ඩෙංගුවලින් මියගිය සරසවි සිසුවියගේ මරණය සැකයි – ඥාතීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි

440

ඩෙංගු උණ රෝගයෙන් මියගිය බව කියන යාපනය විශ්වවිද්‍යාලයේ ගුණරත්නම් සුපිනා නමැති 25 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෙරේදා (27 දා) ඉල්ලා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් එසේ වාර්තාවක් ඉල්ලා ඇත්තේ විශ්ව විද්‍යාල සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බවට මියගිය ශිෂ්‍යාවගේ ඥාතීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණිල්ලකට අනුවය. එම සිසුවිය මුලින්ම යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඇය ඩෙංගු රෝගයෙන් පෙළෙන බවට සැකයක් පමණක් ඉස්මතු වූ නමුත් ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තෙලිප්පලෙයි රෝහලෙන් සනාථ නොකළ බව මියගිය සිසුවියගේ ඥාතීන් ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කොට තිබේ. පසුව ඇයව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයට ලබා දී ඇති ඖෂධවල අසාත්මිකතාවක් හේතුවෙන් ඇය මියගිය බවට සනාථ කළ හැකි තොරතුරු ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

ඩෙංගු රෝගියෙකුට සාමාන්‍යයෙන් ඖෂධ ලබා දීමක් සිදු නොකරන නිසා මෙම මරණය යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා සිදු වූ මරණයක් බව ප්‍රකාශ කරන විශ්වවිද්‍යාලයීය සිසුවියගේ ඥාතීහු මේ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment