ණයෙන් බේරෙන්න ණයකරුගේ පිහිට පැතීම!

151

● විදෙස් තානාපති හමුව

මේ වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගෙන ඇති අයිඑම්එෆ් මූල්‍ය පහසුකම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමත වීම සඳහා අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තීරණාත්මක කරුණකි. ඒ අනුව අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මේ දිනවල සාකච්ජා වෙමින් තිබේ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 22 දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්විණි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බවට විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වූ බවයි. අපගේ ණය හිමි පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇත. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළහ. මෙම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩඉම කෙටි කලකින් සහ සාර්ථකව පසුකරගත හැකි නම් අපට ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම අනුමත කර ගනිමින් ඉදිරියට යෑමට හැකි වේ.

විදෙස් තානාපතිවරු සමග පැවති මෙම හමුවේ දී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත් එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය. මේ අනුව අයිඑම්එෆ් මුදල් ලැබීමට සැලකිය යුතු කාලයක් ගතවන බව පෙනේ. එතෙක් අපට ගත කිරීමට සිදුවනුයේ දුෂ්කර සහ අභියෝගාත්මක කාලයකි. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති කර ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අප එකඟ වී ඇති කොන්දේසි (පූර්ව ක්‍රියා) ඉටු කිරීම මත අපට කෙතරම් ඉක්මනින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ලබාගත හැකි ද යන්න තීරණය වේ. මේ කටයුතු කඩිනමින් ඉටු කර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීම රජයේත්, ශ්‍රී ලංකා මහ බැංකුවේත් අභිලාශය වී ඇති අතර මෙය ඉක්මනින් ඉටුකරගත හැකිනම් අපට ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමට ඇතුළත් වී අප මුහුණ දී සිටින බලවත් ආර්ථික අර්බුදය සමනය කරගැනීමට පහසුවක් වනු ඇත. මේ හමුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

● බදු ආදායම වැඩි කර ගැනීම

අනෙකුත් කොන්දේසි අතර රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. ඒ සම්බන්ධයෙන් එම අරමුදල පසුගිය දා නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

‘රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට සහායවීම සඳහා රාජ්‍ය මූල්‍ය ආදායම ඉහළ නැංවීම; මෙම වැඩසටහන මගින් ලෝකයේ දැනට පවතින අඩුම රාජ්‍ය ආදායම් මට්ටම්වලින් එකකින් ආරම්භ වෙමින්, ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. මෙම ප්‍රතිසංස්කරණවලට පුද්ගල ආදායම් බද්ද ආදායම් මට්ටම අනුව වඩාත් අනුක්‍රමික කිරීම සහ ආයතනික ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු සඳහා බදු පදනම පුළුල් කිරීම ඇතුළත් වේ. 2024 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක් ළඟා කරගැනීම වැඩසටහනේ අරමුණයි.’

මේ අනුව දැනටමත් රජය විසින් අතුරු අයවැයට පෙරත් අතුරු අයවැය මගිනුත් බදු වැඩි කිරීම් සිදු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ රජය මගින් සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කළ වැට් බදු ප්‍රතිශතය නැවත සියයට 8 සිට 15 දක්වා අදියර දෙකක දී වැඩි කරනු ලබා ඇත. තවත් බදු වෙනස්කම් 2023 වසර සඳහා මේ නොවැම්බර මාසයේ ඉදිරිපත් වනු ඇත. අයිඑම්එෆ් එක කීවත් නැතත් බිඳ වැටී ඇති රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් අප මුහුණ දී සිටින ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදය හමුවේ මේ මොහොතේ ජනයා සිටින්නේ ඉතාම අමාරු අඩියක බව රහසක් නොවේ. බඩු මිල අහස උසට වැඩි වී උද්ධමනය මේ වන විට සියයට 70 ද ඉක්මවා ගොස් ඇත. එහෙත් ඔවුන්ගේ ආදායම් මට්ටම් එතැනමය. එසේත් නැත්නම් ආදායම් මට්ටම් තවත් අඩු වී ඇත. ඒ නිසා ජනයාට ඉතා උග්‍ර මිල පීඩනයකට මුහුණ දීමට සිදු වී ඇති අතර මේ නව බදු ප්‍රතිසංස්කරණ මගින් තවත් බඩු මිල වැඩි වී ජනයා අසීමිත පීඩාවකට පත්වනු ඇත. මේ නිසා අප මීට පෙරත් සඳහන් කර ඇති පරිදි රජය උත්සාහ කළ යුතු වන්නේ හැකිතාක් භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු වෙනුවට ආදායම් හා ලාභ මත පනවන බදු ආදායම් වැඩි කර ගැනීමටයි. එනම් සෘජු බදු ආදායම් වැඩි කර ගැනීමටයි. පුද්ගල ආදායම් බද්ද ආදායම් මට්ටම අනුව වඩාත් අනුක්‍රමික කිරීම ලෙස මූල්‍ය අරමුදල කියන්නේ ද මෙම කරුණයි. එනම් වැඩි ආදායම් උපයන අයට වැඩි බදු ප්‍රතිශතයක් සහ අඩු ආදායම් උපයන අයට අඩු බදු ප්‍රතිශතයක් ද වශයෙන් ලබන ආදායම් මට්ටම අනුව වැඩිවෙන බදු ප්‍රතිශතයක් පැනවීමයි. එවිට රටේ වැඩි බදු බරක් දැරීමට සිදුවනුයේ බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති පිරිස්වලටය. එහෙත් අපට පෙනෙනුයේ එක්වරම මේ වෙනස්කම් ක්‍රියාත්මක කිරීම දුෂ්කර නිසා රජය වක්‍ර බදු වැඩි කිරීම ද සිදු කර ඇති බවයි.

● බදු එකතු කිරීම

රජය කවර බදු පැනවුව ද ඒවා එකතු කිරීම කරන්නේ දේශීය ආදායම්, රේගු සහ සුරාබදු යන රජයේ ප්‍රධාන ආදායම් දෙපාර්තම්නේතු තුනයි. මින් රජයට වැඩිම බදු ආදායමක් උපයා දෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (22) පෙරවරුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ අතර ඊට සහභාගි වීමට මේ ලියුම්කරුට ද අවස්ථාව ලැබිණි. රාජ්‍ය ආදායම් භාර මුදල රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්ව සිටින්නේ සියඹලාපිටිය මහතාය. මෙහිදී දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත ගොස් කටයුතු නිරීක්ෂණය කළ ඇමැති සියඹලාපිටිය මහතා පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සමග සාකච්ජා කළ අතර එහිදී නිලධාරීන් මතු කළ කරුණුවලට ප්‍රතිචාර දැක්වීම ද සිදු කළේය. මෙහිදී කතා කළ වෘත්තීය සමිති නියෝජිත එච්. ඒ. එල් උදයසිරි මහතා ඉතා වැදගත් කරුණු රැසක් ඇමැතිවරයාගේ අවධානයට ලක් කළේය. එම කරුණුවලට ප්‍රතිචාර දක්වමින් කතා කළ මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා මෙසේ කියා සිටියේය.

“දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අර්බුදකාරී පසුබිමක පවා සිය ආදායම් ඉලක්ක සපුරාගනිමින් සිටිනවා. පසුගිය කාලයේ බදු ආදායම අඩු වීමට ප්‍රතිපත්තිමය කරුණු රැසක් හේතුවෙලා තියෙනවා. ඒවා අප නිවැරදි කරගත යුතුයි. බදු සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති කුතුහලය අවම කරවීමේ ක්‍රියාවලියකට රජය අවතීර්ණ විය යුතු බවයි. බදු ගැන ජනයා තුළ ඇති සක සංකා දුරු කළ යුතු වෙනවා. 2019 සහ 2021 කාලයේ දී උපයන විට ගෙවීමේ බදු ගොනු සංඛ්‍යාව ලක්ෂ 15 සිට 4 දක්වා ලක්ෂ 11 කින් සහ මුළු ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව ලක්ෂ 17 සිට ලක්ෂ 5 දක්වා ද අඩුවී තිබෙනවා. මේ තත්ත්වය සමනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්න අවශයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම සියයට 15 දක්වාවත් වැඩි කරගත යුතුයි. පැරණි මූල්‍ය ගෞරවය නැවත ඇති කරගත යුතුයි. රට ඇත්තේ අභියෝගයක් හමුවේ නොව අර්බුදයක් හමුවේයි. අභියෝගයකදී අපට පතුළ පෙනෙනවා. එහෙත් අර්බුදය යනු පතුළ නොපෙනන අගාධයක්. මෙම අර්බුදය හමුවේ වෘත්තීය සමිති ඇතුළු සෑම පාර්ශ්වයක්ම යම් අභියෝගයක් භාර ගත යුතු වෙනවා.”

මතභේදයට තුඩු දී ඇති සීනි බදු වංචාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී අදහස් මෙසේ පළ කළේ ය.

“නීත්‍යනුකූලව බලපුවා ම තීරු බද්ද අඩු කිරීමේ දී වංචාවක් වුණා නම් ඒ බද්ද යළි ඉහළ නංවල පාඩුව යළි අය කරන්න ක්‍රමයක් නෑ. ප්‍රතිපත්ති හදපු අයට දඬුවම් කරනව කිවුවට ඒක පහසුත් නෑ. ප්‍රතිපත්ති හදපු අය කිවුවොත් මගේ අරමුණ වුණේ සීනි මිල අඩු කරන්නයි කියල අපට උත්තරයක් නැති වෙනවා. නමුත් අපට බලන්න ඕන අදාළ කාලය තුළ එම ආයතනවල ආදායම් ඉහළ ගිහින් තියෙනව ද කියල. ඒ නිසා දින 10ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න කියල මම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා.”

● 2019 බදු කප්පාදුවේ බලපෑම

ණයෙන් බේරෙන්න ණයකරුගේ පිහිට පැතීම!

ඇත්තවශයෙන්ම සීනි බද්ද කිලෝවකට ශත 25 දක්වා අඩු කිරීම විශාල සැකයට තුඩු දු කරුණකි. එය කිසිවෙක් ඉල්ලා සිටි දෙයක් ද නොවේ. එසේම වත්මන් ආර්ථික අර්බුදයට බලපාන ලද හේතු අතර එක් ප්‍රධාන ආසන්න හේතුවක් ලෙස බොහෝ අය පෙන්වා දෙනුයේ 2019 වසට අග දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ සිදු වූ විශාල බදු කප්පාදුවයි. එහිදී වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා විශාල වශයෙන් අඩු කර බදු අයවන උපරිම සීමාව ද වැඩි කළේය. තවත් බදු සම්බන්ධයෙන් ද මෙවැනිම තත්ත්වයක් ඇති වූ අතර මේ නිසා වාර්ෂිකව රාජ්‍ය බදු ආදායම 2020 සහ 2021 යන වසර දෙකේ දීම රු. බිලියන 600 කට අධික ප්‍රමාණයකින් අඩු වී තිබේ. රජයන් යම් යම් අවස්ථාවල බදු අඩු වැඩි වීම් සිදුකරන නමුත් මේ දැවැන්ත බදු කප්පාදුව නම් රාජ්‍ය බදු ආදායමට බරපතළ හානියක් සිදු කළ අදූරදර්ශී ක්‍රියාමාර්ගයකි. මේ සම්බන්ධයෙන් ඉහත රැස්වීමේ දී කතා කළ වෘත්තීය සමිති නියෝජිත එච්. ඒ. එල්. උදයසිරි මහතා කීවේ මේ බදු අඩු වීමට එවකට ජනාධිපති ලේකම්, මුදල් ලේකම් ඇතුළු කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවයි. මේ අත්තනෝමතික බදු සංශෝධන නිසා රාජ්‍ය බදු ආදායම කඩාවැටුණු බව ද ඔහු සඳහන් කළේය. ඒ නිසා එම අත්තනෝමතික තීන්දු ගත් නිලධාරීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවට පමුණුවා ඒ අයට දඬුවම් දෙන ලෙස ද මෙහිදී උදයසිරි මහතා ඉල්ලා සිටියේය.

● කඩා වැටුණු ආර්ථිකය

ඇත්තවශයෙන්ම මෙතරම් විශාල බදු කප්පාදුවක් සිදු කළේ කුමන පදනමකින් ද යන්න බරපතළ ප්‍රශ්නයකි. කොරෝනා වසංගතයට අනපේක්ෂිතව රටට මුහුණ දීමට සිදු වූ බව ඇත්තය. ඒ නිසා ආර්ථික කටයුතු අඩපණ වීමෙන් ද රජයේ බදු ආදායම් අඩු වූ බව ඇත්තය. එහෙත් මේ ලියුම්කරු සිතනුයේ කොරෝනා වසංගතය නොතිබුණත් මෙතරම් විශාල බදු කප්පාදුවක් කිසිසේත්ම නොකළ යුතුව තිබුණු බවයි. කෙසේ හෝ සිදුවිය යුතු බලවත් හානිය සිදු වී හමාරය. දැන් තිබෙන්නේ නැවත රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමටයි. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවේ. දැන් තිබෙන්නේ සංකෝචනය වන ආර්ථිකයකි. පසුපසට යන ආර්ථිකයකි. මේ වසරේ (2022) අප වාර්තා කරනු ඇත්තේ සියයයට් 8.7 ක ඍණ ආර්ථික වර්ධනයකි. ආර්ථික කටයුතු අඩුවන වන විට රජයට අයවන බදු ආදායම ද නිරායාසයෙන්ම අඩු වේ. ඒ නිසා බදු ආදායම් වැඩි කර ගැනීම ද අභියෝගාත්මක කරුණකි. රජයක් බදු අය කළ යුතු වන්නේ මල නොතලා රොන් ගන්නා බඹරෙකු ලෙසය. මේ නිසා රජය අය කරන බදු සාධාරණ විය යුතු අතර පීඩාවට පත්ව සිටින මහජනයා තවත් පීඩාවට පත් කරන්නක් නොවිය යුතුය. කෙසේ හෝ ආර්ථික අගාධයේ ගිලී සිටින අප දැන් අප එළඹ ඇත්තේ සිදු කළ යුතු අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රමාද කළ නොහැකි තීරණාත්මක අවස්ථාවකටය. එහිදී ඉතා අමාරු අභියෝගාත්මක කාලයකට මුහුණ දීමට මහජනයාට සිදුවනු ඇත. ඒ නිසා මේ මොහොතේ සීමිත ඇමැති මණ්ඩලයක් පත්කරගෙන රට ගෙනියනවා වෙනුවට ඇතැම් අයගේ පැවැත්ම වෙනුවෙන් ඇමැතිවරු විශාල පිරිසක් පත්කරගෙන රජය කරන මේ දේ අපට අනුමත කළ හැකි ද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment