දෙසතියකට පෙර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තුළ සිදුවූ විපර්යාසය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ අමන්දානන්දයට හේතු විය. එසේම පාලක පක්‍ෂයට සම්බන්ධ මැති ඇමැතිවරු ද නව ප්‍රවණතාව පිළිබඳව මහත් ආඩම්බරයෙන් කතා කළහ.
මීට සති දෙකකට පෙර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල අඛණ්ඩව ශක්තිමත් වූයේ දශක හතරකට පමණ පසුවය. එය රටක් ලෙස අපට සතුටු විය හැකි තත්ත්වයකි. ආර්ථික අර්බුදයකට මුහුණ දී ජන ජීවිතය පවා පවත්වාගෙන යෑමට නොහැකි, අත්‍යවශ්‍ය ආහාර පාන ආනයනය කිරීමටවත් ඩොලර් සොයාගත නොහැකිව පණ අදිමින් තිබුණු ආර්ථිකයක් යළිත් එකවරට ප්‍රාණවත් වී රුපියලේ අගය ස්ථාවර කරගෙන ඉදිරියට යෑම ඇත්තෙන්ම ධනාත්මක තත්ත්වයකි.
තත්ත්වය එසේ වුවද රුපියලේ පිබිදීම සාර්ව ආර්ථික ක්‍රියාවලියට බලපාන ආකාරය එතරම්ම සුබවාදී නැත. රුපියල සවිමත් වීමේ වාසිය පාරිභෝගිකයන්ගේ පසුම්බියට තදින් දැනුනේ නැතත් එය මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිදුවූ අලාභය සටහන් වූයේ රුපියල් බිලියන ගණනිනි.
ගහෙන් ගෙඩි එන්නා සේ එකවරම රුපියල සවිමත් වීම ආරම්භ වුවත් ඉතා සංකීර්ණ හා අවදානම් සහගත ව්‍යාපාරයක් වන භාණ්ඩ ආනයනය කිරීම රුපියලේ පිබිදීමත් සමග ගැලපීමේ දී දැඩි පරස්පරයක් ඇති විය.
අවම වශයෙන් භාණ්ඩ ඇණවුම් කළදා සිට මෙරට වරායට භාණ්ඩ ළඟාවීමේ ක්‍රියාවලියට සති තුනක් පමණ ගතවන අතර එකී ක්‍රියාවලිය අතරතුර සිදුවන සියලු මිල උච්චාවචනයන්වල වගකීම දරාගත යුත්තේ ආනයනකරුවා විසිනි. ඔවුන් එම ව්‍යාපාරයේ නිරතව සිටින්නේ සිය ව්‍යාපාරික ස්ථානවල සල්ලි ලාච්චුවේ ඇති මුදල් ආයෝජනය කිරීමෙන් නොවේ. එකී ඇතැම් ව්‍යාපාරිකයන් ගෙවල් දොරවල් බැංකුවලට උකස් තබා ගිනි පොලියට ලබාගත් මුදල් මෙම ව්‍යාපාරයට ආයෝජනය කර ඇත. එවැනි අවදානමක් ඇතිව මෙම ව්‍යාපාරයේ නිරත වන්නේ ඊට සරිලන ලාභයක් ලැබීමේ අරමුණින්ය.

එසේ නැතිව බූරු පිටියක සූදු කෙළින සූදුකාරයන් මෙන් ආවොත් ආවා, ගියොත් ගියා යන න්‍යායෙන් කටයුතු කිරීමට ව්‍යාපාරිකයන්ට හැකියාවක් නැත. මෙම ව්‍යාපාරිකයන්ට සිය ආයෝජනය වතුරේ ගියහොත් ඇතැම් විට උන්හිටි තැන් පවා අහිමිවීමට ඉඩ ඇත. ඊට හේතුව බොහෝ ආනයන ක්‍ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සිය දේපළ ඇපයට තබා බැංකු ණය ලබාගෙන භාණ්ඩ ආනයනයට යෙදවීමයි. මේ වනවිට පවතින බැංකු පොලී අනුපාතය සලකා බැලීමේදී බැංකු ණයක් තුළින් මුදල් ආයෝජනය කර ව්‍යාපාරයකින් ලාභ ලැබීම ඉතා අසීරු කාර්යයකි. මීට දෙවසරකට පමණ පෙර 7% – 8% පැවැති බැංකු පොලිය මේ වනවිට 25% – 30% දක්වා ඉහළ ගොස් ඇත. ඊට සාපේක්‍ෂව ව්‍යාපාරිකයන්ගේ ආදායමෙන් ලැබෙන ලාභයේ ප්‍රමාණය කොහෙත්ම ඉහළ ගොස් නැත.
ඩොලරය අවප්‍රමාණය වීම හරහා මෙරට ආනයනකරුවන්ට මුහුණපෑමට සිදුවූ ගැටලු පිළිබඳව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
ඇත්තෙන්ම අපි ඩොලර් එක රුපියල් 370ට තියෙද්දී ගෙන්වපු බඩු රුපියල් 310ට ඩොලර් එක පහළ වැටෙනකොටත් අපේ ගබඩාවල තිබුණා. ඒ වගේම අපි ඇණවුම් කළ භාණ්ඩ ලංකාවට ළඟාවෙමින් තිබුණා.
ඩොලර් එක පාවෙන්න ඇරියාම තත්ත්වය ඔහොම තමයි. නමුත් සුනාමියක් ආවා වගේ කිසිකෙනෙක් හේතුව දන්නෙත් නැතුව මේ විදියට ඩොලර් එක අවප්‍රමාණය වුණාම ඒක ආර්ථිකයට නරක විදියට බලපානවා. එවැනි වෙලාවක රජය මේ තත්ත්වය සමබර කරලා ආර්ථිකය ආරක්‍ෂා කළ යුතුයි.
ආනයනකරුවෝ සල්ලි අතේ තියාගෙන නෙමෙයිනේ භාණ්ඩ ඇණවුම් කරන්නේ. අපි සල්ලි ගන්නේ විවෘත වෙළෙඳපොළේ ඩොලර් තියෙන අයගෙන්. ඩොලර් එක වැටුණාම ඒ අය ඩොලර් තියාගෙන ඉන්නවා එළියට දාන්නේ නැතිව. එතකොට අපිට කොහෙන්ද බඩු ගෙන්වන්න ඩොලර්. ඒකෙන් වෙන්නේ භාණ්ඩ ආනයන ක්‍රියාවලිය නවතින එක. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි.
දැන් බලන්න සති දෙකකට කලින් සීනි මිල රුපියල් 185 දක්වා පහත වැටුණා. හැබැයි ඒ සීනි අපි ගෙනාවේ රුපියල් 220ට. සීනි කිලෝ එකකින් රුපියල් 35ක් අපිට පාඩු වුණා. එතකොට බලන්නකො අපේ පාඩුව කොච්චර ද කියලා. රුපියල් කෝටි කීයක් අපට පාඩු ද? අපිට ඩොලර් එක ආපසු නඟිනකල් සීනි තියාගෙන ඉන්න බැහැ. එහෙම වුණොත් වරායේ තියෙන බඩු ගෙනැත් දාන්න ගබඩාවල ඉඩ නැහැ. එතකොට වරායේ ගුදම් ගාස්තු වැඩි වෙනවා. බලන්න අපි කොයි තරම් හිරවෙනවාද කියලා. ව්‍යාපාරිකයෝ විශාල අවදානමක් අරන් මේ ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ. මම හිතන්නේ මේ ආර්ථික ක්‍රමය යටතේ මේ රටේ ලොකු ම අවදානම අරන් ව්‍යාපාර කරන්නේ ආනයනකරුවෝ. එහෙම කරන ව්‍යාපාරයට සුනාමියක් ඇවිත් වගේ එක පාරට කඩාවැටුණාම කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ. රජය මේ තත්ත්වය බැලන්ස් කරන්න මැදිහත් වෙන්න ඕනෑ.
දැන් බලන්න පසුගිය කොරෝනා කාලේ වගේම රට ආර්ථිකය කඩා වැටුණු වෙලාවේ අත්‍යවශ්‍ය සේවා ඇණහිටලා තිබියදී රජයට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කරගැනීමට නොහැකිවෙලා තිබියදී ආනයනකරුවෝ විදියට අපි ජනතාවට අවශ්‍ය ආහාරපාන ආනයනය කරලා දුන්නනේ. කොයි තරම් අමාරුවෙන් ඩොලර් හොයාගෙන ද අපි ඒක කළේ.
රුපියලේ හදිසි පිබිදීමේ බලපෑම ආනයන ක්‍රියාවලියට සේම අපනයන ක්‍ෂේත්‍රයට ද අහිතකර ලෙස බලපා ඇති අතර සාම්ප්‍රදායික බෝග ලෙස තේ, ගම්මිරිස්, කුරුඳු වැනි බෝග අපනයන කිරීම හරහා එම ව්‍යාපාරිකයන්ට ලැබුණු ආදායම ද කැපී පෙනෙන ලෙස අඩුවී ඇත.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ තේ අපනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති දුෂාන්ත ද සිල්වා මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
රුපියල ශක්තිමත්වීම හොඳ තත්ත්වයක්.
ශ්‍රී ලාංකිකයන් විදියට අපි ඉතා සතුටු වෙනවා ඒ පිළිබඳව. නමුත් එය සිදුවිය යුත්තේ ක්‍රමිකවයි.
පසුගිය සති කිහිපය තුළ රුපියල ශක්තිමත් වූ ආකාරය ඉතා සංකීර්ණයි. එය අපනයන ක්‍ෂේත්‍රයට බලපෑවේ අපට වාසිදායක ආකාරයට නොවෙයි. රුපියල් 4-5 ක අඩු – වැඩිවීමක් අපට කිසි ප්‍රශ්නයක් නැතිව දරාගන්න පුළුවන්. නමුත් ඩොලර් එක රුපියල් 35කින් විතර පහළ වැටුණාම ඒක තේ අපනයනකරුවන්ට වගේම තේ දලු සැපයුම්කරුවන්ටත් එක විදියට බලපානවා. ඒ අනුව අපේ තේ මාර්කට් එක එකපාරට 10%කින් විතර කඩාවැටුණා. මේ නිසා තේ දලු සැපයුම්කරුවන්ට ලැබුණු ආදායම කිලෝග්‍රෑමයකට රුපියල් 200කින් විතර පහළ වැටුණා.
තේ කර්මාන්තය පසුගිය කාලයේ අභියෝග රැසකට මුහුණ දුන්නා. පොහොර ප්‍රශ්නය නිසා තේ ගොවීන්ට විශාල ආර්ථික අර්බුදයක් ඇති වුණා. එවැනි පසුබිමක මේ විදියට ලැබෙන ආදායමත් අඩු වුණාම කර්මාන්තයේ පැවැත්මට අහිතකර ලෙස බලපානවා.
ඩොලරය අවප්‍රමාණය වීම තවදුරටත් සිදුවුවහොත් ආනයනකරුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීම පමා කරන අතර එවැනි පසුබිමක් යටතේ තවත් නොබෝ දිනකින් එළැඹෙන උත්සව සමයට නිසි පරිදි ආනයනික ආහාර පාන මෙරටට ළඟාවීම සිදුනොවේ. එසේ වුවහොත් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවී භාණ්ඩ මිල ගණන් දැනට පවතින මිලටත් වඩා විශාල ලෙස ඉහළ යෑමට ඉඩ ඇත. එවිට සිදුවන්නේ ඩොලරය අවප්‍රමාණය වීමෙන් කෙටි කලක් තුළ ලැබූ ලාභය මෙන් දෙතුන් ගුණයක පාඩුවක් විඳීමට පාරිභෝගිකයන්ට සිදුවීමයි.
ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ වටිනාකම උච්චාවචනය වීම පාවන විනිමය අනුපාතිකයක් යටතේ සාමාන්‍ය තත්ත්වයක් වුවත් ඒ හරහා ආර්ථිකයට සිදුවන බලපෑම සුළුපටු නොවේ. ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධානවලින් මහා භාණ්ඩාගාරයට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලැබුණ හොත් මේ අයුරින්ම රුපියල ශක්තිමත් වී මෙවැනි අර්බුදයක් යළි ඇතිවීමේ අවදානමක් ඇත. එවැනි තත්ත්වයකට යා නොදී රුපියල ශක්තිමත් වීමේ වාසිය ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන අතරම ආර්ථිකය හසුරුවන ආනයනකරුවන් ආරක්‍ෂා කිරීමේ වගකීම ද රජය සමබරව පවත්වා ගෙන යා යුතුය.
කමල් බෝගොඩ