ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

1996

විනිමය සංචිත පහත වැටීම හෙවත් ඩොලර් නැතිකමේ අර්බුදය දැන් අපේ ආර්ථිකය හමුවේ ඇති ප‍්‍රධානම අභියෝගය බවට පත්ව තිබේ. එම අභියෝගයට මුහුණ දීමට එක් පාර්ශ්වයක යෝජනාව වන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් අයි. එම්. එෆ්. සහය පැතිය යුතුය යන්න වන අතර තවත් පිරිසක් මෙම ඩොලර් අර්බුදය විසඳා ගැනීමට කෘතී‍්‍රමව ස්ථාවර කරගෙන තිබෙන රුපියල වෙළෙඳ පොළේ හැසිරීම අනුව පා කර හැරිය යුතු බව කියති. මේ කරුණු දෙකෙන් ඩොල්ර් අර්බුදයට විසඳුම් සෙවිය හැකිද?

අයි.එම්.එෆ්. එකට ගියාට වැඩක් වෙන්නෙ නෑ….ජ.වී.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති

ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

අපි හිතන විදියට මේ දෙකම විසඳුම් නෙවෙයි. ඔය කොයි උත්තරේ තේරුවත් මේ මහා විනාශයෙන් අපි වැටිල තියෙන පතුලින්ගොඩ එන්න බෑ. අපි කල්පනා කරන්න ඕන අයි. එම්. එෆ්. බෙහෙත හරි, රුපියල පා කිරීමේ සම්ප‍්‍රදායික බෙහෙත හැර වෙනත් රටට ආර්ථිකයට හානිකර නොවන උත්තරයක් තියනවද කියල. ඔය උත්තර දෙක තෝරන්නෙම, ඒක තමයි සම්ප‍්‍රදායික ධනපති දේශපාලනයේ මේ වෙලාවේ තියෙන එකම උත්තරය. අයි. එම්. එෆ්. එකට යනවා කියන එකෙන් වෙන්නෙ ඔවුන් අපට යෝජනා කරනවා රජයේ වියදම් සීමා කරගන්න, ආදායම් වැඩි කරගන්න ක‍්‍රමය කියන්න කියල. මේ කියන්නෙ අය වැය හිඟය පරතරය පියවගන්න යෝජනානේ. එතකොට ආණ්ඩුවට තියෙන උත්තරේ තියෙන්නෙ ජනතාවගේ සහන කපන එක. ඒත් දැන් ජනතාවගේ සහනයක් කපන්න ඉතුරුවෙලා නෑනෙ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට තියෙන අවමයනෙ වෙන් කරන්නෙ. ඒ ටිකත් කැපුවොත් මොනවද ජනතාවට ඉතුරුවෙන්නෙ. ඒත් ආණ්ඩුවේ නාස්තිකාර වියදම් එකක්වත් අඩු කරගන්නෙ නෑනෙ. රජයේ වියදම් කියල ආණ්ඩුව දකින්නෙ ජනතාවට ලැබිල තියන සහන ටික විතරනෙ. ආණ්ඩුවේ හොරකම් නවත්තන්නවත්, නාස්තිය දූෂණය නවත්තන්නෙවත්, ප‍්‍රසම්පාදන ක‍්‍රමවල තියෙන වැරදි, විගණන වැරදිවත්, ටෙන්ඩර් ක‍්‍රමවේදය වෙනස් කරන්නවත්, ගැහිලි නවත්තන්නෙවත් නෑනෙ. රාජ්‍ය වියදම් අඩු කරන්න කියන පොදුවේ අයි. එම්. එෆ්. එකෙන් ගේන යෝජනා ආණ්ඩුව හදාගන්නෙ තමන්ට වාසි වෙන විදියට. එතකොට ඒකෙනුත් පීඩා විඳින්න වෙන්නෙ ජනතාවට. ඊට පස්සෙ ආදායම වැඩි කරන්න කිව්වොත් ආණුඩුව නිෂ්පාදනය වැඩි කරල අපනයන ආදායම නංවලා අපේ රටට අලූතින් ඩොලර් එන ක‍්‍රම හදන්නෙ නෑනෙ. ආණ්ඩුව ආදායම වැඩි කරන්නෙ බදු ගහල. ඉතින් අයි. එම්. එෆ්. එකට නොගියත් ආණ්ඩුව අද අයි.එම්.එෆ්. එක කියන දේ තමයි මේ කරන්නෙ.

ඒවගේම රුපියල පා කරොත් තව මේක නූල කැඩිච්ච සරුංගලේ වගේ තව ඉහළ යනවා. ඒ නිසා මේ දෙකම උත්තර නෙමෙයි. හැබැයි මේක හදනව නම් ජනාධිපතිගෙ ඉඳල දේශපාලකයන්ගෙ නාස්තිකාර වියදම් කපන්න ඕන. ආරක්ෂක වියදම් කියල හමුදා මූලස්ථාන හදන්න, ඒවගෙ තියන ටයිල් මාරු කරන වැඩ නෙවෙයිනෙ දැන් වෙන්න ඕන. මේ දේශපාලන සංස්කෘතිය තියාගෙන අයි.එම්.එෆ්. එකට නෙවෙයි දිව්‍ය ලෝකයට ගියත් වැඩක් වෙන්නෙ නෑ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළොත් විතරයි මිනිස්සු කැප කිරීම් කරන්න පටන් ගන්නෙ. ආයෝජකයො එන්න පටන් ගන්නෙ. දැන් හදන්න ඕන විශ්වාසය. වෙනස් නොවන බදු ක‍්‍රමයක්, වෙනස් නොවන සරල නීති රීති මාලවක්. ස්ථාවර දේශපාලන ක‍්‍රමයක්. සරලව කිව්වොත් වසරක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්ලා හතරක් මාරු වෙනකොට කෘෂිකර්මයට කව්ද ආයෝජනය කරන්න එන්නෙ.

සංචිත ඉහළ යැවීමකට යන්න ඕන…මහාචාර්ය හීන්කෙන්ද

ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

ඇත්තටම මේ දෙකම පිළිතුරක් නම් නෙවෙයි. හැබැයි මේ අයි. එම්. එෆ්. එකට ගිහින් බලාපොරොත්තු වෙන්නෙ යම් සංචිත ලබාගැනීමට. හැමෝම කියන්නෙ එතෙන්ට ගියාම මහජන සහනාධාර අඩු කිරීම, රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම, විනිමය අනුපාත යම් යම් සංශෝධන සිදුකිරීම වගේ දේවල් කරන්න වෙනවා කියන එක. ඉතින් රජය තාම ඒකට නිශ්චිත ස්ථාවරයක් කියල නෑ. අපි දන්නවා අයි. එම්. එෆ්. එකෙනුත් යම් යම් අයහපත් දේ අපට සිදුවුණා. ඒ අයගේ කොන්දේසිවලට යට නොවී මේ වැඩකටයුත්තට අවතීර්ණ වීමයි විය යුතු. රජය මේ මොහොතේ කල්පනා කරනවා ඇත්තෙ අතීත අත්දැකීම් එක්ක අයි. එම්. එෆ්. එකත් එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියන එක ගැන. නැතුව අයි. එම්. එෆ්. එකත් එක්ක තරහක් තියාගෙන ඉන්නවා නෙවෙයි.

රුපියල පා කරනවා කියන එක එක කාලවලදී සිදුවුණු දෙයක්. ඩොලර් ප‍්‍රශ්නයට ඒක විසඳුමක් නෙවෙයි. අපි අපනයන වැඩි කිරීම සඳහා කටයුතු කිරීමයි කළයුතු වන්නෙ. දැන් අපේ ඇඟලූම් කර්මාන්ත අංශය කොවිඞ් අර්බුදය හමුවෙත් නවත්වන්නෙ නැතිව අරගෙන ආවේ. ඒ වගේ දැන් එම ක්‍ෂේත‍්‍රය තවත් දියුණු කරගෙන යන එක සුබවාදී බලාපොරොත්තුවක්. අනික අපිට තිබෙන ප‍්‍රශ්නය විදේශීය පේ‍්‍රෂණවල අඩු වීම හදාගන්න එක. සංචාරක කර්මාන්ත ක්‍ෂේත‍්‍රයෙත් වර්ධනයක් දැන් තියනවා. ඒත් එක්ක අපනයන දිරි ගැන්වීම තුළින් ගොඩ නගන සංචිත ඉහළ යැවීමකටයි අපි යන්න ඕන. ඒක කෙටිකාලීන විසඳුමක්. ඊට පස්සෙ බහු පාර්ශවීය ගිවිසුම්වලින් ආයෝජනවලට යන්න ඕන කියන එකයි මගේ අදහස.


මූල්‍ය පහසුකම ලැබෙන්නේ 2022 මැද…ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති

ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

අපේ විනිමය අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අයදුම් පතක් ඉදිරිපත් කළොත් එය අනුමත කර ගැනීම සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

එහෙත් දැන් තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ ඇති ප‍්‍රශ්නය කෙටි කාලීනව විසඳා ගැනීමට මූල්‍ය අරමුදලට යාමට ප‍්‍රමාද වැඩි බවද විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

අප දැන් මුල්‍ය අරමුදලට යොමු වුවහොත් අපේ ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අනුමතව අපට යම් මූල්‍ය පහසුකමක් ලැබීමට 2022 වසරේ මැද විතර වන බවද ඔහු සඳහන් කළේය.

එහෙත් අපට දැන් තිබෙන ප‍්‍රශ්නය අප ඉදිරි සති හතර ගත කරන්නේ කොහොමද කියන එකයි. ඒ නිසා ඉන්දියාවෙන් අපට ලැබීමට තියෙන මූල්‍ය පහසුකම් ඉතා ඉක්මණින් දිවා? නොබලා වෙහෙස වී ලබා ගැනීමට අප කටයුතු කළ යුතු බවද එසේ නැතහොත් අපේ විදේශ ගෙවීම් කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නය රට හමුවේ තිබෙන බවද මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා තවදුරටත් දිවයින ඉරිදා සංග‍්‍රහයට කීවේය.


තිබෙන ඩොලර් සොච්චම නාස්ති කරනවා ඉස්සෙල්ලා ඒ විනය හදන්න…ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

මේක හරියට හෙට්ටියගෙන් ණය ගන්නවද ගෙදර තියෙන බඩු මුට්ටු වටිනාකම පාවෙන්න හරිනවද වගේ ප‍්‍රශ්නයක් ඔය. මේක හරියට කුඩුකාරයගෙ රස්සාව වගෙනෙ. දැන් ඔය අයි. එම්. එෆ්. යනවද රුපියල පා කරල ගොඩ යනවද කියල අහන්නෙ හෙට දවස නිවරදි කරගන්නෙ නැතිවනෙ. හෙටත් ඩොලර් හිඟයිනෙ. අපි හෙට දවසේ වියදම් කරන ඩොලර්වලට වඩා ඩොලර් උපයන්නෙ නෑනෙ. මම කියන්නෙ, අයි. එම්. එෆ්. යනවා කියන්නෙ අපායට යනවා වගේ කියන එක නෙවෙයිනෙ. අයි.එම්.එෆ්. ගියොත් සමහරවිට එයාල අපිට දිරවන්නෙ නැති කොන්දේසි දායි. ඒ කොන්දේසිවලට යට නොවී අපිට ඕන දේ කරගන්න අපේ ආර්ථික උපාය මාර්ග තෝරන අයට විනයක් සහ හැකියාවක් තියෙන්න ඕන. අයි. එම්. එෆ්. නෙවෙයි මොකා කිව්වත් අපේ රටේ මෙච්චර කල් නොකෙරුණ කරන්න ඕන වැඩ ටිකක් තියනවනෙ. මේවා මහසෝනා ඇවිත් කිව්වත් කරන්න ඕන වැඩ ටිකක්. දැන් රාජ්‍ය ආයතන ටික සම්පූර්ණයෙන්ම කාබාසිනියා වෙලා. එතකොට දැන් අයි. එම්. එෆ්. ඇවිත් කිව්වොත් රාජ්‍ය ආයතන ටික ලාභදායී කරන්න කියල ඒක වැරදිද. ඔවුන් කිව්වොත් පාඩු ලබන රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කාර්යක්ෂමතාව නංවන්න නැත්නම් විකුණන්න කියල අපි මොකක්ද කරන්න ඕන. අපි කියන්න ඕන නෑ අපි විකුණන්නෙ නෑ. අපි අභ්‍යන්තර කාර්යක්ෂමතාව නංවන්නම් කියලනෙ. රාජ්‍ය ආයතන විකුණන්නෙ නෑ කියන මිනිස්සු කියන්න ඕන කතාව ඒකනෙ. දැන් මම බැංකුවකට ගිහාම මට කියනවා උඹේ ආදායම වියදම බැලූවම උඹට කිසි මුදල් විනයක් ඇති බව පේන්නෙ නෑ. උඹට ණය දෙන්නම් හැබැයි උඹේ මුදල් විනය පෙන්වන්න අපිට. නැතුව සල්ලි ටික අරගත්ත ගමන් කුඩු ගහනවද රේස් දානවද වෙන වෙන අයථා දේවල් කරන්න යනවද එහෙම නැත්නම් ඒ ණය අරගෙන ඇවිත් ළමයට උගන්වන්න වියදම් කරනවද… මේක තමයි බැංකුවක් වගේම අයි. එම්. එෆ්. එකත් හොයන්නෙ අපෙන්. ඉතින් අයි. එම්. එෆ්. එක උනත් ඒ ප‍්‍රශ්නය අහන එක වැරදි නෑනෙ. එහෙම නැතිව බලය බෙදපන්, මානව හිමිකම් රැකපන්, ත‍්‍රස්තවාදි සිරකරුවන් නිදහස් කරපන් කියනව නම් නෙ වැරදි. ඒවා මේකත් එක්ක සම්බන්ධ නෑ කියන්න අපිට පුළුවන්නෙ. ඉතින් ඒ සාකච්ඡාවට යන්න අපේ ආර්ථික විශේෂඥයන්ට විනය දක්ෂතාවය තියෙන්න ඕන.

එක්තරා ආකාරයකට රුපියල පා කිරීම තුළ කෙටි කාලීන උත්තරයක් තියනවා. ඒ වගේ ක‍්‍රමවලට යන්න ඕන. රුපියල පා කරල අද ඩොලර් එක දෙසීය නම් හෙට දෙසිය පනහ වුණොත් රටින් එන ඇපල් ගෙඩිය වැඩි වෙලා මිනිස්සු ඒවා පරිභෝජනය කරන එක අඩු වෙනවා. එතකොට රජය සහනාධාර දෙන්න ඕන ඇපල්වලට නෙවෙයි කිරිපිටි වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. සහනාධාර දිය යුතු කණ්ඩායම්වලට. නමුත් රජය සහනාධාර දෙන්නෙ දිය යුතු ඒවට නෙවෙයිනෙ. දැන් බලන්න ජනතාවගේ බදු මුදලින් ගුණරුවන්ට මොකටද වැක්සින් එක නිකන් ගැහුවේ එයාට වැක්සින් එක ගන්න වත්කමක් නැති හන්දද. කින්නියාවල පාලමක් නැතිව මිනිස්සු මැරෙද්දි කැලණි ගඟ උඩින් මිලියන ගාණක් ණය වෙලා හදන පාරෙන් නිකන් යන්න දෙන්නෙ කාටද. ඒ සහනාධාරය ලැබෙන්නෙ ටවුන් එකට බටර් බාගයක් ගන්න කාර් එකෙන් යන කෙනාට. එයාට මොකටද සහනාධාර. මහපොළවේ ඉන්න සාමාන්‍ය මනුෂ්‍යාගේ අවශ්‍යතාව අනුව නෙවෙයි වෙළෙඳ පොළ හැසිරිලා ඔය තියන ඩොලර් සොච්චම නාස්ති කරන්නෙ. කෙටිකාලීන උත්තරයක් හොයන්න ඕන එක ඇත්ත. හැබැයි ඒ කියල මේ දීර්ඝ කාලීන ප‍්‍රශ්නය අමතක කරන්න හොඳ නෑ.

කිසිම රටකින් අපට ණය දෙන්නේ නෑ…මහාචාර්ය මිල්ටන් රාජරත්න

ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

යම්කිසි රටකට ණය ගෙවන්න ආනයන කරන්න හෝ වන්දි ගන්න වගේ මොනවා හරි දේකට උපයන මුදල් ප‍්‍රමාණයට වඩා වියදම් වැඩි වුණොත් ඒ රටේ විදේශීය මිල විනිමය වත්කම් ප‍්‍රමාණය අඩු වෙනවා. එහෙම අඩු වුණාම විදේශ විනිමය සම්බන්ධයෙන් බරපතළ අර්බුධ පැන නඟිනවා. ණය ගෙවාගන්න බැරි වුණාම ඔයගොල්ලන්ගෙ රට බංකොලොත් වෙලා තියෙන්නෙ කියලා විදේශ රටවල් කියනවා.

එහෙම වුණොත් කිසිම රටකින් අපට ණය දෙන්නේ නෑ. ආයෝජකයන් එන්නෙ නෑ. අපනයනය කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ. ණයවර ලිපි බාරගන්නෙ නෑ. මේ වගේ ගැටලූ රාශියක් ඇතිවෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න හදිස්සියේ මුදල් උපයගන්න විදිහක් නැති නිසා ලංකාවට අනිවාර්යෙන්ම කාගෙ හරි පිහිට පතන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිටරටකින් විදේශ විනිමය හොයාගන්න ක‍්‍රමයක් අපි හදාගන්න ඕන. ඒ වෙනුවෙන් පිටරටකින් ණයට ගන්න පුළුවන්. එහෙම නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න සිද්ධ වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවලා තියෙන්නෙම මේ වගේ අවස්ථාවල රටවල් වලට උදව් කරන්න තමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සාධාරණ අඩු පොලියට ණය ලබා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න පැකිලෙන්න ඕන නෑ. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දෙන්නේ දීර්ඝකාලීනව නිසා රටකට ණය ලබා දීමේදී ඔවුන් කොන්දේසි මාලාවක් පනවනවා. කාන්තා හිංසනය නැවතිය යුතුයි, සුළු ජාතීන්ගේ අයිතීන් තහවුරු විය යුතුයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විය යුතුයි වගේ ඉලක්ක රටකට ලබා දෙනවා. ණය ගන්න රටට අනිවාර්යෙන්ම මේ දෙවල් පිළිපදින්න වෙනවා. හැබැයි ඒක නරක දෙයක් නෙමෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැත්තම් පිටරටවලින් ඉහළ පොලියකට ණය ගන්නත් අපට පුළුවන්. පිටරටකින් ගිනි පොලියට ණය අරගන්නවා ද, එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අඩු පොලියකට ණය අරගෙන මේ තියෙන ප‍්‍රශ්න වලින් ගොඩ එනවද කියන එක මේ රටේ පාලකයන් තීරණය කළ යුතුයි. මම නම් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා නම් මේ ගැටලූවලට හොඳ විසඳුමක් ලබාගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියන එක ලැජ්ජාවට කාරණයක්වත් වරදක්වත් නෙමෙයි.

මේ අවස්ථාවලට තමා අයි.එම්.එෆ්. එක තියෙන්නෙ…අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

අයි. එම්. එෆ්. යන එක ප‍්‍රශ්නයක් නෙවෙයි. අලූතින් අයි. එම්. එෆ්. යනවා කියල කියන්න දෙයක් නෑ. දැනටත් අපි ඒකේ සාමාජිකයෙක්. හැබැයි අයි. එම්. එෆ්. එක හදල තියෙන්නෙ යම්කිසි අර්බුදකාරී අවස්ථාවලදි ගෙවුම් ශේෂ ප‍්‍රශ්න විසඳගන්න ඒ සාමාජික රටවලට උදව් කරන්න. ගෙවුම් ශේෂය කියන්නෙ අදාළ කාලසීමාවේ අපේ රටින් පිටට යන්න තියෙන මුදල් සහ අපේ රටට එන්න තියෙන මුදල් අතර තියෙන පරතරය. ඉතින් මේ ගෙවුම් ශේෂය හිරවෙලා ප‍්‍රශ්නයක් වුණ වෙලාවක ඒකේ සාමාජිකයන්ට අයි එම් එෆ් එකට යන්න පුළුවන්. මේකෙ මුදල් වෙන දේවල්වලට දෙන්නෙත් නෑ. අන්න එතකොට ඒ රට එක්ක ඔවුන් අවබෝධතා ගිවිසුමක් ඇති කරගන්නවා ඔගොල්ලො මෙතෙක් පැමිණි පිළිවෙතේ මෙන්න මේ දේවල් වෙනස් කරගන්න ඕන කියල. 2001 වසරෙදි සෘණ ආර්ථිකයක් තියෙද්දි එ.ජා.ප. රජයත් අයි. එම්. එෆ්. ගියා. ඊළඟට 2008 මම නියෝජ්‍ය මුදල් ඇමැතිව සිටියදී යුද්ධයේ තීව‍්‍ර අවධිය සහ පැමිණි ලෝක ආර්ථික අවපාතයත් එක්ක අයි. එම්. එෆ්. එකට ගියා. එදා අපෙත් එක්ක තිබුණ අවබෝධතා ගිවිසුම ජනතාවට එහෙන්මම පැහැදිලිව ප‍්‍රසිද්ධ කරා. ඊට පස්සෙ අපිට තිබුණ ආර්ථික අමාරුවෙනුත් ගොඩ ආවා. යුද්දෙත් ඉවර වුණා. එතනදි අපිට දාපු අමාරුවෙන් පිළිපදින්න වෙන කොන්දේසි එකින් එක අපි අයි. එම්.එෆ්. එකත් එක්ක මාස් පතා කරන සාකච්ඡාවෙදි විසඳගත්තා. විශේෂයෙන් අපේ විනිවිදභාවය, ටෙන්ඩර් පටිපාටිය, නොගැලපෙන වියදම් තියෙනව නම් ඒවා අඩු කරගැනීම මෙන්න මේවා වගේ අවබෝධතාවලට තමා යන්න වෙන්නෙ අපිට. ඒ නිසා මේ වෙලාවේ අයි. එම්. එෆ්. එකෙන් සහය ගැනීම වරදක් නම් නෑ. රුපියල පා කරනවා කියන එකත් ඒ අයගේ අවබෝධතා ගිවිසුමට සමහර විට එන්න තියෙන කොන්දේසියක් වෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දාන්නේ නෑ…පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ඩොලර් අර්බුදයට විසඳුම් සොයා අයි.එම්.එෆ්. යා යුතුද? රුපියල පාකර හැරිය යුතුද?

අපරාධ නීතිය යටතේ දඬුවම් ලබන්න තරම් බරපතළ වැරදි තමයි මේ රජය කරලා තියෙන්නේ. අවුරුද්ද අන්තිමට දිනුම් ලබා ගන්න ඩොලරය රුපියල් දෙසීයේ තියාගෙන දත්ත මගඩියක් කරනවා. අපරාධ නඩුවක් දාන්න ගෑස් පුපුරලා මිනිස්සු මැරෙන එකම ඇති.

දැන් මිනිස්සුන්ට කන්න නෑ. වසංගතයක් ආවා කියලා රජයට මේ දේවල් වලින් මඟහරින්න බෑ. මේ රජය කළේම උද්දච්ච මෝඩ තීරණ ගන්න එක. ඒකෙන් අසරණ වුණේ මේ රටේ ජනතාව. කිරිපිටි නෑ. එළවළු නෑ. ගෑස් නෑ. මොකක්ද මේ රට? කවුද මේ රට පාලනය කරන්නේ?. මේ රටේ වත්මන් පාලකයෝ හිතනවා නම් ඔවුන් බොහෝ දේවල් දන්නවා කියලා දැන් ඇත්තටම මොනවත් දන්නේ නෑ කියලා ඔවුන් පිළිගත යුතුයි.

ආර්ථිකයක් පාලනය කරන්න යම්කිසි බුද්ධි මට්ටමක් අවශ්‍යයි. ආර්ථිකය ගැන අවබෝධයක් නැතත් අඩුම තරමේ තේ කඩයක වත් වැඩ කරලා තියෙන්න ඕනෑ. ආර්ථික විද්‍යාව කියල දෙයක් තියෙනවා. ඒකේදි ආර්ථිකය සම්බන්ධව කටයුතු කරන්නේ කොහොමද කියන එක උගන්වනවා. දේශපාලන වුවමනාවට ඩොලරයේ අගය පාලනය කරන්න පුළුවන් කියලා මේ රජය හිතනවා නම් ඒක කරන්න බෑ කියලා මතක තියාගන්න ඕනෑ. මාස 13 කට කලින් මම මේ ගැන පුළුල්ව පැහැදිලි කළා. මම කියපු දේවල් තියා කිසිම ආර්ථික විශේෂඥයෙක් කියපු දෙයක් මේ රජය ඇහුවේ නෑ. අවසානෙට රජයට හිතෙන හිතෙන මෝඩ තීරණ ගත්තු නිසා මිනිස්සු නිකරුණේ මැරෙන්න පටන් ගත්තා. කවුරුහරි පුද්ගලයෙක් මේ රටේ ප‍්‍රශ්න ගැන උපදෙස් දුන්නොත් ඒ පුද්ගලයන්ව පන්නලා දානවා. විශේෂඥයන්ව අයින් කරලා දානවා. අන්තිමට මහා විනාශයක් මේ රටට වෙන්න පටන් ගත්තා. තවදුරටත් මේ රට ගෙනියන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙන්නේ. හෙට අනිද්දට මිනිස්සු අනිවාර්යෙන්ම පාරට බහිනවා. මූල්‍ය අරමුදලට ගිහින් මේ දේවල් විසඳගත්ත නම් ප‍්‍රශ්නය තරම් ඔඩු දුවන්නෙ නෑ. අපි තමයි හොඳටම කරන්නේ කියලා බලාගෙන හිටියට වැඩක් වෙන්නේ නෑ .දැන් මූල්‍ය අරමුදලට ගියත් මේ ප‍්‍රශ්න විසඳගන්න සෑහෙන්න අමාරු වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්න අපේ රටෙන් මුලින්ම කතා කළේ සම සමාජ පක්ෂ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මහත්මයා. ඒක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. දැන් ඉන්න උසස් කියන නිලධාරි කියනවා ශක‍්‍රයා කිව්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නෑලූ. මූල්‍ය අරමුදලට යනවනම් මගේ මිනිය උඩින් තමයිලූ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තා කියලා ඔවුන් කොන්දේසි දාන්නේ නෑ. එහෙම කොන්දේසි දානවා කියනවා නම් මම අභියෝග කරනවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. යම්කිසි රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නවානම් ඒ රට තමයි මේ මේ දේවල් කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන්නේ. එහෙම කිව්වම ඒ පිළිබඳ ඔවුන් සලකලා බලලා ණය ලබා දෙනවා.

මේ ප‍්‍රශ්නය විසඳ ගන්නේ නැතුව විනාශකාරී ලෙස ජනතාවගේ මුදල් වියදම් කරලා සෞභාග්‍යයේ දැක්ම කිය කිය පාලකයෝ බලාගෙන ඉන්නවා. නිදහසට පස්සේ මේ රටේ ඇතිවුණු අසාර්ථකම රජය තමයි මේ වර්තමාන රජය. ඒ නිසා දැන්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ ප‍්‍රශ්නය විසඳාගත යුතුයි. ඒ වෙනුවෙන් විශේෂඥයන් ලබාදෙන උපදෙස් පිළිබඳව දැන්වත් රජයේ අවධානය යොමු විය යුතුයි. එහෙම නිවැරදි තීරණයක් නොගත්තොත් මේ රටේ අහිංසක මිනිස්සු නිකරුනේ මැරිලා යනවා.

සාකච්ඡා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත – තිස්ස ගුණතිලක – නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment