ඇමරිකන් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීම සමාන වන්නේ ලෝක දක්‍ෂිණාංශික කඳවුරේ ජාතිකවාදී අර්ධය ජය ගැනීමක් හැටියටය. සාමාන්‍යයෙන් ලෝකය එක යායක් වී ජාතිය ශූන්‍ය වී ඇතැයි සැලකෙන යුගයක ට්‍රම්ප්ගේ ජය ගැනීම සුවිශේෂය. ජාතිකවාදියකු වූ ට්‍රම්ප් හැප්පුනේ අන්තර්ජාතිකවාදියකු වූ කමලා හැරිස් සමගය. අන්තර්ජාතිකවාදියා නිතරම ව්‍යාප්තවාදියෙකි. හෙතෙම තම රටේ කොතරම් ප්‍රශ්න තිබුණ ද වෙනත් රටවලට ඇඟිලි ගසයි. තම රටේ තිබෙන යුද ගැටුම් මර්දනය කිරීමට දායක නොවී වෙනත් රටවල තිබෙන යුද ගැටුම් විසඳන්නට කාලය, ශ්‍රමය සහ රටේ ධනය වැය කරයි. ජාතිකවාදියා එසේ නොවේ. ඔහුට වැදගත් වන්නේ තම රට සහ එහි සිටින ජනතාව පමණි. එම ජනතාව හැකි අයුරින් සුඛිත මුදිත කිරීම ඔහුගේ අරමුණ වේ. මේ නිසා ලෞකික සමාජය දෙස බලන විට ජාතිකවාදියාගේ පැවැත්ම ඉතා වැදගත්ය. මේ ජාතිකවාදී න්‍යායපත්‍රය නිසා ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දෙවරක්ම පිට පිට අගමැති විය. නරේන්ද්‍ර මෝදි විකුණන්නේ ද හින්දු ජාතිකවාදයයි. ඒ ජාතිකවාදය තුළ දෙමළ සහ මුස්ලිම් ඇතුළු ජනවර්ග රාශියක් සිටිති. අවසන් ඵලයේ දී මේ සියලු ජාතීන්ට අයත් සියලු ආගමිකයෝ ඉන්දියානුවන් ලෙස එක මිටට සහ එක රැළට එක් වෙති. උදාහරණයක් වශයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් මැච් එකක් පවතින විට ඉන්දියානු මුස්ලිම් ජනයා අත්පුඩි ගසන්නේ ඉන්දියානු පිල ලකුණු රැස් කරන විට පමණි. ඒ මොහොතේ දී ඔවුන්ට තම ජන වර්ගයේම කොටසක් වන ඉස්ලාමීය පාකිස්තාන්කාරයන්ගෙන් වැඩක් නැත. හැබැයි හිටපු ගමන් ජාතිවාදී යුද්ධ ඇවිලෙන විට හින්දු ආගමිකයෝත් ඉස්ලාම් භක්තිකයෝත් රට තුළ මිනී මරා ගනිති. ඒ කොහොම කළත් ඔවුන් රාත්‍රියේ නින්දට යන්නේ තමන් ඉන්දියානුවන්ය යන පොදු හැඟීමකිනි. ජාතිකවාදය තවදුරටත් මාකට් කිරීමට නොහැකි බවට ඇතැම් විද්වත්හු කියති. මෙය එතරම් වැදගත්කමක් ඇති කියමනක් නොවේ. උදාහරණයක් වශයෙන් අප්‍රිකාවේ සියලු රටවල් ජාතිකවාදී ප්‍රතිපත්තියක සිටිති. චීනය එහෙම පිටින්ම ජාතිකවාදී රටකි. එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යනු තනිකරම සුද්දන්ගේ ජාතිකවාදී රටවල්ය. මෙය සුදු ආධිපත්‍ය ලෙස ද හඳුන්වනු ලැබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර තරග කළේ ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලන චරිතයක් වූ කමලා හැරිස් සමගය. කමලා හැරිස් යනු බරක් ඔබාමා, ජෝර්ජ් බුෂ්, ජෝ බයිඩන් වැනි අන්තර්ජාතික චරිතයකි. 1970 ගණන්වලදී ගෝලීයකරණය නමැති සංකල්පයක් ලෝකයේ ආධ්‍යාත්මයට එකතු විය. එයට ප්‍රධාන හේතුව සංනිවේදනය දියුණු වීමය. එසේම ජාත්‍යන්තර ගමනාගමනය ද ඉතා වේගයෙන් දියුණු වෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකය යනු එකම රටක් යන්නත් ලෝකවාසී ජනයා යනු එකම ජාතියක්ය යන්නත් ප්‍රචාරය කරන ලදි. එය ඉතා සාධනීය මතවාදයකි. එහෙත් මෙය කිසි කලෙකත් එක දිගට පවතින්නේ නැත. බහුජාතික සහ බහු ආගමික රටක් තුළ සිටින ජනයා ගෝලීයකරණය පිළිබඳව ටික දිනකින් තමන් මුස්ලිම්ය, තමන් දෙමළය, තමන් සිංහලය යනුවෙන් සිතන්නට පටන් ගනී. ඒ අතර තමන් හින්දු ආගමිකයන් බව කල්පනා කරන හින්දුවරු මුස්ලිම්වරුන්ගේ ඉස්ලාම් ආගමට ගරු කිරීමට කැමැති නොවෙති. මෙය පෘතග්ජන ස්වරූපය වේ. මාක්ස්වාදය යනු ගෝලීයකරණයේ දේශපාලන ස්වරූපයයි. මාක්ස්වාදියා ජාතියට හා ආගමට ගරු නොකරන අතර මනුෂ්‍යත්වයට පමණක් ගරු කරයි. මෙය ද ඉතා හොඳ දෙයකි. එහෙත් මෙය ද පවත්වාගෙන යෑමට නොහැක. මෙය පවත්වාගෙන යන්නට තැත් කළොත් ටික දිනකින් වැඩේ අල වීමට පටන් ගනී. ඇමරිකන් ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම ජාත්‍යන්තරවාදය පවත්වාගෙන යෑමට උත්සාහ කළ ද දශක කිහිපයක් තුළදීම අසාර්ථක විය. අන්තිමට ඉතිරි වූයේ ලෝකයම එක යායක් යන ගෝලීයකරණ මතය නොව ලෝකය යනු රටවල් ගොඩක් යන සාම්ප්‍රදායික මතවාදය පමණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ සාම්ප්‍රදායික මතවාදයේ නියෝජිතයෙකි. ඔහු ව්‍යාපාරිකයෙකි. ඒ නිසා ආර්ථිකය ගැන ඔහුට හැඟීමක් තිබේ. ඔහු සංක්‍රාමිකයන්ට විරුද්ධය. එයට හේතුව ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේශසීමාවේ පිහිටි මැක්සිකෝවෙන් එන සංක්‍රාමිකයන් ඇමරිකාවේ රැකියා අවස්ථාවලින් විශාල කොටසක් අත්පත් කරගෙන සිටින නිසාය. දැනට වුවද ඔබ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ගියොත් ඔබට සුද්දන්ට වඩා දකින්නට ලැබෙන්නේ ඉන්දියානුවන්, චීන ජාතිකයන්, නේපාල ජාතිකයන්, තුර්කිකාරයන්, ආර්මේනියානුවන් වැනි වෙනත් රටවල වැසියන්ය. කැලිෆෝනියාවට ගියොත් ඔබට විශාල සිංහල ජන ප්‍රජාවක් දැක ගැනීමට හැකිය. විදේශිකයන් ඉතා හොඳ ජීවිත ගත කරද්දී ඇතැම් ඇමරිකානුවෝ තම රට තුළ සිඟා කති. මේ තත්ත්වයට විරුද්ධව කිසියම් කෙනෙක් මතවාදයක් ඉදිරිපත් කරන විට එයට සපෝට් කිරීම සඳහා විශාල පිරිසක් එකතු වෙති. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ ඒ පිරිසය. ඇමරිකාව වෙනත් රටවල යුද ගැටුම්වලට ඔළුව දමනවාට ට්‍රම්ප් විරුද්ධය. එවැනි අවස්ථාවලදී එම රටවල යුද්ධ මැඩපැවැත්වීම සඳහා ඇමරිකානු හමුදාව යවන්නට සිදුවේ. මෙසේ යන ගමන්වලදී ඇමරිකානුවෝ සිය දහස් ගණන් මැරෙති. 1970 ගණන්වල වියට්නාමයේ පැවැති යුද්ධයට ඇමරිකාව අත දැම්මේය. එවකට සිටි වියට්නාම් නායකයාගේ සහයට ඇමරිකන් හමුදාව විශාල වශයෙන් වියට්නාමයට ගොඩබැස්සාහ. මේ යුද්ධයේ දී ඇමරිකානුවෝ 29,000 කට වඩා මිය ගියහ. තවත් නව දහසක් පමණ අදටත් ආගිය අතක් නැත. සාමාන්‍යයෙන් ඇමරිකන් ජනාධිපති කෙනෙක් නිතර කල්පනා කරන්නේ තමන් ලෝකය නමැති පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති බවය. එහෙත් පොලිස්පති තබා අනුන්ගේ රටක ග්‍රාම නිලධාරියකු වීමටවත් ට්‍රම්ප් කැමැති නැත. ඔහු මෙවර ජනාධිපතිවරණයේ දී තම එකී මතවාදය හරියාකාරව ජනතාවට ප්‍රක්‍ෂේපණය කළේය. ඔහු ජය ගත්තේ ඒ නිසාය.