ඩොලර් නැතිව වෙළෙඳාමේ ගිය දොඩන්දූව වෙළෙන්දෝ

288

පරෙවි, තිසර සහ කෝකිල සංදේශ කාව්‍යයන්හි සඳහන් උඩුගල්පිටිය නොහොත් දොඩන්දූව ප්‍රසිද්ධව පවතින කාරණා කීපයක්ම අපට වැදගත්ය. එනම් රාවණා යුගයේ සිට පැවතෙන කඳසුරිඳු හා බැඳි පුරාවෘත්තයන්ය. දෙවැන්න දොඩන්දූව ශෛලබිම්බාරාම පුරාණ විහාරයයි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මූලික අධ්‍යාපනය ලැබ තිබෙන්නේ මෙම විහාරස්ථාන සරස්වතී මණ්ඩප පිරිවෙනෙනි. අනෙක් වැදගත්ම කාරණය මෙම පිරිවෙන සමීපයේ පිහිටි ලෝ ප්‍රසිද්ධ වෙළෙඳ වරායයි. වර්ෂ 1836 දී එවකට දෙගල්ලේ විහාරය ලෙසින් ප්‍රකටව තිබූ වත්මන් ශෛලබිම්බාරාම විහාරයේ වැඩ සිටි කොග්ගල ධම්මසාර නම් ස්වාමීන් වහන්සේ දොඩන්දූ වරායෙන් නැව් නැගී බුරුමයට යන ගමනේදී දකුණු ඉන්දියාවේ කාවේරි ගඟ ආසන්නයේ ස්ථාන කීපයකට ගමන් කරන කල්හි ගම්වැසියකු පවසා ඇත්තේ උන් වහන්සේ වැනි තාපසයකු කැලේ වාසය කරන බවයි. උන්වහන්සේ එතැනට ගොස් බලන කල්හි ගලින් නෙලූ විශාල බුද්ධ ප්‍රතිමාවක් දැක ඇත. මෙයින් බලවත් සේ සතුටට පත් වූ ධම්මසාර හිමියන් ඒ ප්‍රතිමාව කෙසේ හෝ මුහුදු තොටුපළට ගෙන එන්නට උත්සාහ කර තිබේ. නමුත් ගම්වාසීන් ඊට අකැමැති විය.පසුව ඉහළ පාලන අධිකාරියට කරුණු සැල කර බුද්ධ ප්‍රතිමාවක් බව ඔප්පු කර පෙන්වා නැව් තොටුපළ අසලට ගෙනවුත් නැවේ නන්ගා ගෙන යළි දොඩන්දූ වරායට පැමිණ ගම්වාසීන් ලවා පන්සල තෙක් ඇළක් කප්පවා ප්‍රතිමාව මිල්ලකොටන් උඩ විහාරයට වඩම්මවා තිබේ. පසුව එවකට තිබූ කුඩා විහාරය විශාල කොට සාදවා නව විහාර ගෙයි මෙම ප්‍රතිමාව තැන්පත් කර තිබේ. එතැන් සිට මෙම විහාරස්ථානය ශෛලබිම්බාරාමය යන නමින් ප්‍රසිද්ධයට පත් වී තිබේ.

ඩොලර් නැතිව වෙළෙඳාමේ ගිය දොඩන්දූව වෙළෙන්දෝ

බුද්ධ ප්‍රතිමාව විහාරස්ථානය කරා ගෙන ගිය රත්ගන් කලපුව අද නැත. අතීතයේ දී කුමාරකන්ද අසලින් සහ වර්තමාන පියරතන විද්‍යාලය අසලින් රත්ගම් කලපුවේ ජලය ගලා බැස ගියහ. දොඩන්ගෙඩියක හැඩයකින් යුතු දූපතක් ඉතිරි කරමින් නිර්මාණය වූ මෝයවල් ගොඩ කර නවමෝයක් ඉදි කළ බි්‍රතාන්‍ය පාලනය ගාලු කොළඹ මහා මාර්ගය සාදවා ඇත. ඒ නිසා පැරණි දොඩන්දූ වරායේ විශාලත්වය සහ විචිත්‍රවත් දර්ශනය අද නොපෙනී ගොස් තිබේ. ඉංග්‍රීසි පාලන සමයට පෙරදී මේ පළාත් පාලනය කරන ලද්දේ ලන්දේසීන් විසිනි. එවකට මේ තොටුපළ ස්වාධීන වරායක් ලෙසට භාවිතා කළ බවට සාධක හමු වන්නේ ලන්දේසි කාසි බොහෝ පැරණි නිවාසවලින් හමුවන බැවිනි. හත්වන සියවසෙන් පසුව පල්ලව දේශයත් ලංකාවත් අතර දැඩි සම්බන්ධයක් බිහි වූ බවට ඉතිහාස සාධක ඇත. දෙවැනි කාශ්‍යප රජුගේ පුත් මානක කුමරු පල්ලව දේශයට පැන ගොස් එහි රාජ සභාවේ සේවය කොට පසුව විශාල හමුදාවක් සමග පැමිණ ද්‍රවිඩ සතුරන් පරාජයට පත් කර මානවර්මන් නම් අභිධානයෙන් යුක්තව ලංකා රාජාවලියට එකතු වී තිබේ. ඉන් පසුව ඔහුගේ දරු පරපුරේ කුමාරවරුන් කීප දෙනෙකුම පල්ලව දේශයේ වාසය කර තිබේ. වනිග්වංශ සිඛාමණී අලකේශ්වර පරම්පරාව යනුවෙන් ඔවුන් හඳුන්වා තිබේ. පල්ලව දේශයත් ලංකාවත් අතර දැඩි වෙළෙඳ සබඳකම් ඇති වන්නේ මේ යුගයේ දීය. නාවික කටයුතු දියුණු වෙමින් වෙළෙඳ සමාගම් පවා ඇති වූ ආකාරය ඉතිහාසය පැහැදිලි කරයි. වත්මන් දොඩන්දූ වරාය සක්‍රීය වන්නේ මේ යුගයේදී බව පැහැදිලිය. රන්කාසි, මසුරන් ආදී මුදල් ඒකකවලින් ගනුදෙනු කළ එකල වෙළෙඳ ප්‍රජාව පසුකාලයේ දී බලයෙන් ඉවත් වීම නිසා ද්‍රවිඩ සහ මුස්ලිම් වෙළෙඳ ආධිපත්‍යයක් ඇති විය. මේ ආධිපත්‍ය විනාශ කර දමන ලද්දේ ලන්දේසීන් විසිනි.

ඩොලර් නැතිව වෙළෙඳාමේ ගිය දොඩන්දූව වෙළෙන්දෝ


උඩරට රාජධානිය ගිවිසුමකින් ඉංග්‍රීසීන් හට භාරදීමෙන් පසු එවකට ලන්දේසීන් විසින් භාවිත කළ රික්ස්ඩොලරය ඉවත් කර 1825 දී රන් පවුම හඳුන්වා දෙන ලදි. ඒ අනුව රන් පවුමක් රික්ස් ඩොලර් 1 1/3 ක් විය. ඉන්පසු 1836 වසරේ දී ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතයට හඳුන්වා දී ඇත.

1796 සිට 1798 දක්වා කාලය තුළ මදුරාසි නීතිය යටතේ සමින්දාර් පරිපාලනයක් බිහි කිරීම ඊට ප්‍රබල හේතුවකි. එසේම පවුම් සිලිං සහ පැන්ස ආදී බි්‍රතාන්‍ය සම්මත මුදල් භාවිතයන් ද හඳුන්වාදී ඇත. සිලිං දෙකක් රුපියලක් වශයෙනි. එසේම රුපියල් දහයක් පවුමක් ලෙසටද සැලකුණි. ඉන්පසු ලංකා බැංකුව 1844 දී පිහිටුවීමෙන් පසුව භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු විනිමය පත් නිකුත් කිරීම අරඹන ලදී. 1869 දී ඉන්දියන් රුපියල සීමාවකින් තොර ටෙන්ඩර ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගත් අතර 1871 වන විට රුපියලක් යනු ශත 100 ක් බවට නිර්වචනය කර ඇත. ඉන්පසු ලංකා රුපියල නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර රුපියල යනු සිලිං 2 පැන්ස හයක් ලෙසට නිර්වනය කර තිබේ. දොඩන්දූ වෙළෙන්දන් එදා ගනුදෙනු කරන ලද්දේ ලන්දෙසි මුදල් ඒකකවලිනි. පසුව පවුම් සහ සිලිංවලට මාරු වුණ කල්හි වෙළෙඳාමේ වෙනසක් සිදු නොවීය. දොඩන්දූ වරායත් දකුණු ඉන්දියාවේ කොචින් මල්පේ ඇතුළු වරායන් හතරක් සමග සම්බන්ධකම් දියුණු පවුණු වී එහි සිට රටඋළු සහ ජාඩි පමණක් නොව චීන රෙදිපිළි ද ආනයනය වන්නට විය. ජාඩි අසුරන ලද්දේ කිලෝ හාරසීයක් පමණ පැටවිය හැකි ලී පීප්ප තුළය. අදටත් ලංකාවේ පැරණි නිවාසයන්හි කොචින් සිට ගෙන පැමිණි 1865 වර්ෂය කෙටූ කැලිකට් රටඋළු වර්ග දක්නට ඇත.දොඩන්දූ වරායේ ගැඹුරු මුහුදේ නැංගුරම්ලන නැව්වල පැටවූ පීප්ප ගොඩ දක්වා ප්‍රවාහනය කරන ලද්දේ පිලාඔරු යනුවෙන් හඳුන්වන ලද කුඩා ඔරු විශේෂවලිනි. බදු අය කර ගැනීමට රේගු ගොඩනැගිල්ලක්ද නිලධාරියෙකුද විය. ලංකාවේ නිපදවූ කොහු ලණු කඹ, පුවක් කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, ඇත්දල භාණ්ඩ ඇතුළු වෙළෙඳ ද්‍රව්‍යයන් ඉන්දියාවට මෙන්ම බුරුමය, තායිලන්තය ආදී රටවලට පැටවෙන්නට විය. පෙර සඳහන් කළ ආකාරයට දොඩන්දූවෙන් නැව් නැගී ගිය භික්ෂූන් වහන්සේ නමකට කාවේරිය අසල බුද්ධ ප්‍රතිමාව හමුවන්නේ මේ දියුණු නාවික කටයුතු නිසාවෙනි.

දොඩන්දූ වරාය ප්‍රසිද්ධව පැවතියේ විදේශ වෙළෙඳාම ගැන පමණක් නොවේ. දොඩන්දූ ධනවත් වෙළෙන්දෝ කොල්ලෑ සහිත නැව්වල පටවා ගත් පුවක්, ජාඩි සහ රට උළු රැගෙන උතුරුකරයේ පේදුරුතුඩුව දක්වා යාත්‍රා කළහ. ජාඩි සාදන ලද්දේ කුම්බලා, සාවාල ආදි මාළුවලිනි. මේ වෙළෙඳාම නිසා පේදුරුතුඩුව, මුතූර්, කල්මුනේ, හේරාඔරුව (එරාවුර්) පුලියන්දූව (මඩකලපුව), අක්කරපත්තුව වැනි වෙළෙඳ නගරවල සිංහල ජනතාවගේ වෙළෙඳ සල් ආරම්භ විය. ගාල්ලගේ උදාරිස් සිල්වා සහ ගාල්ලගේ එලියස් අප්පු දොඩන්දූ වරායේ සිටි ප්‍රබල ධනවතුන් විය. කල්මුනේ ආරම්භ වූ වෙළෙඳ සලේ සිට දොඩන්දූවට 1901 දී තැපැල් කළ ලියමනක හුරුල්ලන් මාළු පීප්ප ගැන සඳහන් කර තිබේ. එසේම දොඩන්දූවේ මෝදර පටුවත ගාමිණි ගාල්ලගේ මහතාගේ නිවසේ තිබී හමු වූ මුදල් ගනුදෙනු පොතක පිටුවක සඳහන් විස්තරයන් දකින විට එකල හුවමාරු වූ බඩු භාණ්ඩ ගැන තොරතුරු සොයා ගත හැකිය. සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ සොයා ගෙන එය ප්‍රතිසංස්කරණයට මුල්වූ පූජ්‍ය දඹගස්ආරේ මේධංකර නාහිමියන් මුතුර්වලට වැඩම කරන ලද්දේ දොඩන්දූ වරායෙනි. 1987 දී ඇති වූ ත්‍රස්තවාදී කෝලාහලයන් ගෙන් පසුව පේදුරුතුඩුව දක්වා වූ ස්ථානවල වෙළෙඳාම කළ සිංහලයන්ගේ කඩ වෙළෙඳාම නැතිභංගස්ථාන විය. දොඩන්දූ වරායෙන් පිටත්ව ගිය අවසාන රුවල් නැව ගැන අපට තොරතුරු හමුවන්නේ 1930 වකවානුවේදීය. මෙම නැව ලුණු පැටවීම සඳහා හම්බන්තොට ගිය යාත්‍රාවකි. එය කුණාටුවකට අසුවී මුහුදුබත් වී තිබේ. එහි සිටි නැවියන් මාලදිවයින් යාත්‍රාවක් නිසා පණ බේරාගෙන මාස තුනකට පසුව ස්වකීය ගම්රටවල් බලා පැමිණි බව දැන ගන්නට ඇත. රට අභ්‍යන්තරයේ ගමනාගමනය දියුණු වීමත් සමග සහ සමස්ත වරායන් සියල්ල වරාය අධිකාරිය යටතට පත් වීමත් සමගම දොඩන්දූ වරායට තිබූ ප්‍රධානත්වය අහෝසි විය. පසුව දොඩන්දූව වෙළෙඳ වරාය ධීවර වරායක් බවට පත්විය. මේ කාලයේ ධීවරයන් දෙපිරිසක් අතර ඇති වූ කෝලාහල සංසිඳ වීමට සමත් වූ ප්‍රභූවරයකු ගැනද සඳහන් ව තිබේ. ඩාර්ලිස් අබේවීර ගුණවර්ධන නමින් ඒ ප්‍රභූවරයා ප්‍රසිද්ධව සිට ඇත. දොඩන්දූ වරායේ නවතා තිබූ පැරණි නැවක ආකෘතියක් දැනට ගාල්ල සමුද්‍රීය කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

 ● මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment