ඩෙල්ටා පැතිරෙන වේගය වැඩියි… ජිවිතය බේරාගන්න එන්නත විදගන්න…

138

කොවිඞ් පරීක්‍ෂණ ව්‍යාපාරිකයන් මාෆියාවක් කරගෙන…
පවුලේ හත්දෙනකුට කොවිඩ්; වාර්තා පොත්වලට ඇතුළත් වෙලා තියෙන්නෙ නම් දෙකයි…!

කොවිඞ් රෝගීන්ගේ වාර්තාවීම අඩුවෙන් පෙන්වමින්, මරණ හංගමින් ‘කොරෝනා සුනාමිය’ දෙපරංශයේ තද කරගෙන හංගන්නට දැරූ වෑයම නිරුවත් වී තිබේ. රෝහල් කොරිඩෝවල පැදුරු කඩමාළු, ඉටි රෙදි මත කොවිඞ් රෝගීහු මියැදෙමින් සිටිති.

‘‘මගේ ළඟ වැතිරිලා හුස්ම අදිමින් සිටි මනුස්සයා හිටි හැටියේ මැරිලා වැටුණම හීන් දාඩිය දැම්මා… තවත් රෝගීන් දෙතුන් දෙනෙක්ට ඈතින් වැතිරි සිටි මනුස්සයා ඇඳගෙන සිටි සරමෙන් මුහුණ වහනවා දැක්කම මම බාගෙට මැරුණා… දකින සෑම රෝගියෙක්ම අපහසුවෙන් හුස්ම අදිනවා… වෛද්‍යවරුන්ගේ, හෙද, හෙදියන්ගේ, සෙසු සේවකයන්ගේ විඩාබර මුහුණු දකින විට තවත් හිත බය වුණා. මරණය මටත් තුරුළු වී සිටින බව තේරුණා. ඒත් දෛවයට මුහුණ දෙනවා හැර වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වී නැති බවත් වැටහුණා…’’ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් එසේ කියන විට මගේ සිත සලිත විය. දැඩි රෝගී තදබදයක් සහිත පසුබිමක රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොඩිව් රෝගීන්ට ලැබෙන සනීපාරක්‍ෂක පහසුකම්, කෑම බීම ගැන කතා කර ඵලක් නැත. කොවිඞ් රෝගීන්ට දැන් ඉතිරිව ඇත්තේ මරණයෙන් ගැළවී රෝහල්වලින් පිටවීම පමණි.

මීට දෙමසකට පෙර ඉන්දියාවේ කොවිඞ් රෝගීන් රෝහල්වල, නිවෙස්වල මැරී වැටෙන විට අපේ රටටත් එවැනි තත්ත්වයක් උදා වේ යැයි හීනෙකින්වත් නොසිතුවේය. එමෙන්ම කොවිඞ් මරණ දකිමින් ඉන්දියාවේ ඇතැම් පළාත්වල ජනයා එක්රැස්වෙමින් විවිධ ආගමික උත්සව පවත්වන විට අපේ රටේ මිනිසුන් බැන වැදුනේ ‘ගොං හරක්’ කියාය. මෙරට කොවිඞ් වැපිරීමට රට පුරා ගෙන ගිය ‘ගුරු උද්ඝෝෂණ රැල්ල’ දකින විට රටේ බහුතරය කීවේ ‘රට කන කාලකණ්ණි’ කියාය. දැන් ඒ ‘ගොං පාට්’ ගැන කතා කර ඵලක් නැත. සංචරණ සීමා ලිහිල් කොට රාජ්‍ය සේවකයන් නැවත සේවයට කැඳවීමත් සමඟ මුළු රටම විශාලාවට දෙවැනි විය. තවත් වෙන්නට දෙයක් ඉතිරි වී නැත. ජන අනුපාතයට සාපේක්‍ෂව දැන් මෙරට කොවිඞ් මරණ අනුපාතය ඉන්දියාවේ පැවති කොවිඞ් මරණ අනුපාතයට වඩා බෙහෙවින්ම වැඩිය.

‘මගේ රටේ මිනිස්සුන්ට කවදාවත් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ. රටේ තියෙන සංචාරක හෝටල්, නිකේතන හැම එකක්ම අපේ මිනිස්සු වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරලා කොවිඞ් රෝගීන්ට පහසුකම් සලසනවා…’ ඉන්දියාවේ කොවිඞ් රෝගීන් මැරී වැටෙන විට අපේ හමුදාපති එදා හදවත්වලට කතා කළ ඒ වචන අද බොල් වී ඇති සැටි හරිම දුකය. මේ සටහන තබන මොහොත වන විට දිනකට වාර්තා වන කොවිඞ් මරණ සංඛ්‍යාව සීයය ඉක්මවා ගොස් තිබිණි. දිනකට වාර්තා වන කොවිඞ්

රෝගීන් සංඛ්‍යාව තුන්දහසට ආසන්න වී තිබිණි. කොළඹ ජාතික රෝහලේ පමණක් දිනකට කොවිඞ් රෝගීන් පන්සීයත්, හයසීයත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත් දිනකට කොවිඞ් මරණ දහයත්, පහළොවත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චන්දන මහතා අප සමඟ පැවසුවේය. කොළඹ ජාතික රෝහලේ එක් දිනක වැඩිම කොවිඞ් මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ විසිදෙකක් බවත් ඔහු පැවසුවේය. එමෙන්ම මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසන ආකාරයට දිනකට පිළිකා රෝගීන් දහයක් පමණ කොවිඞ් ආසාදිතයන් බවට පත් වේ. එමෙන්ම දිනක කොවිඞ් ආසාදිත පිළිකා රෝගීන් තිදෙනෙක් හෝ සිව්දෙනක් මියයන බවත් අධ්‍යක්‍ෂවරයා අප සමඟ පැවසුවේය.

‘‘කොවිඞ් වාට්ටු තුනක් තුළ රෝගීන් හැත්තෑවක් ප‍්‍රතිකාර ලබනවා. තරුණ සේවා සභාව මගින් ඇඳන් හතළිහකින් යුත් කොවිඞ් වාට්ටු සංකීරණයක් හදාගෙන යනවා. ඒ වාට්ටු සංකීර්ණයේ වැඩ දැන් බොහෝ දුරට අවසානයි. මේ දිනවල රෝහල තුළින් වාර්තා වන කොවිඞ් රෝගීන්ගේ වර්ධනයක් පෙනුම් කරන නිසා කඩිනමින් තවත් වාට්ටු දෙකක් ඔවුන් වෙනුවෙන් වෙන් කිරීමටත් තීරණය කර තිබෙනවා. ඒ වගේම මේ වන විට රෝහල් කාර්යමණ්ඩලයේ සැලකිය යුතු පිරිසකට කොවිඞ් ආසාදනය වී තිබීම නිසා ඔවුන් වෙනුවෙන් වෙනම වාට්ටුවක් විවෘත කිරීමටත් තීරණය කර තිබෙනවා…’’ මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර වැඩිදුරටත් එසේ පැවසුවේය.

එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහල ද කොවිඞ් රෝගී දරුවන්ගෙන් පිරී ඇති බව වාර්තා වේ. රෝහලට දරාගත නොහැකි කොවිඞ් රෝගී දරුවන් පිරිසක් දිනපතා ළමා රෝහලට වාර්තා වන බව ද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. එහෙයින් කොවිඞ් රෝගී දරුවන් වෙනුවෙන් විකල්ප ස්ථාන සොයමින් සිටින බව ද වාර්තා වේ. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පවසන ආකාරයට කොවිඞ් ආසාදිත ගර්භනී මවුවරු දහනව දෙනකු මේ වන විට මියගොස් ඇත. එහෙත් නිල නොළත් ආකාරයෙන් රෝහල්වලින් ලැබෙන තොරතුරුවලට අනුව සහ සමාජයෙන් ඇසෙන තොරතුරු මත සෞඛ්‍ය අංශ විසින් මාධ්‍යයට ඉදිරිපත් කරන කොවිඞ් වාර්තාවල යම් ගැටලූසහගත බවක් පෙන්නුම් කෙරේ. ඒ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන මේ කතාවෙන්ද පැහැදිළි වේ.

‘‘අපේ රටේ කොවිඞ් වසංගතය සම්බන්ධ තොරතුරු වාර්තාකරණය සිදුවෙන්නේ ගතානුගතික ක‍්‍රමයට. සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු කළමනාකරණ පද්ධතියක් පිළිබඳ සාක්ෂරතාවය තිබෙන කිසිවෙක් නෑ. මෙවැනි ආයතන තුළින් ප‍්‍රතිපත්ති සැලසුම් කරන විට රටක් විදිහට මේ වසංගතයෙන් ගොඩ එන්න අපහසුයි…’’ ඒ කතාව සනාථ කිරීමට මේ කතාව හොඳටම ප‍්‍රමාණවත්ය. මගේ හිතවතෙකුගේ පවුලේ සාමාජිකයන් හත්දෙනකුට කොවිඞ් ආසදනය වී තිබිණි. එහෙත් සෞඛ්‍ය අංශ වාර්තාවලට ඇතුළත් කරගෙන ඇත්තේ සාමාජිකයන් දෙදෙනකුගේ තොරතුරු පමණි. ඒ අප දැන සිටින එක් සිද්ධියක් පමණි. එවැනි සිද්ධි මේ රට පුරා තවත් කොතෙක් ඇතිද? එමෙන්ම ප‍්‍රධාන රෝහල්වල මෘත ශරීරාගාර තුළ කොවිඞ් මළ සිරුරු ගොඩගැසී ඇති අයුරු ප‍්‍රදර්ශනය කෙරෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් සංසරණය වන බව ද සැබෑය. බස්නාහිර පළාත ප‍්‍රධාන කොට මෙරට බොහෝ ප‍්‍රදේශවල රෝහල් ධාරිතාව ඉක්ම ගොස් ඇති බව සැඟවිය නොහැකි සත්‍යයකි. එම වාර්තාවලට අනුව නිල නොළත් වාර්තාවල ද යම් සත්‍යතාවයක් නැතුවාම නොවේ.

එමෙන්ම මේ වන විට කොවිඞ් මෘත දේහය භූමදානය කරන මඩකලපු දිස්ත‍්‍රික්කයේ ඕට්ටමාඩු ප‍්‍රදේශයේ ඉඩ ප‍්‍රමාණය අවසන් වෙමින් තිබෙන අතර, එහි භූමදානය කිරීමට ඉඩ ඉතිරි වී ඇත්තේ තවත් මෘත දේහ පන්සීයකට ආසන්න ප‍්‍රමාණයක් බවත් වාර්තා වේ. එහෙයින් කොවිඞ් මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත‍්‍රික්කයේ ඉරක්කාමම් ප‍්‍රදේශයේ අලූත් භූමියක් යොදාගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට අක්කර තුනක වපසරියකින් යුත් එම භූමියේ මෘත දේහ දාහකට වැඩි සංඛ්‍යාවක් භූමදානය කිරීමට හැකියාව පවතී. එම භූමිය මෘත දේහ භූමදානය කිරීමට සුදුසු ස්ථානයක් බව අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් ද අනුමත කර ඇත. ඒ සඳහා තාක්‍ෂණ කමිටුවේ නිර්දේශය ලබාගැනීමේ කටයුතු කඩිනමින් සිදු වෙමින් පවතින බවද වාර්තා වේ. එමෙන්ම අදාහනයට පහසුවීම සඳහා කොවිඞ් මෘත දේහ ලී පෙට්ටිවල තැන්පත් කිරීම වෙනුවට කාඞ්බෝඞ් පෙට්ටිවල තැන්පත් කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සෑම සිද්ධියකින්ම සනාථ වෙමින් තිබෙන්නේ ‘කොවිඞ් සුනාමියේ’ බිහිසුණු බවය. දැන් කොවිඞ් ඔබ, අප ළඟය. එහෙයින් ඔබේ ජීවිතය ආරක්‍ෂා කරගැනීමට සහ පවුලේ ආදරණීයයන්ගේ ජීවිත ගැන සිතා හැකි උපරිමයෙන් පරිස්සම් විය යුතුය. යහපත් සෞඛ්‍ය පුරුදු නිවරැදිව පිළිපැදිය යුතුමය. කොවිඞ් මර්දන එන්නත් ලබාගත්තද කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට අසීරුය. කොවිඞ් මර්දන එන්නත් වර්ග දෙකක් ලබාගෙනත් කොවිඞ් ආසදනය වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ බව සහ නිවසේ සිට නිරෝධායනය වන ආකාරය ගැන හරි අපූරුවට විස්තර කළේය.

‘‘මම කොවිඞ් මර්දන එන්නත් දෙකක් අරගෙන තිබුණු බව ඇත්ත. ඒ ගත්තේ විශේෂඥ වෛද්‍ය නිර්දේශ මතයි. ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ලබාගෙන යම් රෝගී තත්ත්වයක් මතුවීමත් සමඟ වෛද්‍ය නිර්දේශ මත දෙවනුව ෆයිසර් එන්නත ලබාගත්තා. එම එන්නත තමයි ලෝකයේ භාවිතා කරන හොඳම එන්නත. මම ඒ එන්නත් අරගෙන නොතිබුණා නම් මැරෙන්නත් ඉඩ තිබුණා. මේ රෝගය ඒ තරම් දරුණුයි. ඇඟ රිදිලා, උණ හැදිලා, දරුණුවටම රෝග ලක්‍ෂණ මතු වුණා. හිතෙන විදිහට මට හැදුණේ ඩෙල්ටා ප‍්‍රභේදය. තවම මට ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ වාර්තාවක් ලැබිලා නෑ. ඉදිරි කාලයේදී ඒ බව තහවුරු වෙයි. එදාට මම ඒ වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කරනවා…’’

‘‘මේ වෙනකොට මම සනීපයි. ඒත් මම රෝහල්ගත වෙලා ප‍්‍රතිකාර ගත්තේ නෑ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ගෙදරම ඉඳගෙන නිරෝධායනය වුණා. ගෙදර සාමාජිකයන්ගෙන් ඈත් වෙලා මම හිටියේ බාත්රූම් සහිත වෙනම කාමරයක. කෑම, බීම ගෙනත් දුන්නේ නෝනා. ඒත් නෝනා කාමරයට ආවේ නෑ. හොඳට මුහුණු ආවරණයක් පැළඳගෙන ඇවිත් කාමරයට පිටින් තිබුණු මේසය මතින් කෑම බීම තියලා ගියා. ඊට පස්සෙ මම ගිහින් ඒ කෑම, බීම මගේ පිඟන්, කොප්පවලට බෙදාගෙන කාමරයට ඇවිත් කාලා පිඟන්, කොප්ප හොඳට සබන් වතුරෙ දාලා තියලා හෝදලා එළියේ මේසය මතින් තැබුවා. නෝනත් කෑම ගෙනාපු භාජන ගෙනිහින් විෂබීජ නාශක දාලා පිරිසිදු කළා. මම කාමරයෙන් එළියට යන සෑම මොහොතකම හොඳට මුහුණ ආවරණය වෙන්න මාක්ස් පැළඳුවා. ඒ වගේම මුළු දවස පුරාම හොඳට උණුවතුර බිව්වා. ඉඟුරු, කොත්තමල්ලි ඇතුළුව දියර ජාති නිතරම බිව්වා. කෑම, බීමවලින් මට කිසිම අඩුපාඩුවක් වුණෙත් නෑ. විශේෂඥ වෛද්‍යවරු කියන විදිහට බටහිර බෙහෙත් බිව්වා. ප‍්‍රතිශක්තිය වර්ධනය කරන සිංහල බෙහෙතුත් බිව්වා. මගෙන් ගෙදරට විෂබීජ ගියෙත් නෑ. මට හැර අපේ ගෙදර වෙන කිසිම කෙනකුට කොවිඞ් හැදුණෙත් නෑ…’’

‘‘වෛද්‍ය විද්‍යාත්මක මතවලට ගරු කරමින්, වෛද්‍ය නිර්දේශ මත කටයුතු කරනවා නම් සංකූලතා නොමැති, සුළු රෝගී තත්ත්වයන් පෙන්වන කොවිඞ් රෝගීන්ට නිරෝධානයට සුදුසුම තැන තමන්ගේ ගෙදර. දැනටමත් මේ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කර තිබෙනවා. මේ ක‍්‍රමයේදී යම් දුරකට සමාජය තුළ කොවිඞ් බෝවීම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට රෝහල්වල පවතින රෝගී තදබදයට එම ක‍්‍රමවේදය හොඳම විසඳුමක්. ඒත් නිවෙස්වල නිරෝධායන වන කොවිඞ් රෝගීන්ව මහජන සෞඛ්‍ය නිලධාරියෙක් හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවක් විසින් දිනකට දෙවතාවක්වත් පරීක්‍ෂා කළ යුතුයි…’’ ඔහුගේ කතාවට මම බාධා කළෙමි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නිවසේ තිබෙන පහසුකම් මෙරට සෑම පුරවැසියකුටම නොමැත. එහෙත් පවතින ‘කොවිඞ් සුනාමි’ තත්ත්වය තුළ අවම පහසුකම් යටතේ හෝ සංකූලතා නොමැති නම් නිවසේ සිට ප‍්‍රතිකාර ලැබීම රෝගයට මෙන්ම මනසට ද ප‍්‍රතිකාරයකි. මේ මොහොතේ යම් රෝහලක කොවිඞ් වාට්ටුවකට ඇතුළත්වීම යනු මානසිකව මියයෑමක් බව සිහිපත් කළ යුතුය. එහෙත් යම් කොවිඞ් රෝගියකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්මගැනීමේ අපහසුතාවයක් දැනේ නම් අනිවාර්යෙන්ම හැකි ඉක්මණින් රෝහල්ගත විය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයකි. එමෙන්ම යම් රෝගී තත්ත්වයක් දැනෙන පුද්ගලයන්ට ඉතා පහසුවෙන් කොවිඞ් පරීක්‍ෂණයක් කරගන්න අවශ්‍ය පහසුකම් රජය විසින් කඩිනමින් සපයා දිය යුතුය. පෙළගැසෙන කතාවට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නැවත එකතු විය.

‘‘කොවිඞ් ආරම්භයේදී එක පරීක්‍ෂණයකට රුපියල් හයදහසක් පමණ වියදම් වුණා. ඒත් දැන් රුපියල් දෙදහසකින් විතර ඉක්මණින් කොවිඞ් පරීක්‍ෂණයක් කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය උපකරණවල මිල අඩු වෙලා තියෙනවා. ඇන්ටිජන් කිට් එකට දැන් රුපියල් පන්සීයක්වත් වියදම් වෙන්නේ නෑ. ඒත් ‘මාෆියාකාරයො සෙට් එක’ තවමත් කොවිඞ් පරීක්‍ෂණවලට අවශ්‍ය උපකරණ ලබා දෙන්නෙ පරණ මිලටමයි. ඕවා ගැන කතා කරන්න ගිහින් තමයි ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න ආවේ. ඒ නිසා ඒ කතා පැත්තකට දාලා රටේ ජනතාව මරණයෙන් ගලවාගැනීමට කළ හැකි දේ පමණක් කතා කරමු…’’

‘‘අපේ රටේ ලබාදෙන සයිනොෆාම් කොවිඞ් මර්දන එන්නතේ සියයට අනූපහකට වැඩි ප‍්‍රමාණයේ ප‍්‍රතිශක්තීකරණ වර්ධනයක් පෙන්නුම් කරනවා. එම ප‍්‍රතිශක්තීකරණය ඇති වෙන්න ප‍්‍රථම එන්නත සහ දෙවන එන්නත ලබාගෙන සති දෙකකට වැඩි කාලයක් ගත විය යුතු බවටත් කතාවක් තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් කොවිඞ් මර්දන එන්නත් ලබාගන්නා ලෙසට මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ් ආසාදිතයන් ලෙස දැනට මියගොස් සිටින පන්දහසකට වැඩි පිරිසක් කිසිදු එන්නතක් ලබාගෙන නැති පුද්ගලයන්. ඒ වගේම එන්නත් කරණයෙන් ශරීරයේ අභ්‍යන්තර ප‍්‍රතිශක්තිකරණය වර්ධනය වුණාට කොවිඞ් ආසාදනය වෙනවා. විශේෂයෙන් ඩෙල්ටා ප‍්‍රභේදය අසාදනයවීමේ ප‍්‍රවණතාවය වැඩියි. ඒ නිසා එන්නත් විදගත්තත් නිවසින් පිටදී වතුර උගුරක් බීමටවත් මුඛ ආවරණ නොගැළවිය යුතුයි. කොවිඞ් වෛරසය වර්ධනය වන්නේ මනුෂ්‍ය ශරීරය තුළ මේ වෛරසය මිනිස්සු වැව්වේ නැති නම් අවට පරිසරයට වවන්න බෑ. ඒ නිසා මෙරට ප‍්‍රථම පුරවැසියාගේ සිට ඕනෑම තරාතිරමක පුද්ගලයකුගේ වගකීම වෙන්න ඕනෑ ‘මම කොවිඞ් ගන්නෙත් නෑ. මම කොවිඞ් දෙන්නෙත් නෑ…’ ඒ වගකීම නිවැරැදිව ඉටු කරන්නේ නම් කොවිඞ් සුනාමියෙන් අපට ගැළවීමට අපහසු නෑ. ඒ වගේම දේශපාලනය කිරීමට මේ සුදුසු වේලාවක් නෙමෙයි. අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයකුගේ වගකීම වෙන්න ඕනෑ රටේ දරුවන්ව ආරක්‍ෂා කරගැනීමයි. රෝගය පැතිරීම අවම කරගැනීමට තම, තමන්ට කළ හැකි උපරිම යුතුකම ඉටු කළ යුතුය…’’ කොවිඞ් මාරයාගෙන් ගැළවී සිටින වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියන සංවේදී කතාව අවසානය. කෙනෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වුණොත් ඔහුගේ ශරීරයෙන් කොවිඞ් ඉවත් විය යුතුය. නැති නම් කොවිඞ් විසින් ඔහුව මරා දමනු නියතය. කොවිඞ් වෛරසය එතරම් භායනකය. මේ දිනවල මෙරට තුළ පැතිර යන ඩෙල්ටා ප‍්‍රභේදය පෙර පැතිර ගිය කොවිඞ් ප‍්‍රභේදයට වඩා අති භායනකය. පෙර පැතිර ගිය කොවිඞ් ප‍්‍රභේදයට වඩා දෙගුණයක වේගයෙන් පැතිර යෑමේ හැකියාව ද පවතින බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් දැනුවත් කර තිබේ. එහෙයින් දේශපාලනය කිරීමට, උද්ඝෝෂණ කිරීමට සහ රට ගොඩනැ`ගීමට හෝ තව, තවත් මේ රට ප‍්‍රපාතයට ඇද දැමීමට රටේ ජනතාව ජීවත්ව සිටිය යුතුය. රට තුළ වහා ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර කොවිඞ් මරණ එක්දහස් දෙසීයක් වළක්වාගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප‍්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පසුගිය දිනක මාධ්‍යයට පවසා තිබිණි. එහෙයින් මේ මොහොතේ විශේෂඥ වෛද්‍ය මතවලට සවන්දෙමින් ප‍්‍රථමයෙන් ජනතාව මරණයෙන් ගලවාගෙන දෙවනුව රට ගැන සිතීම බලධාරීන්ගේ වගකීමකි. මේ ව්‍යසනකාරී තත්ත්වය තුළ අවස්ථාවාදීව කටයුතු කිරීම මිනිසුන්ගේ ජීවත්වීමේ අයිති අහිමි කිරීමක් බව ද මතක් කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment