ණය අර්බුදයෙන් ගොඩ එන මග… විදේශ සංචිත වර්ධනයෙන් ණය ගෙවීම පැහැර හැරීමෙන් වැළකීම

776
  • නිල සංචිත පහත වැටීම

මේ දිනවල ආර්ථික හා මූල්‍ය අංශවල පමණක් නොව සාමාන්‍ය ජනයා පවා කතා කරන ප‍්‍රධාන කරුණක් වී ඇත්තේ රටේ විදේශ සංචිත තත්ත්වය පිළිබඳවයි. එසේම පසුගිය කාලයේ දිගින් දිගටම කතා කළේ අපේ විදේශ සංචිත මට්ටම පහත වැටීම ගැනයි. මේ නිසා අපේ විදේශ ණය පැහැර හැරීමේ අවධානම වැඩි වී ඇති බව කියමින් රටේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පවා පහත දමා ඇත. ඒවාට පිළිතුරු ලෙස අපේ මහ බැංකුව කවර නිවේදන නිකුත් කළත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත ආයතන විසින් අපේ ණය ශ්‍රේණිය පහත හෙළීමේ අහිතකර බලපෑම්වලට මුහුණ දීමට අපට සිදු වේ. එයට ඇති විසඳුම වන්නේ අපේ විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගනිමින් එමගින් අපේ පහත වැටී ඇති විදේශ සංචිත වර්ධනය කර ගැනීමයි. අපේ විදේශ ණය ගෙවීමට ඇති ශක්තිය වර්ධනය කරගත හැක්කේ එසේය.

  • ණය පැහැර හැරීම වළක්වා ගැනීම

පහත වැටී ඇති විදේශ විනිමය ආදායම් ප‍්‍රවර්ධනය කිරීමට ක‍්‍රියාමාර්ග ගත යුතු වුවත් ප‍්‍රශ්නය තිබෙන්නේ එම විදේශ විනිමය ආදායම් අපට අවශ්‍ය ඉක්මනින් වර්ධනය කර ගැනීමට අපහසුය. උදාහරණයක් ලෙස සංචාරක පැමිණීම් ක‍්‍රමයෙන් වර්ධනය වීමත් සමග අපේ සංචාරක ආදායම් ද ඒ සමගම වර්ධනය වීම ද සිදු වේ. එහෙත් එයට යම් කාලයක් ගත වේ. එනම් එය සිදු වන්නේ කාලයත් සමගය. අනිත් අතට අපේ විදේශ විනිමය පේ‍්‍රෂණ සැලකිය යුතු පහත වැටීමකට ද ලක්ව ඇත. මේ තත්ත්වය හමුවේ කෙටිකාලීනව අපට විදේශ ණය වාරික සහ පොලී ගෙවීමට තිබෙන්නේ නම් ඒවා අපට අදාළ දිනයටම ගෙවීමට සිදු වේ. ඒ සඳහා දැනට ලැබෙමින් තිබෙන විදේශ විනිමය ඉපයුම් ප‍්‍රමාණවත් නැත්නම් කරන්නේ කුමක් ද? විදේශ ණය ගෙවීම පැහැර හැරීමට සිදු වීම වළක්වා ගන්නේ කෙසේ ද? ඒ සඳහා අනිවාර්යෙන්ම කිරීමට සිදු වන්නේ කාගෙන් හෝ කෙටිකාලීන ණයක් (අතමාරුවක්) අරගෙන ඒ ණය වගකීම් පියවා දමා ණය පැහැර හැරීමට සිදුවන තත්ත්වයෙන් රට මුදා ගැනීමයි. එසේ කළත් අපේ ණය වගකීම් දිගටම විශාල වශයෙන් තිබෙන නිසා සිදුවනු ඇත්තේ තාවකාලික සහනයක් ලැබීම පමණි. එහෙත් විදේශ ණය පියවීමේ අභියෝගය ඉදිරි වර්ෂ කිහිපයක් පුරා දිගටම තිබේ. මේ නිසා කෙටිකාලීන විදේශ මුදල් අතමාරු ගන්නා අතරම අපේ විදේශ ණය ගෙවීමේ ප‍්‍රශ්නයට තිරසාර විසඳුම් ඇති කර ගැනීම අත්‍යවශ්‍යම වේ.

  • නිල සංචිත ඩොලර් බිලියන 3.1 ට වැඩි වීම

අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සම්බන්ධයෙන් මහ බැංකුව පසුගිය දෙසැම්බර 22 වැනිදා නිල නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ 2021 වසර අවසාන වන විට නිල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. එසේම රටේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පසුගිය දෙසැම්බර 29 වැනිදා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය. ඒ වන විට අපේ නිල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587 ක් දක්වා පහත වැටී තිබුණි. එසේ නම් සංචිත බිලියන 3.1 දක්වා නිල විදේශ සංචිත වැඩි වීමට විදේශ මුදල් ලැබුණේ කොහෙන් ද ? එහෙත් මහ බැංකුව ඉකුත් දෙසැම්බර් 29 දින නිකුත් කළ නිවේදනයේ එම විදේශ මුදල් ලැබුණු මූලාශ‍්‍ර හෙළි කිරීමෙන් වැළකී තිබුණි. ඒ වෙනුවට එහි සදහන් වූයේ මෑත කාලීනව සිදු වූ ලැබීම් සමග මේ වන විට නිල විදේශ සංචිත තත්ත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇති බවයි.

  • මෑත කාලීන ලැබීම්

මහ බැංකුව සඳහන් කළ මේ මෑතකාලීනව සිදු වූ විදේශ මුදල් ලැබීම් මොනවාද? මහ බැංකුව එම මූලාශ‍්‍ර සඳහන් කිරීමෙන් වැළකී සිටියත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ චීනයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වටිනා (චීන යුවාන් බිලියන 10 ක) විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීම නිසා මෙසේ අපේ සංචිත මට්ටම වර්ධනය වූ බවයි. ඇත්ත වශයෙන්ම මේ චීන විදේශ විනිමය හුවමාරු පහසුකම මීට බොහෝ කලකට පෙර චීන මහජන බැංකුව සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව අතර අත්සන් කළ එකකි. ඒ පසුගිය මහ බැංකු අධිපතිවරයා සිටි සමයේය. අවශ්‍ය වුවහොත් එම පහසුකම භාවිතා කළ හැකිව තිබිණි. ඒ නිසා එම විනිමය හුවමාරු පහසුකමේ අගය අපේ දළ නිල සංචිත මට්ටම තුළ ඇතුළත් නොවන බව මහ බැංකුවේ පසුගිය නිවේදනවල පැහැදිලිව සඳහන්ව තිබිණි. ඒ නිසා මෙය අලූත් විදේශ මුදල් පහසුකමක් නොව අපට අනුමතව තිබූ ලබාගත හැකිව තිබූ මුදලකි. ඒ අනුව දැන් සිදුව ඇත්තේ එම මුදල් ප‍්‍රමාණය ලබාගෙන අපේ නිල විදේශ සංචිතයට එකතු කර ගැනීමයි. එහෙත් මේ මුදල් ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර්වලින් නොව චීන යුවාන්වලිනි. ඒ නිසා මේ යුවාන් ප‍්‍රමාණය ඩොලර් බවට පරිවර්තනය කරගෙන අපේ ණය ගෙවීම් සඳහා යොදා ගැනීම දුෂ්කර වන අතර, මේ මුදල් භාවිතා කළ හැකිවනුයේ චීනයෙන් අපට අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමටය. විදේශ ණය ගෙවීමට පමණක් නොව අපගේ එදිනෙදා භාණ්ඩ ගෙන්වා ගැනීමේ විදේශ ගනුදෙනු පියවීමට පවා අපට විදේශ මුදල් නැති මේ අමාරු අවස්ථාවේ චීනයෙන් හෝ බඩු ගෙන්වා ගැනීමට යම් තාවකාලික අවකාශයක් ලැබීම මේ අවස්ථාවේ අපට ලැබෙන සහනයකි. එහෙත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් යනු අපගේ මාසික ආනයන වියදම පියවා ගැනීමටවත් ප‍්‍රමාණවත් නොවන මුදලකි. ඒ නිසා චීනයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට මේ මුදල් භාවිතා කිරීමේ දී මේ මුදල ඉතා ඉක්මනින් වියදම් වී අවසන් වනු ඇත. එහෙත් එය චීනයට පියවීමට නම් වසර තුනක කාලයක් තිබේ.

  • නව විදේශ විනිමය ලැබීම්

මේ අතර දැනට සාකච්ඡා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක විදේශ මුදල් ලැබීම් ද ලබන වසරේ (2022) ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. ඒ ගැන මහ බැංකුව මෙසේ සඳහන් කරයි.

‘සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි, දැනට සාකච්ඡා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම්, 2022 වසරේ ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ සඳහා දිරි දීමනා ක‍්‍රම හඳුන්වා දීම සහ අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීමේ හා පරිවර්තනය කිරීමේ නීතිරීති වැනි දේශීය වෙළෙඳපොළෙහි විදේශීය මුදල් ද්‍රවශීලතාව ඉහළ දැමීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග නිල විදේශ සංචිත තවදුරටත් ගොඩනැගීමට උපකාරී වනු ඇත. සංචාරක ක්ෂේත‍්‍රයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත් වීම සහ අපනයනවල ශක්තිමත් ක‍්‍රියාකාරීත්වය සමඟින්, විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඒ අනුව, 2022 වසර පුරාවටම විදේශ සංචිත තත්ත්වය හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජයෙහි සහ මහ බැංකුවෙහි විශ්වාසය වේ.

මෙසේ සංචිත තත්ත්වය වර්ධනය වන අතරම විටින් විට විදේශ ණය ගෙවීම සහ වෙනත් විදේශ විනිමය ගෙවීම් කිරීමේ දී මේ සංචිත තත්ත්වය අඩුවීම ද සිදු වේ. මේ අනුව 2022 ජනවාරි 18 වැනිදා අපට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල් පිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීමට තිබේ. එසේම වෙනත් ණය ගෙවීම් සමග අපට 2022 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 ක පමණ මුළු ණය ප‍්‍රමාණයක් ද ගෙවීමට තිබේ. වෙනත් විදේශ ලැබීම් ප‍්‍රමාණවත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ මුදල් අතමාරු පහසුකම් මගින් හෝ තාවකාලිකව විදේශ මුදල් සොයා ගැනීමට අපට සිදුවේ. වර්ෂ 2026 දක්වාම මේ අධික විදේශ ණය ගෙවීමේ අභියෝගය තිබේ. එය ජය ගැනීමට නම් නව විදේශ විනිමය ලැබීම් මාර්ග අත්‍යවශ්‍ය ය. එසේම තිබෙන විදේශ විනිමය ලැබීම් මාර්ගවලින් වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට ද අවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා අනුගමනය කර ඇති ඇතැම් උපායමාර්ග සාර්ථක වී නොමැති බව ද පෙනේ. එනම් විදේශ විනිමය පේ‍්‍රෂණ වර්ධනය කර ගැනීමට අනුගමනය කර ඇති උපායමාර්ග නිසා එම විදේශ මුදල් ආදායම් වැඩි වෙනවා වෙනුවට සිදුව ඇත්තේ එම ලැබීම් සැලකිය යුතු ලෙස අඩු වීමයි. ඒ අනුව පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස තුනේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික විදේශ මුදල් ප‍්‍රමාණයක් අපට නොලැබී ගොස් තිබේ. ඒ සඳහා හේතු විය හැකි කරුණු අප මීට පෙර සාකච්ඡා කර තිබේ. ඒ ගැන වහාම අවධානය යොමු කළ යුතුව ද තිබේ.

  • ප‍්‍රතිපත්ති අවුල්

කොරෝනා වසංගතයේ බලපෑම් නිසා අපේ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර වී ඇති අතරම රජයේ ප‍්‍රතිපත්තිමය අවුල් හමුවේ ද මේ වන විට තිබෙන ප‍්‍රශ්න තවත් බොහෝ වැඩි වී මහජනයා ඉමහත් පීඩාවට පත්ව ඇත. මේ නිසා මහජනයා තුළ විශාල අසහනයක් සහ කෝපයක් ද තිබේ. එහෙත් රජය සිටින්නේ මේ ගැන එතරම් සංවේදීව නොවීම ද කනගාටුවට කරුණකි. ගෑස් පෝලිම්වල සහ කිරිපිටි පෝලිම්වල සිටින ජනයා මේ දිනවල තම අසහනය ප‍්‍රකාශ කරමින් සහ කෝපය පිටකරමින් සිටින අයුරු අසන්නට, දකින්නට ලැබේ. කොරෝනා වසංගතයේ පීඩාවන්ට අමතරව මෙසේ ජනයා බොහෝ පීඩාවට පත්වීමට රජයේ ඇතැම් අදූරදර්ශී තීරණ හේතු වී ඇති බව කිව යුතුය. පොහොර ගැටලූව විශාල අසහනයක් නිර්මාණය කර ඇත. රජයේ සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබුණේ වසර දහයක් තුළ මුළුමනින්ම කාබනික කෘෂිකර්මයට යන බවයි. එහෙත් කාගේ හෝ වැරදි උපදෙසක් නිසා එය එක රැයකින් ක‍්‍රියාත්මක කරන ක්ෂණික වැඩපිළිවෙළක් බවට වෙනස්ව බොහෝ ප‍්‍රශ්න රැසක් ජනිත කර ඇත. ඇතැම් විට පොහොර ආනයනය මුළුමනින්ම නතර කිරීමෙන් විදේශ විනිමය ඉතුරු කරගත හැකි බව රජය සිතුවා විය හැකිය. එහෙත් මේ තීරණය නිසා මුළු රටේම ගොවි ජනයා විපතට පත්ව මේ වසරේ (2022) ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විද්වතුන් පවසා ඇත. මේ ඇත්ත කී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ එම තනතුරින් ඉවත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

  • භාණ්ඩ හිඟය සහ දිගු පෝලිම්

භාණ්ඩ මිල වැඩිවීම කෙසේ වෙතත් වැඩි මිලටවත් ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමට නැත. දැනටම එළවළු මිලදී ගැනීමට නොමැති තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බව පෙනේ. එනම් මේ වන විට එළවළු හිඟයක් තිබෙන බව ද වාර්තා වේ. කාලයක් තිස්සේම කිරිපිටි සහ ගෑස් හිඟයක් ද තිබේ. මේ දිනවල කිරිපිටි දෙන්නේ එක් කිරිපිටි පැකට්ටුවක් පමණි. මේ භාණ්ඩ මිල අධික වීම සහ භාණ්ඩ හිඟයන් හමුවේ මෙන්ම ජනයාගේ ආදායම් මාර්ග අඩු වී ඇති තත්ත්වය හමුවේ ජනයා තම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගන්නේ ද ඉතාම අමාරුවෙනි. මේ ආහාර බොහෝ දෙනෙක් පිසගන්නේ ගෑස් භාවිතයෙනි. එහෙත් අද විශාල ගෑස් හිඟයක් ඇත. ඇතැම් තැන්වල ගෑස් තිබුණත් ගෑස් සිලින්ඩරයක් මුදල් දී මිලදී ගැනීමට පැය ගණන් පෝලිම්වල සිටීමට සිදුව ඇත. තෙල් මිල වැඩි කිරීමත් සමග තවත් වටයකින් භාණ්ඩ මිල ගණන් ඉහළ නගිනු ඇත. මේ මිල පීඩනයට සහනයක් දීමට රජයට නිසි වැඩපිළිවෙළක් ද නැත. මේ නිසා බඩු මිල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනයා ඉමහත් පීඩාවට පත්ව සිටින නිසා මේ සඳහා කිසියම් සහන වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

  • සංචාරක ආදායම් වැඩි කර ගැනීම

මේ දිනවල විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙමින් තිබේ. එනම් පසුගිය දින 26 ක (එනම් 2021 දෙසැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා) කාලය තුළ විදෙස් සංචාරකයන් 69,941 දෙනෙකු මෙරටට පැමිණ ඇත. මේ වසරේ ජනවාරි මාසයේ පැමිණ තිබුණේ විදෙස් සංචාරකයින් 1682 ක් පමණි. ඉන් පසු මාස කිහිපයේ සංචාරක පැමිණීම් අඩු වැඩි වෙමින් සැප්තැම්බර් මාසයේ සිට සංචාරක පැමිණීම් වේගයෙන් වර්ධනය වී තිබේ. 2021 වසර මුල සිට ඉකුත් දෙසැම්බර් 26 දින වන විට මෙරටට පැමිණ තිබූ මුළු සංචාරකයන් සංඛ්‍යාව 174,930 කි. මේ වර්ධනයන් සතුටට කරුණක් නමුත් කොරෝනාවෙන් පසු මාලදිවයින වැනි රටවලට සාපේක්ෂව සංචාරක පැමිණීම් අතින් අප පසුගාමී තත්ත්වයක සිටී. මේ නිසා ඉදිරියේ දී හෝ අපේ අඩුපාඩු හදා ගනිමින් සහ නිවැරදි සංචාරක උපායමාර්ග අනුගමනය කරමින් හැකිතාක් දුරට සංචාරක පැමිණීම් උපරිම ලෙස වර්ධනය කර ගැනීමට අප උත්සාහ ගත යුතු වේ. අපේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ඇති ඉහළ විභවතාව අනුව තව බොහෝ වර්ධනයන් අපට අත්පත් කරගත හැකිය. ඒ සඳහා සංචාරක බලධාරීන් සහ සංචාරක කර්මාන්තයේ සියලූ පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතු වේ. කොරෝනා වසංගතය හමුවේ සංචාරක කර්මාන්තයෙන් අපට ලැබෙමින් තිබු ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් වූ විදේශ විනිමය ආදායම අහිමි වී ගියේය. එය වේගයෙන් යථා තත්ත්වයට පත්කර ගනිමින් ඊට වැඩි සංචාරක ඉපයුමක් ලබා ගැනීමට අප සැලසුම් කළ යුතුව තිබේ. එය අප මුහුණ දී සිටින දැවැන්ත විදේශ විනිමය අර්බුදයට ද විශාල සහනයක් වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment