ඩොලර් නැති රටට කන්ටේනර් පුරවා එන ඇපල්-මිදි ටොෆී- චොකලට්

1063

ආනයනික තහනම මේ ආණ්ඩුව සූදුවක් කරගෙන…

ඩොලර් අර්බුදය මවා පලා ආනයනකරුවන්ට හිතෙන විදිහට පලතුරු මිල වැඩි කරනවා…

තවම අපි විකුණන්නේ ඩොලර් එක වැඩි වෙන්න ඉස්සෙල්ලා ආනයනය කරපු ටොෆි චොකලට් ඒත් මිල වැඩියි…

බසාර් එකේ ඇති වෙන්න විසිතුරු භාණ්ඩ තොග තියෙනවා…

ඩොලර් අර්බුදය තවම උග්‍රය. තෙල් පෝළිම් තවම දිගුය. ගෑස් ටැංකි තියාගෙන මිනිස්සු මහ මඟ වේලෙති. කිරි පිටි පැකට් එකක් අස්ප ගණන්ය. ඖෂධ නොමැතිව රෝගීන් මියැදෙන දිනය වැඩි ඈතක නොවන බව ද වටින් ගොඩින් ඇසේ. එමෙන්ම කොළ නැතිව මුද්‍රණ කර්මාන්තයත් කොට උඩය. ඩොලර් හිඟය මතු කර ඇති තවත් ගැටලු කප්පරකි. එහෙත් ඇපල්, මිදි, දොඩම් ආනයනික පලතුරුවලින් මේ රට ස්වයංපෝෂිතය. පිටකොටුවේ පලතුරු තට්ටුවල මෙන්ම තුම්පනේ සිරිපාලගේ පලතුරු කඩෙත් ආනයනික පලතුරු තොඟ පිටින් තිබේ. එමෙන්ම ආනයනික සෙල්ලම් බඩුවලින් පිටකොටුවේ විසිතුරු භාණ්ඩ වෙළෙඳසල් පිරී තිබෙන අයුරු දුටු විට අපි විශ්මයට පත් වීමු. පිටරට ටොෆි, චොකලට් අලෙවිය සඳහාම වෙළෙඳසල් විවෘත කර තිබෙන අයුරු දකින විට දෑස් නලල් තලයේ නතර වූයේ ‘ඩොලර් නෑ’ කියන රටේ අත්‍යවශ්‍ය නොවන ආහාරපාන, විසිතුරු භාණ්ඩ වෙළෙඳාමට කිසිම බාධාවක් නැති බව හැඟුණු නිසාය.

ඇපල්, මිදි, දොඩම්වල මිලත් ලොකු වැඩියක් නැත. පසුගිය කාලේ රුපියල් 250 ට අලෙවි වූ මිදි ග්‍රෑම් 250 මේ දිනවල රුපියල් 350 කි. පසුගිය කාලේ රුපියල් විස්සට, තිහට අලෙවි වූ පොඩි ඇපල් ගෙඩිය නම් රුපියල් අසූවකි. ඇපල් ගෙඩි හතරේ මල්ල රුපියල් 350 කි. ඇමෙරිකන් ලොකු ඇපල් ගෙඩියක් නම් රුපියල් 150 කි. දෙළුම් ටිකක් මිලය. දොඩම් මිල අඩුය. බේබි නාරං ඉස්සර මිලමය. පිටකොටුව බෝගහ යට පලතුරු තට්ටු පෙළ අසල අපි නතර වී සිටිමු.

‘මිදි ඇපල් ලාභ වුණා… රස ඇපල් මල්ලම 300 යි… රස මිදි දෙසීය පනහම 350 යි… කුණු ගෙඩි නෑ… පලුදු නෑ… සුපිරි බඩු… ලාභයි… අරගෙන යන්න… ඇපල් කෑල්ලක, මිදි ගෙඩියක රස බලන්න දරුවො ආසයි… එන්න… ගන්න…’ පලතුරු තට්ටුවල කොල්ලන්ගේ උස් හඬ පාරිභෝගික හදවත්වලට ක්‍ෂණයෙන් සන්නිවේදනය වන බව අපට හැඟිණි. එහෙත් ඇපල් මල්ලක් මිලදී ගන්න සූදානම් වනවිට තවත් රුපියල් පනහකින් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් මුළා කිරීමක් බව අපට පෙනිණි. අසරණ පාරිභෝගිකයන් මුළා කරන අයුරු දෑසේ රැඳෙන විට කඩ පෙළේ තරුණයෙක් සමඟ අපි කතා කළෙමු.

පිටකොටුවේ බෝගහ අසළ පලතුරු තට්ටුවක තරුණයෙක් කියන කතාව…

“ආනයනික පලතුරුවල මිල ගණන් එකට තුනකින් විතර වැඩි වෙලා තියෙනවා. ඩොලර් එක වැඩි වෙන්න කලින් රුපියල් 4500 ට ගත්ත ඇපල් පෙට්ටිය දැන් රුපියල් දාහසයදහස් දෙසීයක් විතර වෙනවා. වෙළෙඳාමත් අඩුයි. ඉස්සර පනස්දාහක බඩු විකිණපු තට්ටුවේ දැන් බිස්නස් එක දහ පහළොස්දාහකට වැඩි වෙන්නේ නෑ. බඩුත් ටිකක් අඩුයි. ඉස්සර මාසෙකට පලතුරු ටැංකි තිහක් විතර ආවා. දැන් එච්චර එන්නේ නෑ. ඒත් මේ දවස් ටිකේ වැඩිපුර බඩු ටිකක් එනවා. වෙළෙඳාමත් ටිකක් හොඳයි. මුස්ලිම් අවුරුද්ද, සමහර මිනිස්සු සිංහල අවුරුද්දට තවම නෑගම් යනවා. අපේ රටේ බොහෝ අය පිටකොටුවට ආවොත් ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, මිදි දෙසිය පනහක් අරගෙන යෑම පුරුද්දක් කරගෙන තියෙනවා. මිනිස්සු එහෙම පුරුදු වුණේ සාධාරණ මිලකට ඇපල්, මිදි වෙළෙඳාමක් පිටකොටුවේ කෙරෙන නිසයි. මේ වෙනකොටත් අපි වෙළෙඳාම කරගෙන යන්නේ පාරිභෝගිකයන් අසරණ නොකර පුංචි ලාභයක් තියාගෙන. ඒත් පලතුරු ආනයනකරුවන්ට කල්ල මරේ. ඩොලර් අර්බුදය මවාපලා ඔවුන්ට ඕන විදිහට පලතුරු මිල වැඩි කරලා වෙළෙඳපොළට නිකුත් කරනවා. තොග වෙළෙඳුන්ගේ කළු කඩ බිස්නස් ක්‍රමය නිසා අපිත් අසරණයි. පාරිභෝගිකයොත් අසරණයි. ඒ වගේම දැන් වැඩිපුර පලතුරු එන්නේ චීනයෙන්, ඉන්දියාවෙන්. මේ කොළ, කළු මිදි ඉන්දියාවේ. අනිත් සේරම මිදි චීනේ…” පලතුරු තට්ටුවේ තරුණයා කළු සහ කොළ මිදි පැකට් දෙකක් අතටගෙන අප දෙසට දිගු කළේය.

“මේ ලොකු දොඩම් එක අප්‍රිකාවේ. රසයි. අලුත්. ඇමෙරිකාවේ, නවසීලන්තයේ, ඔස්ටේ්‍රලියාවේ ඇපල් රසයි. මිල වැඩියි. දැන් එනවා අඩුයි. මේ දවස්වල පෙයාස් ලාභයි…” පිටකොටුවේ ආනයනික පලතුරු අළෙවිසලක් ඉදිරිපිට තට්ටුවේ තරුණයාගේ නිර්භීත කතාවට අපට සතුටු සිතිණි. එහෙත් ඔහුගේ ව්‍යාපාරයේ හෙට දවස සිහිවෙනකොට ඒ තරුණයාගේ නම සඳහන් කිරීමට හිත් නොදුන්නේය.

මෙරට ආනයනික පලතුරු වෙළෙඳාමත් ඒකාධිකාරියකි. පවතින ආණ්ඩුවේ ගජමිතුරු පලතුරු ආනයනකරුවන් පස්, හයදෙනාට සිතැඟි පරිදි මෙරට ආනයනික පලතුරු වෙළෙඳාම හසුරවන බව පෙනේ. පවතින ආණ්ඩුවේ පමණක් නොව තට්ටු මාරුවට පත්වන සෑම ආණ්ඩුවකටම එම ව්‍යාපාරිකයන් මිතුරුය. එමෙන්ම පවතින ආර්ථික අර්බුදය පලතුරු ආනයනකරුවන්ට පමණක් නොව සියලු භාණ්ඩ ආනයනකරුවන්ට ගොඩ වැඩි කරගැනීමට සුපිරි අවස්ථාවකි. දිනෙන්, දින භාණ්ඩ මිල ඉහළ යන වෙළෙඳපොළ දකින විට ඒ බව හොඳින් පසක් වන බව ද සැබෑය. කන්න නැති අසරණ ජනතාව සූරාගෙන කන කාලකණ්ණි වෙළෙඳ මාෆියාව සිහියට නැඟෙන විට මගේ දෙපා පිටරට ටොෆි චොකලට් අළෙවිසලක නතර වී තිබිණි. අළෙවිසල පිරෙන්න බඩුය. විවිධ මාදිලියේ ටොෆි, චොකලට්, රසකැවිලි රාක්ක තුළ තොග පිටින් තිබේ. දේශීය ටොෆි, චොකලට් මිලට වඩා පිටරට ටොෆි චොකලට් මිල බොහෝ වැඩි බව ද පෙනේ. එහෙත් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ අඩුවක් ද නැත.

පිටරට ටොෆි, චොකලට් අළෙවිසලේ ව්‍යාපාරිකයාගේ කතාව…

“මුස්ලිම් අවුරුද්දට බසාර් එකේ කඩ වහලා නිසා අද ටිකක් බිස්නස් තියෙනවා.

පහුගිය දවස්වල නම් බිස්නස් ගොඩක්ම අඩු වෙලා තිබුණේ. අපිත් බඩු ගන්නේ බසාර් එකෙන්. මේ ටොෆි, චොකලට් ආනයනය කරන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්. බඩු ගෙන්නේ ඉන්දියාවෙන්, ඩුබායිවලින්. දැන් අපිට මේ බිස්නස් එක කරගෙන යන්න හරිම අමාරුයි. මම හිතාගෙන ඉන්නේ තව ටිකක් බලලා කඩේ වහලා දාන්න. මාස දෙකකට කලින් මේ චොකලට් එක අපි දුන්නේ රුපියල් 150 ට. දැන් බසාර් එකෙන් අපිට දෙන්නේ රුපියල් 270 යි. රුපියල් 30 ක පුංචි ලාභයක් තියාගෙන අපි 300 ට දෙනවා…” කඩේ මුදලාලි ආනයනික චොකලට් බාර් එකක් මගේ අතට දුන්නේය. පිටරට සිට පැමිණෙන බොහෝ අය අනිවාර්යෙන්ම රැගෙන එන කුඩා චොකලට් බාර් එකකි. එහෙත් රුපියල් තුන්සීයකට එම චොකලට් බාර් එක වටින්නේද යන්න මගේ සිතේ කුකුසක් උපන්නේය.

“ආනයනික ටොෆි, චොකලට්, රසකැවිලි මිල එකට හතරකින් විතර වැඩි වෙලා තියෙනවා. ඉදිරියේදී තව වැඩි වෙනවා. මේ බඩුවල මිල වැඩි වුණේ ඩොලරයේ මිල ඉහළ යෑමත් එක්ක නෙමෙයි. තවම අපි විකුණන්නේ ඩොලර් එක වැඩි වෙන්න ඉස්සෙල්ලා ආනයනය කරපු බඩු තොග. ඩොලරයේ මිල වැඩි වෙන්න, වෙන්න ආනයනකරුවො ගබඩාවල තිබෙන බඩු තොගවල මිල වැඩි කරලා වෙළෙඳපොළට නිකුත් කරනවා. මේ වෙනකොටත් තොග ව්‍යාපාරිකයන් විශාල ලාභයක් ලබාගෙන ඉවරයි. එහෙම වුණා කියලා මිල වැඩි නොකර ඉන්නේ නෑ. හෙට අනිද්දා වෙනකොට තව මිල වැඩි වෙනවා. රජයෙන් කිසිම මිල පාලනයක් නෑ. පාරිභෝගික අධිකාරියෙන් සෙවිල්ලක් නෑ. කල්ඉකුත් වුණත් ලේබල් වෙනස් කරලා වෙළෙඳපොළට නිකුත් කරන්න ඉඩ තියෙනවා. තොග ව්‍යාපාරිකයන් මේ රටේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ගැන හිතන්නේ නෑ. ඔවුන් හිතන්නේ බිස්නස් එක ගැන විතරයි. අපේ කඩේ ඇතුළෙත් ලේබල් වෙනස් කරපු කල්ඉකුත් වෙච්ච බඩු තියෙන්න පුළුවන්. ඒ කූට වැඩ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ටවත් හොයන්න බෑ…” වෙළෙඳසලේ අයිතිකරු නම, ගම සියලු විස්තර අපට කීවේය. පින්තූරයක් ද ලබාගැනීමට කැමත්තෙන් පෙනී සිටියේය. එහෙත් ඔහුගේ නම හෙළි නොකර සිටීමට අපි වගබලා ගත්තේමු.

සෙල්ලම් බඩු කඩේ තරුණයෙක් කියපු කතාව…

පිටරට ටොෆි, චොකලට් අළෙවිසලේ තරුණ ව්‍යාපාරිකයාගෙන් සමුගත් අපි විසිතුරු භාණ්ඩ අළෙවිසලකට ගියෙමු. ඇඟිල්ලක් ගැසීමට ඉඩ නැති තරමට සෙල්ලම් බඩුය. විවිධ මාදිලියේ සෙල්ලම් බඩු ගොඩ ගසා තිබිණී. පුංචි කඩේ ෂිප්ට් එකට තිදෙනෙක් වැඩය. අපගේ අනන්‍යතාවය තහවුරු කිරීමත් සමඟ එක් තරුණයෙක් ලෙන්ගතුව අප සමඟ කතාබහ කළේය.

“මේ සේරම බඩු එන්නේ චයිනාවලින්. බඩුවල කිසිම අඩුවක් නෑ. බසාර් එකේ ඇති වෙන්න බඩු තියෙනවා. ටිකක් මිල වැඩියි. හැම කෑල්ලක්ම රුපියල් සියකින්, එකසිය පනහකින් වැඩි වෙලා තියෙනවා. වෙළෙඳාමත් භාගෙට, භාගයක් විතර අඩු වෙලා…” එසේ කතා කළේ තීපන්ය. ඔහුගේ ගම බලන්ගොඩය. කොළඹ රස්සාවට පැමිණ අවුරුදු හතරකට ආසන්නය. වෙළෙඳාමට පමණක් නොව ජීවත්වීමට ද නපුරු කාලයක් උදා වී ඇති බව අවසානයේ ඔහු අපට කීවේය. මේ කාලය නපුරු බව රටේ බහුතරකට දැනෙන බව සැබෑය. එහෙත් මේ නපුරු කාලයේ ද මල්ල බර කර ගන්නා දේශපාලනඥයන්, නිලධාරීන් සහ ගජමිතුරු ව්‍යාපාරිකයන් රොත්තක් සිටින බව පාරිභෝගික අයිතීන් වෙනුවෙන් නොබියව පෙනී සිටින සහ සුදු වෑන්වල රැගෙන ගොස් පූරුවේ වාසනාවට දිවි බේරුණු සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අපට කීවේය.

කළු කඩේ මගඩි හෙළි කරන අසේල සම්පත් කියන කතාව…

ඩොලර් නැති රටට කන්ටේනර් පුරවා එන ඇපල්-මිදි ටොෆී- චොකලට්

“මේ ආනයනික තහනම, සීමා පැනවීම සූදුවක් බවට පත් කරගෙන තියෙනවා. ආනයනය තහනම් කිරීමට හෝ සීමා පැනවීමට පෙර ආණ්ඩුවේ ගජමිතුරු ආනයනකරුවන් දැනුවත් කරනවා. ඒ සමඟ ආනයනකරුවන් අදාළ භාණ්ඩ තොග පිටින් ආනයනය කරලා ගබඩා කරගන්නවා. ඊට පස්සේ ආණ්ඩුව මේ, මේ භාණ්ඩ ගෙන්වීම සීමා කළා කියලා ජනතාවට දැනුම් දෙනවා. ආනයනකරුවො අදාළ භාණ්ඩයේ මිල වැඩි කරමින් ටික, ටික වෙළෙඳපොළට නිකුත් කරනවා. අදාළ දේශපාලනඥයො, නිලධාරීන්, ව්‍යාපාරිකයන් ලාභය බෙදා ගන්නවා. හරි සරළයි. ජනතාව අසරණයි. ඒ වගේම කොමිස් ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන සිටින මෙරට දේශපාලනඥයො දැන් ආනයන වෙළෙඳාමත් ආදායම් මාර්ගයක් කරගෙන. මෙරටට ආනයනය කරන මිදි ගෙඩියේ ඉඳලා සෑම ආනයන භාණ්ඩයකින්ම බලධාරීන්ට, නිලධාරීන්ට කොමිස් මුදලක් යනවා. රටේ ආනයන වෙළෙඳාම ආණ්ඩුවේ ගජ මිතුරුන්ට භාරදීලා තියෙන්නේ ඒ නිසා. වැඩිපුර ඒ ගැන කතා කිරීම සුදු වෑන් එකක දොර ඇරීමක්. ඒත් අසරණ පාරිභෝගික ජනතාව වෙනුවෙන් මම කතා කරනවා…”

“තෙල්, බෙහෙත්, කිරිපිටි ආනයනයට ඩොලර් නැති රටේ පළතුරු, ටොෆි, චොකලට් ආනයන කරන්න ඩොලර් කොහෙන්ද? පහුගිය දවස්වල අපි එක දිගට අහපු ප්‍රශ්නය ඕක තමයි. ඇපල්, මිදි, ටොෆි, චොකලට් කියන්නේ අත්‍යවශ්‍ය ආහාර නෙමෙයි. ඒ වගේම ලංකාවේ දේශීයව නිෂ්පාදනය කරන රස, ගුණ පිරි චොකලට් ඇති වෙන්න තියෙනවා. මේ රටේ පිළිගත් ටොෆි වර්ග තියෙනවා. දේශීය පලතුරු ඇති වෙන්න තියෙනවා. දේශීය නිෂ්පාදිත පිටි ආහාර වර්ග තියෙනවා. එවැනි පසුබිමක විදේශීය අත්‍යවශ්‍ය නොවන ආහාරපාන ආනයනය කරන්නේ කාගේ අවසරයකින්ද? ගජමිතුරු ව්‍යාපාරිකයන් සතුටු කරන්න, හොඳ හිත පවත්වාගෙන යෑමට අකමැත්තෙන් හෝ අත්‍යවශ්‍ය නොවන ආහාර ආනයනය කරන්න ආණ්ඩුවට අවසර දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ ආනයනකරුවන් බහුල වශයෙන් ගෙන්නේ ඒ රටවල කල්ඉකුත් වෙන්න ආසන්න වෙච්ච භාණ්ඩ. පිටරටවලදී ඉල්ඉකුත්වීමේ දිනයට මාස හයකට පෙර භාණ්ඩ වෙළෙඳපොළෙන් ඉවත් කරනවා. ඒ භාණ්ඩ අපේ රටට ගෙනත් පැකට් කඩලා අලුත් ලේබල් ගහලා නැවත පැක් කරනවා. විශේෂයෙන් ටොෆි, චොකලට් රසකැවිලි, චීස්, බටර්, ෂොස් වර්ග. ඒ වගේම ඉන්දියාවට වඩා පැස්ටා ලංකාවේ තියෙනවා…”

“පිටරට ටොෆි, චොකලට් සමඟ මත්ද්‍රව්‍ය අඩංගු ටොෆි වර්ග එනවා. කොළඹ ප්‍රධාන පාසල්වල ඒ ටොෆි කාපු ළමයි සිහිසුන්ව ඇඳ වැටිලා තියෙනවා. දරුවො අතපය කපාගෙන රෝහල්ගත කරලා තියෙනවා. විටින්, විට ඒ සිද්ධි අපි රටට හෙළිදරව් කරලා තියෙනවා. ඒ වගේම පිටකොටුව අවට තොග ගබඩාවලට ගියා නම් මේ ජාවාරම හරි හැටි බලාගන්න තිබුණා. මේක මහා පරිමාණ ජාවාරමක්. මේවා ගැන සොයාබලන්න මේ රටේ නිලධාරීන් නෑ. ඒ වගේම ආනයනකරුවන්ගෙන් අදාළ නිලධාරීන්ට මාසෙ අන්තිමට ගතමනාව ලැබෙනවා. මුදලට කෑදර නිලධාරීන් නොකර ශබ්ද ඉන්නවා. අපේ රටේ ජනතාව විදේශීය රටවල කල්ඉකුත් වූ ආහාර පරිභෝජනය කරනවා. මේවා හෙණ ගහන අපරාධ…”

“ඇපල්, මිදි, දොඩම්වලට අපේ රටේ මිනිස්සු කැමතියි. කීය කිව්වත් ගන්න අයත් ඉන්නවා. ඒ වගේම ඇපල්, මිදි විකුණලා ජීවත්වන පිරිසක් පිටකොටුවේ ඉන්න බවත් ඇත්ත. අපි මේ කතා කරන්නේ ඒ මිනිසුන්ගේ බඩට ගහන්න නෙමෙයි. ජනතාවගේ පාරිභෝගික අයිතීන් නැති කරන්නත් නෙමෙයි. මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක අත්‍යවශ්‍ය නොවන පලතුරු ආනයනය යම් කාලයකට තහනම් කර දේශීය පලතුරු නිෂ්පාදනය දිරිමත් කරන්න ඕන නිසයි. මෙරට අඹ, රට ඹුටන්වලට විදේශීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. අපේ රටේ මිදි වගා කරන්න පුළුවන්. නුවරඑළියේ ඇපල් හදනවා. දොඩම් හදන්න පුළුවන්. පලතරු වගා කරන්න කැමති දේශීය ව්‍යවසායකයන් ඉන්නවා. රටේ ඉඩම් තියෙනවා. මේවා කළමනාකරණය කරලා පලතුරු වගාව ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවා නම් පිටරට පලතුරු අපිට අවශ්‍ය නෑ. ඒත් අපිට තියෙන ගැටලුව අලුත් විදිහට සිතන, පතන දක්‍ෂ නායකයෙක් නැතිකමයි. ඒ වගේම සාමාන්‍යයෙන් පලතුරු ගෙඩියක් ඉදිලා තියාගන්න පුළුවන් දවස්, තුනයි, හතරයි. වැඩිම වුණොත් පහයි. ආනයනික ඇපල්, මිදි, නාරම්, දොඩම්, දෙළුම් මාස ගණන් නැව්වල එනවා. ලංකාවේ කූල් රූම්වලත් මාස ගාණක් තියාගෙන තමයි ටික, ටික වෙළෙඳපොළට නිකුත් කරන්නේ. එවැනි පලතුරුවලින් මිනිස් ශරීරයට අවශ්‍ය පෝෂදායී සංඝටක ලැබෙයිද…” අසේලට තියෙන ප්‍රශ්නය මෙරට බොහෝ පුරවැසියන්ට තිබේ. එහෙයින් එම ගැටලුවට පිළිතුරක් ලබාගැනීමට පෝෂණවේදී අසංග නිපුණ මහතාට අපි කතා කළෙමු. මේ ඔහු කියන කතාවය.

පෝෂණවේදී අසංග කියන කතාව…

“ඕනෑම පලතුරක පෝෂණීය ගුණය එක, එක මට්ටම්වලදී වෙනස් වෙනවා. යම් පලතුරක අමු මට්ටමේදී ලැබෙන පෝෂණීය ගුණය පැසුණු, ඉදුනු පට්ටම්වලදී වෙනස් වෙනවා. ඒ වගේම ආනයනික පලතුරු ස්වභාවිකව ඉදුණු පලතුරු නෙමෙයි. අමුවෙන් කඩලා එතිලීන් කියන රසායනික භාවිතා කරලා කාලයක් තියාගන්න පුළුවන් ආකාරයට ඇසුරුම් කරනවා. ඒ පලතුරු ඇසුරුම් කිරීමේදී, ප්‍රවාහනයේදී කල්ගතවීමත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙනවා. පාරිසරික තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ වෙනස්වීම තුළ අදාළ පලතුරේ තියෙන පෝෂණීය ගුණය හීන වෙනවා. විශේෂයෙන්ම විටමින් සී ගොඩක්ම විනාශ වෙනවා. ඒ වගේම පලතුරු කල් තබාගැනීමට භාවිතා කරන රසායනික මිනිස් සිරුරට අහිතකරයි. ආනයනික පලතුරුවලට භෞතිකව වෙන හානියත් වැඩියි. උදාහරණයක් විදිහට ඇපල් ගෙඩියක් හපනකොට චරස් ගාලා කැඩෙන ගතිය වෙනුවට පිටි ගතියට හැපෙනවා නම් ඒ පලතුරේ ස්වභාවික ගතිය නැති වෙලා. ඒ නිසා ආනයනික පලතුරු පරිභෝජනය හොඳයි කියලා කියන්න බෑ. ටොෆි, චොකලට් බහුලව කෑම අහිතකරයි. විශේෂයෙන්ම ප්‍රමිතියක් නැති භාණ්ඩ ගැන ජනතාව සැලකිලිමත් වෙන්න ඕනෑ…”

පිටරටවල වෙළෙඳපොළෙන් ඉවත් කරන ටොෆි, චොකලට් රසකැවිලි, විවිධ ආහාර වර්ග මෙරට අසරණ ජනතාවට කෑමට ලබාදීම මහා අපරාධයකි. ඒ තිරිසන් ජාවාරම් ගැන සොයාබැලීමට නීතිගරුක නිලධාරීන් නොමැති වුවද මලජරාව කා රෝගීන්වීමට පෙර පාරිභෝගික ජනතාව සිතාබැලිය යුතුය. වගකීමකින් තොර කිසිදු ආහාරපානයක් පාරිභෝජනය නොකිරීම
පාරිභෝගිකයන් වගකීමක් කරගන්නේ නම් පිටරට කුණු ගොඩවල් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීම අවම වන බව අපගේ අදහසය. එමෙන්ම මෙරට කෘෂිකර්මාන්තයෙන් රසායනික පොහොර භාවිතය තහනම් කරනු ලැබූයේ වස විස නොකන සමාජයක් නිමාර්මාණය කිරීමටය. වකුගඩු දිය වී මියැදෙන ජීවිත අවම කරගැනීමටය. ආනයනික පලතුරු ද මාස ගාණක් කල්තබා ගන්නේ රසායනික බෙහෙත් භාවිතා කරමිනි. එහෙයින් වස විසෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමට යෑමේදී රසායනික භාවිතා කරමින් කල්තබා ගන්නා පලතුරු ද තහනම් කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment