රජය මගින් ගෙන්වන ඖෂධ අතර 80% ක් මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ….
ඖෂධ හිඟයට හේතුව පවතින ආර්ථික අර්බුදය නොව දූෂිත
දේශපාලන යාන්ත්‍රණය හා එයට අත්වැල් බැඳගත් නිලධාරීවාදී යාන්ත්රණයයි….
ඖෂධ හිඟයේ භයානකම තත්ත්වය ඉන්සියුලින් ඖෂධය හිඟවීම….
ඉන්සියුලින් ඇත්තේම නෑ – රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය
මෙරට තුළ ඖෂධ ප්‍රශ්නයට තවමත් හැටිහැටි පිළිතුරක් නොමැත. එහෙත් රජය මගින් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මෙරටට අවශ්‍ය ඖෂධ ගෙන ආවත් එහි ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නයක් දැන් මතුව තිබේ. ඇතැම් විට එසේ ගෙනඑනු ලබන ඖෂධ අතර අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග තිබෙන බවත් පසුගියදා වෛද්‍ය සංගම් මගින් නගන චෝදනා වලින් පැහැදිලිය. මේ වනවිට මෙරට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා රෝගීහු විශාල ප්‍රමාණයක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නේ පිළිකා, අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලට අවශ්‍ය ඖෂධ නොමැතිකම නිසාය. දැනට අවුරුද්දකටත් නොඅඩු කාලයක සිට අපේ රටේ බෙහෙත් ප්‍රශ්නයට පිළිතුරු සෙවීම වෙනුවට සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය ඇමැතිවරයා පවා සිදුකරනු ලබන්නේ කුමක්ද යන්න විවිධ පාර්ශ්ව නගන චෝදනා විමසා බැලීමේදී තවමත් මෙරටට නිසි ක්‍රමවේදයකට ඖෂධ ආනයනය සිදුනොවන බවක් පෙනීයනු ඇත. එම නිසා මෙරට දැනට මුහුණුදී ඇති බරපතළම ප්රශ්නය වන්නේ ඖෂධ හිඟය මෙන්ම ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ මෙරට තුළ නොමැතිවීමට හා දැනටමත් අධික මිල ගණන් යටතේ අලෙවි වන ඖෂධ පිළිබඳවය.
● සල්ලි නැතත් වැඩිමිලට ගන්න යන ඖෂධ…
මෙරට රෝහල් පද්ධතිය තුළ හිඟව ඇති ඖෂධ ගෙන්වීම සඳහා ආණ්ඩුව මගින් ඉතා අධික මිල ගණන් යටතේ ඖෂධ මෙරටට ගෙන්වනු බවට විවිධ පුවත් මේ දිනවල පළවෙමින් ඇත. එනම් පිළිකා සඳහා අවශ්‍ය ඖෂධ බොහෝමයක් මේවන විටත් ආනයන කිරීමට රජය සූදානම් වී ඇත. එනම් රුපියල් පන්සියයේ (500) වටිනා ඖෂධ රුපියල් හතළිස් නමදහසකටත් (49000) රුපියල් තුන්සියයේ (300) වටිනා ඖෂධ රුපියල් තිස්එක් දහසකටත් (31000) ලබාගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ ලබාදී ඇති බවද අනාවරණය වෙයි. මෙමගින් ඩොලර් තුනකට මිලදී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ වී ඇත්තේ රුපියල් තිස්එක්දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙඳපළ තුළ රුපියල් තුන්දහසක් වැනි මිලකට මිලදී ගැනීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. තවද ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන මගින් ඉදිරිපත් කර තිබෙන මිල
ගණන් අතර විශාල පරතරයක් පවතින බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
● තවමත් රෝහල් තුළ බෙහෙත් නෑ ඉන්සියුලින් ඇත්තෙම නෑ
මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ ඇති ඖෂධ හිඟයේ භයානකම තත්ත්වය ඉන්සියුලින් ඖෂධය හිඟවීමයි. රජයේ වෛද්‍ය සංගම් පවසා සිටින අන්දමට මෙරට රෝහල් පද්ධතිය තුළ ඉන්සියුලින් ඖෂධය නැත්තටම නැති බව ඔවුන් පෙන්වා දෙයි. තවද නිර්වින්දන ඖෂධ හිඟයක්ද පවතින නිසා මේ වනවිටත් ශල්‍යකර්ම පවා දැඩි ලෙස සීමාකිරීමට සිදුව ඇති බවද පසුගියදා මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී ඇත. ඉදිරියේදී මෙරට ගර්භනී මාතාවන්ටද අවශ්‍ය සැත්කම් සඳහා භාවිත වන නිර්වින්දන ඖෂධ හිඟය නිසා ඔවුන්ද මේ වනවිට බලවත් තර්ජනයකට ලක්වී ඇති බවද නොරහසකි. ඉදිරි මාසයේදී සිසේරියන් සැත්කම් නැවතීමේ අවදානමක්ද ඇති බව නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විiාතනයේ සභාපතිවරයාද පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණි. රජය මගින් සැත්කම් කල්යැවීමක් සිදුකළත් මෙරට රෝගී ජනතාවගේ ජීවිත මරුකටට යවා ඇති මෙවන් අවධියක රජය මගින් නිරාපරාදේ ධනය වැයකරන්නේ වෙළෙඳපොළ තුළ අඩුවට ඖෂධ ඇතත් අධික මිල ගණන් යටතේ මිලදී ගැනීම් වලටය. මේ වනවිට රජයේ සහ පෞද්ගලික රෝහල්වල ඇතැම් ප්‍රතිජීවක ඖෂධ පවා නොමැති වාතාවරණයක් ඇති හෙයින් වෛද්‍යවරුන් රෝගීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඖෂධ අපතේ නොයවා සිටින ලෙසය. එමෙන්ම රෝගී තත්ත්වයන් ගැන නිරතුරුව සැලකිලිව සිටීම සහ රෝගී තත්ත්වය කළමනාකරණය සඳහා වෛද්‍ය උපදෙස් පිළිපැදීමට ජනතාව උනන්දු විය යුතු බව වෛද්‍යවරු පවසති.
● ඖෂධ හිඟයට රජය සෘජුව වගකිව යුතුයි
පවතින ඖෂධ හිඟයට රජය සෘජුවම වගකිවයුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි. ඔහු චෝදනා කරන්නේ රජය මගින් අධික මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීමකට සූදානම් වන්නේ හදිසි මිලදී ගැනීම් මුවාවෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් සිදුකරනු ලබන වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදුකිරීමට බවය. එමෙන්ම රජය මගින් රටින් ගෙන්වන ඖෂධ අතර 80% ක් මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. එහෙත් මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා පවසන්නේ ලොව පිළිගත් ආයතනවලින් අනුමැතිය ඇත්නම් ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවය.
● ඖෂධ හිඟයට හේතුව මූල්‍ය අර්බුදය නොවෙයි
රට තුළ ඇතිවී ඇති ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය බලධාරීන් රට තුළ නිර්මාණය වී ඇති මූල්‍ය අර්බුදය වගඋත්තරකරුවෙකු ලෙස පෙන්වා දෙනු ලැබුවත් රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කියා සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඖෂධ හිඟය නිර්මාණය වීමට හේතුව පවතින ආර්ථික අර්බුදය නොව දූෂිත දේශපාලන යාන්ත්‍රණය හා එයට අත්වැල්බැඳගත් නිලධාරීවාදී යාන්ත්‍රණය නිසා බවත් එය වෙනස් කිරීමට මෙරට දේශපාලන නායකත්වය අසමත්වීම හේතුවෙන් දිනපතා විශාල ලෙස මුදල් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ නාස්ති වෙන බවයි. මේ වනවිටත් කෝටි දෙකකට ආසන්න මුදලක් වැයකොට අපස්මාරය රෝගය සඳහා මෙරටට රැගෙන ආ බෙහෙත් තොගයක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා ඇත.
● ඖෂධ හිඟය හා ශල්‍යකර්ම සීමා කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්
පවතින ඖෂධ හිඟය හා ශල්‍ය වෛද්‍ය උපකරණ නිසා පසුගියදා මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ප්‍රකාශ කළ පරිදි අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් සිදුකිරීම හේතුවෙන් ශල්‍යකර්ම අපේක්ෂාවෙන් සිටි රෝගී ජීවිත විශාල ප්‍රමාණයක් අනතුරුදායක තත්ත්වය ඉහළ යෑමේ අවදානමක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාකර ඇත. තවද ඖෂධ හිඟය නිසා මේ වනවිට රට පුරා රෝගීන් විශාල ප්‍රමාණයකට තමාගේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ඖෂධ ලබා ගැනීම දුෂ්කර වීම නිසා රෝගී තත්ත්වයන් උත්සන්න වීමෙන් රෝගීන් මරණයට පත්වීමට වැඩි ප්‍රවණතාවක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා මානව හිමිකම් කොමිෂන් සභාවට පෙන්වා දී ඇත.
● ජනතාවට ඖෂධ හිඟයෙන් පීඩා
පවතින ඖෂධ හිඟය නිසා මේ වනවිට ඇතැම් ඖෂධ මිල 300% කින් පමණ වැඩිවී ඇත. මේ හේතුවෙන් මෙරට නිදන්ගත රෝගීන් විශාල පීඩාවකට පත්ව සිටිති. ප්‍රධානම කරුණක් වන ඉන්සියුලින් වෙළෙඳපොළ අඩුවීමෙන් දියවැඩියා රෝගීන්ගේ ජීවිත අවදානමද ඉතා ඉහළ ගොස් ඇත. ඔවුන්ගේ දිනක ඖෂධ ප්‍රමාද වුවහොත් මරණය පවා අත්විය හැකි බව වෛද්‍යවරු පවසති. මෙරට ජීවත්වන සෑම පුරවැසියෙකුට නොමිලේ රජයේ රෝහලකින් ඖෂධ ලබාගැනීමේ හැකියාව පැවැතියත් මේ වන විට රජයේ රෝහල් තුළත් ඖෂධ නොමැතිවීම කනගාටුදායක කරුණකි. මෙම ඖෂධ හිඟය කොතරම් මෙරට ජනතාවට බලපා ඇත්දැයි කිවහොත් අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් 15 ක අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ නොමැත. දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වලින් පෙළෙන රෝගීන්ට වෛද්‍යවරුන් මගින් මාසයකට නියම කරන බෙහෙත් අඩුම තරමේ සතියකටවත් ගන්නට මෙරට තුළ නැත. පවතින ආර්ථික තත්ත්වය මත ඇතැම් රෝගීහු දිනකට ඖෂධ මාත්‍රා 3 ක් ගැනීමට නියම කළ ඇතැම් ඖෂධ ඔවුහු ගන්නේ දිනකට එකකි. එසේත් නැතිනම් සමහරුන්ට ඖෂධ මිලදී ගැනීමට හැකියාවක් නොමැත.
රජයේ වෛද්‍යවරුන් නගන චෝදනා සාධාරණය. රජය මගින් අධික බදු බර පටවා ඇති මෙරට ජනතාවට නොමිලයේ ගැනීමට තිබූ බෙහෙත් පෙත්තද මේ වන විට ඔවුනට අහිමිව ගොස් ඇත. ඇතැම්විට හදිසි ශල්‍යකර්ම සිදුකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අකාලයේ මියැදීමට රෝගී ජනතාවට සිදුව ඇත. තවද නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට පැමිණීමෙන් මෙරට රෝගී ජීවිත පත්ව ඇති අවදානම හා පවතින ඖෂධ හිඟය හේතුවෙන් අකාලයේ ජීවිත වලින් සමුගන්නා මිනිස් ජීවිත වලට වගකියන්නේ කවුරුන්ද?
රමින්ද ලසන්ත මාවතගේ