ඩොලර් හිඟය ගැන ඔබ නොදන්න ඇත්ත කතාව

601

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

ඩොලර් හිඟය මේ දිනවල ආර්ථික හා මූල්‍ය අංශවල පමණක් නොව සාමාන්‍ය ජනයා අතර ද කතාබහ වන මාතෘකාවකි. ඩොලර් හිඟ වුණාම අපට මොකද කියා යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එක දිනකට අපේ රටේ ඉන්ධන නොමැති වූවා යැයි සිතන්න. ඔබේ දෛනික ගමන් බිමන් පමණක් නොව රටේ ප‍්‍රවාහන කටයුතු බිඳ වැටී මුළු රටේම ආර්ථික ක‍්‍රියාකාරීත්වය ද අඩපණ වෙයි. එසේම ඔබට එක දිනකට ගෑස් නොමැති වූවා යයි සිතන්න. ගමේ අය නම් දර ටිකක් හොයාගෙන ආහාර පිස ගනු ඇත. එහෙත් නගරබද ගෑස්වලින්ම උයන අයට නම් එහෙම වුවහොත් කාලත් හමාරය. මේ දිනවල නිරෝධායන ඇඳිරි නීතිය නිසා කඩ සාප්පු ද වසා ඇති බැවින් කඩෙන් කන්න ද විදියක් නැත. සීනි, කිරිපිටි ඇතුළු අනෙකුත් ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනත් අපට මෙසේම කතා කළ හැකිය. අනිත් ඒවා නම් ටික ටික හෝ අපේ රටේත් නිපදවයි. එහෙත් ඛනිජ තෙල් සහ ගෑස් යන භාණ්ඩ දෙකම අප පිටරටින් ආනයනය කරන ඒවාය. එසේ නම් ඒවා මිලදී ගැනීමට අපට විදේශ මුදල් අවශ්‍යම වෙයි. එනම් ඩොලර් අවශ්‍ය වෙයි. අපට ඩොලර් නැත්නම් රුපියල් කොතරම් තිබුණත් මේ භාණ්ඩ විදේශයන්ගෙන් මිලදී ගත නොහැකිය.

එසේම අපට ආනයනය සඳහා පමණක් නොව විදේශයන්ගෙන් ගත් ණය පියවීමට ද ඩොලර් අවශ්‍ය වෙයි. මේ කියන විදේශ ණය කලට වෙලාවට පියවිය යුතුය. එහෙත් එසේ නිසි කලට වෙලාවට අපට විදේශ ණය ගෙවීමට නොහැකි වුවහොත් රටට ඉන් පසු විදේශයන්ගෙන් භාණ්ඩ මිලට ගැනීම ඇතුළු විදේශ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදු වනු ඇත. තවමත් අපේ විනිමය අර්බුදය එවැනි තත්ත්වයකට පත්ව නොමැති වුවත් රට ගමන් කරමින් සිටින්නේ එවැනි දිසාවකට ද? මේ අනුව අපට ගත් ණය ගෙවා ගැනීමට අපහසු දුෂ්කර තත්ත්වයකට රට පත්වනු ඇති බවට බොහෝ ආර්ථික විද්වතුන් දැනටමත් රජයට අනතුරු අඟවා ඇත. එහෙත් රජයේ අය සුපුරුදු අධිතක්සේරුවෙන්ම කටයුතු කරමින් සිටින බව පෙනේ.

කොරෝනාවලට පෙර සිටම ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක පමණ වෙළෙඳ හිඟයක් තිබුණි. එනම් අපේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් විය. කොරෝනා වසංගතයෙන් පසු ආනයන සීමා කරමින් 2020 වසරේ දී කිසියම් දුරකට වෙළෙඳ හිඟය අඩු කර ගැනීමට අප සමත් විය. එහෙත් මේ වසරේ (2021) සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේ දී මේ ආනයන සීමා තිබුණත් නැවත ආනයන වියදම් වැඩි වී වෙළෙඳ හිඟය ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වසරේ මුල සිට ජුනි මාසය දක්වා කාලයේ දී අපේ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 3262 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 4316 දක්වා දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 1054 කින් පමණ ඉහළ ගොස් ඇත. මෙයට හේතුව මේ කාලය තුළ අපනයන ආදායම ඉහළ යාමේ වේගයට වැඩි ඉහළ වේගයකින් ආනයන වියදම් වර්ධනය වීමයි. එනම් මේ වසරේ (2021) මුල් මාස හයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 569 ක් වන විට ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ල015 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙසේ වෙළෙඳ හිඟය පුළුල් වීම සඳහා බලපාන ලද ප‍්‍රධාන අයිතම අතර ඉන්ධන, රෙදිපිළි සහ රෙදිපිළි උපාංග, යන්ත‍්‍ර සූත‍්‍ර හා උපකරණ රසායනික නිෂ්පාදිත සහ මූල ලෝහ සඳහන් කළ හැකිය. එහෙත් අපට ඛනිජ තෙල් ආනයනය නොකරම බැරි දෙයකි. එහෙත් අපට ඛනිජ තෙල් භාවිතය සීමා කිරීමට පියවර ගත හැකිය. මෙසේ ඩොලර් හිඟයට මුහුණ දීමේ දී අපට ඩොලර් ආදායම් වැඩි කර ගැනීමට මෙන්ම ඩොලර් වියදම් අඩු කර ගැනීමට ද පියවර ගත හැකිය. එහෙත් ප‍්‍රශ්නය තිබෙන්නේ ආනයන වියදම් සඳහා පමණක් නොව විශාල විදේශ ණය ප‍්‍රමාණයක් ගෙවීමට ද අපට ඩොලර් අවශ්‍ය වීමයි. අප මේ වන විට මුහුණ දී සිටින අධික ණය පියවීමේ වගකීම් සමග බැලීමේ දී පැහැදිලි වන්නේ රටවල් කිහිපයක් සමග විදේශ විනිමය හුවමාරු ගිවිසුම් මගින් විදෙස් මුදල් අතමාරුවට ගැනීමේ තාවකාලික ක‍්‍රියාමාර්ග මගින් මේ ඩොලර් හිඟයේ සහ අධික ණය පියවීමේ අර්බුදයට පිළියම් යෙදිය හැකිද යන්නයි. ඇත්තවශයෙන්ම අපහසුය. එමගින් ලැබෙනු ඇත්තේ තාවකාලික සහනයක් පමණි. 2025 වසර දක්වා අපට වසරකට සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදේශ වගකීම් පියවීමට තිබේ. ඒ සඳහා මෙම විදේශ මුදල් අතමාරුවට ගැනීම් සහ අපගේ වෙනත් ණය නොවන විදේශ විනිමය ආදායම් ප‍්‍රමාණවත් වනු ඇතිද? මේ සම්බන්ධයෙන් කිව යුතු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා මේ පවතින ඩොලර් හිඟයේ සහ ණය වගකීම් පියවීමේ අභියෝගයට මුහුණ දීමට නම් ඒ සඳහා රජය සහ මහ බැංකුව එක්ව විධිමත් වැඩපිළිවෙළක් ඇති කර ගැනීම අවශ්‍ය වන බවයි. විදේශ මුදල් ලබා ගැනීමේ තාවකාලික ක‍්‍රියාමාර්ග හැරෙන්නට එවැන්නක් නම් තවමත් අපට දකින්නට නැත. ඒ නිසා මේ යන විදියටම ගියහොත් ලබන වසරේ (2022) දෙවන භාගයේ සිට අපට විදේශ ණය පියවීම ඉතා දුෂ්කර තත්ත්වයට පත් වීමට ඉඩ තිබේ.

කොරෝනා වසංගතයෙන් පසු සංචාරක ඉපයුම් ඇතුළු විදේශ විනිමය ආදායම් අඩු වී ඇති නිසා අපට ඩොලර් හිඟ වී ඇත. සංචාරක ඉපයුම් ගතහොත් ගිය වසරේ (2020) මුල් මාස හයේ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 682 සිට මේ වසරේ (2021) මුල් මාස හයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 23 දක්වා සියයට 96ග7 කින් අඩු වී ඇත. පාස්කු ප‍්‍රහාරයට පෙර සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට අධික වාර්ෂික විනිමය ආදායමක් අප ලබමින් සිටියෙමු. මේ කාලයේ විදේශ විනිමය පේ‍්‍රෂණවල සියයට 11.6 ක වර්ධනයක් තිබුණත් ඉකුත් ජුනි මාසයේ දී එය ද සියයට 16.4 කින් අඩු වී ඇත. මේ අනුව තාවකාලික විනිමය ලබා ගැනීමේ පියවරයන්ට අමතරව වාර්ෂිකව අපට ලැබෙන විනිමය ආදායම් ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එන්නත්කරණය වේගයෙන් ව්‍යාප්ත කිරීමත් සමග අපට ඉක්මණින් ආර්ථික කටයුතු පණ ගන්වා ගත හැකි වනු ඇත. එවිට විදෙස් සංචාරක පැමිණීම් ද වර්ධනය කර ගත හැකිය. එහෙත් අප මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය අර්බුදය හමුවේ එම විනිමය ඉපයීම් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවනු ඇත.

එසේම මහ බැංකුව සතු විදේශ සංචිතය ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. ඇත්ත වශයෙන්ම මේ කියන ඩොලර් හිඟය කොරෝනාවෙන් පසුව ඇති වූවක් නොව ඊට පෙර සිටම පැවති එකකි. එහෙත් කොරෝනාව නිසා සිදුව ඇත්තේ මේ පැවති විදේශ විනිමය අර්බුදය වඩාත් උග‍්‍ර වීමයි. මෙසේ ඩොලර් හිඟ වූ විට එය අපේ රුපියලේ අගය ද පිරිහීමට හේතුවක් වේ. සංචිතයේ ඇති ඩොලර් යොදා රුපියල ශක්තිමත් කිරීමට ද අපහසු තත්ත්වයක් දැන් ඇතිව තිබේ. දැන් තිබෙන අපේ විනිමය වෙළෙඳපොළ තත්ත්වය අනුව මහ බැංකුව සතු ඩොලර් ප‍්‍රමාණයක් සපයා අපේ රුපියල ශක්තිමත් කර ගැනීමට උත්සාහ කළත්, එවිට වනු ඇත්තේ සංචිතයට එම ඩොලර් ප‍්‍රමාණයත් අහිමි වී දින දෙකතුනකින් නැවත රුපියල පිරිහීමට ලක් වීමයි. එහෙත් මහ බැංකුවට රුපියල රැකීම අතහැරීමට ද අපහසුය. එසේම රුපියල රැකීම ද දුෂ්කරය. එසේම ලැබෙන විදේශ මුදල් මගින් හොඳටම පහත වැටී ඇති විදේශ සංචිතය ශක්තිමත් කර ගැනීමට ද අවශ්‍ය වේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහෙන විට වන්නේ මේ කියන තෙල්, ගෑස් සහ කිරිපිටි ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික පිරිවැය ද ඉහළ යාමයි. එසේම අනිත් අතට විදෙස් ණය පියවීමේ රුපියල් පිරිවැය ද තව තවත් වර්ධනය වීමයි.

ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1ල187 ක පමණ විදේශ මුදලක් පසුගියදා ලැබී තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් , චීනයෙන් සහ බංගලාදේශයෙනි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා මේ බව තහවුරු කළ අතර මේ ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුව ද නිල නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට හිමි විශේෂ ගැනුම් ප‍්‍රතිපාදනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 787 ක් සහ චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ලෙස ඩොලර් මිලියන 400 ක මුදලකි. එහෙත් මේවා ලැබුණේ ඇමෙරිකානු ඩොලර්වලින්ම නොවන බව ද අමතක නොකළ යුතුය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 2.8කට අඩු වී තිබුණි. මේ විදේශ මුදල් ලැබීම් සමග විදේශ සංචිත තරමක් දුරට ශක්තිමත් වේ. එහෙත් විදේශ ණය පියවීම් සමග සංචිත නැවත පහත වැටේ. 2022 ජනවාරි මාසයේ දී අපට නැවත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය වාරිකයක් ගෙවීමට තිබේ. 2022 ජුලි මාසයේ තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ණය පියවීමට තිබේ. එසේම සංචිතවල ඇති ඩොලර්වලින් රුපියල ශක්තිමත් කර ගැනීමට කටයුතු කරනවා නම් එහිදී ද සංචිත අඩු වේ. මේ නිසා මේ වැඩි වූ සංචිත මට්ටම කොපමණ කලකට සෑහෙනු ඇති ද යන ප‍්‍රශ්නය තිබේ. රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, රසායනික ද්‍රව්‍ය හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමට ද අපට ඩොලර් භාවිතා කිරීමට සිදු වේ. මේ අනුව ලැබී ඇති මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1ල187 ක මුදල අපට සහනයක් වුවත් අප මුහුණ දී ඇති ඩොලර් හිඟයේ ප‍්‍රශ්නයට සාපේක්ෂව එය මහ ලොකු මුදලක් ද නොවේ.

අප මුහුණ දී සිටින ඩොලර් ප‍්‍රශ්නය හමුවේ රාජ්‍ය ණය ආපසු ගෙවීමට දුෂ්කර වීම, ආනයන තවදුරටත් කිරීමට දුෂ්කර තත්ත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ වැනි තත්ත්වයන් ගැන ආර්ථික විද්වතුන් විසින් දිගින් දිගටම පෙන්වා දී ඇත. එහෙත් රජය පැත්තෙන් ඇසෙන්නේ බොහෝ අධි තක්සේරුවෙන් කරන කතාය. එහෙත් ඩොලර් ප‍්‍රශ්නය දිනෙන් දිනම උග‍්‍ර වෙමින් තිබේ. අපේ ශුද්ධ විදේශ වත්කම් ද ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස පහත වැටී ඇත. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප‍්‍රමාණයට විදේශ විනිමය සපයා ගැනීමට අපහසු වීම කොරෝනා වසංගත අවදානමෙන් පසු මේ මොහොතේ රට මුහුණ දී ඇති බලවත්ම අවදානමයි. මේ අනුව මේ මොහොතේ රටේ ජනයා මේ බලවත් සතුරන් දෙදෙනාගේම පීඩාවන්ට එක විට මුහුණ දී සිටී.

පසුගිය බ‍්‍රහස්පතින්දා (02) මහ බැංකුව විසින් නිල විනිමය අනුපාත අගයන් ප‍්‍රකාශයට පත් කිරීම හොඳටම ප‍්‍රමාද විය. ඒවා අපට ලැබුණේ රාත‍්‍රී 10.26 ට පමණය. මෙවැනි ප‍්‍රමාදයක් අප දන්නා ඉතිහාසය තුළ කිසිම දිනක සිදුව නැත. මහ බැංකු නිලධාරීන් බොහෝ දෙනෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර ඒ සියලූ දෙනාට අපි ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කරමු. මහ බැංකුවේ නිල විනිමය අනුපාතයේ ඇති අගයට මේ රටේ වෙළෙඳපොළේ ඩොලර් විකිණෙන්නේ නැත. වාණිජ බැංකුවල තොරතුරු අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රු. 225 ටත් අධිකය. එසේම ඩොලරයේ කළුකඩ මිල රු.235 සිට

රු. 250 දක්වා ඉහළ ගොස් ඇත. මේ නිසා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියලේ වටිනාකම මේ වන විට ඉමහත් මතභේදයට තුඩු දෙන කරුණක්ව ඇත. මේ අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉකුත් 01 වැනිදා රාත‍්‍රී කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 202.99 ක් බවය. එහෙත් වාණිජ බැංකුවල හුවමාරු වන විනිමය අනුපාත අගයන් පරීක්ෂා කිරීමෙන් අපට යථාර්ථය වටහා ගත හැකිය. මේ නිසා අපගේ ආනයනකරුවන්ට ඔය කියන අගයන්ට ඩොලර් අපේ බැංකුවලින් මිලදී ගැනීමට පුළුවන්කමක් නැත. මේ නිසා රජයත්, මහ බැංකුවත් මේ ඩොලර් හිඟයට මුහුණ දෙන ක‍්‍රමවේදය ගැන පුරාජේරු කතා නොකියා මහජනයාට ඇත්ත කියා නිසි සැලසුමක් ඇති කරගත යුතු වේ.

advertistmentadvertistment