ඩොලර් අර්බුදයෙන් ගැලවෙන්නේ මෙහෙමයි

447

රට මුහුණ දී සිටින ඩොලර් ප‍්‍රශ්නය සමනය කර ගැනීම සහ විදෙස් ණය පියවීමේ අභියෝගය ජය ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට බොහෝ දෙනා යෝජනා කර තිබුණත් රජය ඒ විකල්පයට යොමු වීමට සූදානමක් නැත. එසේ නම් විදෙස් ණය වගකීම් පියවා ගැනීමට අපට විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගැනීමට සහ ඇතැම් විට ණය ප‍්‍රතිව්‍යුහගත කරගැනීම ඇතුළු ක‍්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවේ. දැනටමත් මේ සඳහා රජයත් මහ බැංකුවත් යොමුව තිබේ. මේ විකල්පය ඉතාමත්ම අභියෝගාත්මක වූවත් රජය ඒ ගැන විශ්වාසය තබමින් කටයුතු කරයි. මේ පසුබිම තුළ මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ මෙම විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගැනීම පිළිබඳවයි.

කොරෝනා වසංගතය හමුවේ පහත වැටී ඇති සංචාරක පැමිණීම් සහ සංචාරක ආදායම් වර්ධනය කර ගැනීමට සිදු වන්නේ ද ක‍්‍රමයෙනි. එසේම අපනයන ආදායම් හැර විදේශ විනිමය පේ‍්‍රෂණ ඇතුළු අනෙකුත් විනිමය ආදායම් මාර්ගවලින් විනිමය ලැබීම් ද මන්දගාමී වී තිබේ. එසේම රටේ විනිමය අනුපාත කිහිපයක් ක‍්‍රියාත්මක වීම නිසා ද අපට විනිමය ප‍්‍රවර්ධනයට බාධාවක් ඇති වී තිබෙන බව ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පවසති. ප‍්‍රධාන වශයෙන් රටේ විනිමය අනුපාත දෙකක් තිබේ. එකක් මහ බැංකුව ප‍්‍රකාශයට පත් කරන නිල විනිමය අනුපාතයයි. එය කාලයක් තිස්සේම රු. 203 ක මට්ටමේ පවත්වාගෙන යමින් තිබේ. එසේම කළු කඩයේ ඩොලරය රු. 240 කට පමණ හුවමාරු වෙමින් තිබේ. එය කාටත් රහසක් නොවේ. ඒ අතර විදෙස් රැකියා කරන අය වෙනුවෙන් වෙනම රුපියල් දහයක් වැඩියෙන් ඇමෙරිකානු ඩොලරයකට ගෙවමින් මහ බැංකුව ඔවුන්ට දිරි ගැන්වීමක් සිදු කිරීමට ද යොමුව ඇත්තේ විනිමය පේ‍්‍රෂණ ආදායම් ප‍්‍රවර්ධනය කර ගැනීමටය. එය සාර්ථක කර ගත හැක්කේ මෙසේ ඔවුන් දිරි ගැන්වීමෙන් සහ ඔවුන්ට වැඩි ප‍්‍රතිලාභ ලබා දීමෙන් මිස ඔවුන්ට බලපෑම් කිරීමෙන් හෝ දැඩි නීතිරීති පැනවීමෙන් නොවන බවද කිව යුතුය. ඒවා ඔවුන්ගේ මුදල්ය. ඒ අය ඒවා රටට එවීමට යොමු වන්නේ ඔවුන්ට වැඩිම වාසියක් ඇති මාර්ගයකිනි. එහෙත් දැඩි නීතිරීති මගින් ඔවුන්ට බලපෑම් කිරීමෙන් ඔවුන් කිසියම් කාලයකට හෝ රටට මුදල් එවා සිටීමෙන් වැළකීමට ද ඉඩ තිබේ. මේවා ගැන ද අපගේ ආර්ථික බලධාරීන් සිතිය යුතුය.

මේ විනිමය අර්බුදය හමුවේ අපට කිසියම් අමාරු කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. මේ අභියෝගය අපට තනියම ජයගත හැකිද යන ප‍්‍රශ්නය තිබේ. එසේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට අපට සිදු වනු ඇති බව සමහර අය කියයි. මේ ලියුම්කරුට පසුගිය දා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා හමු විය. එහිදී ද මේ ලියුම්කරු ඒ ගැන ප‍්‍රශ්න කළ විට ආචාර්ය ජයසුන්දර මහතා කීවේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමෙන් ඔවුන් අපට තවත් ණය මුදලක් ලබා දෙනවා මිස අපගේ ණය ඔවුන් විසින් භාර ගැනීමක් සිදු නොවන බවයි. මෙලෙස ජයසුන්දර මහතා මෙන්ම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද පවසන අදහස් වලින් පැහැදිලි වන්නේ රට කිසිදු ණය පැහැර හැරීමකට මුහුණ නොදී විදෙස් ණය පියවීමේ අභියෝගය ජය ගැනීමට රජය සූදානම් බවයි.

අපගේම විකල්පයක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා මේ විනිමය අර්බුදය ජය ගැනීමට හැකි නම් එය වඩාත්ම හොඳම විකල්පයයි. එහෙත් ඒ සඳහා අපට අනිවාර්යෙන්ම නිසි කලට ණය ගෙවීම් පියවා ගනිමින් මේ විදේශ විනිමය අර්බුදය සමනය කර
ගැනීමේ පැහැදිලි ප‍්‍රතිඵලදායි උපායමාර්ග තිබිය යුතු වේ. දැනට මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම මගින් ඒ සඳහා ප‍්‍රතිපත්ති මාලාවක් හදුන්වා දී තිබේ. සැලසුම් සහ ඉලක්ක ඕනෑ තරම් තිබිය හැකිය. එහෙත් ඒවා ඒ අයුරින්ම ඉටු වීම ද අවශ්‍ය වේ. එනම් මේ විනිමය හිඟය හමුවේ ශ‍්‍රී ලංකාව ණය පැහැර හැරීමකට ලක්නොවන පරිදි අපට විදේශ විනිමය ලැබීම් මාර්ග උදා කර ගත යුතුවේ. ඒ සඳහා ඉතා පැහැදිලිව සංචාරක, අපනයන සහ විදේශ විනිමය පේ‍්‍රෂණ යන විදේශ විනිමය ඉපයුම් පමණක් ප‍්‍රමාණවත් නොවන බව ද කිව යුතු වේ. වෙනත් ණය සහ විදේශ විනිමය හුවමාරු පහසුකම් මෙන්ම ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග වෙත ද අපට යොමු වීමට සිදුවනු ඇත. මේ සඳහා මහ බැංකුව දැනටමත් යොමුව ඇත. මෙලෙස මූල්‍ය අරමුදල වෙත නොයා අපේ විනිමය තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අපට සිදුවනු ඇත.

විනිමය අර්බුදය සඳහා අපට දිගුකාලීන විසඳුම් මගක පරිවර්තන ලක්ෂණ මෙවර අයවැයේ දක්නට තිබේ. එහෙත් ඒ සඳහා කාලය අවශ්‍ය වේ. එතෙක් බලා නොසිට අපට ඒ ඒ වෙලාවට ණය වගකීම් අනිවාර්යෙන්ම පියවිය යුතු වේ. මේ නිසා කෙටිකාලීනව විනිමය අලූතින් සොයා ගැනීම සඳහා යොමු වීමට ද රජයට සිදුවනු ඇත. තෙල් ආනයනය සඳහා ඉන්දියානු ණය පහසුමකට ද රජය යොමුව ඇත.

මේ අතර අපගේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා අඩු වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ විය. හදිසි ආනයන අවශ්‍යතා සපුරාලීම සඳහා මහ බැංකුවේ සංචිතවලින් යම් ප‍්‍රමාණයක් ගෙවීම් කිරීමට ද සිදුව තිබේ. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ ඩොලර් හිඟය නිසා වරායේ කන්ටේනර් දහසක් පමණ සිර වී ඇති බවයි. ඒ සඳහා ඩොලර් දෙන විට අපේ සංචිත තවත් අඩුවේ. මේ අනුව පසුගිය ඔක්තෝබර් මස අගවන විට අපේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක් විය. එසේම මේ වන විට සංචිත මට්ටම තවත් පහත වැටී ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටී ඇති සංචිත වලින් රන් සංචිත අඩු කළ විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා තවත් අඩුවන බව ද වාර්තා වේ. එහෙත් මහ බැංකුව තවමත් නොවැම්බර් අග සංචිත තත්ත්වය නිල වශයෙන් ප‍්‍රකාශ කර නැත. විදෙස් සංචිත යනු ලැබීම් සග ගෙවීම් අනුව වෙනස් වන්නකි. එය කිසියම් නිශ්චිත ස්ථාවර අගයක් නොව එය අඩුවැඩි වන අගයකි. මහ බැංකුව පවසන්නේ මහ බැංකුව සහ රජය මගින් ගනු ලබන ක‍්‍රියාමාර්ග සහ පෞද්ගලික අංශය වෙත ලැබෙන විදේශ විනිමය ලැබීම් සමග විදේශ සංචිත තත්ත්වය වර්ධනය වනු ඇති බවයි. මේ අතර මහ බැංකුව සිය සය මාසික මාර්ග සිතියමෙන් සඳහන් කළ විදේශ අරමුදල් ඉලක්ක කළ පරිදි ලබා ගැනීමේ උත්සාහයේ නිරතව සිටී.

දැන් දැන් සංචාරක පැමිණීම් වර්ධනය වෙමින් තිබේ. එහෙත් දිගින් දිගටම විදේශ විනිමය පේ‍්‍රෂණ රටට ලැබීම අඩුව තිබේ. වඩා අවශ්‍ය කරන්නේ රට රැකියා කරන අය දිරිමත් කර ඔවුන්ගේ ප‍්‍රතිලාභ වර්ධනය කරමින් විදේශ විනිමය පේ‍්‍රෂණ වැඩි කර ගැනීමට උත්සාහ දැරීමයි. ඔවුන් හවාලා ක‍්‍රමවලට යොමුව ඇත්තේ විධිමත් ක‍්‍රමයට විනිමය එවීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ අඩු නිසා විය හැකිය. ඒ සඳහා විදෙස්ගත ශ‍්‍රමිකයන්ට විශ‍්‍රාම වැටුප් ක‍්‍රම රක්ෂණ ක‍්‍රම යනාදිය හඳුන්වා දෙමින් කිසියම් ආකර්ෂණීය දිරිගැන්වීම් ක‍්‍රමයක් හඳුන්වා දීමට ද මහ බැංකුව පියවර ගෙන ඇත. මේ හරහා විධිමත් මාර්ග හරහා විනිමය පේ‍්‍රෂණ රටට පැමිණීම වැඩි කර ගැනීමට මහ බැංකුව උත්සාහයක නිරතව සිටී. දැනට විදේශ විනිමය පේ‍්‍රෂණ බොහොමයක් අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට එවන්නේ ඔවුන්ට බැංකු ක‍්‍රමය හරහා එවීමෙන් ලැබෙන්නේ රු. 198.50 ක් තරම් අඩු අගයක් නිසාය. එහෙත් මේ මාසයේ ඔවුන්ට රුපියල් 10 ක් වැඩියෙන් ලබා දීම නිසා විනිමය පේ‍්‍රෂණ නිල මාර්ග ඔස්සේ වර්ධනය වීමට එය කිසියම් බලපෑමක් ඇති කරනු ඇත. එහෙත් මෙවැනි ක‍්‍රමවලට වඩා විනිමය අනුපාතය කිසියම් දුරකට අවප‍්‍රමාණය වීමට ඉඩ සැලසීම සුදුසු බවටද මතයක් තිබේ. දැනට තිබෙන කෘතීම විනිමය අනුපාතය මත ඔවුන්ට ලැබෙන ප‍්‍රතිලාභ අඩු වීමේ තත්ත්වයට මෙසේ අඩු මට්ටමක දිගටම විනිමය අනුපාතය තබා ගැනීමෙන් විසඳුම් නොලැබෙන බව ද ආර්ථික හා මූල්‍ය විද්වතුන් කියති. ජනයා ද මේ අවස්ථාවේ හැකිතාක් දේශීය දේ පරිභෝජනය කරමින් කොරෝනා වසංගතය යළි හිස එසවීමට ඉඩ නොලැබෙන පරිදි වඩාත් ආරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් අනුව රැකියා හා ආර්ථික කටයුතු කරමින් මේ විපතින් ගොඩ ඒමට පුරවැසි දායකත්වය උපරිම ලෙස දීම ද ඉතාමත් අවශ්‍ය වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment