ඩොලර් 186ට ගත්ත ගල් අඟුරුවලට ඇයි ගෙවන්නේ 240ක්

206

වසර එකහමාරකට ආසන්න කාලයක් මෙරට ජනතාවට දවසේ පැය කීපයක් හෝ අඳුරේ සිටීමට සිදුවිය. එය නිමාවට පත්වූයේ පසුගිය සතියේ 16 වැනිදා සිටය. ඒ විදුලිබල මණ්ඩලය විසින් අහස පොළොව නුහුලනා අන්දමින් විදුලි බිල වැඩි කිරීමත් සමගය. උසස් පෙළ කාලසීමාවේත් විසන්ධි කෙරුණු විදුලිය විදුලි බිල වැඩි කිරීමත් සමග නැවතිණි. විදුලිබල මණ්ඩලය දිගින් දිගටම කීවේ මුදල් නැතිකම නිසා ගල්අඟුරු, දැවි තෙල්, නැප්තා ආදිය මිලට ගැනීමට නොහැකි නිසා විදුලිය විසන්ධි කරන බවයි. කංචන ඇමැතිවරයා පවසන ආකාරයට දැන් ඒ සියලු ප්‍රශ්න නිරාකරණය වී විදුලිබල මණ්ඩලය සතුව යහමින් මුදල් පවතී. අද අප මේ කියන්නට යන කතාවෙන් ඔබට ඒ බව මැනවින් වටහාගත හැකිවනු ඇත.

මෙරට සතුව පවතින ගල්අඟුරු මගින් විදුලිය නිපදවන එකම බලාගාරය වන්නේ නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරයයි. එසේම මෙරට විදුලිබල පද්ධතියේ මූලික අඩිතාලම වැටී ඇත්තේ ද ලක්විජය බලාගාරයේ කර මතිනි. අනෙකුත් සියලුම ප්‍රභවහන්ගෙන් නිපදවන විදුලිය ලක්විජය බලාගාරය මගින් නිපදවන විදුලිය සමග සම්බන්ධ වී ජාතික පද්ධතියට ශක්තියක් ලබාදෙයි. ලක්විජය බලාගාරය මෙරටට එතරම්ම වැදගත් වන්නේ ඒ නිසාය. බොහෝ විට නොරොච්චෝලේ ලෙඩ වූ විට රටේම විදුලි පද්ධතිය බිඳවැටේ.

● ලක්විජය බලාගාරයේ
ගල්අඟුරු අවශ්‍යතාව

ලක්විජය බලාගාරය මේ වනවිට ඒකක තුනකින් සමන්විත වන අතර එක් ජනන යන්ත්‍රයකින් නිපදවන විදුලිය ප්‍රමාණය ආසන්න වශයෙන් මෙගාවොට් 300 කි. ජනන යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 900 ක් ජාතික පද්ධතියට ලබා දේ. මෙම එක් ජනන යන්ත්‍රයක් සඳහා දිනකට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 2500ක් අවශ්‍ය වන අතර යන්ත්‍ර 3ට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 7500 ක් අවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය වන ගල්අඟුරු වසරේ සෑම දිනකම ගෙන ඒමට නොහැකි අතර වාරකන් කාලයට පෙර ඉදිරි මාස සඳහාද ගල්අඟුරු තොග රැස්කරගත යුතුය. ඒ කල්පිටිය ප්‍රදේශයේ මුහුද එම කාලයට රළුවන බැවින් අප්‍රේල් මාසය අවසන් වීමට පෙර බලාගාරය සඳහා ඉදිරි මස සඳහා ද අවශ්‍ය ගල්අඟුරු සංචිත පවත්වාගත යුතුය.

ගණන් බලා ඇති ආකාරයට බලාගාරය සඳහා අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණය ගල්අඟුරු නැව් 31කි. බැරි බැරි ගාතෙන් මේ වනවිට ගල්අඟුරු නැව් 15ක් පැමිණ අවසන්ය. 16 වන නැවත් මේ වනවිට මෙරටට ළඟා වෙමින් පවතී. ඉතිරි නැව් නිසි කලට වේලාවට පැමිණියහොත් ගැටලුවක් ඇති නොවේ යැයි උපකල්පනය කළත් මෙරට පාලකයන්ගේ ක්‍රියාකලාපය ජනතාව හොඳින්ම දන්නා බැවින් මහජනයා ඒ ගැන බියවීම අසාධාරණ නැත. මන්ද මේ වනවිට පවතින ගල්අඟුරු ප්‍රමාණවත් වන්නේ එක් මාසයක් සඳහා පමණක් බවට බලාගාර ආරංචිමාර්ග පවසයි. ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු වාර්ෂිකව ටෙන්ඩර කැඳවා ලබාගන්නා අතර 2022 වසර සඳහා කැඳවනු ලැබූ ටෙන්ඩර්පත් එහි පැවති යම් යම් අඩුපාඩු හා පාරදෘශ්‍යභාවය පිළිබඳ ගැටලු, විශේෂයෙන්ම අඩු මිල ගණන් සහිත ටෙන්ඩර්පත් තිබියදී වැඩි මිල ගණන්වලට ලබාදීම වැනි කරුණු රාශියක් නිසා ඊට එරෙහිව ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණයේ පිහිට පැතීමත් සමග ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලු රාශියක් ඇතිවිය. අවසානයේ ආණ්ඩුව තීරණය කළේ 2022 වසරේ ටෙන්ඩර් ක්‍රියාවලිය අවලංගු කොට 2021 ටෙන්ඩර සැපයුම්කරු ලවාම ගල්අඟුරු ලබා ගැනීමටය. ඒ අනුව එම සමාගමෙන් ගල්අඟුරු නැව් 21ක් ලබාගැනීමට තීරණය කෙරිණි. ඒ මිල උච්චාවචනය අනුවය. ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 240කට මිල තීරණය කර ගිවිසුම් අත්සන් කළත් දිනෙන් දින ගල්අඟුරු මිල පහළ බසිමින් පවතින අතර මේ වන විට ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් පවතින්නේ ඩොලර් 186 වැනි මිලකය. පසුගියදා මෙරටට පැමිණි 15 වැනි ගල්අඟුරු නැව ගොඩබානු ලැබුවේ ඩොලර් 187 වැනි මුදලකය. මේ ආකාරයෙන් මිල පහළ ගොස් ඇති අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ හැකි තරම් ඉක්මනින් මේ මිල ගණන් යටතේ ගල්අඟුරු මෙරටට සපයා ගැනීමයි.

● ගල්අඟුරු වැඩි මිලට
මිලදී ගැනීමට සූදානම්වීම

දැනට ගල්අඟුරු ගෙන්වන සමාගමෙන් ගෙන්වනු ලබන්නේ නැව් 21ක් පමණි. නමුත් බලාගාරයේ අවශ්‍යතාවට අනුව ගල්අඟුරු නැව් 21ක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා තවත් නැව් 10ක් අවශ්‍ය වේ. අප මුලිනුත් සඳහන් කළ ආකාරයට මේ වනවිට විදුලිබල මණ්ඩලයට ඇති තරම් මුදල් පවතින නිසාදෝ ඉතිරි නැව් 10 මිලට ගැනීමට සූදානම් වන්නේ ඩොලර් 230-240 වැනි ස්ථාවර මිලකටය. ඒ මේ වනවිට මෙරටට බොර තෙල් සපයනු ලබන කොරල් එනර්ජි සමාගම හරහාය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අත්සන් තබා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානකය. දැනට ගල්අඟුරු සපයන 2021 ටෙන්ඩර්කරු හරහාම ඩොලර් 186ට හෝ ඊටත් අඩුවෙන් ගල්අඟුරු සපයා ගැනීමට හැකියාව පවතිද්දී ආණ්ඩුව වැඩි මිලට ගල්අඟුරු මිලට ගැනීමට සූදානම් වන්නේ දේශපාලන වේදිකාවල කියන ආකාරයට මෙම සමාගමේ හිමිකාරිත්වය මෙරට දේශපාලනඥයන් සතු නිසා විය හැකිය. මේ හරහා සිදුවන පාඩුව රුපියල් කෝටි 1300 කට අධික බව බලාගාර ආරංචි මාර්ග පවසයි.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජී. එල් පීරිස් මහතා පැවසුවේ පාර්ලිමේන්තුව විසින් ගල්අඟුරු වංචාව පිළිබඳ සෙවීමට පත්කළ අනුකාරක සභාවෙන් විජයදාස රාජපක්‍ෂ සහ අලි සබ්‍රි යන ඇමැතිවරුන් දෙදෙනා ඉල්ලා අස්වී ඇත්තේ ගල්අඟුරු සමාගමෙන් මේ සඳහා නිවැරදි තොරතුරු ලබා නොදෙන බව පවසමිනි.

මෙම ගෙන්වන ගල්අඟුරු සඳහා මුදල් ගෙවීමේ පදනම වන්නේ ඒවා භාවිත කරන අවස්ථාවේ ගෙවිය යුතු බවයි. එනම් මෙම ගල්අඟුරු භාවිත කරන්නේ ජුනි මාසයෙන් පසුව බවට සඳහන් වේ. නමුත් ගැටලුව වන්නේ ජුනි මාසය දක්වා බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිතයක් පවතී ද යන්නය. බලාගාර ආරංචි මාර්ග පවසන්නේ එතරම් ගල්අඟුරු සංචිතයක් නොපවතින බවයි. එම නිසා ජුනි මාසයට පෙර අනිවාර්යයෙන්ම ඩොලර් 240ට ගෙන්වන ගල්අඟුරු භාවිතයට ගැනීමට සිදුවේ. මේ ආකාරයේ විහිළුසහගත කොන්දේසි දමමින් ආණ්ඩුව මේ රැවටීමට උත්සාහ කරන්නේ කාවද?

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මෙම ගනුදෙනුව පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.

“ගල්අඟුරු මිලට ගැනීමට ආණ්ඩුව ටෙන්ඩර් කැඳවුවත් ටෙක් කොමිටි එකට සැපයුම්කරුවන් 9 දෙනාගෙම මිල ගණන් ඉදිරිපත් කළේ නැහැ. ඩොලර් 240 කියන අගය තමයි අඩුම මිල කියල ඉදිරිපත් කළේ. ඇයි අනෙක් මිල ගණන් ඉදිරිපත් නොකළෙ. ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටතෙ ඩොලර් 199 කියන මිලත් ඉදිරිපත් වෙලා තියෙනව. එම ලිපිය ටෙක් කොමිටියට ශෙහාන් සුමනසේකර ඉදිරිපත් කරලත් තියෙනව. අඩු මිලට ගන්න පුළුවන්නම් අමාත්‍යාංශ ලේකම්ට, ගල්අඟුරු සභාපතිට යුතුකමක් තියෙනව ස්පොට් ටෙන්ඩර් හරි ප්‍රප්‍රෝසල් හරි මේ එන යෝජනා ටෙක් කොමිටියට දාල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට. රටට වාසිදායක අවස්ථාවලදි කැබිනට් මණ්ඩලය ඒ ගැන තීරණයක් ගනීවි. අදානි සමාගමට පසුගිය කාලේ ව්‍යාපෘති දුන්නෙ ටෙන්ඩර් දාල නෙවෙයිනෙ. ඒ කැබිනට් මණ්ඩල තීරණ අනුව.”

මෙම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අප ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතාගෙන් විමසූ විට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

“ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තොරව අපි ගල්අඟුරු මිලට ගන්නේ නැහැ. අවසන් වරට අපි ටෙන්ඩර් කැඳවීමක් සිදුකළේ දෙසැම්බර් මුල් සතියේ. ටෙන්ඩර් කැඳවීම සතියෙන් ඉවර වුණත් ඉන්පසු තාක්‍ෂණික කමිටුවකට මෙම යෝජනා ඇතුළත් කරනවා. ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ, මහා භාණ්ඩාගාරයේ, නැව් සංස්ථාවේ ආදී ලෙසින් නිලධාරීන් රැසක් ඇතුළත්. මේ කමිටුව මගින් සිදුකරන ක්‍රියාවලියට මාසයකට ආසන්න කාලයක් ගතවෙනවා. මේ පාර ටෙන්ඩර් කැඳවීමේදී සමාගම් 9ක් යෝජනා ඉදිරිපත් කළත් ඒ සියලුම දෙනා ඉදිරිපත් කළ මිල ගණන් අතුරින් අඩුම මිල තමයි ඩොලර් 240. දැනට ගල්අඟුරු සපයන 2021 සැපයුම්කරු මේ සඳහා ඉදිරිපත් වුණේවත් නැහැ. ඒ වගේම දැනට ගල්අඟුරු මිලට ගන්න සමාගමෙන් අපි ඩොලර් 300 ගණනෙත් ගල්අඟුරු මිලට ගත්තා. සීත රටවලින් ගල්අඟුරුවලට පැවති ඉල්ලුම අඩු වීමත් සමග මේ වනවිට ගල්අඟුරු මිල අඩුවී තිබෙනවා. ඒ වගේම අපිට අතන අඩුයි මෙතන අඩුයි කියන විදිහට ගල්අඟුරු මිලට ගන්න බැහැ. ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පවතිනවා. එයින් පිට ක්‍රියාකරන්න ප්‍රතිපාදන නැහැ. මේ කරන චෝදනා පදනමකින් තොරයි.”

මේ වනවිට පළාත් පාලන ඡන්දයට අවශ්‍ය මුදල් නැතැයි පවසන ආණ්ඩුවට නිස්කාරනේ වියදම් කිරීමට ඕනෑ තරම් මුදල් පවතී. මෙම ක්‍රියාමාර්ගය නිසා රුපියල් කෝටි 1300 රජයට අහිමි වෙතැයි ගණන් බලා ඇත. නමුත් පළාත් පාලන ඡන්දයට වැය වන්නේ කෝටි 1000ක් පමණි. පසුගිය කාලය පුරාම ජනමාධ්‍ය මගින් නිතර අසන්නට දකින්නට ලැබුණේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඩුවන බවයි. නමුත් මෙරටට ගෙන්වන බොර තෙල් මිල දිනෙන් දින වැඩි විය. සෑම මාසයකම 1 වැනිදා සහ 15 වැනිදා මිල සංශෝධනයක් සිදුකරන බව පැවසුවත් එම දිනවලට තෙල් මිල වැඩි වූවා පමණි. ඒ සුළු ප්‍රමාණයකින් නොව රු.100-120 කිනි. නමුත් අඩුවන විට එය සිදුවන්නේ රු.10-15 කිනි. විදුලියට කරන්න යන්නේත් ඒ ටිකමය. ලබන ජුනි මාසය වන විට නැවත සංශෝධනයක් සිදු කිරීමට තිබේ. ඒ වනවිට බලශක්ති ඇමැතිවරයා පවසනු ඇත්තේ ලෝක වෙළෙඳපොළෙහි අල් අඟුරු සහ විදුලියට අවශ්‍ය අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා විදුලිබල මණ්ඩලය දිනකට මෙපමණ අලාභයක් සිදුවන බවයි. එබැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් තමන් ගෙදරින් ගෙන එන්නේ නැති බැවින් අකැමැත්තෙන් වුවත් නැවතත් 40% – 50% කින් විදුලි බිල වැඩි කිරීමට සිදුවනු ඇති බවයි. මෙවැනි වළක්වාගතහැකි නාස්තිකාර වියදම් පාලනය කළානම් ජනතාව පිට මෙතරම් බරක් පැටවෙන්නේ නැත.

මොන තරම් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවුවද මොන තරම් ටෙන්ඩර් මගඩි වැළැක්වීමට ප්‍රසම්පාදන කමිටු පිහිටුවුවද ඒ සෑම එකකටම බලපෑම් කර ඒ තුළින් රිංගා තම අරමුණු ඉටුකර ගැනීමට මෙරට දේශපාලනඥයා අද වනවිට සමත් වී තිබේ. මේ දිනවල රටේ පවතින ස්වාධීන කොමිෂන් සභා යැයි සඳහන් මහජන උපයෝගිතා කොමිසමත් මැතිවරණ කොමිසමත් දෙස බැලූ විට ඒ බව මැනවින් පසක් වේ.

● ආණ්ඩුවට චෝදනාවලින්
ගැලවීමට මගක්

ආණ්ඩුවට ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනාවලින් ගැලවීමට එක් මාර්ගයක් තිබේ. එම ක්‍රමය වන්නේ නැවත වතාවක් ‘ඊ ප්‍රොකිව්මන්ට්’ නමැති කෙටිකාලීන ක්‍රමයට ටෙන්ඩර් කැඳවීම මගිනි. මේ මගින් ඩොලර් 200ට අඩුවෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් මිලට ගත හැකි වේ. ඒ පෙර අවස්ථාවට වඩා ශීඝ්‍රයෙන් ගල්අඟුරු මිල මේවනවිට පහළ ගොස් ඇති බැවිනි. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ලෝක වෙළෙඳ පළෙහි සඳහන් වූයේ ඩොලර් 136 ක් ලෙසිනි. ඊට නැව් ගාස්තු හා රක්‍ෂණ ගාස්තු ඩොලර් 30ක් ඇතුළත් වුවත් වන්නේ ඩොලර් 180ට අඩු මුදලකි. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන මේ අවස්ථාවේ සිදුකළ යුත්තේ හැකි තරම් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමය. එසේම ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නිකරුනේ නාස්තිවන හැම රුපියලක්ම හැම ඩොලරයක්ම ඉතිරිකර ගැනීමයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment