ඩොලර් ප‍්‍රශ්නය වැඩිකරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම

337

කොරෝනා වසංගතය හමුවේ අපේ ආර්ථිකය පවතින්නේ බලවත් අභියෝගාත්මක වාතාවරණයක බව රහසක් නොවේ. මේ හමුවේ ඇතිව තිබෙන අහිතකර ආර්ථික බලපෑම් හමුවේ මහජනතාව ද බලවත් පීඩාවට පත්ව ඇත. බඩු මිල ගණන් දිනෙන් දින සීග‍්‍රයෙන් වැඩි වෙමින් තිබේ. එසේම සමහර භාණ්ඩ වැඩි මිලටවත් මිලදී ගැනීමට නැත. මේ නිසා භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල සිටීමට ද ජනයාට සිදුව තිබේ. ගෑස් හිඟය දරුණුවටම තිබේ. ලැබෙන ගෑස් සිලින්ඩර ද ලැබෙන්නේ ගෑස් විකුණන අලෙවි නියෝජිතයා අඳුනන අයට පමණය. ඒ අතරේ රජය සියලූ මිල පාලන ක‍්‍රියාමාර්ගවලින් ද ඉවත් වී ඇත. මේ නිසා ඇතැම් වෙළෙඳුන් මේ අමාරු අවස්ථාවේ අසාධාරණ ලෙස පාරිභෝගික ජනයා ගසා කෑමට ද ඉඩ තිබේ. එවිට රජය පාරිභෝගික ආරක්ෂණය සලසන්නේ කෙසේ ද යන්නත් පැහැදිලි නැත. මේ සියලූ ප‍්‍රශ්න හමුවේ ඩොලර් ප‍්‍රශ්නය ද උග‍්‍ර ලෙස තවමත් තිබේ. එය සමනය කර ගැනීමට නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනු ලැබුවත් ඒවා තවමත් එතරම් ප‍්‍රතිඵලදායක වී ඇති බවක් ද නොපෙනේ. ඒ නිසා රට මුහුණ දී සිටින බලවත්ම ප‍්‍රශ්නයක් වන්නේ මේ විදේශ විනිමය හිඟය හමුවේ විදෙස් ණය වගකීම් කලට වේලාවට පියවීමයි.

 අප කොරෝනාවට පෙර සිටම අපගේ අපනයන ආදායම මෙන් දෙගුණයක් පිටරටින් බඩු ගෙන්වා පරිභෝජනය කිරීමට හුරු වී සිටියෙමු. එනම් අපනයන ආදායම මෙන් දෙගුණයක ආනයන වියදම් දරමින් සිටියෙමු. එසේ නම් ඒ ආනයන වියදම් පියවා ගත්තේ කෙසේ ද? ඒ පැවති විශාල වෙළෙඳ හිඟය එනම් ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය පියවා ගත්තේ බොහෝ දුරට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපයුම්වලින් සහ විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ විනිමය පේ‍්‍රෂණ මුදල්වලිනි. මෙය අහිතකර තත්ත්වයක් වුවත් ඒ තත්ත්වය වෙනස් කර ගැනීමට පසුගිය කිසිම රජයක් ප‍්‍රමාණවත් පියවර ගත්තේ නැත. කොරෝනා වසංගත තත්ත්වයත් සමග සංචාරක ආදායම් බිඳ වැටී විනිමය පේ‍්‍රෂණ ද අඩු වී තිබේ. මේ නිසා අපගේ විදේශ විනිමය ලැබීම් අඩු වී විදේශ විනිමය පීඩනය උග‍්‍ර වීමෙන් අපට බලවත් ආර්ථික විපාකවලට මුහුණ දීමට සිදුව ඇත. වෙළෙඳ හිඟය පියවා ගැනීමට අමතරව විශාල වටිනාකම්වලින් විදෙස් ණය වගකීම් පියවීමට ද සිදුව තිබීම බලවත් අභියෝගයකි. මේ තුළ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට සිදුවනු ඇතැයි ඇතැම් ආර්ථික විශේෂඥයෝ ප‍්‍රකාශ කර ඇත. රජයේ ආර්ථික බලධාරීන් නම් දිගටම පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. එසේ නම් අපට මේ ප‍්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට සමත් ක‍්‍රමවේද අවශ්‍ය වේ. එහිදී කුමන ආකාරයෙන් හෝ අපට අලූතින් විදේශ විනිමය ඉපයුම් වැඩි කර ගැනීමට අනිවාර්යෙන්ම සිදු වේ. අපේ විභවතාවට අනුව සංචාරක කර්මාන්තය වේගයෙන් පණ ගන්වා ගැනීමේ නව උපායමාර්ග අප අනුගමනය කළ යුතුව තිබේ.

ඩොලර් ප‍්‍රශ්නය වැඩිකරන  අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම

මෙසේ විදේශ විනිමය ලැබීම් වැඩි කර ගැනීමට අමතරව අපට ලැබෙමින් තිබෙන සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ද මේ අමාරු වෙලාවේ වඩා ප‍්‍රශස්ත ලෙස වියදම් කිරීම ද අවශ්‍ය වේ. එහෙත් රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් තවමත් විවිධ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැුසක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් වැය කරමින් සිටින බව ද පෙනේ. ඕනෑම සුපිරි වෙළෙඳසලකට ගොස් බැලූවොත් ඒවායේ රාක්කවල විවිධ චොකලට් වර්ග, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, මිදි සහ දෙළුම් වැනි පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැුසක් පවතින අයුරු අපට දැකගත හැකිය. මුදල් තිබෙන අය තමන්ට අවශ්‍ය ඕන දෙයක් පරිභෝජනය කළාට අපට ප‍්‍රශ්නයක් නැත. එහෙත් ප‍්‍රශ්නය තිබෙන්නේ මෙරටට ආනයනය කරමින් තිබෙන මෙවැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් රටේ තිබෙන සීමිත විදේශ විනිමය වැය කිරීමට සිදු වීමයි.

 අප ගත කරමින් සිටින්නේ ඉතා අමාරු කාලයකි. උග‍්‍ර විදේශ විනිමය පීඩනයක් පවතින අවස්ථාවකි. එසේ තිබිය දී අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය තවත් බලවත් වීමට මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනික භාණ්ඩ ගෙන්වීමට ඉඩදීම හේතුවක් වනු ඇත. මේ නිසා ඩොලර් ප‍්‍රශ්නය සමනය වනතුරු කිසියම් කාලයකට තාවකාලිකව හෝ වහාම මෙවැනි ආනයන සීමා කිරීමට රජය පියවර ගත යුතු බව ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ රජයෙන් ඉල්ලා සිටිති. මෙය ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟ වී ඇති අවස්ථාවකි. එසේ නම් මෙවැනි මොහොතක අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමට රටේ පවතින සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීමට ඉඩ දීම ඉතා අහිතකර බව ද ඔවුහු පෙන්වා දෙති.

 මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ රැුසක් මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව මීට කලකට පෙර ඒ සඳහා බැංකුවලින් විවෘත කරන ණයවර ලිපි සඳහා සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට නියමයක් පැනවූ බව අපට මතකය. එය එම භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමක් නොවේ. එහෙත් එහිදී අදාළ ණයවර ලිපියෙන් පියවීමට යන ආනයන වටිනාකම සියයට සියයක් බැංකුවේ කලින් තැන්පත් කිරීමට සිදුවන නිසා එහිදී එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් වීමක් සිදු විය. එහෙත් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට එම සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව මහ බැංකුව විසින් ඉවත් කරන ලදී. එම පියවර ද මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන වර්ධනය වීමට හේතුවක් වී ඇති බව එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙන කරුණකි.

 මේ පසුබිම තුළ මෙරට ව්‍යාපාර සහ කර්මාන්තවලට මෙන්ම අපනයනය ඉලක්ක කරගත් කර්මාන්තවල නිෂ්පාදන ක‍්‍රියාවලියට අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය වැනි ආනයන හැර වෙනත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන තාවකාලිකව මෙරටට ගෙන්වීම වැළැක්වීම, මේ විනිමය අර්බුදය තවදුරටත් සමනය කර ගැනීමට හේතුවනු ඇත. යම් කාලයකට විදේශ චොකලට් වර්ග, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, මිදි සහ දෙළුම් ඇතුළු විදේශ භාණ්ඩ පරිභෝජනය නොකළාට කිසිම දෙයක් වන්නේ නැත. කැන්ඩොස් වැනි ඉතා උසස් වර්ගයේ චොකලට් වර්ග, චීස් වර්ග, වෙනත් රසකැවිලි නිෂ්පාදන සහ එළවළු සහ පලතුරු වර්ග ඕනෑ තරම් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන බවත් ඒවාට මේ අවස්ථාවේ වැඩියෙන් ඉඩදිය යුතු බවත් ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති. විශේෂයෙන් උසස් මට්ටමේ චොකලට් වර්ග සහ හයිලන්ඞ්, කොත්මලේ සහ පැලවත්ත වැනි ආයතන චීස්, බටර් සහ වෙනත් කිරි ආහාර වර්ග ද දේශීය වශයෙන් නිෂ්පාදනය කරමින් තිබේ. ඒ නිසා මෙවැනි නිෂ්පාදන ආනයනය සීමා කරමින් මේ අවස්ථාවේ දේශීය නිෂ්පාදකයින්ට හා කර්මාන්තකරුවන්ට රජය වඩාත් අතදීම සුදුසුය. එය දේශීය ව්‍යාපාරිකයාට කරන දිරිදීමක් පමණක් නොව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් රටේ මේ මොහොතේ තිබෙන සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීම වැළැක්වීමක් ද වේ.

 මෙසේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නිසා අපේ සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය විදේශ නිෂ්පාදකයින් වෙත ඇදී යෑම සිදු වේ. එය අපේ ඩොලර් ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වීමට මෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඩොලර් හිඟයක් ඇති වීමට හේතුවක් වී ඇති බව ද දේශීය කර්මාන්තකරුවෝ සඳහන් කරති. මේ අනුව දේශීය ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කළත් රටේ පවතින ඩොලර් හිඟය නිසා ඒවා වරායෙන් නිදහස් කර ගැනීමට දින ගණනාවක් ගත වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ නිසා වරායෙන් එම භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීමට ප‍්‍රමාද වන දින ගණන සඳහා ප‍්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුව තිබේ. එය ඔවුන්ගේ නිෂ්පාදන වියදම් තවත් ඉහළ යෑමට හේතුවක් වී ඇති අතරම කලට වේලාවට අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය නොලැබීම නිසා කර්මාන්තශාලාවල නිෂ්පාදන ක‍්‍රියාවලියට ද බාධා ඇතිව තිබේ. ඇතැම් කර්මාන්තවල නිෂ්පාදන කටයුතු නැවැත්වීමට පවා මේ තත්ත්වය බලපා ඇත. මෙසේ නිෂ්පාදන ක‍්‍රියාවලිය පවත්වාගෙන යෑමට බාධාවන් ඇතිවීම දේශීය ව්‍යාපාරවල සහ කර්මාන්තවල වැඩ කරන සේවකයින්ට වැඩ නැති වීමට මෙන්ම ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතභාවයට ද අවදානමක් මතු කර තිබේ. මෙය අපනයන කර්මාන්තවලට ද එලෙසම බලපාන නිසා අපගේ අපනයන සඳහා ද අහිතකර ලෙස බලපාන තත්ත්වයකි. මේ නිසා රජය සහ රජයේ ආර්ථික බලධාරීන් මේ ගැන වහාම අවධානය යොමුකර පියවරක් ගැනීම සුදුසුය.

 මේ වසරේ (2021) පළමු මාස 9 ට අදාළ විදේශ වෙළෙඳ දත්ත මහ බැංකුව විසින්  පසුගියදා නිකුත් කළේය. ඒ අනුව මේ වසරේ (2021) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගිය විශාල වෙළෙඳ හිඟයක් නිර්මාණය වී ඇත. මේ සඳහා අපනයන ආදායම වැඩි වීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වීම හේතු වී ඇති අතර මෙය අපගේ විදේශ විනිමය පීඩනය තවත් වර්ධනය වීමට ද හේතුවක් වනු ඇත. මේ කාලයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8934 දක්වා සියයට 20 කින් වර්ධනය වන විට ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 14,938 දක්වා සියයට 26.8 කින් වර්ධනය වී ඇත. මේ අනුව වෙළෙඳ හිඟය ගිය වසරේ (2020) පළමු මාස 9 දී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 4337 සිට මේ වසරේ (2021) පළමු මාස 9 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 6003 දක්වා දක්වා වර්ධනය වී තිබේ. එසේ වෙළෙඳ හිඟය වර්ධනය වන විට එම කාලයේ දී අපගේ සංචාරක ඉපයුම් සියයට 92.5 කින් සහ විදේශවල සේවය කරන අයගෙන් රටට ලැබෙන විදේශ විනිමය පේ‍්‍රෂණ ගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 9.3 කින් ද අඩු වී ඇත.

 මේ කාලයේ රටේ වෙළෙඳ හිඟය විශාල ලෙස වර්ධනය වීමට දායක වූ ප‍්‍රධාන ආනයන කිහිපයක් ද තිබේ. ඒ අතරින් තෙල් ආනයන වියදම ප‍්‍රධානය. එනම් වසරේ පළමු මාස 9 දී අපගේ තෙල් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 2596.8 ක් දක්වා

 පසුගිය වසරේ පළමු මාස 9 ට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 691.7 කින් වැඩි වී ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ තෙල් ආනයනය කරන ප‍්‍රමාණය වැඩි වීම නොව තෙල් ආනයන මිල ගණන් වැඩි වීමයි. අපේ රටේ ඛනිජ තෙල් නිෂ්පාදනය නොකරන නිසා අපට තෙල් ආනයනය කරනවා හැර වෙනත් විකල්පයක් ද නැත. එහෙත් අපට තෙල් භාවිතය සීමා කර ගැනීමේ පියවරයන්ට යොමු විය හැකිය. ඒ අනුව අපට තෙල් මත දැඩිව යැපෙන ආර්ථිකයෙන් මිදී පුනර්ජනනීය බලශක්ති භාවිතයට වැඩි වශයෙන් යොමුවන ආර්ථිකයකට ගමන් කළ හැකිය. ඒ සඳහා මෙවර අයවැයෙන් ද අවධානය යොමු කර තිබීම සතුටට කරුණකි. එවැනි පරිවර්තනයකට අප වේගයෙන් ගමන් කළ යුතුව තිබේ. එහෙත් එවැනි පරිවර්තනයකට යොමු විය යුතු වන්නේ නිසි සැලසුමකින් යුතුවය. එහෙත් රසායනික පොහොර භාවිතයට කඩිනමින් නිසි සැලසුමකින් තොරව යොමු වීමෙන් රජය විසින් ගොවි ජනයා ද අනතුරේ හෙළමින් තියෙන ප‍්‍රශ්න වැඩි කරගෙන ඇත. ඒ මදිවාට අලූතින් විදේශ විනිමය වැය කරමින් කාබනික පොහොර පිටරටින් ගෙන්වීමට ද සිදුව ඇත. චීනයෙන් මෙවැනි පොහොර තොගයක් ආනයනය කිරීම නිසා දැන් සිදුව ඇති අකරතැබ්බය රටම දනී. අවසානයේ අපේ මහජන බැංකුව ද චීනය පැත්තෙන් අසාදුලේඛන ගත කර ඇත. මේ නිසා මෙවැනි බලවත් වෙනස්කම් කළ යුත්තේ නිසි සැලසුමකින් යුතුව මිස කඩිමුඩියේ නොවේ. තෙල්වලට අමතරව අපගේ ආනයන වියදම් වර්ධනය වීමට දායක වී ඇති සෙසු අයිතම වන්නේ රෙදිපිළි සහ රෙදිපිළි උපාංග, යන්ත‍්‍රසූත‍්‍ර සහ උපකරණ, මූල ලෝහ, රසායනික නිෂ්පාදිත, බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත සහ ප්ලාස්ටික් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදිතයන්ය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment