‘ඩෙල්ටා’‍ ප‍්‍රභේදය වුහාන් නගරයද ආක‍්‍රමණය කරයි

208

චීනය දැඩි කැළඹීමකට පත් කර ඇති රටේ පළාත් ගණනාවක පැතිර යමින් පවතින ”‍ඩෙල්ටා ”‍වෛරස් ප‍්‍රභේදය කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ ”‍වුහාන් ”‍ නගරයටද පැතිර ගොස් ඇති බව චීන මාධ්‍ය පවසයි .ඊයේ (02දා ) වන විට වුහාන් නගරයෙන් ”‍ඩෙල්ටා”‍ ප‍්‍රභේදය ආසාදනය වුවන් 07 දෙනකු හඳුනාගෙන තිබු අතර මෙය 2020 ජුනි මාසයෙන් පසු එම නගරයෙන් වාර්තා වූ ප‍්‍රථම කොරෝනා ආසාදිතයන් පිරිස වේ.ඉකුත් වසරේ ජුනි මාසයේ සිට මෙම ආසාදිතයන් පිරිස වාර්තා වන තෙක් වුහාන් නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොතිබිණි .

 මේ වන විට චීනයෙන් ”‍ඩෙල්ටා”‍ ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ 300ට මදක් වැඩි සංඛ්‍යාවක් වුවද චීන මාධ්‍ය විසින් ඒ පිළිබඳව වාර්තා කර තිබුණේ මෙම වෛරස් ප‍්‍රභේදය නිසා එරට දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි . මෙහිදී ”‍ග්ලෝබල් ටයිම්ස්”‍ පුවත්පත ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීම වුහාන් නගරයෙන් පසු දක්නට ලැබුණු ඉතාමත් දරුණු පැතිරීම ලෙස හඳුන්වා දී තිබු අතර පුවත්පතේ කතුවැකියෙන් රට තුළ ක‍්‍රියාත්මක වන කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත්වල පවතින දැඩි අඩුපාඩු මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බවට විවේචනය කර තිබිණි. ”‍ඩෙල්ටා”‍ ප‍්‍රභේදය සති දෙකක කාලයක් තුළදී චීනයේ පළාත් 32න් හරි අඩකට ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment