ඩොලර් අර්බුදය විසඳගන්න පුළුවන් – ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්

236

සංචාරක ආයතන උපයන විදේශ මුදල් දින දෙකතුනකින් බැංකුගත කළ යුතුයි

ඉදිරියේදී බොහෝ දෙනෙක් නිල මාර්ගයෙන් විදෙස් මුදල් එවයි

සංචාරක ආයතනවලට විදේශිකයන්ට විදේශ මුදලින්ම ගෙවීම් කරන්න පුළුවන්

සංචාරක හෝටල්වලටත් විදේශ මුදල් මාරු කරන්න අනුපාතයක් දෙනවා

කාලයක් තිස්සේ රටේ බලවත් ලෙස කතාබහට ලක්වෙන ප‍්‍රධාන කරුණ වන්නේ රට මුහුණ දී සිටින බලවත් විදේශ විනිමය අර්බුදයයි. මේ ප‍්‍රශ්නය සමනය කර ගැනීමට රජය සහ මහ බැංකුව විසින් නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. මේ සඳහා මහ බැංකුව පසුගිය දා ගත් අලූත්ම තීරණයක් වූයේ සංචාරක ආයතනවලට විදේශිකයන්ගෙන් කරන අය කිරීම්වලදී විදේශ මුදල් පමණක් භාර ගැනීම අනිවාර්ය කිරීමයි. එම කරුණ ඇතුළු විනිමය අර්බුදයට සම්බන්ධ අලූත්ම කරුණු කාරණා කිහිපයක් ගැන අපි මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමග සාකච්ජා කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පිළිතුරු දුන් අයුරුයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාවට එන විදේශිකයන් පවා මෙරටට රැගෙන එන විදේශ මුදල් සංචාරක හෝටල්වලින් සහ අවිධිමත් මාර්ග ඔස්සේ වැඩි අනුපාතයකට මාරු කරනවා කියල ආරංචි තියෙනවා. ඒ අනුව සංචාරක හෝටල් වැඩි අනුපාතයකට ඒ විදේශ මුදල් ලබාගෙන විදේශිකයාට රුපියල් ලබා දී ඒ ලබා ගන්නා විදේශ මුදල් අවිධිමත් මාර්ග ඔස්සේ මාරු කරගන්න බවත් දැනගන්නට තිබෙනවා. මේ තත්ත්වය අවධානයට යොමුව තිබෙනවා ද?

පිළිතුර – ඔබ දකින්න ඇති අපි පසුගිය බ‍්‍රහස්පතින්දා (20) ප‍්‍රකාශයට පත් කරපු ප‍්‍රතිපත්තිමය තීරණයක් තමයි විදේශිකයෙක් ඇවිත් හෝටලයක ඉන්නවා නම් ඒ අය අනිවාර්යෙන්ම ඒ ගෙවීම් විදේශ මුදල්වලින් ගෙවිය යුතු බව. එක්කෝ ක්‍රෙඩිට් කාඞ් එකෙන් ගෙවන්න ඕන. එහෙම නැත්නම් විදේශ මුදලින් ගෙවීම කරන්න ඕන. එතකොට ඒ මුදල් ඒ සංචාරක හෝටලය හරහා බැංකුවලට එන්නට අවශ්‍යයි. එහෙම තීරණයක් අපි ගත්ත නිසා ඒක ක‍්‍රියාත්මක කරද්දී ඔබ කියන ඔය ප‍්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා. මොකද අපිත් දන්නවා හෝටලය සමහර වෙලාවට විදේශිකයන්ට කියනවා අහවල් තැනට ගිහින් මාරුකරගෙන එන්න කියල. ඒ නිසා එතනිනුත් ඒ වගේ දේවල් සිදුවෙන බවට අපිට තොරතුරු ලැබිල තිබුණ. ඒ නිසා තමයි අපි ඒ පිළියම අරන් තියෙන්නේ.

ප‍්‍රශ්නය – සමහර විට ඇතැම් සංචාරක හෝටල් වැඩි අනුපාතයකට විදේශිකයන්ට විදේශ මුදල් රුපියල්වලට මාරු කරලා දෙන බවත් දැනගන්ට තිබෙනවා. හෝටල් අවිධිමත් මාර්ග ඔස්සේ නැවත ඒ විදේශ විනිමය රුපියල්වලට මාරු කරගන්නවා?

පිළිතුර – ඔව් ඒකත් කරනවා. අපිට ඒ වගේ තොරතුරුත් ලැබිල තිබුණා. ඒකට විසඳුමක් හැටියට තමයි අපි මේ ප‍්‍රතිපත්තිමය තීරණය අරන් තියෙන්නේ.

ප‍්‍රශ්නය – මහ බැංකුව ගෙන තියෙන අලූත් ප‍්‍රතිපත්තිමය තීරණය අනුව විදේශිකයන් විධිමත් මාර්ගයකින් එනම් බැංකුවකට ගිහින් තම මුදල් මාරු කරගෙන වියදම් කිරීම අවශ්‍යයි?

පිළිතුර – ඔව්. එතකොට විදේශිකයන් තම විදේශ මුදල් බැංකුවකින් මාරු කරගත්ත නම් බැංකුවෙන් දෙනවා ඒ අයට රිසිට් එකක්. ඒ රිසිට් එක පෙන්වන්නට අවශ්‍යයි විදේශිකයන් මුදල් ගෙවීමේ දී. එහෙම නැත්නම් ඒ අය ඒ හෝටලයටම ගිහින් විදේශ මුදලින් ගෙවීම් කරන්න පුළුවන්. අපි හෝටලයටත් දෙනවා රේට් එක. ඒ රේට් එක හෝටලයට අවශ්‍ය විධියට කරන්නට බැරි වෙන ආකාරයට රේට් එකක් දෙනවා හෝටලයටත්. එතකොට සංචාරක හෝටලයට ඒ රේට් එක භාවිත කරලා තමයි සංචාරකයන්ගේ විදේශ මුදල් රුපියල්වලට මාරු කරන්න ඉඩ දෙන්නේ.

ප‍්‍රශ්නය – මේ අනුව විදේශිකයන්ගේ ගෙවීම් විදේශ විනිමයෙන් අයකරගන්න සංචාරක ආයතනවලට අනිවාර්ය කරලා තියෙනවා. සංචාරක ආයතන උපයන එම විදේශ විනිමය ප‍්‍රමාණය අනාවරණය කිරීමක් කරන්න ඕන ද ?

පිළිතුර – අනිවාර්යෙන් කරන්නට අවශ්‍යයි. ඒ අය දින දෙකකින් හෝ තුනකින් ඒ මුදල් බැංකුවල තැන්පත් කරන්න අවශ්‍යයි. ඒ තුළින් අපේ සිස්ටම් එකට, පද්තියට ඒ විදේශ මුදල් එකතු වීම සිදු වෙනවා.

ප‍්‍රශ්නය – මේ වන විට විදේශ රැකියා සඳහා මෙරටින් යන අය බොහෝ වැඩි වීමක් තියෙනවා. ඒ තුළින් අනාගතයේදී අපට ලැබෙන පේ‍්‍රෂණවල වර්ධනයක් වෙන්න පුළුවන්. ඒත් නිල මාර්ගයේ දී ගෙවන අගය සහ අවිධිමත් මාර්ගවලින් ලබාදෙන වැඩි අනුපාතය නිසා මේ යන අයත් නිල මාර්ගවලින් මේ රටට මුදල් එවයි ද එහෙම නැත්නම් අවිධිමත් මාර්ගවලින් එවයි ද කියන ප‍්‍රශ්නය තියෙනවා. ඒ නිසා රට යන පිරිස වැඩි වුණාට ඔවුනුත් නිල මාර්ගවලට යොමු නොවීමේ අවදානමක් පවතින බව ප‍්‍රකාශ වෙනවා?

පිළිතුර – ඔව්. ඒ නිසා අපි බැංකුවල සියලූ දෙනාටම කිව්වා මේ අයට බැංකුවල ගිණුම් විවෘත කරන්නට උදව් කරන්න. ඒ අය ඒ බැංකු ගිණුම් වලට මුදල් එවනවා නම් ඒ අයට විවිධ වාසි ලබා දෙන්න. අනිත් පැත්තෙන් ඒ අය වැරදි මාර්ගවලින් විදේශ මුදල් එවනවනම් ඒ සඳහා යම් නීතිමය බාධාවල් ඇති කරන්නත් අපි කටයුතු කරන නිසා, ඒ සියලූ දේ එක්ක බලද්දී මට හිතෙන්නේ විධිමත් මාර්ගයට බොහෝ දෙනෙක් පිවිසෙයි කියන එකයි අපේ අදහස සහ මතය. එහෙම සිදු වුණේ නැත්නම් අපට තවත් මෙවලම් තියෙනවා පාවිච්චි කිරීමට හැකි. ඒත් අපි ඒවා පාවිච්චි කිරීමට පෙර අපේ මතය තමයි මේ ආකාරයට බොහෝ දෙනෙක් විධිමත් ක‍්‍රමවේද ඔස්සේ තමන්ගේ මුදල් එවන්නට පෙළෙඹෙයි කියන එක.

ඩොලර් අර්බුදය විසඳගන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්

ප‍්‍රශ්නය – මහ බැංකුව බොහෝ උත්සාහ කරනවා නොයෙකුත් ප‍්‍රතිලාභ ලබා දීලා මේ විදේශ විනිමය පේ‍්‍රෂණ නිල මාර්ගවලට ගන්න. එහෙත් අවිධිමත් මාර්ගවලින් ලබාදෙන වැඩි අනුපාතය නිසා එහෙම නිල මාර්ගවලට එව්වම ඒ අයට පාඩුයි කියලයි කියන්නේ. ඉස්සර නම් බ්ලැක් මාකට් එකේ තිබුණේ නිල විනිමය අනුපාතයට වඩා පොඩි වෙනසක් පමණයි. මේ තත්ත්වය නිසා ඒ අය ස්වාභාවිකවම ඒ පැත්තට යොමු වෙලා තියෙනවා.

පිළිතුර – ඒකෙත් ඇත්තක් තියෙනවා.

ප‍්‍රශ්නය – මේ නිසා විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ කැමැත්තෙන්ම ඒ මුදල් නිල මාර්ගයට එවන්න ලබාදෙන ප‍්‍රතිලාභ ආකර්ෂණීය මදි කියන අදහස ඔවුන්ගේ පැත්තෙන් ප‍්‍රකාශ වෙනවා ?

පිළිතුර – සමහර වෙලාවට රු. 240ක් ලැබෙනකොට මම හිතන්නේ රු. 210 මදියි කියන එක සාධාරණයි. ඒ නිසා තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එක කාලෙක දී සියයට 14 ක් පොලිය දෙනවා කිව්වම, ද`ඩුවම් මුදලාලි සියයට 44ක් පොලිය දෙනවා කිව්වම එතනට ගිහින් මුදල් තැන්පත් කරේ සමහර අය. සියයට 50 ක් පොලිය දෙනවා කියපු සක්විති මුදලාලි ළඟත් ගිහින් විවිධ අය මුදල් තැන්පත් කෙරුවා. ඊට පසුව අමාරුවේ වැටුණ. ඒ නිසා මෙතනදීත් අපිට කියන්න තියෙන්නේ නිල මාර්ගවලින් එව්වා නම් කිසිම කරදරයක් බාධාවක් නැහැ. ඒ වුණාට අවිධිමත් මාර්ගවලින් ගියාම සමහර විට ඒ විශ්වසනීයභාවය පළුදු වෙන්නත් බැරි නැහැ. සමහර විට එහෙම ගියාම මෙසේ මුදල් කන්දරාවක් ලබා දෙන්න පුළුවන් වෙන පද්ධතියක් තියෙනවා නම් ඒ පද්ධතිය අනිවාර්යෙන්ම නීති විරෝධී පද්ධතියක් වෙන්නට අවශ්‍යයි කියල මතක තබා ගන්න ඕන. ඒ නීති විරෝධී පද්ධතිය සාමාන්‍යයෙන් ඔය වගේ විශාල පරිමාණයකට කරන්න පුළුවන් වෙන්නේ කුඩු ජාවාරම්වලට පැටලෙන අය. එතකොට ඒ කුඩු ජාවාරම්වල ඉන්න අයගේ ඒ මුදල් කොටසක් විශුද්ධිකරණයට ලක්වෙනවානම් ඒකෙ යම් කිසි අවදානමක් තියෙනවා. ඉතිං ඒ අවදානමත් අරන් තමයි ඔය වැඬේ කරන්නේ.

එතකොට ඒ සියලූම දේවල් සලකල බලද්දී වැඩිපුර රු. 10 ක්, රු. 20 ක් හෝ රු. 30 ක් හරි ලැබෙනවා කියල තමාගේ ඒ මුළු විශ්වසනීයභාවයම පළුදුකර ගැනීමට කෙනෙක් පෙළෙඹෙන එක ගැනත් අපිට පොඞ්ඩක් කනගාටුයි. ඒක සිදු නොවෙයි කියලත් අපි හිතනවා.

ප‍්‍රශ්නය – ඒ වගේම වැඩිපුර ලබාදෙන රු. 10 ට අමතරව අර විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇතුළු වෙනත් ප‍්‍රතිලාභ ලබා දෙන බවත් මහ බැංකුව ප‍්‍රකාශ කළා. එහෙත් ඒ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ඇතුළු ප‍්‍රතිලාහ ලබා දීමේ කටයුතු දැන් ක‍්‍රියාවට වැටිලා ද තියෙන්නේ?

පිළිතුර – අපිට කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම දැනුම් දීමක් කරා දැන් ඒ අය එයට යොමු වෙලා තියෙනවා කියලා. අපිත් යෝජනාවක් යැව්වා කළ හැකි ක‍්‍රමය ගැන. ඒකට තාම ප‍්‍රතිචාරයක් ලැබුණේ නැති වුණාට අපිට දැන් පෙනෙන විදියට ඒ අයගේ ක‍්‍රමවේදයක් ඔවුන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ළඟදීම. ඒක සිදුවුණා නම් ඔය ප‍්‍රශ්නයට උත්තරයක් ලැබෙයි. අපිත් කම්කරු අමාත්‍යාංශයට කීප වතාවක්ම කතා කරලා ඒ කටයුත්තට ඉක්මනින්ම පිවිසෙන්න කියලත් ඒ අයගෙන් ඉල්ලීම් කරලා තියෙනවා.

ප‍්‍රශ්නය – අධිපතිතුමනි, තවම අපට සුපිරි වෙළෙඳපොළකට ගියාම ඇපල්, දොඩම් සහ මිදි ඇතුළු විදේශ අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය රාක්ක පුරවා තියෙන බව දක්නට ලැබෙනවා. ඒවාට වැය වෙන විදේශ මුදල් ප‍්‍රමාණය කොපමණ ද කියල අප දන්නේ නැහැ ප‍්‍රමාණාත්මකව එය ලොකු අගයක් ද කියල. එහෙත් විදේශ විනිමය ප‍්‍රශ්නයක් තියෙද්දී තාම මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රටට එනවා. අප සිතනවා මාස කිහිපයකට මේ භාණ්ඩ මෙරටට ගෙන්වීම තාවකාලිකව නොකළට මහජනයාට ලොකු බලපෑමක් නැහැ කියල. චීස්, බටර් සහ දියර කිරිත් ලංකාවේ යම් කිසි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවා. ඛනිජ තෙල් වගේ දේවල් නම් අත්‍යවශ්‍යයි. මේ නිසා අපේ විදේශ විනිමය අර්බුදය සමනය වන තුරු තාවකාලිකව හෝ අර අත්‍යවශ්‍ය නොවෙන දේවල් ආනයනය සීමා කිරීමේ වැඩපිළිවෙළක් තියෙනවා ද?

ප‍්‍රශ්නය – ඇත්ත වශයෙන්ම එහෙම කරන්න පුළුවන් නම් හොඳයි කියන එක මගේ පෞද්ගලික මතය. ඒ වුණත් අපිට එහෙම තහංචි දාන්නට සමහර විට බොහෝ දෙනෙක් අකැමැතියි. ඒ නිසා තමයි අපි ඉස්සරින්ම අපිට ගලා එන විදේශ විනිමය අපි භාවිත කරනවා නම් අපේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩවලට. එතකොට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නොවන පරිදි කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අපි ඒ තීරණය ගත්තේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවලට අපි මේ ක‍්‍රමවේදය යොමු කරලා ඒවා ටික අනිවාර්ය කරන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විදේශ විනිමය දුන්නට පසුව අනිත් ඒවා ඉතුරු වෙන මුදල් වලින් ගෙන්වා ගන්න පුළුවන්. ඒවා කරද්දී ඔබ කිව්ව භාණ්ඩත් එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක යම් හිඟයක් තියෙන්න පුළුවන්. ඒ හිඟය තිබුණට කමක් නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවලට හිඟයක් නැතුව. ඉතින් මේ කාලය තුළ දී අප සිතන්නෙත්, කටයුතු කරන්නෙත් ඔබ සිතන පදනම ඔස්සේම තමයි. ඒ විදියට වෙනසක් ඇති වෙයි කියන එක තමයි අපේ අදහස.

ප‍්‍රශ්නය – පිටරට ඉන්න අයට විදේශ විනිමයෙන් වාහන මිලදී ගෙන මෙරටට එවල විදේශ විනිමයෙන්ම මෙරටට වාහන බදු ගෙවීමේ යෝජනාවක් ඉදිරිපත් කරා. ඔබතුමාම මේ යෝජනාව මුදල් ඇමැතිතුමාට ඉදිරිපත් කළ බව අපට මතකයි?

පිළිතුර – ඒ ගැන අපි උපදෙසක් දීල තියෙනවා මහ බැංකුවෙන්. තාම ඒක ක‍්‍රියාත්මක වෙලා නැහැ.

ප‍්‍රශ්නය – නිමල් සිරිපාල ඇමැතිතුමා යෝජනා කරා විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ ඩොලරයකට රු. 240 ක් දෙන්න කියල. ඒ ඇමැතිවරයා එම යෝජනාව නිල වශයෙන් මහ බැංකුවට ඉදිරිපත් කරාද කියල අපි දන්නේ නැහැ. මේ ගැන මහ බැංකුවේ ස්ථාවරය කුමක්ද ?

පිළිතුර – විවිධ අයට විවිධ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ යෝජනා පිළිගත්තම තමයි අපි ඒවා ක‍්‍රියාත්මක කරන්නේ. පිළිගත්තේ නැත්නම් ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකෙන් තේරෙන්නේ ඒ යෝජනාව අපි පිළිඅරගෙන නැති බවයි. මෙතැනදී අපි බලන්න අවශ්‍යයි සෑම පැත්තකින්ම ඒ යෝජනාවල තිබෙන පා‍්‍රයෝගිකත්වය ගැන සහ එය කිරීමෙන් විවිධ පැතිවලට සිදුවන අනෙකුත් බලපෑම් ගැන. ඒවා සියලූ දේවල් ගැන බලල තමයි තීරණයක් ගන්නේ. ඒ නිසා සමහර යෝජනා මතු පිටින් ආකර්ෂණීය වුණයි කියල කිව්වත් සමහර විට අපි ඒවා පිළිනොගෙන ඉන්න පුළුවන් වෙනත් හේතු නිසා.

ප‍්‍රශ්නය – ලැබෙන විදේශ මුදල්වලින් සියයට 25 ක පමණ ඩොලර් ප‍්‍රමාණයක් බලපත‍්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට සතිපතා ලබා දිය යුතු වෙනවා. ඒ නිසා අනිත් කටයුතුවලට විදේශ විනිමය මදි වීම නිසා තමයි භාණ්ඩ හිඟයන්, පෝලිම් ඇති වෙන්නේ වරායේ කන්ටේනර් හිර වෙන්නේ කියල පැවසෙනවා.?

පිළිතුර – කොහොමත් ඒ අය ඒවාට ඉස්සරින් මුදල් දීල තිබුණේ නැහැ. ඒ නිසා ඒක කෙරුණේ නැත්නම් ඊටත් වඩා ලොකු අර්බුදයකට අපි යන්නේ. දැන් අපි මේ තත්ත්වය සමනයට පත් කරගෙන තියෙනවා. ඒ ටික ඔක්කොම ඇති කරගෙන. ඒ නිසා දැන් ඒ ප‍්‍රශ්නය ඇති වෙන්නේ නැහැ ඉදිරි කාලයේ දී.

ප‍්‍රශ්නය – විදුලි බල ඇමැති සහ බලශක්ති ඇමැතිවරුන්ගේ කතා අනුව මහජනයාට අදහසක් ඇති වෙනවා ඩොලර් ප‍්‍රශ්නය නිසා ඉදියේදී ලයිට් නැතුව කළුවරේ ඉන්න වෙයිද කියල ?

පිළිතුර – එහෙම තත්ත්වයක් නැහැ. ඩොලර් ප‍්‍රශ්නය අපට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒක අපි කරගෙන යනවා. ඒ නිසා එවැනි ගැටලූවක් ඇති වෙන්නේ නැහැ.

සාකච්ජා කළේ –
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment