ඩොලර් හොයන්න අලුත් සැලසුම්…

244

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට සීමා

දේශීය කර්මාන්තකරණයට අලූත් පණක්

රජය තුළ නොයෙකුත් ප‍්‍රතිපත්ති පරස්පරයන් ද තිබෙන බව පැහැදිලිව දැකගත හැකිය. රජයේ ඇමැතිවරුන් නොයෙකුත් පරස්පර කතා කියමින් සිටින අතර මහජනයාට මේ හමුවේ හෙට දවස ගැන ඇත්තේ ඉතා අවිනිශ්චිත හැඟීමකි. එසේම මේ රජය බලයට පත් කිරීමට කැපවූ ඇතැම් ඇමැතිවරු නෙරපා හැරීමට ද රජය ක‍්‍රියා කර ඇත. ආණ්ඩුව තුළ විශාල දේශපාලන අර්බුදයක් ද ඇතිව තිබෙන බව පෙනේ. මේ ආණ්ඩුව කෙරෙහි පැවැති ජනප‍්‍රසාදය විශාල වශයෙන් පිරිහීමට ලක්ව ඇති බව ද රහසක් නොවේ. මේ අවස්ථාවේ රට මුහුණ දී සිටින ප‍්‍රශ්නවලට වඩාත් බලපාන අමාත්‍යාංශ දෙකක් වන්නේ බලශක්ති සහ විදුලිබල යන අමාත්‍යාංශ දෙකයි. මේ අමාත්‍යාංශ දෙකට වෙනත් ඇමැතිවරු දෙදෙනෙක් පත්කර තිබේ. ඔවුන්ගේ පසුගිය කාර්යසාධනය ගැන නම් අපට සතුටු විය නොහැකිය. එහෙත් ඔවුන් එම නව වගකීම් කෙතරම් දුරට හොඳින් ඉටුකිරීමට සමත් වේද යන්න අපට ඉදිරි දිනවල දී දැකබලා ගත හැකිය. කෙසේ හෝ ජනාධිපතිවරයා ඇමැතිවරු පත් කරන්නේ කිසිම විද්‍යාත්මක ක‍්‍රමයකට අනුව නොවන බව නම් මේ ඇමැති මාරුවලින් තවදුරටත් පැහැදිලි වේ.

මේ වනවිට රට තුළ මතුව ඇති ප‍්‍රශ්න බොහොමයකට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ දැනට කලක් තිස්සේම පවතින උග‍්‍ර විදේශ විනිමය හිඟයයි. මේ වනවිට ඉන්ධන පෝලිම් රට පුරාම දක්නට ලැබේ. ඇත්තවශයෙන්ම රට තුළ බලවත් ඉන්ධන හිඟයක් තිබෙන්නේ රටට ලැබෙන ඉන්ධන ප‍්‍රමාණයේ ප‍්‍රශ්නයක් හෝ අඩුවක් නිසා නොව එම තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟයක් ඇති නිසාය. අපගේ ඇණවුම් අනුව තෙල් නැව් පැමිණියත් කලට වෙලාවට ඩොලර් ගෙවීමට අපහසුවක් තිබේ. මේ නිසා ඇතැම් විට ප‍්‍රමාද ගාස්තු පවා අපට ගෙවීමට සිදු වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. යුක්රේන – රුසියා යුද ගැටුම් නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් තවත් වැඩි වී ඇත. ඒ නිසා එම ඇණවුම් කළ තෙල් ප‍්‍රමාණය මිලදී ගැනීමට වෙනදාට වැඩි ඩොලර් ප‍්‍රමාණයක් ද වැය වේ. මේ නිසා ඉන්ධන භාවිතය සීමා කර ගැනීමේ උපයමාර්ග ද අපට අනුගමනය කිරීමට සිදු වනු ඇත. මෙහිදී විකල්ප බලශක්ති ව්‍යාපෘති කඩිනම් කළ යුතුව තිබේ. අප කියන්නේ විනිමය පීඩනය සමනය කර ගැනීමට ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම මේ අමාරු මොහොතේ අප අනුගමනය කළ යුතුව තිබෙන බවයි.

  • තවත් උග‍්‍ර වී ඇති ඩොලර් ප‍්‍රශ්නය

අප මුහුණ දී සිටින විනිමය අර්බුදය හමුවේ දේශීය කර්මාන්ත ප‍්‍රවර්ධනය ඉතා වැදගත් කරුණකි. ඩොලර් ප‍්‍රශ්නය සමනය කර ගැනීම සඳහා විවිධ අයට විවිධ අදහස් තිබිය හැකිය. ඒ හැම දෙයක්ම රජයකට ක‍්‍රියාත්මක කළ නොහැකි බව ඇත්තය. එහෙත් දැනට රජය සහ මහ බැංකුව අනුගමනය කරමින් සිටින ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග මේ ප‍්‍රශ්නය සමනය කිරීමට ප‍්‍රමාණවත් වී ඇති බවක් නොපෙනේ. ඒ නිසා රජයත් මහ බැංකුවත් එක්ව වහාම දැනට රට මුහුණ දී සිටින උග‍්‍ර විනිමය අර්බුදය ගැන නැවත සමාලෝචනය කර විසඳුම් ක‍්‍රියාමාර්ග සැලසුම් කර කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බව අපගේ අදහසයි. මෙහිදී එක එක්කෙනාට බෝලය පාස් කර කර සිටීමෙන් ඵලක් නැත. එයින් වනු ඇත්තේ ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වීමයි. මහජනතාව තවත් පීඩාවට පත් වීමයි. කොරෝනා වසංගතයේ බලපෑම් රටේ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර කිරීමට දායක වී තිබුණත් රට හමුවේ ඇති මේ ප‍්‍රශ්න සියල්ල කොරෝනා වසංගතයට පමණක් බැර කළ නොහැකිය. රජයේ කළමනාකරණයේ බරපතළ දුර්වලතා තිබෙන බව පැහැදිලිවම පෙනේ.

  • විනිමය ඉපයුම් වර්ධනය කර ගැනීම

මුලින් සඳහන් කළ පරිදි ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන්නා වූ සහ ඉහළ එකතු කළ අගයක් සහිත දේශීය නිෂ්පාදන කර්මාන්ත ප‍්‍රවර්ධනය ද මෙහිදී ඉතාමත් වැදගත් කරුණකි. කොරෝනා වසංගතයේ බලපෑම් සමග රට මේ වන විට උග‍්‍ර විදේශ විනිමය හිඟයකින් පීඩාවට පත්ව සිටී. කොවිඞ් වසංගත තත්ත්වය නිසා සංචාරක ඉපැයුම් ඇතුළු විදේශ විනිමය ලැබීම් අඩුවීමත් මේ විනිමය ප‍්‍රශ්නයට හේතු වූ බව අපි දනිමු. ඒ සමගම අපට ඉදිරි කාලයේ විශාල ණය වගකීම් පියවීමට ද සිදුව තිබේ. අප මේ දක්වා කිසිම ණය වගකීමක් ගෙවීම පැහැර හැර නොමැති බව සත්‍යයකි. එහෙත් අපගේ පහත වැටී ඇති විදේශ විනිමය ලැබීම් හමුවේ විදේශ ණය ගෙවීම සඳහා අපගේ පවතින විදේශ සංචිත මට්ටම ඉතා අවදානම් මට්ටමකට පහත වැටී ඇත. විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමට අනුගමනය කළ ඇතැම් ක‍්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බව ද අප අමතක නොකළ යුතුය. මේ අතර දැනට වර්ධනය වෙමින් පවතින සංචාරක පැමිණීම් සඳහා අහිතකර තත්ත්වයක් ද උද්ගත වී තිබේ. එනම් යුක්රේන – රුසියා යුද ගිනිදැල් මැද තවදුරටත් අපගේ සංචාරක පැමිණීම්වලට ඇති විය හැකි අහිතකර බලපෑම්ය. එසේම අපගේ අපනයන ආදායම්වලට ද අහිතකර බලපෑම් එල්ල වීමට ඉඩ තිබේ. මේ යුද්ධය ඉදිරියට ඇදෙන ප‍්‍රමාණය සහ ස්වභාවය මත තවදුරටත් අපට මෙන්ම ලෝකයේ වෙනත් රටවලට ද ආර්ථික බලපෑම් ඇතිවනු ඇත.

  • විදේශ විනිමය වියදම් අවම කර ගැනීම

රට මුහුණ දී සිටින විදේශ විනිමය ප‍්‍රශ්නය සමනය කර ගැනීම සඳහා අපට ලැබෙන විදේශ ආදායම් වැඩි කර ගැනීම පමණක් ප‍්‍රමාණවත් නැත. අපේ විදේශ විනිමය වියදම් අවම කර ගැනීමට ද ක‍්‍රියාමාර්ග ගැනීම ඉතාම වැදගත්ය. මෙහිදී අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය සීමා කරන ලෙස අපි දිගින් දිගටම කියා සිටියෙමු. මේ ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුව ද රජයට යෝජනා කර තිබේ. මේ අනුව වහාම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 600 ක් පමණ ආනයනය කිරීම සීමා කිරීම සඳහා ආනයන බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දීමට නියමිතය. එහෙත් කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමක් සිදු නොවන අතර රජය කිරීමට යන්නේ ඒවා ආනයනය සීමා කිරීමට පියවර ගැනීමයි. අප නම් සිතන්නේ මේ පියවර මීට බොහෝ පෙර ගත්තා නම් වඩාත් සුදුසු බවයි. කෙතරම් උග‍්‍ර විනිමය අර්බුදයක් තිබුණත් ඇපල්, දොඩම්, මිදි, චීස්, බටර්, චොකලට් සහ පැස්ටා ඇතුළු විදේශීය පළතුරු සහ ආහාර ද්‍රව්‍ය රැසක් මෙරටට ආවේය. නොයෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ද මෙරටට ආනයනය කළේය. ඒවාට ඇතැම් විට විදේශ විනිමය සපයා ගත්තේ පිටකොටුවෙන් වැඩි මිලට විය හැකිය. මේ ආනයන බලපත‍්‍ර ක‍්‍රමය හරහා ඒවා ද සීමා වනු ඇත. මෙවැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් දිගටම රටට පැමිණියේය. ඒ ගැන දිගටම අපගේ ලිපි මගින් අපි පෙන්වා දුනිමු. ඒවාට වැය වූයේත් රටේ තිබෙන සීමිත විදේශ විනිමය සම්පත්ය. ඒ නිසා මේ අමාරු අවස්ථාවේ ප‍්‍රමාද වී හෝ මේ භාණ්ඩ ආනයනය සීමා කිරීමට තීරණය කිරීම හොඳ දෙයකි. එසේම තවත් කිරීමට බොහෝ විලක්ප ක‍්‍රියාමාර්ග රැසක් තිබෙනවා විය හැකිය. ඒ ගැනද රජය වහාම අවධානය යොමු කළ යුතු වේ.

ඩොලර් හොයන්න අලුත් සැලසුම්…
  • දේශීය කර්මාන්ත ප‍්‍රවර්ධනය

දේශීය කර්මාන්ත ප‍්‍රවර්ධනය තුළින් අපගේ කාර්මික අපනයන ආදායම වැඩි කර ගැනීම හරහා අපට විදේශ විනිමය ඉපයුම් වැඩි කර ගැනීමට හැකි වේ. අනිත් අතට එම කර්මාන්ත සඳහා හැකිතාක් දුරට දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීම වර්ධනය කර ගැනීම මගින් ද අපේ විදේශ විනිමය සම්පත් ඉතුරු කර ගැනීමට හැකි වේ. එසේම පිටරටින් ආනයනය කළ ඇතැම් නිමි භාණ්ඩ අපට මෙරටම නිෂ්පාදනය කරගත හැකි නම් අපට ඒවා ආනයනයට ගිය වියදම් අවම කරගත හැකිය. අලූතින් පිහිටුවන සිමෙන්ති කර්මාන්ත ශාලාව නිසා සිමෙන්ති පිටරටින් ආනයනය කිරීමට අපට වැය වූ විදේශ විනිමය අඩුවීම මෙයට උදාහරණයකි. රටකට අවශ්‍ය සියලූ දේ, ඒ රටේම නිෂ්පාදනය කරගත නොහැකිය. එහෙත් අපට අවශ්‍ය භාණ්ඩ හැකි තරම් දේශීය වශයෙන් නිපදවා අත්‍යවශ්‍ය දේ පමණක් ආනයනය කර ගැනීමට අප යොමු විය යුතුව තිබේ. සෑම අංශයකින්ම දේශීය නිෂ්පාදන කර්මාන්ත ඇතිකර ගැනීමට අප උත්සාහ කළ යුතු වේ.

  • ආනයන වියදම් වර්ධනය

අප මුහුණ දී සිටින ඩොලර් ප‍්‍රශ්නය ආර්ථිකයේ බොහෝ පැතිවලට අහිතකර බලපෑම් ඇති කර තිබේ. මේ දිනවල පැය ගණනක් අප කළුවරේ සිටින්නේත් මේ නිසාය. ඉන්ධන ගැනීමට පැය ගණන් ෂෙඞ් අසල වාහන තියාගෙන දුක් විඳින්නේත් මේ නිසාය. තවත් දහසකුත් එකක් ප‍්‍රශ්න මහජනයාට මතුව තිබේ. ඒ ගැන දුක් අෙ`දා්නා හැම අතින්ම අසන්නට ඇත. ඒ නිසා මේ ප‍්‍රශ්න අප ඉක්මනින් සමනය කරගත යුතු වේ. ගිය වසරේ (2021) අපේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක් වන විට අපගේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 20.6 ක් දක්වා ඉක්මවා ගියේය. ඒ වාහන ආනයනය ඇතුළු තවත් අනයන සීමා කර තිබියදීය. මේ තුළින් අපට විශාල වෙළෙඳ හිඟයකට මුහුණ දීමට සිදුව තිබේ. විශාල විනිමය හිඟයක් තිබියදී මෙතරම් ඉහළ ආනයන වියදමක් අපට දරාගත නොහැකිය. මේ නිසා අනවශ්‍ය ආනයන වියදම් හැකිතාක් උපරිම මට්ටමක් දක්වා අඩු කරගන්නා අතරම අපගේ අපනයන ආදායම් තවත් වැඩි කර ගැනීමට ද උත්සාහ කළ යුතු වේ.

  • කර්මාන්ත අමුද්‍රව්‍ය ප‍්‍රශ්නය

මෙරට දේශීය කර්මාන්ත අතළොස්සක් හැරෙන්නට අනිත් සෑම කර්මාන්තයකටම පාහේ අපි විදේශීය අමුද්‍රව්‍ය අඩු වැඩි වශයෙන් යොදා ගනී. ඒවා ආනයනයට ද විදේශ විනිමය නොමැති තත්ත්වයක් තිබීමෙන් එම කර්මාන්ත පවත්වාගෙන යෑමට ද අපහසු තත්ත්වයක් ඇති බව පසුගිය දිනවල දිගින් දිගටම කර්මාන්තකරුවෝ චෝදනා කළහ. මේ ප‍්‍රශ්නයට ද විසඳුමක් අවශ්‍ය වේ. එසේ නැතහොත් රටේ නිෂ්පාදන කර්මාන්තවල කටයුතු සිදු කරගෙන යෑමට බලවත් දුෂ්කර තත්ත්වයක් ඇතිව තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පමණක් නොව මේ කර්මාන්ත අමුද්‍රව්‍ය වරායෙන් නිදහස් කර ගැනීමට ද කිසියම් ප‍්‍රමුඛත්වයක් අවශ්‍ය වේ. මෙහිදී අපේ කාර්මික නිෂ්පාදනවල දේශීය එකතු කළ අගය වැඩි කර ගැනීමට මේ කර්මාන්තකරුවන් ද හැකිතාක් උත්සාහ කළ යුතු වේ. එවිට අපට අමුද්‍රව්‍ය ආනයනය සඳහා යන වියදම් ද අඩු කරගත හැකි වේ. මෙසේ රටේ ජාතික ආර්ථිකය සවිමත් කරන්නා වූ ශක්තිමත් වාණිජ අංශයකින් සමන්විතව අපේ නිෂ්පාදන කර්මාන්ත අංශය අප හැඩගස්වා ගත යුතු වේ. එවැනි කර්මාන්තවල අභිවෘද්ධිය සඳහා හිතකාමී වන පරිසරයක් නිර්මාණය කිරීමත් රජයේ වගකීමකි. මේ සඳහා රටේ පවතින වත්මන් විනිමය අර්බුදය හමුවේ මෙරට දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලූ හා ප‍්‍රශ්න ගැන ද රජය වහාම අවධානය යොමු කර කඩිනම් පියවර ගත යුතු වේ. එය කර්මාත්නකරුවන්ගේ ඉල්ලීමක් වන අතර ඒවාට රජය හෝ කර්මාන්ත ඇමැතිවරයා වහාම විසඳුම් ලබා දීම ඉතාමත් අවශ්‍ය දෙයකි.


ඩොලර් හොයන්න අලුත් සැලසුම්…

මූල්‍ය අරමුදලෙන් රතු එළියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳව වන ආටිකල් IV සමාලෝචන වාර්තාව පසුගිය පෙබරවාරි 25 දින අවසන් කළ අතර ඒ පිළිබඳව එම අරමුදල විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ. එහි ශ‍්‍රී ලංකා ආර්ථීකය ගැන කරුණු රැසක් සඳහන් කර ඇත. එම මූලික කරුණු කිහිපයක් ගැන මෙසේ අපේ අවධානය යොමු කරන අතර මේ ගැන රජයේත් මහ බැංකුවේත් අවධානය යොමු විය යුතුව තිබේ.

කොවිඞ් වසංගතයට පෙර බදු කප්පාදු කිරීම්, වසංගතයෙන් පසු දුර්වල ආදායම් කාර්ය සාධනය සහ වසංගතයට මර්දනය කිරීම සඳහා වූ ගිය වියදම් හේතුවෙන් 2020 සහ 2021 වසරවල අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 10 ඉක්මවා ගියේය. රජයට විදේශ මූල්‍ය පහසුකම් සීමිත වීම නිසා අය වැය හිඟය පියවීම සඳහා මහ බැංකුවේ සෘජු මූල්‍යකරණය විශාල ප‍්‍රමාණයක් ලැබී ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 2019දී රාජ්‍ය ණය සියයට 94 සිට 2021 දී සියයට 119 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. රජයට විශාල විදේශ ණය ගෙවීම් කිරීමට සිදුවීම සහ ජංගම ගිණුමේ පුළුල් හිඟය සැලකිය යුතු විදේශ විනිමය හිඟයකට හේතු වී ඇත. ණය බර වැඩිවීම මෙන්ම නොකඩවා පවතින විශාල මූල්‍ය හා ගෙවුම් ශේෂ මූල්‍ය අවශ්‍යතා නිසා ශ‍්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සීමා වී ඇත.

ශ‍්‍රී ලංකාව මුහුණදී තිබෙන විදේශ විනිමය හිඟය සහ සාර්ව ආර්ථික අසමතුලිතතාත් ශ‍්‍රී ලංකාවේ ආර්ථික කටයුතුවලට සහ ව්‍යාපාරික විශ්වාසය මත ඇති කරන අහිතකර බලපෑම් හේතුවෙන් ආර්ථික වර්ධනය මත සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ. රජය අනුගමනය කරන වත්මන් ප‍්‍රතිපත්ති සහ බදු කප්පාදු කිරීම් ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වර්ෂ 2022 සිට වර්ෂ 2026 දක්වා කාලය තුළ විශාල මූල්‍ය හිඟයකට ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. එසේම මේ තුළ මැදිකාලීනව රාජ්‍ය ණය ඉහළ යනු ඇති බව ද එම අරමුදල නිකුත් කළ සමාලෝචන වාර්තාවේ සඳහන් වේ.

තිරසාර නොවන මට්ටම දක්වා ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය අඩු මට්ටමකට පහත වැටී ඇති විදේශ සංචිත සහ ඉදිරි වර්ෂවලදී ඇති විශාල මුදල් අවශ්‍යතා වැනි වර්ධනය වන අභියෝගයන්ට ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. මේ තත්ත්වය හමුවේ හොඳින් ඉලක්ක කළ සමාජ ආරක්ෂණ ජාලයන් මගින් අවදානමට ලක්වන කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ දරිද්‍රතාව අවම කිරීම මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහාත් ණය තිරසාරභාවය නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාත් විශ්වාසනීය සහ ඒකාබද්ධ උපායමාර්ගයන් ක‍්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සමාලෝචන වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත. රාජ්‍ය මූල්‍ය හිඟය තවදුරටත් මහ බැංකුවේ මුදල් වලින් මූල්‍යකරණය කිරීමේදී මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වනු ඇතැයි ද මූල්‍ය අරමුදල කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment