ඩොලර් ආදායම් වැඩි කරන මගේ යෝජනා මෙන්න… වැලිබල් සමූහයේ සභාපති ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා කියයි

11874

ඩොලර් උපයන්න කඩිනම් මෙහෙයුමක් අවශ්‍යයි

ඩොලර් ඉපැයීම වැඩි කරගන්න මූලික යෝජනා හතක් මම ඉදිරිපත් කළා

ඩොලර් වියදම් ඉතුරු කරන ක‍්‍රමවේද මට ඕන තරම් කියන්න පුළුවන්

ඩොලර් උපයන යෝජනා රජය වෙනම ව්‍යාපෘතියක් ලෙස දියත් කළ යුතුයි

දැන් තමයි හැමෝටම ඩොලර් ඉපැයීම වැදගත් කියන හැඟීම ඇති වෙලා තියෙන්නේ

රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය සහ රටට විදේශ විනිමය ඉපයුම් වර්ධනය කර ගැනීමේ උපායමාර්ග ගැන අපි ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සමග සාකච්ජා කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට ඒ මහතා ලබා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – කොරෝනා වසංගතයට මුළු ලෝකයම මුහුණ දුන්නා. හැම රටක්ම අඩුවැඩි වශයෙන් එහි බලපෑමට ලක් වුණා. මම වැඩියෙන්ම මේ අහන්නේ විදේශ මුදල් ප‍්‍රශ්නය ගැනයි බංගලාදේශය අපට විදේශ විනිමය හුවමාරු පහසුකමක් දෙනවා. ඒ රටත් කොරෝනා වලට මුහුණ දෙනවා. එහෙත් වෙනත් රටවල් වලට වඩා අපේ විදේශ විනිමය අර්බුදය දරුණු ලෙස බලපාලා තියෙනවා. එයට හේතුව කුමක් ද ?

පිළිතුර – මෙහෙමයි පසුගිය වසර 73 ටම රටට විදේශ මුදල් උපයන්න ඕන කියන සැලැස්මක් තිබුණේ නෑනේ. ඒ නිසා ප‍්‍රශ්නය ඇති වුණහම තමයි එනම් දැන් තමයි හිතිලා තියෙන්නේ අපි වගේ රටකට ඩොලර් රට ඇතුළෙ උපයන්න ඕන කියලා. මීට පෙර එහෙම ඩොලර් උපයන්න ඕන කියල සැලැස්මක් තිබුණේ නැහැ. මොකද සාමාන්‍යයෙන් තිබුණේ ඩොලර් බිලියන 1.8 ක් බිලියන 2 ක් විතර මදි හැම අවුරුද්දෙම. එතකොට ඩොලර් බිලියන දෙකකින් ණය වැඩි වුණහම ඒ ප‍්‍රශ්නය ඉවර වෙනවා. ඒ නිසා කාටවත් අත්‍යවශ්‍ය කාරණයක් වුණේ නැහැ ඩොලර් හදන්න. ඒත් මම හිතන්නේ දැන් රටට වැඩියෙන්ම දැනිල තියෙනවා මේ ඩොලර් හදන්න ඕන කියන කාරණය.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ ඩොලර් ඉපයීම ?

පිළිතුර – ඔව් ඒ කියන්නේ රට ඇතුළට ඩොලර් වැඩිපුර ගේන ව්‍යාපාර පටන් ගන්න ඕන. දැන් තමයි මුළු රටේම දේශපාලනඥයන්ටයි, ජනතාවටයි හැමෝටම තේරෙන්නේ මේ ඩොලර් රට ඇතුළේ උත්පාදනය කරන්න ඕන කියල.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ රටට ඩොලර් උත්පාදනය කරගන්න ඕන?

පිළිතුර – ඔව් ඩොලර් උත්පාදනය කරගන්න ක‍්‍රමවේද වර්ෂ 2019 දි මගේ පොතේ මම මේ වගේ කාරණා 25 ක් විතර ලිව්වා. (ග‍්‍රන්ථයක් පෙන්වයි). මේ පොතේ ඒ වගේ කාරණා 25 ක් විතර තියෙනවා.

ප‍්‍රශ්නය – රටේ විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගැනීමට ඔබ යෝජනා කරන ඒ කරුණු මොනවාද?

පිළිතුර – ඔව් ඒ අතර තියෙනවා මූලික කාරණා හතක්. ඒවා මම පිළිවෙළින් මෙසේ සඳහන් කරන්නම්.

  1. එකවර සිසුන් 30,000කට අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල 05 කින් යුත් ගම්මානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට විනාඩි 30 කින් ළඟා විය හැකි ප‍්‍රදේශයක රජය මගින් ඉදිකිරීම. එසේ ඉදිකර එහි කළමනාකාරිත්වය ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම තිබෙන විශ්වවිද්‍යාල 5කට ලබාදීම. මෙරටින් වසරකට සිසුන් 25,000ක් පමණ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටත්ව යනවා. මේ අනුව ගණනය කළ විට වසරකට එක් සිසුවෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 30,000ක මුදලක් මෙරටින් විදෙස් රටවලට ඇදිල යනවා. සිසුන් 25,000 ට මෙය ගණනය කළ විට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 750 ක මුදලක්. මෙය වසර තුනක කාලයට ගණනය කළ විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.25 ක් වෙනවා. (ඇ.ඩො.මි. 750 ඥ 3 = ඇ.ඩො.බිලියන 2.25 ) විදෙස් විශ්වවිද්‍යාලවලට ඇදී යන පිරිස මෙම පිළිගත් විශ්වවිද්‍යාල පද්ධතිය මෙරට ස්ථාපිත කිරීම තුළ සීමාවන අතර එම විශ්වවිද්‍යාල තුළ මෙරට සිසුන් 25,000 කට අධ්‍යාපන අවස්ථා ලබාදීම හරහා ඔවුන්ට ජාත්‍යන්තර පිළිගත් උපාධියක් මෙරටදීම ලබාගත හැකියි. එම සිසුන්ට මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමග එක්ව සහනදායි අධ්‍යාපන ණය ක‍්‍රමයක් හඳුන්වාදීමද සිදුකළ යුතුය. එමෙන්ම එම විදේශීය විශ්වවිද්‍යාල පද්ධතිය හරහා කලාපීය සිසුන් 25,000ක් වසරකට අධ්‍යාපනය සඳහා ගෙන්වා ගැනීම කළ යුතුය. මේ යෝජනාව මගින් වසරකට ඇ.ඩො. බිලියන 2.25ක විදේශ විනිමය ආදායමක් මෙරට ආර්ථිකයට එක්කළ හැකි වෙනවා.
  2. තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල්වල සංචාරක පැමිණීමෙන් සියයට 50 ක ධාරිතාවක් සපුරන්නේ බජට් (එනම් අඩු මිල) ගුවන් සේවා මගින්. අපේ රත්මලාන ගුවන්තොටුපළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම හරහා දිවයිනට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ට අමතරව තවත් සංචාරකයන් මිලියනයක් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කිරීම. මෙමගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක විදේශ විනිමය ආදායමක් උපයාගත හැකියි.
  3. මෙරට සියලූ රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ඉගැන්වීම් කටයුතු කරන තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ප්‍රෝගැමින් (පරිගණක භාෂා) පාඨමාලා ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනවලට අවස්ථා ලබාදීම.

ඊට පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් සෑම 6 මසකටම වරක් පිළිගත් විභාග පටිපාටිය අනුව විභාග පවත්වා එම විභාග සමත් අයට බාහිර උපාධි පිරිනැමීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා.

එමගින් ඉදිරි වසර පහ සඳහා සිසුන් ලක්ෂ දෙකකට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබෙන අතර වසර පහක් තුළ ළමුන් ලක්ෂ දෙකකට දැනට රැකියා වෙළෙඳපොළ තුළ වැඩිම ඉල්ලූම ඇති තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු සහ පරිගණක භාෂා වැනි අංශවල රැකියා ලබාගත හැකිය. මෙමගින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.

  1. පවතින තත්ත්වය තුළ වාර්ෂිකව රෝපණය කරන පොල් පැළ ප‍්‍රමාණය මිලියන 1.5ක ප‍්‍රමාණයකි. මීට අමතරව රජය මගින් ක‍්‍රියාත්මක විශේෂ සහනාධාර වැඩපිළිවෙළක් යටතේ තවත් අමතර පොල් පැළ මිලියන 04ක් එක් වසරකදී රෝපණය කිරීමට කටයුතු කිරීමට යෝජනා කරනවා. ඒ අනුව පොල් පැළ මිලියන 20ක් වසර පහකදී පොල් ගෙඩි බිලියන 1.2ක් පොල් ආශ‍්‍රිත කර්මාන්ත ක්ෂේත‍්‍රයට එක් කෙරෙනවා. එක් පොල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් සත 50ක අගයක් කර්මාන්තයට එකතු කිරීමෙන් එම පස් අවුරුදු සැලැස්ම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක (ඇ.ඩො.මිලියන 120 ඥ 5 = ඇ.ඩො.මි. 600ක ) විනිමය ආදායමක් උපයා ගත හැකයි.
  2. සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වැනි ජාත්‍යන්තරව පිළිගත් පහසුකම් සහිත රෝහල් දෙකක් රජයේ වියදමින් ඉදිකර ඒවායේ කළමනාකාරීත්වය ජාත්‍යන්තර පිළිගත් රෝහලවලට එම ආයතන කළමනාකාරීත්වය හරහා ලබාදීම. වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් රෝහල් ප‍්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් මෙරටින් ඇදිල යනවා. එම මුදල සීමා කිරීමට හැකි වෙනවා.

එමෙන්ම කලාපීය රටවල් තුළ මෙම ඉදිකරන රෝහල් සන්නාම ප‍්‍රවර්ධනය තුළින් ගුණාත්මක වෛද්‍ය සහ හෙද සේවාවක් ඇති අප රටට විදේශිකයන් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ආදායමක් උපයාගත හැකි වෙනවා. මේ අනුව ඩොලර් ඇමෙරිකානු ඩොලර් ඉතුරුම් ඩොලර් මිලියන 100 සහ ඩොලර් ආදායම් ඩොලර් මිලියන 100 ක් වශයෙන් ඇමෙරිකානු මිලියන 200ක ආදායම උත්පාදනය කරගත හැකියි.

  1. ගැඹුරු මුහුදේ මසුන් මැරීම සඳහා යන විශාල බහුදින යාත‍්‍රා හිමිකරුවන්ට දැනට පවතින බලපත‍්‍ර ක‍්‍රමයට අමතර නව බහුකාර්ය බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ හරහා ඔවුන්ට තවත් අමතර බහුදින යාත‍්‍රාවක් ලබාගත හැකි අතර නමුත් වරකට ධීවර වරාය තුළ නැංගුරම්ලා හැක්කේ එක් යාත‍්‍රාවක් පමණයි.මේ හරහා ඔවුන්ට අමතර මත්ස්‍ය අස්වැන්නක් ලබාගත හැකි වෙනවා. එමෙන්ම කුඩා ප‍්‍රමාණයේ ධීවර යාත‍්‍රා සඳහා සැටලයිට් 4කින් යුතු ජී. පී. එස්. තාක්ෂණයෙන් සමන්විත ජෙමිනි උපකරණ සවිකිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් මසුන් රංචු වශයෙන් මුහුදේ සිටින ස්ථාන හඳුනා ගැනීමට හැකිවන අතර එමගින් ඔවුන්ටද අමතර මත්ස්‍ය අස්වැන්නක් ලබාගත හැකි වෙනවා. ඉන්දියාවේ වර්ග කිලෝමීටරයකට වාර්ෂික ලබන මත්ස්‍ය අස්වැන්න කිලෝ 2000යි. ලංකාවේ වර්ග කිලෝමීටරයකට වාර්ෂික ලබන මත්ස්‍ය අස්වැන්න කිලෝ 900යි. මෙතුළින් අමතර කිලෝග‍්‍රෑම් මිලියන 500ක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන අතර ඉන් ඩොලර් බිලියනයක ආදායම් ලබාගත හැකි වෙනවා.
  2. ආයෝජන මණ්ඩලයේ ආයෝජකයන්ට ලැබෙන බදු විරාම සහ අනෙකුත් ප‍්‍රතිලාභ වැඩිකරමින් ආසියාවේ හොඳම ව්‍යාපාරික ආයෝජන පරිසරය ගොඩ නැංවීමට කටයුතු කිරීම. මේ නව ආයෝජන ව්‍යාපෘති හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කරනවා.
ඩොලර් ආදායම් වැඩි කරන මගේ යෝජනා මෙන්න… වැලිබල් සමූහයේ සභාපති ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා කියයි

Doing Busness Index (ව්‍යාපාර සඳහා හිතකර රටවල් ලැයිස්තුවේ) ලංකාව ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම හරහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමෙන් ඩොලර් බිලියන දෙකක ආදායමක් ලබාගැනීම. එතුළින් ආයෝජක හිතකර පරිසරයක් ඇතිකිරීමෙන් නව ආයෝජක ව්‍යාපෘති හරහා ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා ගැනීම. මේ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුළු ආදායමක් ලබාගත හැකි වෙනවා.

ප‍්‍රශ්නය – මේ කරුණු ක‍්‍රියාත්මක කිරීමෙන් උපයාගත හැකි විනිමය ආදායම කොපමණ ද ?

පිළිතුර – මෙම කරුණු හත ක‍්‍රියාත්මක කිරීමෙන් වසර පහක් තුළ ජාතික ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 11.25 ක ආදායමක් ලබාගත හැකි වෙනවා. එමෙන්ම මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම ඇරඹීමත් සමගම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවල විශ්වාසය ඇති වන අතර රටට එහි ඉදිරියට ඒමටත් ණය ලබා ගැනීමටත් එම ආයතන තුළ විශ්වාසය ලබා ගැනීමටත් හැකි වෙනවා.

ප‍්‍රශ්නය – මීට අමතරව තවත් කාරනා ඩොලර් වියදම් ඉතුරු කරගත ක‍්‍රම තියනවා ද ?

පිළිතුර – ඔව්. දැන් බලන්න අපි කිරිපිටිවලට වාර්ෂිකව ඩොලර් මිලියන 350 ක් විතර වියදම් කරනවා. ඒ අනුව ලොකු ෆාර්ම් දහයක් විතර හැදුවොත් තව ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් විතර අපට එතනින් හදා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් ඉන්දියාව එහෙම ගොවිතැන් කරනකොට වඩාත්ම ප‍්‍රචලිත ක‍්‍රමය තමයි ඒ ගොවියාගේ පස පරීක්ෂා කරලා අවශ්‍ය පොහොර ප‍්‍රමාණය දෙන එක. ඒකෙන් ඉන්දියාවේ සියයට 20 ක් පොහොර භාවිතය අඩු කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 300 ක පොහොර ලංකාවට හලනවා. එතකොට මේකෙන් සියයට 20 ක් අඩු කරගත්තොත් එතනත් ඩොලර් මිලියන 60 ක් අපට අඩු කර ගන්න පුළුවන්.

ඊට අමතරව ගත්තොත් ලංකාවට සාමාන්‍යයෙන් පාම් ඔයිල් සහ පොල් තෙල් විතරක් ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක විතර ගේනවා. වර්ෂ 2013 දී අක්කර 20,000 ක විතර පාම් ඔයිල් වවන්න යෝජනාවක් තිබුණා. ඒ අක්කර 20,000 ඒවා වැව්වා නම් ඇත්තටම ඩොලර් මිලියන 100 ක් විතර අපට මේකෙනුත් ඉතුරුවක් කර ගන්න පුළුවන්. දැන් වෙන හැම රටකම කරන්නේ වසර දහයක විතර ස්ථිර නේවාසික වීසා (පර්මනන්ට් රෙසිඩන්ස්) දෙනව ඕනෑම සංචාරකයෙකුට ඇවිල්ල ඉන්න. ඒ සඳහා සමහර වෙලාවට ඩොලර් 50,000 ක් හෝ ලක්ෂයක් හෝ ගන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ, ඔය යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල විශ‍්‍රාම ගිය අය ඉන්නවනේ. ඒ අයට විශ‍්‍රාම වැටුපක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 2000 ක 3000 ක විතර මාසික ආදායමක් තියෙනවා නම් ඒ වගේ විශ‍්‍රාම ගිය අයෙකුට මෙහෙ වසර 10 වගේ නේවාසික වීසා එකක් දුන්නොත් එතැනිනුත් අපට තව ඩොලර් බිලියනයක් විතර ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. මේ වගේ මට ඕන නම් කියාගෙන කියාගෙන යන්න පුළුවන්. හැබැයි කවුරු හරි මේ යෝජනා සියල්ල එකතු වෙලා රටක් හැටියට මේ ව්‍යාපෘතිය දියත් කරන්න ඕන.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ විදේශ විනිමය ආදායම් ඉපයීම සඳහා වෙනම මෙහෙයුමක් අවශ්‍යයි?

පිළිතුර – විදේශ විනිමය උපයන්න කියන කාරණය සඳහාම වෙනම ක‍්‍රමවේදයක් හදන්න ඕන. එහෙම හදලා ඒක කඩිනමින් පටන් ගන්නේ කොහොම ද කියලයි, ඒකට උදව් කරන්නේ කොහොමද කියලයි බලන්න ක‍්‍රමවේදයක් පටන් ගන්න ඕන. එහෙම නැති වුණොත් මේ විදේශ විනිමය ප‍්‍රශ්නය දිගින් දිගටම තියෙන්න ඉඩ තියෙනවා.

ප‍්‍රශ්නය – රජය සහ මහ බැංකුව දෙකම එකතු වෙලා ද මේ ක‍්‍රමවේදය හදන්න ඕන?

පිළිතුර – නැහැ. මහ බැංකුව ඇවිල්ල ප‍්‍රතිපත්තිය විතරනේ හඳුන්වා දෙන්නේ. ඇත්තටම රජය තමයි මේ වගේ ව්‍යාපෘති ටික අරගෙන කරන්න වෙන්නේ. මම හිතන්නේ ඉදිරියේදී රජය ඒක කරයි. එහෙම නැත්නම් මිනිස්සුන්ට මෙහෙම ගෑස් ගේන්න සල්ලි නැති නිසා, පෙට‍්‍රල් නැති නිසා, කිරිපිටි නැති නිසා, බෙහෙත් ගේන්නත් සල්ලි නැත්නම් මේ අපහසුතා ඇති වෙයි.

මේකේ තව පැත්තක් තියෙනවා. දැන් තමයි මිනිස්සුත් අවබෝධ කරගත්තේ මෙහෙම රටට ඩොලර් අවශ්‍යයි. මෙහෙම ඩොලර් උපයන්න අවශ්‍යයි කියල. මෙතෙක් එහෙම කාටවත් වුවමනාවක් තිබුණෙත් නෑ.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ මහජනතාවටත් මේ දක්වා ලොකු හැඟීමක් තිබුණේ නෑ මේ ඩොලර් ඉපයීමේ වැදගත්කම ගැන ?

පිළිතුර – ඒ වැදගත්ම ගැන එහෙම ලොකු හැඟීමක් තිබුණේ නැහැ.

දැන් තමයි මම හිතන්නේ දේශපාලනික වශයෙන් ඕනෑම දෙයක් කළොත් මේකෙන් ඩොලර් ලැබෙනවා කියල කිව්වොත් මිනිස්සු ටිකක් කටවහගෙන ඉන්න තත්ත්වයක් ඇවිල්ල තියෙනවා. ඉතිං මම හිතන්නේ මේ සිදු වූ දේවලූත් එක්ක මිනිස්සුයි, දේශපාලනඥයෝයි නිලධාරීයි මේ තුන් ගොල්ලක්නේ. මේ පාර්ශ්ව තුනටම දැන් හොඳටම අවබෝධ වෙලා තියෙනවා ඩොලර් තමයි ප‍්‍රධාන දේ අපේ පැවැත්ම ඇති කරගන්න.

මම මේ කියන්නේ මේකෙන් ආර්ථිකය සම්පූර්ණයෙන් සංවර්ධනය වෙනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ රට ඇතුළේ අපේ අවශ්‍යතා එනම් වාහනයක් ගෙන්නාගෙන, ඉන්ධන ගහගන්න, පහසු මිලට බෙහෙත් ගන්න, ගෑස් භාවිත කරලා උයාගෙන කාල ජීවත් වෙන්න එතනට යන්න පුළුවන්.

ප‍්‍රශ්නය – අපට එක දවසක් ඉන්ධන නැති වුණොත් ආර්ථිකයම අඩපණ වෙනවා?

පිළිතුර – ඔව් අඩපණ වෙනවා ආර්ථිකයම.

ප‍්‍රශ්නය – ගිය අයවැයෙන් මුදල් ඇමැතිතුමා විදේශ විනිමය ප‍්‍රශ්නයට එතරම් අවධානයක් යොමු නොකළ බවක් පෙනුණා. හේතුව මහ බැංකු අධිපතිතුමා සය මාසික පෙර දැක්ම ඉදිරිපත් කරා 2021 ඔක්තෝබර් 01 වැනිදා අපට පෙනුණේ මහ බැංකුව තමයි මේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමේ ක‍්‍රියාමාර්ග සියල්ල ගන්නේ කියලයි?

පිළිතුර – ඒ ඇවිල්ල මහ බැංකුවට අදාළ කළමනාකරණය. බැංකුවට කරන්න පුළුවන් මැනේජ්මන්ට් ඒකනේ. රජය කරන්න ඕන එය ක‍්‍රියාත්මක කිරීම. මහ බැංකුව හැම තිස්සෙම ඒ තත්ත්වෙනේ ඉන්නේ. තව ඩොලර් හම්බ කරන්න ඕන කියන තැනනේ. හැබැයි රජය පැත්තෙන් තමයි ඉතුරු ටික සිද්ධ වෙන්න ඕන.

ප‍්‍රශ්නය – මහ බැංකුව විනිමය අනුපාතය දිගටම රු. 203 තියාගෙන යනවා. විදේශ ශ‍්‍රමිකයන් කියන්නේ නිසි වටිනාකම නැත්නම් තමන් උපයන ඩොලර් වලට අර උන්ඩියල් සා හවාල වගේ ක‍්‍රමවලට යොමුවෙනවා කියලයි. මටත් ඩුබායිවල කීප දෙනෙක් කතා කරලා මේ බව සඳහන් කරා?

පිළිතුර – මෙහෙමනේ ප‍්‍රශ්නේ තියෙන්නේ. ඉල්ලූම හා සැපයුමනේ. ඒ කියන්නේ ඉල්ලූමට හරියන සැපයුම නැත්නම් මේ වගේ ප‍්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඔය හැමෝම කියනවා රුපියල පා කරන්න ඕන කියල. මේක රු. 250 ට ගියා කියල හිතමු. එතකොට මේ විදේශගත වන ශිෂ්‍යයන්ට, විදෙස්ගත වන අනිත් මිනිස්සුන්ට ඒවගේ අයට සල්ලි කොහෙන් ද හම්බ වෙන්නේ. ඒ අය මේ රු. 250 ට ඩොලරය තියෙනවා නම් ඒ අය ගිහින් රු. 300 ට ගන්නවා. එතකොට මේ ප‍්‍රශ්නේ ඩොලරය වැඩි කිරීමෙන් නවතින ප‍්‍රශ්නයක් නෙවෙයි. හේතුව කොපමණ ඩොලරයේ අගය වැඩි වුණත් දැන් ඩුබායිවල කෙනෙක් රු. 240 ක් ලැබෙන හින්ද ඒ ක‍්‍රමයට එවනවා කිව්වට, එයාම ආණ්ඩුව ඩොලරය දෙන අගය රු.240 ක් කළත් එයාට ඩොලරයට රු.300 ක් දෙනව කිව්වොත් එයා කියනව අයියෝ ආණ්ඩුවෙන් දෙන්නේ රු. 240 යි කියල. එත් මට එළියෙන් 290 ක් ලැබෙනවා කියයි.

ප‍්‍රශ්නය – ඉස්සර කළු කඩයේ ඩොලරයේ වෙනස තිබුණේ පොඩි ගානක් නේ ද ?

පිළිතුර – ඉස්සර ඩොලර් ඒ වගේ ගන්න මිනිස්සු හිටියේ පොඩි ප‍්‍රමාණයක්. හැබැයි දැන් එහෙම නෙවෙයි. ලංකාවේ විශ්වවිද්‍යාලවලට යන්න ළමයි උසස් පෙළ කරලා ගොඩක් කල් බලාගෙන ඉන්න ඕන. ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාල 1000 ගත්තහම ඒකට අයිති එක විශ්වවිද්‍යාලයක් වත් රට ඇතුළෙ නැහැ. මේ සියල්ල සමග බැලූවම විදේශ යුනිවර්සිටිවලට යන්න ළමයි යොමු වෙනව. ඊට අමතරව ඔන්ලයින් පන්ති තියෙනවා. ඒ කියන්නේ පළවෙනි වසර දෙක තුන ඔන්ලයින් කරලා අන්තිම අවුරුද්දේදී විතර රට යන්න.එතකොට වියදමත් අඩුයි. එහෙම බැලූවම ළමයි විදේශ විශ්වවිද්‍යාලවලට යනවා. දැන් මේ කොරෝනා වසංගතය එක්ක අර ඉස්සර තිබුණ ඉල්ලූමට වඩා විදේශ විනිමයට තියෙන ඉල්ලූම දැන් වැඩි වෙලා තියෙනවා.

සාකච්ජා කළේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment