්ථකව රංගගත කරන්නට හැකිවීම පවසන්නේ කලාත්මක රසඥතාව නොසිඳුණු බුද්ධිමත් තරුණ පරම්පරාවක් තවමත් අප අතර සිටින බවත් ඔවුන් නිරතුරුව ම ශ්‍රී ලාංකික නාට්‍ය කලාවේ අනන්‍ය ලකුණ විශද කරනු ලබන නිර්මාණ හඳුනා ගැනීමට හා ඒවා විප්‍රවාසී රසිකයන් අතරට රැගෙන යෑමේ උදාර මාහැඟි යුතුකම ඉටුකරන බවත් ය.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment