ඩෙංගුද  කොවිඩ්ද  ඉන්ෆ්ලුවෙන්සාදැයි  හඳුනා ගන්නේ කෙසේද?

226

මේ දිනවල බොහෝ දෙනා පවසන ශාරීරික අපහසුතාවයන් අතර ඇඟපත වේනාව සහ හිසරදය සුලභව දැකිය හැකිය. ඇඟපත තලා පොඩිකර දමා ඇති අයුරින් වේදනාවක් දැනෙන බවත් ගලක් ඔලුව උඩ තබා ඇති අයුරින් බරක් සහිතව හිසරදයක් ඇති බවත් ඔවුහු තම රෝග ලක්‍ෂණ ගැන පවසති.

 මෙලෙස රෝග ලක්‍ෂණ මතුවන විට සිහියට නැඟෙන රෝග තුනක්ද මේ දිනවල හිස ඔසවා ඇත. එනම් ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු සහ කොවිඩ් යන වෛරස රෝග තුනය. එනිසා ඇඟපත වේදනාව, හිසරදය, උණ, යන රෝග ලක්‍ෂණ මතුවූ විට අපට වැළඳී ඇත්තේ මින් කුමන වෛරස රෝගයද කියා එකවර සිතා ගැනීමට නොහැකි වේ.

 ඊට හේතුවක් වී ඇත්තේ මෙම රෝග තුනටම පොදු රෝග ලක්‍ෂණ ලෙස උණ, හිසරදය සහ ඇඟපත වේදනාව මතුවීමය.

 කෙසේ වෙතත් මෙම රෝගවලදී දැකිය හැකි ඇතැම් විශේෂ රෝග ලක්‍ෂණ අනුව වැළඳී ඇත්තේ කුමන රෝගයක්ද කියා යම්තාක් දුරට නිගමනයකට පැමිණිය හැකිය.

 රෝග නිවැරදිව හඳුනා ගැනීමට නම් නිසි වෛද්‍ය පරීක්‍ෂාවන්ට යොමුවිය යුතුය.

● ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ්
 

 මෙම රෝග දෙකෙහිදී උණ, හිසරදය සමග කැස්ස ද රෝග ලක්‍ෂණ ලෙස දැකිය හැකිය. මේවා වාතය මගින් බෝවන ස්වසන රෝගය. එනිසා ස්වසන පද්ධතියට එය බලපාන නිසා සෙම සොටු ගැලීම ආදියද මතුවේ.

 එසේම මෙම රෝග වැළඳී දින තුනක් පමණ යන විට රෝග ලක්‍ෂණ කෙමෙන් අඩුවී යයි. ඊට හේතු වන්නේ වෛරසයේ බලපෑම දින 3 කින් පමණ පසු අඩාල වී යන බැවිනි.

 එසේම මෙම රෝග එකවර පවුලේ සියලු දෙනාට වැළඳිය හැකිය. එසේ නැතිනම් එක් අයෙකුට වැළඳී පවුලේ අන් සාමාජිකයිනට දින කිහිපයකින් බෝවිය හැකිය.

● ඩෙංගු
 

 ඩෙංගුද වෛරස බලපෑමෙන් හටගන්නා රෝගයක් වුවද එහි දැකිය හැකි විශේෂ රෝග ලක්‍ෂණ වනුයේ තද උණ, තද හිසරදය, ඇඟපත පොඩිකර තලා පෙළන ආකාරයේ දැඩි වේදනාව මතුවීමය. ඩෙංගු ස්වසන මාර්ගය ආශ්‍රීතව මතුවන රෝගයක් නොවන නිසා කැස්ස, සෙම සොටු ගැලීමක් මතු නොවේ.

 එසේම ඩෙංගු රෝගය වැළඳීමේදී පවුලේ සාමාජිකයන් සියලු දෙනාට එකවර වැළඳීමක් දැකිය නොහැකිය. මන්දයත් ඩෙංගු මදුරුවා එක්වරකදී දෂ්ට කරන්නේ එක් පුද්ගලයකුට බැවිනි.

 ඒ නිසා තවත් අයෙකුට වැළඳීමට සති කිහිපයක් ගත වේ. මෙයත් වෛරස රෝගයක් නිසා දින 03 ක් පමණ ගත වනවිට සුවවීමට පටන් ගනී.

 නමුත් ඩෙංගුවල ඇති භයානක තත්ත්වය වනුයේ ඉන් මතුවිය හැකි රක්තපාත තත්ත්වයයි.

 ඩෙංගු රෝගය වැළඳුන විට රුධිරයේ ඇති රුධිර පට්ටිකා ප්‍රමාණය පහළ යෑමට බලපෑම් ඇති කරයි. රුධිර පට්ටිකා ප්‍රමාණය 1,30,000 ට වඩා අඩු වන්නට පටන් ගනී නම් රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදිය යුතුය.

 එම රුධිර පට්ටිකා ප්‍රමාණය 1,50,000 වඩා වැඩිනම් වෛද්‍ය උපදෙස් මත නිවසේ තබා ගෙන ප්‍රතිකාර ලබාදිය හැකිය.

 ඩෙංගු රක්තපාතය ඇතිවන විට මුත්‍රා සමග රුධිරය පිටවීම නිසා මුත්‍රා, තද දුඹුරු පැහැයට පිටවීම, දත්මදින විට රුධිරය පිටවීම, වමනය සමග රුධිරය පිටවීම ආදිය සිදු වේ.

 එනිසා ඩෙංගු රෝගයේදී රෝගය වැළඳී දින 03 ක් ගතවූ පසු රුධිර පට්ටිකා පරීක්‍ෂාවක් සහ ඇන්ටිජන් පරීක්‍ෂාවක් සිදුකර ගැනීමෙන් රෝගය සම්බන්ධව නිවැරදි තක්සේරුවක් ලබාගත හැකිය. එහි ප්‍රතිඵලය අනුව වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබාගෙන ඩෙංගු සුවපත් කර ගැනීමට පියවර ගත හැකිය.

● රෝග නැවත වැළඳීම
 

 කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස රෝගවලදී නැවත රෝගය වැළඳුන විට ඊට ඔරොත්තු දීමේ යම් ප්‍රතිශක්තිකරණ හැකියාවක් සිරුර තුළ මතු වේ.

 නමුත් ඩෙංගු රෝගයේදී ඊට බලපාන වෛරස වර්ග තුනක් ඇති නිසා වරක් එක් වෛරසයක් ආසාදනය වී දෙවැනිවර වෙනත් වෛරසයක් ආසාදනය වුවහොත් එම වෛරස කාණ්ඩවල වෙනස්කම් අනුව ඇතිවන ගැටුම නිසා දෙවැනි අවස්ථාවේදී ඉතා ඉක්මනින් රක්තපාතය මතුවිය හැකිය.

 මෙම තත්ත්වය මත යම් අයෙකුට දින දෙකකට වැඩි කාලයක් උණ, හිසරදය, ඇඟපත වේදනාව පවතීනම් වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්වී තමාට වැළඳී ඇත්තේ කුමන වෛරස රෝගයක් දැයි කියා නිවැරදිව හඳුනාගත හැකිය. ඒ අනුව නිසි ප්‍රතිකාර ලබාගෙන රෝගය සුවකර ගත හැකිය. එවිට රෝගය නිසා බරපතළ හානි සිරුරට ඇතිවීමේ අවස්ථාවද වළක්වා ගත හැකිය.

ඩෙංගුද  කොවිඩ්ද  ඉන්ෆ්ලුවෙන්සාදැයි  හඳුනා ගන්නේ කෙසේද?



කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ
විශේෂඥ වෛද්‍ය – සනත් සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment