ඩොලර් අර්බුදයෙන් රට කබලෙන් ලිපටද?

561

මේ වන විට රටේ ඩොලර් හිඟය තවදුරටත් උග‍්‍ර වී ඇත. මේ නිසාම මහ බැංකුව නිල වශයෙන් ප‍්‍රකාශ කරන විනිමය අනුපාතය අද වෙළෙඳපොළ තුළ දක්නට නැත. ඒ වෙනුවට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු.220 ද ඉක්මවා ගොස් තිබේ. විවිධ බැංකුවල මේ අනුපාතයේ සුළු වෙනස්කම් තිබුණත් කිසිම බැංකුවක ගනුදෙනු වන විනිමය අනුපාතය මහ බැංකුව ප‍්‍රකාශයට පත් කරන විනිමය අනුපාතය අතර බරපතල විෂමතාවක් පවතී. රටට ලැබෙන විදේශ විනිමය සීමා වීම නිසා ඇතිව තිබෙන මේ උග‍්‍ර විනිමය හිඟය අමෙරිකානු ඩොලරයේ කළු කඩ මිල ද විශාල ලෙස ඉහළ ගොස් ඇත. ඇතැම් විට ඇමෙරිකානු ඩොලරයකට රු.235 සිට රු.250 දක්වා විවිධ ගණන්වලින් මේ කළු කඩයේ ඩොලරයක අගය තීරණය වන බව ද වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. ඩොලරයේ කළු කඩ මිල යනු විධිමත් බැංකු පද්ධතියෙන් බැහැරව අවිධිමත් වෙළෙඳපොළ තුළ ඩොලර් ඇතුළු විදේශ විනිමය අලෙවිවන මිලයි. මෙසේ රටට ලැබෙන විදේශ විනිමය සීමා වීම නිසා අපේ රටේ ආර්ථිකයටත්, සාමාන්‍ය ජනජීවිතයටත් සිදු වෙමින් තිබෙන බලපෑම් ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡුා කරමු.

මේ ඩොලර් හිඟය නිසා අපගේ ආනයනකරුවන්ට මෙන්ම විදේශ අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිපදවන අපේ නිෂ්පාදකයන්ටද විශාල බලපෑමක් දැනටමත් සිදුවෙමින් තිබේ. බොහෝ අපනයන සඳහා ආනයනික අමුද්‍රව්‍ය යොදා ගන්නා බව රහසක් නොවේ. මෙයට හොඳම උදාහරණය ඇඟලූම් කර්මාන්තයයි. මේ නිසා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලූ ඇති වෙනවා නම් එසේම අමුද්‍රව්‍ය ආනයන වියදම් ඉහළ යනවා නම් එය අපේ අපනයනවලට සහ වෙනත් නිෂ්පාදන කටයුතුවලට ද අහිතකර බලපෑම් ඇති වේ. මේ පසුබිම තුළ ඔවුන්ට භාණ්ඩ ආනයනය කිරීම සඳහා බැංකුවලින් ණයවර ලිපියක් විවෘත කිරීම ඉතාම දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. ඩොලර් හිඟය මෙන්ම බැංකුවල ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රු. 220 ද ඉක්මවා ගිය ඉතා ඉහළ අගයක් ගන්නා නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ පිරිවැය ද ඉහළ යනු ඇත. ඊට අමතරව බැංකුවල පවතින ඩොලර් හිඟය හමුවේ වැඩි මිලකට හෝ භාණ්ඩ ආනයනය කිරීමට ද දුෂ්කර තත්ත්වයක් උදා වෙයි.

එවැනි ගැටලූ දැනටමත් මතුව ඇත. රජයේ ආදායම් ද මේ කොවිඞ් වසංගතය හමුවේ අඩු වී ඇත. එසේම අපට කෙතරම් දේශීය මුදල් තිබුණත් වැඩක් නැත. රුපියල් අච්චු ගසා අපට මේ විදේශ මුදල් ප‍්‍රශ්නයට මුහුණ දිය නොහැකිය. විදේශ ණය පියවීමට සිදු වන්නේ අනිවාර්යෙන්ම විදේශ මුදල් වලින්මය. ඒ සඳහා කුමන ක‍්‍රමයකින් හෝ අප විදේශ විනිමය සොයාගත යුතුමය. එහෙත් සංචාරක ඉපයුම් ඇතුළු විදේශ විනිමය ලැබෙන මාර්ග සැලකිය යුතු ලෙස සීමා වී ඇත. මේ හමුවේ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළු කෙටිකාලීන මාර්ග කිහිපයකින් විදේශ විනිමය ප‍්‍රමාණයක් සොයාගෙන අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය සමනය කර ගැනීමට රජය සහ මහ බැංකුව එක්ව යොමුව තිබේ. එහෙත් මේවා තාවකාලික පිළියම් පමණක් වන බැවින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය වීමත් සමග දිගුකාලීනව විදේශ විනිමය ඉපයුම් වැඩි කර ගැනීමට අප විධිමත් වැඩපිළිවෙළකට යොමු විය යුතුව තිබේ.

ඩොලර් අර්බුදයෙන් රට කබලෙන් ලිපටද?

මේ ඩොලර් හිඟය වඩාත් උග‍්‍ර කරවන තවත් ප‍්‍රධාන කරුණක් වන්නේ අපට වාර්ෂිකව විශාල විදේශ ණය ප‍්‍රමාණයක් ගෙවීමට සිදුව තිබීමයි. වර්ෂ 2025 දක්වා අපට සාමාන්‍ය වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදෙස් ණය පියවීමට තිබේ. පසුගිය ජුලි මාසයේ අග දී ද අපට ඇමෙරිකානු ඩොලර් බිලියනයක විශාල ණය වාරිකයක් පියවීමට සිදුවිය. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගන්නා ලද ණය මුදලක් පියවීමටය. එසේම 2022 වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් සහ සහ 2022 ජුලි මාසයේදී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් වශයෙන් කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ලබාගත් ණය පියවීමට සිදු වේ. මේ සඳහා අපට තිබෙන විදේශ විනිමය ලැබීම් ප‍්‍රමාණවත් වනු ඇති ද? දැනට බොහෝ ආර්ථික විද්වතුන් පවසන්නේ පවතින විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා අපට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවයි.

එසේම රජය ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැත්නම් සහ විනිමය අර්බුදය සම්බන්ධයෙන් එවැනි විධිමත් සැලසුමක් රජයට සහ මහ බැංකුවට නැත්නම් අපට ණය ගෙවීම සම්බන්ධයෙන් විශාල අභියෝගාත්මක වාතාවරණයකට ලබන වසරේ (2022* දෙවන භාගය වන විට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන මහතා පසුගියදා මාධ්‍යයට පැවසුවේ මේ විදේශ විනිමය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අපට යොමු වීම හැර වෙනත් විකල්පයක් නොමැති වනු ඇති බවයි. ඒ නිසා මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් රජය විසින් මේ ගැන දැඩි ලෙස අවධානය යොමුකර පිළියම් ලබාදීමට ක‍්‍රියාමාර්ග ගතයුතු බවත් අපගේ අදහසයි.

මේ අතර පසුගිය දිනවල දී අපට ප‍්‍රධාන විදේශ විනිමය ලැබීම් තුනක් ලැබී තිබේ. ඒවා නම් පසුගිය අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යටතේ ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 787ක සමාන වෙන් කිරීමක් ශ‍්‍රී ලංකාව වෙත ලැබීම සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ මහ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු පහසුකම යටතේ වූ මූලික ලැබීම් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් ලැබීම සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගත් ඒකාබද්ධ ණය පහසුකමේ ඉතිරි ප‍්‍රමාණය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් රජයට ලැබීම වශයෙන් මේවා සඳහන් කළ හැකිය. මේ විදේශ විනිමය ලැබීම් සමග අපේ විදේශ සංචිත මට්ටම ශක්තිමත් වන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා මේ ලියුම්කරුට කීවේය.

පසුගිය ජුලි අගවන විට අපට ගෙවීමට සිදු වූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පියවීමත් සමග අපගේ විදේශ සංචිතය පහත වැටුණි. ඒ අනුව පසුගිය ජුලි අගවන විට අපගේ විදේශ සංචිත මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක් දක්වා පහත වැටී තිබේ. එම සංචිත ප‍්‍රමාණවත් වූයේ මාස 1.8 ක ආනයන ආවරණය කර ගැනීමට පමණි. ඒ අනුව මේ අප ඉහතින් සඳහන් කළ විදේශ විනිමය ලැබීම් සමග අපගේ විදේශ විනිමය සංචිත මට්ටම කිසියම් දුරකට ශක්තිමත් වනු ඇත. එහෙත් මේ අපට ලැබුණේ තාවකාලික සහනයක් පමණි. මේ කෙටිකාලීන විනිමය ලැබීම් සියල්ල ගත්ත ද එක වර්ෂයක විදේශ ණය පියවීමට ද ප‍්‍රමාණවත් නැත. එසේ නම් එන්නත්කරණය සමග කොවිඞ් වසංගතය පාලනය කරගනිමින් අපගේ ආර්ථික කටයුතු පණ ගන්වා ගත යුතුව තිබේ. සංචාරක පැමිණීම් ඇතුළු විනිමය ලැබීම් තවදුරටත් සැලකිය යුතු ලෙස වර්ධනය කරගත යුතු වේ.

එහෙත් කොවිඞ් ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම සහ මරණ ප‍්‍රමාණය ඉහළ අගයක් ගැනීම සංචාරක කටයුතු පමණක් නොව පොදුවේ අනෙකුත් ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට ද දුෂ්කර තත්ත්වයක් ඇති කරන බව රහසක් නොවේ. මේ නිසා රට වැසීමේ ක‍්‍රියාමාර්ග ගැන රජය ඇතුලේම විවිධ අදහස් තිබෙන නමුත් අපට හැෙඟන්නේ එමගින් වසංගතය කිසියම් දුරකට පාලනය කරගනිමින් ආර්ථික කටයුතු පණගන්වා ගැනීමට පසුබිම නිර්මාණය කරන බවයි. එසේම එන්නත්කරණය සැලකිය යුතු ලෙස රටේ ජනගහනය ආවරණය වන පරිදි ව්‍යාප්ත කළ විට අපට ඉදිරියේ දී විශාල වශයෙන් මරණ ප‍්‍රමාණය අඩු කර ගැනීමට හැකිවන බවට වෛද්‍ය අංශ දැනටමත් පවසා තිබේ. ඒ නිසා අපට මේ පවතින කොරෝනා අධි අවදානම් තත්ත්වය ඉක්මනින් අඩුකරගෙන ආර්ථික කටයුතු කරගෙන යෑමට හැකිවන තත්ත්වයක් උදා වනු ඇති බව සිතිය හැකිය.

පසුගිය අගෝස්තු 23 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එහි දැනට පවතින සාමාජිකයන්ගේ කෝටා ප‍්‍රමාණයට සමානුපාතික වන ලෙස වෙන් කළ මුළු විශේෂ ගැනුම් හිමිකම් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 650කට සමානය. කොවිඞ් වසංගතය හේතුවෙන් අප රටට මෙන්ම ලෝකයේ වෙනත් රටවලට ද ඇති වී ඇත්තේ පෙර නොවූ විරූ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමටය. විදේශ විනිමය සංචිත ඉහළ මට්ටමක පවතින දියුණු රටවලට මේ සඳහා මුහුණ දීමට ශක්තිය තිබෙන නමුත් අප වැනි විදේශ සංචිත දුර්වල රටවලට කොරෝනාව හමුවේ මුහුණ දීමට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටය. මේ නිසා විදේශ විනිමය කළමනාකරණය රටේ අංක එකේ ප‍්‍රමුඛ කාරණයක් බවට පත්ව තිබේ. එහි වගකීම නිල වශයෙන් තිබෙන්නේ මහ බැංකුවටය. කෙසේ හෝ මේ අවස්ථාවේ කොවිඞ් හමුවේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශාල මුදලක් ලැබීම විශාල සහනයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මේ විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යනු එම අරමුදල වෙතින් ලබා දෙන ණයක් නොවේ. එය ප‍්‍රදානයක් වැනි ලැබීමකි. ඒ හා බැඳුණු විශේෂ කොන්දේසි නොමැති වීමද විශේෂත්වයකි. මේ මුදල් ලැබීම හමුවේ, රටවල විදේශ විනිමය සංචිතවලට අතිරේකව මුදල් සපයමින් සහ වඩා අධික පිරිවැයකින් යුතු දේශීය හෝ විදේශීය ණය මත යැපීම අඩු කරලීමට හේතුවක් වේ. මේවා ලැබෙන්නේ එස්ඞීආර්වලින් නිසා ඒවා අපට දෙවනුව ඩොලර් කර ගැනීමට සිදු වේ. ඒ නිසා ඒ මුදල් ලැබුණු වහාම අපේ රුපියලේ අගය ශක්තිමත් වන්නේ නැත. මේ මුදල් එම අරමුදලේ සාමාජිකයන් වන ලෝකයේ විවිධ රටවලට ලැබීම් නිසා ගෝලීය ආර්ථිකයට අතිරේක මුදල් ප‍්‍රමාණයක් (ද්‍රවශීලතාවයක්) ලැබේ.

වසංගතය හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම්වලට එරෙහිව රජයන් ගන්නා ක‍්‍රියාමාර්ග වේගවත් කරමින් සිය ආර්ථික ශක්තිමත් කර ගැනීමට මෙමගින් ශක්තියක් ලැබේ. මෙවැනි වෙන් කිරීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කර ඇත්තේ අවස්ථා කිහිපයක දී පමණි. එනම් අරමුදල විසින් 2009ල 1979-81 සහ 1970-72 යන කාල වකවානුවල දී සිය සාමාජික රටවලට විශේෂ ගැනුම් හිමිකම් ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.

බංගලාදේශ බැංකුව සමඟ ඇති කරගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම දෙරට අතර ආර්ථික හා මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඇති කර ගත් එකකි. මෙය ලබා දී ඇත්තේ මාස 3ක කාලයක් සඳහාය. මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 100 සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වශයෙන් කොටස් තුනකින් අපට ලැබේ. අපට දැන් ලැබී ඇත්තේ මින් පළමු කොටස් දෙකය. මේවා මගින් සංචිත ශක්තිමත් වුවත් අපේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත මේවා සැපයීමක් නොකළොත් වහාම ඩොලරයට එරෙහිව අපේ රුපියල ශක්තිමත් වන්නේ නැත. මහ බැංකුවට ලැබෙන ඩොලර් මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළේ රුපියල්වලට විකුණන්නේ නම් එහිදී ඩොලර් සැපයුම ඉහළ ගොස් අපේ රුපියල ශක්තිමත් වීමට හේතු වේ. මේ නිසා විදේශ සංචිත ශක්තිමත් වූ පමණින්ම අපේ රුපියල ශක්තිමත් වන්නේ නැත. ණය ගෙවීම ඇතුළු අනෙකුත් විදේශ විනිමය ගෙවීම් සිදු කිරීමට ද මහ බැංකුවට ඩොලර් සංචිත ඉහළ නංවා ගතයුතු වේ. කෙසේ හෝ මෙම විදේශ විනිමය ලැබීම් රටේ විදේශ සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතරම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඇති හැකියාව වැඩි කරන්නක් බව කිව යුතුය. රජය වෙත ලැබෙන ණය නොවන විදේශ විනිමය ලැබීම් ඇතුළු අපේක්ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළ දී ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් ඉහළ යනු ඇතැයි මහ බැංකුවේ අපේක්ෂාවයි.

සීනි පැණිරස වුවත් ඒ පිළිබඳ අපට මේ දිනවල ඇසෙන්නේ තිත්ත කතාවකි. එයට හේතුව මහජනයාට සහනයක් දෙන්නයි කියමින් රජය විසින් ශත 25 දක්වා සීනි බද්ද අඩු කිරීම නිසා ඒ බදු මුදල් රජයටත් නොලැබී අන්තිමේ දී මහජනයාටත් කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වීමයි. මහජනයාට ඒ රජයේ බදු අඩු කිරීමේ සහනය දෙනවා වෙනුවට ශත 25 බද්දට විශාල වශයෙන් සීනි ආනයනය කර තොග සඟවා සීනි මිල කෘතීම ලෙස වැඩි කිරීමේ උත්සාහය මේ වන විට අනාවරණය වී තිබේ. ඒ නිසා මේ වසංගත සමයේ මේ බදු සහනය ජනයාට ලැබෙනවා වෙනුවට සිදු වූයේ ආනයනකරුවන්ට වාසි සැලසීමයි. වී, සහල්, කිරිපිටි සහ ගෑස් වැනි භාණ්ඩ ගැන ද බරපතල ප‍්‍රශ්න මතුව තිබේ. මේවා ගැන රජය මීට වඩා සිතා මහජනයා වෙනුවෙන් නිසි පියවර ගත යුතු බව අපි සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment