ඩොලර්  අර්බුදයේ මත ගැටුම්!

843

මේ වන විට රට තුළ මතුව ඇති ප‍්‍රශ්න බොහොමයකට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ රටේ කලක් තිස්සේම පවතින විදේශ විනිමය හිඟයයි. එනම් මේ වන විට ඉන්ධන පෝලිම් රට පුරාම දක්නට ලැබේ. මුදල් දී තෙල් ගසා ගැනීමටත් විශාල දුකක් විඳීමට ජනයාට සිදු වී ඇත. පෝලිම් තිබෙන්නේ ඉන්ධන තිබෙන නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එවැනි ගොන් කතා ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් අසන්නට ලැබේ. එහෙත් රට තුළ බලවත් ඉන්ධන හිඟයක් තිබේ. ඇතැම් ඉන්ධන හල්වල ‘තෙල් නැත’ කියා බෝඞ් ගසා ඇත. ඇත්තවශයෙන්ම එයට හේතු වී ඇත්තේ රටට ලැබෙන ඉන්ධන ප‍්‍රමාණයේ ප‍්‍රශ්නයක් හෝ අඩුවක් නිසා නොව එම තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟයක් මතුව ඇති නිසාය.

 අපගේම ඇණවුම් අනුව තෙල් නැව් නිරන්තරයෙන්ම රටට පැමිණෙමින් තිබේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් වැඩි වී ඇති බව ඇත්තය. ඒ නිසා එම ඇණවුම් කළ තෙල් ප‍්‍රමාණය මිලදී ගැනීමට වෙනදාට වැඩි ඩොලර් ප‍්‍රමාණයක් ද අවශ්‍ය වේ. එහෙත් රටේ මේ වන විට බරපතල ඩොලර් හිඟයක් තිබේ. කෙටියෙන්ම කියනවා නම් ආනයන සීමා පනවා තිබුණත් රටට ලැබෙන ඩොලර් ආදායම සහ ඩොලර් වියදම අතර ඉතා විශාල පරතරයක් තිබේ. ඒ පරතරය අවම කිරීමට තුඩු දෙන ක‍්‍රියාමාර්ග රජයත් මහ බැංකුවත් එක්ව ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඩොලර්  අර්බුදයේ මත ගැටුම්!

*විනිමය අර්බුදයට විසඳුම්

 මෙසේ ගත හැකි ක‍්‍රියාමාර්ග ප‍්‍රධාන වශයෙන් දෙයාකාරයකි. එකක් නම් විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමට පියවර ගැනීමයි. අනිත් පියවර නම් රටේ විදේශ විනිමය වියදම් අවම කර ගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීමයි. මෙහිදී විදේශ විනිමය ලැබීම් වැඩි කර ගැනීම සඳහා සාම්ප‍්‍රදායික විදේශ විනිමය ආදායම් තවත් වර්ධනය කර ගැනීමට අමතරව අලූතින් විදේශ විනිමය උපදවා ගත හැකි ක‍්‍රියාමාර්ග (නව ව්‍යාපෘති* ද අවශ්‍ය වේ. එහෙත් සාම්ප‍්‍රදායික විදේශ විනිමය ආදායම් තවත් වැඩි කර ගැනීමේ උත්සාහයන් තිබුණත් අලූතින්ම විදේශ විනිමය උපයාගත හැකි නව ව්‍යාපෘති ගැන රජය අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත. ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීට ටික කලකට පෙර ‘දිවයින’ සමග කළ සම්මුඛ සාකච්ඡුාවක දී මේ ලියුම්කරුට කියා සිටියේ ද විදේශ විනිමය උපදවාගත හැකි නව ව්‍යාපෘති රටට අවශ්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් වන ඔහුගේ යෝජනා කිහිපයක් ද රජයට ඉදිරිපත් කර ඇත. එහෙත් ධම්මික පෙරේරාගේ ඒ යෝජනා ගැන අවධානයක් යොමු කර ඇති බවක් හෝ රජයේම වන යෝජනාවලියක් හෝ ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ. ධම්මික පෙරේරා මහතා පමණක් නොව තවත් මූල්‍ය සහ ආර්ථික විශේෂඥන් රැුසක් මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාව ද මේ ඩොලර් ප‍්‍රශ්නය විසදා ගැනීම සදහා වන විවිධ ක‍්‍රියාමාර්ග ගැන රජයට සහ මහ බැංකුවට යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ සඳහා නිසි අවධානයක් යොමු වූ බවක් නොපෙනේ. එසේ ඩොලර් ආදායම් වැඩි කරගත හැකි නව ව්‍යාපෘති කිසිවක් ක‍්‍රියාත්මක නොකරන්නේ නම් අපට තවදුරටත් ඩොලර් ප‍්‍රශ්නයෙන් විඳවීමට සිදුවනු ඇති බව පැහැදිලිය.

 ඩොලර් ප‍්‍රශ්නය නිසා දැන් අප හොඳටම පීඩාවට පත්ව සිටිමු. එනම් මේ ඩොලර් ප‍්‍රශ්නයෙන් දැන් විඳින දුක මදිවාට ඊට නිසි පිළියම් නොයෙදුවහොත් ඉදිරියටත් මහජනයාට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මේ දිනවල ෂෙඞ් අසල දිගු තෙල් පෝලිම්වල දුක් විඳින, එසේම පැය ගණනාවක විදුලි කප්පාදුව නිසා අඳුරේ සිටින ජනයාගෙන් විමසූ විට ඔවුන්ගේ පීඩාව ගැන රජයේ අයට හොඳට ලූණු ඇඹුල් ඇතිවම අසාගත හැකිය.

 ඩොලර් ප‍්‍රශ්නය ආර්ථිකයේ සෑම අංශයකටම පාහේ අහිතකර ලෙස බලපා ඇත. විදුලිය කැපිල්ල නිසා ජනයාගේ එදිනෙදා ජනජීවිතයේ කටයුතු මෙන්ම ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු මෙන්ම රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය ද අඩපණ වේ. මේ තත්ත්වය ඉක්මනින් අවසන් කර ගැනීම සඳහා නිසි ක‍්‍රියාමාර්ග කඩිනමින් රජය හෝ මහ බැංකුව විසින් ගත යුතු වේ. එහිදී මුදල් අමාත්‍යාංශයට මෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුවට ද කිව යුත්තේ තම තමන්ගේ තනි මතයට පමණක් කටයුතු නොකර වෙනත් විද්වතුන්ගේ, ව්‍යාපාර ප‍්‍රජාවේ සහ කර්මාන්තකරුවන් ඇතුළු වෙනත් අදහස් සහ යෝජනාවලට සවන් දීම ද ඉතා වැදගත් බවයි. එහෙත් එවැනි දෙයක් සිදුවන බවක් නොපෙනේ. මේ සම්බන්ධයෙන් සියලූ දෙනාම කියන කියන පරිදි කටයුතු කිරීමට ද රජයකට හෝ මහ බැංකුවකට නොහැකිය. එය සත්‍යයකි. එහෙත් ඉහත කී වෙනත් පාර්ශ්වයන් මේ ඩොලර් ප‍්‍රශ්නය විසඳීම සඳහා ඉදිරිපත් කර ඇති නොයෙකුත් යෝජනා සහ ක‍්‍රියාමාර්ග ගැන ද සලකා බැලීම වටී. එසේ සිදු කර මේ ප‍්‍රශ්නය සමනය කර ගැනීමට සුදුසු ආණ්ඩුවට කළ හැකි ඵලදායී යෝජනා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ හැකිය. ඒ සමග රටට විදේශ විනිමය උපයන නව ක‍්‍රියාමාර්ග හෝ නව ව්‍යාපෘති ඉතා කඩිනමින් දියත් කිරීම අත්‍යවශ්‍ය මොහොතකට ද අපි එළඹ සිටිමු. නැතහොත් මේ ප‍්‍රශ්නය දිගින් දිගටම තවදුරටත් උග‍්‍ර වනු ඇත.

 මේ සඳහා මහ බැංකුව පැත්තෙන් සහ රජය පැත්තෙන් නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින නමුත් ඒවා ප‍්‍රමාණවත් වී නැත. ඒ නිසා මහජනයාට විඳීමට සිදුව ඇති පීඩා තවත් වැඩි වී ඇත. ඇතැම් ක‍්‍රියාමාර්ග නිසා ලැබෙමින් තිබූ විදේශ විනිමය ප‍්‍රමාණයත් අඩු වීමට හේතු වී ඇති බවක් පෙනේ. විදේශ විනිමය පේ‍්‍රෂණ මෙලෙස සියයට 50 ටත් වැඩි ප‍්‍රමාණයකින් අඩු වීම සිදුව තිබේ. ඒ නිසා දැනටමත් විදේශ විනිමය අර්බුදය විසඳීමට මහ බැංකුව පැත්තෙන් ගෙන ඇති ඇතැම් ක‍්‍රියාමාර්ග එතරම් ප‍්‍රතිපලදායී වී නොමැත. ඒ නිසා එම ක‍්‍රියාමාර්ග ගැන නැවත පසුවිපරමක් කර විදෙස්ගත පේ‍්‍රෂණ සැබෑ ලෙසම ආකර්ෂණය කිරීමට අලූතින් පියවර ගැනීම අවශ්‍යම දෙයකි. පොදුවේ මේ විනිමය ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රධාන වගකීම තිබෙන රජයේ අංශ දෙක වන්නේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශයයි. එහෙත් ඩොලර් ප‍්‍රශ්නය විසඳීමට ගතයුතු ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගැන මේ දෙපාර්ශ්වය පොදු එකඟතාවක් ඇතිව කටයුතු කරන බවක් නොපෙනේ. මේ නිසා මහ බැංකුව කලකට පෙර ඉදිරිපත් කළ බව කියන යෝජනා රජය පැත්තෙන් ක‍්‍රියාත්මක වී ද නැත. මේ පසුබිම තුළ අපට ප‍්‍රශ්න කිරීමට සිදුවන්නේ මේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එකම දිශානතියකට ගමන් කරමින් සිටින්නේ ද යන්නයි. මූලික වශයෙන් බැලූ බැල්මට පෙනෙන්නේ එය එසේ නොවන බවයි. උදාහරණයක් වශයෙන් මහ බැංකුව තෙල් මිල වැඩි කිරීම ඇතුළු යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කළත් මුදල් අමාත්‍යාංශය එම යෝජනාව තවමත් පිළිගෙන නැත.

 * මහ බැංකුව යෝජනා කළ ක‍්‍රියාමාර්ග

 අපට දැන ගැනීමට ලැබී ඇති පරිදි පසුගිය මාස 6ක පමණ කාලය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ පවතින විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා වන ප‍්‍රධාන ක‍්‍රියාමාර්ග කිහිපයක් රජයට යෝජනා කර ඇත. ඒ අනුව පහත දැක්වෙන එම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස මහ බැංකුව විසින් රජයෙන් ඉල්ලීම් කර ඇත.

 1. අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන බවට සැලකෙන ආනයන භාණ්ඩ 700ක් පමණ සඳහා ඉහළ තීරු බදු පැනවීම.

 මෙමගින් එම භාණ්ඩ ආනයනය සඳහා ඇති ඉල්ලූම සීමා වීමෙන් ඒවාට වැයවන විදේශ විනිමය ඉතිරි කෙරෙනු ඇතැයි ද එසේම එම බදු යටතේ එම භාණ්ඩ ආනයනය කිරීමෙන් රජයට බදු ආදායමක් උපයා ගැනීමටද ඉඩ ලැබෙනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.

 2. දේශීය ඉන්ධන මිල ගණන් වැඩි කිරීම.

 මෙමගින් තෙල් සංස්ථාව ලබන පාඩුව අවම වීම නිසා රාජ්‍ය බැංකුවලින් ණය ගැනීමට තිබෙන අවශ්‍යතාව අඩු වේ. රාජ්‍ය බැංකුවල ද්‍රවශීලතාවය වැඩිවීම සහ සමස්ත ඉන්ධන ඉල්ලූම අඩුවීම මෙන්ම ඉන්ධන ආනයනය සඳහා විදේශ විනිමය වියදම් අඩු වීම ද සිදු වනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාව වී ඇත.

 3. විදේශ විනිමය පේ‍්‍රෂණ කිරීම හරහා වාහන ආනයනය කිරීමට අවසර දීම සහ එම වාහන සඳහා ගෙවනු ලබන තීරුබදු සහ අනෙකුත් ගාස්තු සඳහා ද විශේෂිත විදේශ විනිමය පේ‍්‍රෂණ ඔස්සේ ගෙවීම් අනිවාර්ය කිරීම.

 මෙම යෝජනාව අනුව වාහන ගෙන්වීමෙන් රටින් පිටට විදේශ විනිමය ගලා යාමක් සිදු නොවේ. ඒ සඳහා විදේශ විනිමයෙන්ම බදු ගෙවීමට යෝජනා කර ඇති නිසා මේ හරහා රට තුළට සැලකිය යුතු විදේශ විනිමය ගලා ඒමට වාතාවරණයක් සැකසෙන බව ද ඒ තුළින් රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබෙනු ඇති බව ද මහ බැංකුවේ අදහස වී තිබේ. තවද මේ වන විට ඉතා තියුණු ලෙස වැඩි වී ඇති වාහන මිල අඩු වීමේ ප‍්‍රවණතාවක් ද මතුවෙනු ඇති බව ද මහ බැංකුවේ අදහස වී ඇතැයි අපට දැනගන්නට ඇත.

 4. සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම.

 මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නිසා විදුලිය නිෂ්පාදනයේදී ඉන්ධන ආනයනය අඩුවන අතර නව සෘජු විදේශ ආයෝජන සහ රැුකියා අවස්ථා ද බිහිවනු ඇත.

 5. විදේශ විනිමය හරහා නව ඉතුරුම් රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහා නව සේවක අර්ථසාධක අරමුදල් යෝජනා ක‍්‍රමයක් ව්‍යාප්ත කිරීම හා ඒ සඳහා විශේෂ දිරිගැන්වීම් හඳුන්වා දීම .

 මෙය විදේශගත ශ‍්‍රමිකයන්ට විශ‍්‍රාම වැටුපක් සහ/හෝ එකවර ගෙවීමක් සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාවක් වන අතර, සැලකිය යුතු ණය නොවන විදේශ විනිමය ගලා ඒමක් ඇති කිරීමට ද හේතු වනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.

 6. උපායමාර්ගික වශයෙන් වැදගත් නොවන සහ අඩුවෙන් භාවිතා කරන ලද ඇතැම් රාජ්‍ය වත්කම් මූල්‍යකරණය කිරීම.

 මේ හරහා නව ආර්ථික කටයුතු සැකසෙන අතරම නව ණය නොවන විදේශ විනිමය ගලා ඒම ද සිදුවනු ඇත.

 7. කාර්යාල සඳහා ස්වේච්ඡුා නම්‍යශීලි වැඩ කරන වේලාවන් (Flexi-Hours) සහ නිවසේ සිට වැඩ කිරීමේ පියවර (Work-from-Home) පිළිබඳ නව යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දීම.

 මේ යෝජනා හරහා බලශක්ති පරිභෝජනයෙන් සැලකිය යුතු ඉතිරියක් ඇති කිරීමට හේතු වන අතර, එමඟින් විදුලි උත්පාදනය සහ ප‍්‍රවාහනය සඳහා ඉන්ධන සඳහා විදේශ විනිමය වියදම් ද ඉතිරි වනු ඇත.

 * මහ බැංකුව සහ රජය අතර ප‍්‍රතිපත්ති පරස්පරය

 මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇති මේ ක‍්‍රියාමාර්ග නව විදේශ විනිමය ගලා ඒම් ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ පවතින විදේශ විනිමය සම්පත් රඳවා ගැනීමට හේතු වනු ඇති බව සමස්තයක් වශයෙන් මහ බැංකුවේ අදහසයි. මේවා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද තවත් බොහෝ ක‍්‍රියාමාර්ගවලට අමතරව රජයට ක‍්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර ඇති ඒවාය. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන පරිදි මේවා රජයට යෝජනා කර මාස හයක පමණ කාලයක් ගත වී ඇත. එහෙත් රජය පැත්තෙන් ඒවා ක‍්‍රියාත්මක වී නැත. මහ බැංකුව නිල වශයෙන් රජයේ ආර්ථික උපදේශකයායි. ඒ අනුව විටින් විට මහ බැංකුව විසින් රජයට විවිධ යෝජනා ඉදිරිපත් කරනු ලබයි. එහෙත් ඒ සියලූ යෝජනා එලෙසම ක‍්‍රියාත්මක කළ යුතු බවට නියමයක් ද නැත. රජයට මහ බැංකුවේ එම යෝජනා සලකා බලා සුදුසු පරිදි ක‍්‍රියාත්මක කිරීමට හෝ නොකර සිටීමට තීරණයක් ගත හැකිය. නැත්නම් වෙනත් විකල්ප යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ද හැකිය. කෙසේ හෝ මහ බැංකුව සහ රජය අතර පවතින මේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග අතර පරස්පරයෙන් අපට පෙනෙන්නේ මේ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා මහ බැංකුව සහ රජය එක මතයක සිට ක‍්‍රියාමාර්ග සමූහයක් අනුගමනය නොකරන බවයි. ඒ තුළින් සිදු වනු ඇත්තේ ඩොලර් ප‍්‍රශ්නය විසඳා ගැනීම තවත් කල්ගත වන ක‍්‍රියාවලියක් බවට පත් වීමයි. එසේත් නැත්නම් අප මුහුණ දී සිටින විනිමය ප‍්‍රශ්නය තවත් උග‍්‍ර තත්ත්වයට පත් වීමයි. මේ නිසා වත්මන් විදේශ විනිමය අර්බුදයේ මහජන පීඩාවන් තවත් කල්ගත වන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. මේ මොහොතේ රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ රට මුහුණ දී සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක වාතාවරණයකටය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ රජය සහ මහ බැංකුව එක්ව අනුගමනය කරන පියවර ගැන එක මතයක සිට යම් ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සමූහයක්

 අනුගමනය කරමින් සහ ඒ සඳහා ජනසමාජයේ සියලූ දෙනාගේ සහාය සහ දායකත්වය ද ලබා ගැනීමයි. මේ මොහොතේ අසීමිතව පීඩාවට පත්ව සිටින මහජනයා වෙනුවෙන් මේ ගැන විශේෂයෙන් මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කරවමි.

 ඡායා -– යූ. කේ. අබේරත්න

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment