ඔහු පැමිණියේ ලංකාවේ දකුණු දිසාවේ සිටය. ඒ මාතර ප්‍රදේශයෙනි. මාතර සිට පැමිණි ඔහු කොළඹ උසස් සමාජය තුළ කැපී පෙනුනේ සංගීතය හරහාය.’ සංගීතයේදී ඔහු තෝරා ගත්තේ බටහිර, ඉංග්‍රීසි භාෂිත ගායනයන්ය. ඔහුගේ හඬ තුළ තිබුණේ මනා පෞරුෂත්වයක්ය. ඒ පෞරුෂත්වයට ඔහුගේ කඩවසම් රුවද එකතු වූ පසු, ක්‍ෂේත්‍රයට ආ මුල් කාලයේම ඔහු ‘ස්ටාර්’ කැටගරියට අයත් විය. වේදිකාවට ඔහු දැඩි ආකාර්ෂණීය විය.

බටහිර ගී අසන ශ්‍රාවකයන්ට මෙන්ම සිංහල බයිලා ගීත ශ්‍රාවකයන් අතර අමරණීය නාමයක් ඉසිලූ ඔහු ‘ඩෙස්මන්ඩ් ඩි සිල්වා’ ය.

ඩෙස්මන්ඩ් යනු අන්වර්ථ නාමයක් ය. ඔහුගේ මුල් නම වූයේ ‘ඇනක්ලීටස් රජිව් ඩී සිල්වාය. එහෙත් ඩෙස්මන්ඩ් යන නම තුළ සංගීත ක්‍ෂේත්‍රයේදී, විශේෂයෙන් බටහිර ගී ගායනයේදී ප්‍රචාරණාත්මක ගුණාංග තිබූ හෙයින්ද, වේදිකාවේ ආමන්ත්‍රණයේදී ද හොඳ ‘බර’ ශබ්දයක් තිබූ හෙයින් ‘ඩෙස්මන්ඩ්’ ලෙස ඔහු ‘බ්‍රැන්ඩඩ්’ වන්නට විය.

ඩෙස්මන්ඩ්, ඩී සිල්වා, මුලින්ම සංගීත ක්‍ෂේත්‍රයට බටහිර ඉංග්‍රිසි භාෂිත ගායකයෙකු ලෙස එක් වූයේ‘ Fire- Flies’ සංගීත කණ්ඩායම හරහා ය. එහි ඔහු ප්‍රධාන ගායකයා විය. ඒ 1963 වසරේදීය. එවකට ජනප්‍රිය වී තිබුණේ, ටොම් ජෝන්ස්, ඉංගල්බර්ට් හම්පර්ඩින්ක්, බීටල්ස්, ක්ලිෆ් රිචඩ් වැනි ගායක හා කණ්ඩායම් ගැයූ ගීතයන් ය. ඩෙස්මන්ඩ් ඔවුනගේ ගීත ඒ අයුරින්ම ගැයූවේ, තම සිරුරද, එකී ගීතයන්ට අනුව චලනය කරමිනි. මෙය ලාංකීය බටහිර ගීත අසන ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් විය. ඩෙස්මන්ඩ් ගායනයට එන්නට පෙර බටහිර නැටුම් ද හදාරා තිබුණි. එහෙයින් ගීතයට අනුකූලව ඔහුට ඔහුගේ සිරුර රිද්මයානුකූලව චලනය කිරීමේ හැකියාව තිබුණි. ගායනයත්, රංගනයත්, කඩවසම් බවත් එක්තැන් වන තැන මැවුනේ අපූරු වූ ආකර්ෂණයකි.

60 දශකයේ මුල් භාගයේදී කොළඹ විදේශීය සංචාරක හෝටල් කියා එමට තිබුණේ නැත. සමුද්‍ර හෝටලය, ගෝල්ෆේස් හෝටලය, ගල්කිස්ස හෝටලය, නිපෝන් හෝටලය හා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය පමණි කොළඹ නගරයේ තිබුණේ. එකී ඉංග්‍රීසි ගී ගයන සංගීත කණ්ඩායම් නිරතුරුවම ගැවසුනේ මේ හෝටල් තුළය. එකල ලංකාවේ එළිමහන් සංගීත සංදර්ශන තිබුණද, ඒවාට ඉංග්‍රීසි ගී ගයන කණ්ඩායම් වලට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එහෙත් ගෝල්ෆේස් හෝටලයේ හා ගල්කිස්ස හෝටලයේ නම් ඔවුනට තිබුණේ දැඩි ඉල්ලුමකි. ඒ විදේශික සංචාරකයන් හා ලංකාවේ උසස් සමාජයේ ප්‍රභූවරුන් එහී සිටි නිසාය.

එකල තිබූ ඉංග්‍රීසි ගීත ගයන සංගීත කණ්ඩායම් අතරින් ප්‍රමුඛත්වය ලැබුණේ ‘මිනෝන් විත් ජෙට් ලයනර්ස්’ සංගීත කණ්ඩායමටය. Fire Flies කණ්ඩායෙමෙන් ටික කාලයක් ගීත ගායනා කෙරූ ඩෙස්මන්ඩ්ව, ජෙට් ලයනර්ස් කාණ්ඩායම විසින් ඩැහැ ගත්තේ ඔහුගේ දක්ෂතාවයත්, ආකර්ෂණයත්, ඒ වනවිට ඉංග්‍රීසි ගායකයෙකු ලෙස ශක්තිමත් පියවරක් තබා තිබූ නිසාත්ය. ඩෙස්මන්ඩ් ‘ජෙට්ලයනර්ස්’ කණ්ඩායමට එකතු වන විට, එහී රාජ් සෙනවිරත්න වැනි සුපිරි ඉංග්‍රිසි ගී ගයන ගායකයන් සිටියේය. ඩෙස්මන්ඩ් පැමිණි පසු, රාජ් හා මිනෝන් සමඟින් එක්වී ජේට්ලයනර්ස් කණ්ඩායම උසස්ම, එමෙන්ම ජනප්‍රියම තලයකට පත් කෙරීය. ඩෙස්මන්ඩ්, මිනෝන් හා රාජ්ගේ, ත්‍රි පුද්ගල හඬ එකිනෙකාට, විශිෂ්ට ලෙස බද්ධ විය. ඒ අතරේදී ඩෙස්මන්ඩ් තමාගේ ප්‍රථම සිංහල ගීතය මිනෝන් සමඟ ගැයුවේය.

‘ඔබ නිසා’ නමින් ගැයූ එම ගීතය, ජාත්‍යන්තර තරගයක් ඉලක්ක කර ගෙන ගැයූ ගීතයක් විය.

Jet Lioners සමඟ කාලයක් සිට ස්ථාවර වූ ඩෙස්මන්ඩ් එයින් ඉවත් වී Spitfires සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස එක්විය. Spitfires කණ්ඩායමේදී ඔහු සමඟ ගායිකාව ලෙස එක්වූයේ ඩැල්රින් අර්නෝල්ඩාය. (දැන් සූ‘බී) ඩැල්රින්ගේ එකල තාරුණ්‍යයේ හඬ ඩෙස්මන්ඩ්ගේ හඬ සමග අපූරුවට මිශ්‍ර විය.
Spitfires සමඟ කාලයක් සිටින අතරතුර ගබෝ පීරිස් විසින් ඩෙස්මන්ඩ්ව තම සංගීත කණ්ඩායම වූ ‘Gabo & the Breakways’ හී නිත්‍ය ඉංග්‍රීසි ගායකයා ලෙස බඳවා ගනී. ඒ වන විට ඩෙස්මන්ඩ්ට දැඩි ඉල්ලුමක් නිර්මාණය වී තිබුණි. ලාංකීය ඉංග්‍රීසි ගීත රසිකයන් අතර ඩෙස්මන්ඩ් අතීශය ජනප්‍රිය පුද්ගලයෙක් ලෙසට පත්වී තිබුණි. විශේෂයෙන් ඔහුගේ අසාමාන්‍ය ආනන්දනීය ගායන විලාශයටත්, වේදිකාව මත මනා ලෙස තම සිරුර චලනය කරමින් ගීතයට අනුකූලව ආකර්ෂණීය ලෙස හසුරවමින් ඉදිරිපත් කරන විලාශයට, රසික රසිකාවියන් අමන්දානන්දයට පත් විය. ජාත්‍යන්තර ගායකයෙකු ලෙස ගායනයට අමතරව රංගනයද හසුරවමින් ඉදිරිපත් කළ ලංකාවේ ප්‍රථම ගායකයා ඩෙස්මන්ඩ් විය. Stage Performence යැයි අප හඳුන්වන එය, ලංකාවට හඳුන්වා දුන් ගායකයා ඩෙස්මන්ඩ් ඩී සිල්වා විය. එකල කිසියම් එළිමහන් හෝ ගෘහස්ථ ප්‍රසංගයක ඩෙස්මන්ඩ් ඇතුළු කණ්ඩායම ගායනය වාදනය කරන්නේ නම් ඩෙස්මන්ඩ්ගේ වේදිකා චලනයන් නැරඹීමට ප්‍රේක්ෂකයන් ශාලාව පුරා පිරෙන්නට විය.

මෙලෙස අවුරුදු 10ක් පමණ එක් එක් කණ්ඩායම්වල ඉංග්‍රීසි ගීත ගැයූ ඩෙස්මන්ඩ්, 1976 දී තමාගේම සංගීත කණ්ඩායමක් පිහිටුවා ගති. ඒ වන විට එක් එක් කණ්ඩායම් වල ප්‍රධාන ගායකයා ලෙස ගී ගයන අතරේම ප්‍රේක්ෂකයන්ව ආමන්ත්‍රණය කිරීම හා ඔවුන් සමඟ වේදිකාවේ සිට සම්බන්ධ වීම (මේවා එකල අලුත්ම දේවල්ය) එලෙසම වේදිකාව රිද්මයානුකූලව පරිහරණය කිරීම, මේ ආදී හැම දෙයකින්ම ඔහු පූර්ණ ලෙස අත්දැකීම් සපුරාගෙන, ලංකාවේ දක්ෂතම, එමෙන්ම ජනප්‍රියතම ඉංග්‍රිසි ගායකයා ලෙස පත් වී තිබුණි. එහෙයින් මේ සියලු අත්දැකීම් ගොනු කර, සාර්ථක ගමනක් යෑම සඳහා ඔහු ඔහුගේ ම සංගීත කණ්ඩායම ආරම්භ කෙරීය.

ඩෙස්මන්ඩ්ගේ එම සංගීත කණ්ඩායමට එවකට දක්ෂ ඉංග්‍රිසි ගී වාදකයන් වූ ටෝනි ප්‍රනාන්දු, තිලක් අබේසේකර හා චූටි පද්මපෙරුමව සහභාගි කර ගති. ඔවුන් වාදකයන් මෙන්ම සුපිරි ඉංග්‍රිසී ගීත ගයන ගායකයන්ද විය. එකී අය සමඟ පිහිටුවා ගත් ඔහුගේ සංගීත කණ්ඩායම ඔහු නම් කළේ ‘ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන්‘ ලෙසිනි.

1970 ව දශකයේදී, කොළඹට නව සංචාරක හෝටල් කීපයක් එකතු විය. ඒවා තරු පංතියේ හෝටල් ය. ඔබෙරෝයි හෝටලය, ඉන්ටර් කොන්ටිනල් හෝටලය, රමාඩා රෙනෙසන්ස් හෝටලය ඒ අතරේ විය. ඩෙස්මන්ඩ් ඇන්ද ක්ලෑන්ට නිතැඟින්ම එම හෝටල් තුළ සංගීතය සැපයීමට ඇරයුම් ලැබුණි. මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලය, එමෙන්ම වත්තල පෙගාසස් රීෆ් හෝටලයද එකී තරු පංතිවලට අයත් විය. ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන්ට එහී ද සංගීතය සැපයීමට ආරධනා ලැබුණි. ඉතාමත් සුළු කාලයකින් ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන් ලංකාව තුළ ජනප්‍රියතම ඉංග්‍රිසි ගී ගයන කණ්ඩායම බවට පත් වූ අතර ඔහු ජනප්‍රියතම, එමෙන්ම දක්ෂතම ඉංග්‍රීසි ගායකයා ලෙසටද පත්විය.

මේතාක් ඔහු ජනප්‍රිය වී තිබුණේ ලංකාවේ ප්‍රධාන නගරවල පමණක් බව ඔහුට වැටහුණි. එලෙසම එකී ජනප්‍රියත්වය ඉංග්‍රිසි ගීත අසන රසික රසිකාවියන් අතරේ පමණක් බවත්, එකී රසිකයන් සමස්ත ලාංකීය ගීත අසන්නන්ගෙන් 1% කටත් වඩා අඩු ප්‍රතිශතයක් බව ඔහුට වැටහුණි. මුළු ලංකාව පුරාම ඔහුගේ මේ හඬ ජනප්‍රිය වන්නට නම් මේ ගමන් මග මෙසේම තබා ගෙන, තවත් අතුරු මාවතකට යොමු විය යුතු වේ. ඔහු තවත් ‘ට්‍රැක්‘ එකක් හරහා යන්නට අර ඇද්දේ ඒ හරහා මුළු ලංකාවේම සංගීත ලෝලීන්ව තමන් වෙතට ඇද ගැනීමේ චේතනාවෙනි.

බම්බලපිටිය තට්ටු නිවාස සංකීර්ණය එකල ජනප්‍රිය වූ සංකීර්ණයකි. ඩෙස්මන්ඩ්ගේ යහළුවෙක් එහි පදිංචි වී සිටි අතර, ඩෙස්මන්ඩ් නිතරම ඔහුව මුණගැසීමට එහි යන්නට විය. ඒ යන ගමනේදී හා එකී මිතුරා සමඟ සවස් යාමයේ ගත කරන විටය ඔහුට මෙවැනි ගීතයක වස්තු බීජය සිතට පැමිණියේ. එයට බම්බලපිටිය නිවාස සංකීර්ණයේ හා ඒ අවට දර්ශන වලින් දකින දේ ද ඉවහල් විය. ඩෙස්මන්ඩ් ඩී සිල්වාගේ තනිව ගයන බයිලා ශෛලයේ සිංහල ගීතය එළිදක්වන්නට පසුබිම සකස් වූයේ එලෙසය.

‘පොල් කටු හැන්දෙ මිට වගේ
රූබර ඇගේ ආදරේ
ඈ යන්නෙ නැහැ අනේ
ඇගෙ භූමිතෙල් මොලේ

Oh she never come rise again
She got in kerosene oil in brain
She never come rise” she never come rise” she never come rise again

එකල කැසට් පට හෝ සීඩී තැටි තිබුණේ නැත. LP සහ EP යනුවෙන් දිගු හා කෙටි රෙකෝඩ් තැටි දෙපැත්තේය ගීත තැටි ගත කළේ. LP දිගු තැටියේ’ දෙපැත්තේම එකතුව ගීත 10ක් හෝ 12 ක් රැඳවිය හැකි අතර, EP කුඩා තැටියේ දෙපැත්තේම ගීත යුගලව ගීත 4 ක් රැඳවිය හැක. ඩෙස්මන්ඩ් මුලින්ම නිකුත් කළේ කුඩා EP තැටියකි. එහි එක පැත්තක ඉහත කී ගීතය ඇතුළත් වූ අතර, අනෙක් ගීතය ‘මම්මා නෝ පප්පා නෝ’ ගීතය විය.

‘ මම්මා නෝ, පප්පා නෝ,
ආප්ප කන්න තුට්ටු නෝ,
දෙයියො දුන්නු සල්ලි නෝ
ආලෙ බැන්ද නෝනා කෝ’

තැටියේ අනෙක් පැත්තේ එක් ගීතයක් මෙසේ විය.

‘යන්න රට වටේ, එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි, පාත දුම්බරයි, වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳපාන වගේ
අනුරාපුරේ.’

අනෙක් ගීතය වූයේ ඒ සමයේ හැම බයිලා ගායකයෙක්ම ගායනා කරන ‘චුඩා මාණිකේ බලාලා යනවා මේ අපි’ ගීතය ය.

මෙම EP තැටිය පිට වූ සැණින්ම, ඩෙස්මන් ඩී සිල්වාගේ නම ලංකාවේ නගර, ගම්, නියම්ගම්, අස්සක් මුල්ලක් නෑරම පැතිර ගිය අතර, ඩෙස්මන් ඩී සිල්වා ව එක රැයකින් මුළු ලංකාව පුරාම ජනප්‍රිය විය. එය පසුගිය අවුරුදු 15 තුළදීම ඔහුට ලබා ගත නොහැකි වූ ජනප්‍රියත්වයකි. එතැන් සිට ඔහු නියමාකාරයෙන් වෘත්තීය ගායකයෙකු විය.

ඉන් පසු ඔහුගේ සිංහල ගීත වූයේ,

‘ යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගෙ බඳින්න
පාරදිගේ එළි බල බල
මහපාරේ හරි කලබල
යමන් බණ්ඩො වෙසක් බලන්න ’

වොලී බැස්ටියන් ගැයූ මුල් ගීතය තවත් හඬ තීව්‍ර කරමින් ඩෙස්මන්ඩ් ගැයූ අතර ඔහු වොලී බැස්ටියන්ගේ තවත් ගීතයක් වූ ‘හායි හූයි බබි ආච්චි’,ඩෙස්මන්ගේ ශෛලයට ගායනා කළේය. ඒ අතර ඔහු තවත් අපූරූ ගීතයක් මෙසේ ගායනා කළේය.

‘ රත්තරන් ආදරේ, වෙන් වුණේ ඇයි ප්‍රියේ
ඔබ මගේ, මා ඔබේ, කී කථා නැති වුණේ’

බයිලා ගී ගණනාවක් ඩෙස්මන්ඩ් විසින් ගැයුවද, ඔහු ඉංග්‍රිසි ගී ගැයීම අත්හලේ නැත. සංචාරක හෝටල්වල ඉංග්‍රිසි ගී ගැයූ ඩෙස්මන්ඩ්, ලංකාවේ නගර හා ගම්වල සංවිධානය කරන සංගීත සංදර්ශනවල බයිලා ගීත ගැයුවේය. අවසානයේ ඩෙස්මන්ඩ් නොමැති සංගීත සංදර්ශනයක් සොයා ගැන්මට නොහැකි විය. එතරම්ම ඔහු බයිලා ගීත ගයා ජනප්‍රිය විය. ‘බයිලා රජු – King of Baila‘ යනුවෙන් මාධ්‍ය ඔහුව හඳුන්වන්නට විය.

ඒ අතරේදී ඩෙස්මන්ඩ් තම සංගීත කණ්ඩායම වූ ක්ලෑන් සමඟ මාලදිවයිනට ගියේය. ඒ ඔහුගේ ප්‍රථම විදේශ සංචාරයයි. ඩෙස්මන්ඩ් මාලදිවයිනට ගිය වකවානුවේ, මාලදිවයින දුප්පත් රටක් විය. එහෙත් එම කාලයේ සංචාරක කර්මාන්තයේ ඇරඹුම විය. ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන් මාලදිවයින ‘ඔබෙරෝයි‘ හෝටලේ සංගීතය සැපයීය. එතැනදී ඔහුට කත්මන්ඩු හී රජ කෙනෙකුට අයිති හෝටලයක සංගීත කොන්ත්‍රාත්තුවක් ලැබුණි.

ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන්ගේ අවසාන සංගීත කොන්ත්‍රාත්තුව එය විය. එතැන් සිට ඩෙස්මන්ඩ් තනිවම සංගීත දිවිය ගෙන යන්නට තීරණය කළේය. විශේෂයෙන් යුරෝපයේ රටකට යෑමේ අරමුණ පහසු කරගනු වස් ඔහු තනි ගමනක් යන්නට උත්සහ ගති. කත්මණ්ඩු සිට ඔහු යුරෝපය බලා ගියේ, ඉතාලි, ප්‍රංශය, ස්විට්සර්ලන්තය වැනි රටවල සංගීත කොන්ත්‍රාත්තු පිළිවෙළ කරගෙනය. ඒ වන විට ලෝකයේ බොහෝ රටවල විසිරි සිටින ශ්‍රී ලාංකීකයන්ද ඩෙස්මන්ඩ්ට එකී රටවල ස්ථාවර කරන්නට උපකාර කරන්නට විය. ඉන් පසු ටික කලක් යුරෝප රටවල්වල සිටි ඩෙස්මන්ඩ්, එංගලන්තයට පැමිණියේ එහී දීර්ඝ කාලයක් සිටීමටය.

ඩෙස්මන් විවාහ වූයේ ඩෙඅන්නා ඩී සිල්වා සමඟය. ඒ විවාහයෙන් ඔවුනට පුතුන් දෙදෙනෙක් සිටි අතර, එක් පුතෙක් වූ ස්ටීව් ඩෙස්මන්ඩ්ගේ අඩි පාරේ යමින් ගායකයෙක් හා නැටුම් ශිල්පියෙක් විය. ස්ටීව් ජනප්‍රිය වී සිටියේ 90 දශකයේ මුල් භාගයේය. ඔහු එකල අනුගමනය කළේ මයිකල් ජැක්සන් හා ප්‍රින්ස් යන ඇමරිකන් ගායකයන්ගේ ශෛලයන්ය.

ඔහු වෙනස්ම අයුරින් ගී ගැයුවද, ඔහුට ඩෙස්මන්ඩ්ගේ දක්ෂකමටත්, ඔහුගේ ජනප්‍රියත්වයටත් කිට්ටු වීමට හෝ බැරි විය. ඩෙස්මන්ඩ්ගේ අනෙක් පුත්‍රයා ගැන නම් මාධ්‍යට විවර වී නොතිබූ හෙයින් ඔහු ගැන විස්තරයක් සොයා ගැන්මට නොහැක. පසුකලෙක අසනීපවී සිටි ස්ටීව්, මෑතකදී මිය ගියේය. ඩෙස්මන්ගේ අඩි පාරේ ගිය ඔහුගේ පුත් ස්ටීව් ව අහිමිවූයේ එසේය. එලෙසම ඩෙස්මන්ඩ්ගේ බිරිඳ ඩෙඅන්නා ගැන ද මාධ්‍යයට විවර වූවේ නැත. එහෙත් ඔවුන් දෙදෙනා මෑතකදී එක්ව ගත් ඡායාරූප කීපයක් නම් අන්තර්ජාලයට යොමු කර තිබුණි.

ඩෙස්මන්ඩ් එංගලන්තයේ අවුරුදු 20 කට වැඩි කාලයක් සිටි අතර ඔහු එහිදී උදයවරුවේ රැකියාවක නිරත වී, රාත්‍රි වරුවේ හෝටල්වල ගී ගැයුවේය.’

අවුරුදු 20 කට පසු ඩෙස්මන්ඩ් ඔස්ට්‍රේලියාවට යන්නට උත්සහා ගත්තේ ඔහුගේ මව ඔස්ට්‍රේලියාවෙ පර්ත් නුවර සිටින නිසාත්, ඔහුගේ සොහොයුරා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින නිසාත්ය. ඔහු යූ ටියුබ් චැනල් එකක් සමඟ කළ සම්මුඛ පරික්ෂණයකදී පැවසුවේ ඔහු එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණියේ තනිකමින් මිදී තම පවුලේ අය සමඟ එක්වීමට අවශ්‍ය නිසා බවය.

1944 ඉපදුනු ඩෙස්මන්ඩ් ඩී සිල්වා, 2022 ජනවාරි 09 වන දින හෘදාබාධයකින් මිය ගියේ ඔහුට 77 හැවිරිදි විය ලැබූ පසුවය. ඔහු මිය යන විට පදිංචි වී සිටියේ ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරය. මිය යන තෙක්ම ඔහු ජවසම්පන්න කඩිසර එමෙන්ම කඩවසම්ව සිටියා පමණක් නොව අවසන් කාලය වන තෙක්ම ඔහු ගී ගායනා කළේය. එදා රසිකයෝ ඔහුට දුන් තත්ත්වය ඔහු මිය යන තෙක් ම රැක ගෙන තිබුණි. ලංකාවේ අදටත් ඩෙස්මන්ඩ් ඩී සිල්වා ගැන සිහිපත් කරන විට ඔහු ශ්‍රේෂ්ඨයෙක් යැයි නැති නම් He is a Legend යැයි කියනු ඇත.

ලිපිය නිම කිරීමට ප්‍රථම මට මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ‘සීතා දේවි’ චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපත වූ ‘ Reincarnation ’ චිත්‍රපටයට නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට අමරදේවයන් ගැයූ ‘නිම් හිම් සෙව්වා’ ගීතයේ තනුව අනුව ඩෙස්මන්ඩ් ඩී සිල්වා ගැයූ, ඉංග්‍රිසි ගීතය සිහිපත් වේ.

”? When did I meet you my love
Was it Yesterday Today or Tomorrow 
When did I kiss you my love
Was it Yesterday Today or Tomorrow 

Only in time eternal I know
This love is it real” is it true
Was it yesterday” today or tomorrow 
That we met my love” me & you”

● ශෝන් මැක්ස්මස් දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment