ණය ගෙවාගන්න බැරුව රට බංකොලොත් වෙයි ද?

362

මෙරට දිනක වාර්තා වන කොවිඞ් ආසාදිතයින් ප‍්‍රමාණය පසුගිය ජුලි 29 වැනිදා යළි දෙදහස ඉක්මවා ගියේය. ඒ අනුව එදින හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2329 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එසේම ජුලි 28 වැනිදා සිදුව ඇති කොවිඞ් මරණ ගණන 66 ක් බව ද සෞඛ්‍ය අංශ තහවුරු කළේය. මේ අනුව කොරෝනා වසංගතයේ යළි හිස එසවීමක් ද සිදු වෙමින් තිබෙන බව පෙනේ. මෙසේ ගිය වසරේ (2020) මාර්තු මාසයේ සිටම කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අපේ ආර්ථික කළමනාකරණයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබේ. මේ අතරින් දැනට පවතින විදේශ මුදල් හිඟය ප‍්‍රධාන තැනක් ගනී. අපට දේශීය මුදල් එනම් රුපියල් කෙතරම් තිබුණත් අපට විදේශ මුදල් ද නැතුවම බැරිය. එනම් අප දැනටමත් ලබාගෙන තිබෙන විදේශ ණය ගෙවීමට සහ අපට අවශ්‍ය ආනයන භාණ්ඩ ගෙන්වා ගැනීමට අපට විදේශ මුදල් අත්‍යවශ්‍ය වේ. දැනටමත් මේ විදේශ මුදල් හිඟය නිසා ණයවර ලිපියක්වත් පවා විවෘත කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ව්‍යාපාරිකයෝ පවසති. පසුගිය බ‍්‍රහස්පතින්දා (29දා) රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා ද නිෂ්පාදන කටයුතු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට පවා ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකිව නිෂ්පාදන කටයුතු අඩපණ වී ඇති බව කීවේය. දේශීය පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය කොප්පරා ආනයනය කරගත නොහැකිව පොල් තෙල් නිෂ්පාදනය අඩපණ වී ඇතැයි ඔහු එදින මාධ්‍ය හමුවක දී ප‍්‍රසිද්ධියේම කීවේය. මේ නිසා රටේ පවතින විදේශ මුදල් හිඟය රටේ ආර්ථික කටයුතුවලට මෙන්ම අපනයනවලට ද අහිතකර බලපෑම් එල්ල කර තිබේ. එසේම අනිත් අතට අප ලබාගෙන ඇති විදේශ ණය පියවීමට වන්නේ විදේශ මුදල්වලින්ම ය. එහෙත් අපේ විදේශ සංචිතයත් පතුලටම හිඳී ඇත. එසේ නම් අප ඉදිරි විදේශ ණය වගකීම් පියවන්නේ කෙසේ ද? විදේශ මුදල් හිඟය නිසා යම් හෙයකින් අප ලබාගෙන ඇති විදෙස් ණය කලට වෙලාවට ගෙවාගත නොහැකි තත්ත්වයක් ඇති වෙයි ද? එවැනි තත්ත්වයක් උදා වුවහොත් රටට ඇති වන බලපෑම් මොනවා ද? මෙවැනි කරුණු කාරණා ගැන අද රට තුළ සංවාදයක් තිබේ.

මේ පසුබිම තුළ ඇතැම් අය කියන්නේ ශ‍්‍රී ලංකාවට ලබාගත් විදෙස් ණය ගෙවාගත නොහැකිව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බවයි. මෙවැනි අදහස් සමාජජාල මාධ්‍යවල ප‍්‍රචාරය වෙමින් තිබේ. එසේ වුවහොත් ඕනෑම රටකට බලවත් ආර්ථික ප‍්‍රතිවිපාක ඇති විය හැකිය. මූලික වශයෙන්ම මේ නිසා රටකට භාණ්ඩ ආනයනය කිරීමට අපහසු තත්ත්වයක් ඇති වෙයි. මොහොතකට ඉන්ධන ගැන පමණක් සිතන්න. අපට තෙල් ආනයනය කර ගැනීමට බැරි වුවහොත් කුමක් වෙයිද? මෙරට ප‍්‍රවාහනයට පමණක් නොව විදුලිය නිෂ්පාදනයටත් ඉන්ධන අවශ්‍යය. මේ නිසා එක දිනකට හෝ ඉන්ධන නොමැති වුවහොත් මුළු රටම බොහෝ දුරට අඩපණ විය හැකිය. මේ නිසා රටකට ලබාගත් ණය ගෙවාගත නොහැකි වීම යනු බරපතල තත්ත්වයකි. එවිට වෙනත් රටකින් හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින් ණය ලබා ගැනීමට ද දුෂ්කර වෙයි. එසේ වීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට පවා රටකට සිදු විය හැකිය. එහෙත් ශ‍්‍රී ලංකාව කිසි විටෙක ලබාගත් ණය වාරික ගෙවීම පැහැර නොහැරී රටකි. ඒ සම්බන්ධයෙන් අපට කීර්තියක් තිබේ. එහෙත් මෙය වංශය කබල් ගෑමට වෙලාව නොවේ. කුමන ප‍්‍රශ්න තිබුණත් රජයේ ආර්ථික බලධාරීන් නම් කතා කරන්නේ ඉතා ශුභවාදී ලෙසය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමේ කිසිදු තීරණයක් ද රජයේ නැත. එසේ නම් අප මේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳා ගැනීමට නිසි උපායමාර්ග අනුගමනය කළ යුතු වේ.

මේ අනුව පැහැදිලි වන්නේ මේ මොහොතේ අප රට මුහුණ දී සිටින බරපතළම ප‍්‍රශ්නය වන්නේ වඩා උග‍්‍ර තත්ත්වයට පත්ව ඇති විදේශ විනිමය අර්බුදය බවයි. අපේ රට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින්නේ කොවිඞ් වසංගත තත්ත්වයට පෙර සිටමය. කොවිඞ් වසංගත තත්ත්වය නිසා එම විනිමය අර්බුදය වඩාත්ම උග‍්‍ර තත්ත්වයට පත්ව ඇත. අපේ වෙළෙඳ හිඟය හෙවත් ආනයන සහ අපනයන අතර පරතරයේ සැලකිය පරතරයක් කාලයක සිටම තිබේ. එනම් කොවිඞ් වසංගත තත්ත්වයට පෙර සිටම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක පමණ විශාල වෙළෙඳ හිඟයකට අප දිගටම මුහුණ දෙමින් සිටි අතර ඒ අනුව අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන සඳහා වැය විය. මෙසේ කොවිඞ්වලට බොහෝ පෙර සිටම අප විශාල වෙළෙඳ හිඟයකට මුහුණ දෙමින් සිටියත් පසුගිය කිසිම ආණ්ඩුවක් මේ සඳහා සාර්ථක පිළියම් යෙදීමට අසමත්ව ඇත. මේ පරතරය අඩු තරමේ ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් දක්වාවත් අඩු කරගෙන තිබුණා නම් මේ කොවිඞ් වසංගතය හමුවේ විශාල සහනයකි.

පසුගිය රජයන් පොදුවේ මේ ප‍්‍රශ්නයට පිළියම් යෙදීමට අසමත් වූ නිසා මේ කොවිඞ් සමයේ අපගේ සංචාරක ආදායම් ද අහිමි වී විනිමය ප‍්‍රශ්නය වඩාත්ම උග‍්‍ර වී ඇත. එසේම අපගේ විදේශ ණය ගෙවීම පවා පවා දුෂ්කර තත්ත්වයට පත්ව ඇත. ණය ගෙවාගන්න බැරුව රට බංකොලොත් වෙයි ද යන ප‍්‍රශ්නය ඇතැමුන් මතු කරන්නේ මේ පසුබිම තුළය.

මෙවැනි දුෂ්කර තත්ත්වයක් තිබුණත් පසුගිය ජූලි 27 වැනිදා කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක විශාල මුදලක් ගෙවනු ලැබීය. එහෙත් මේ නිසා අපේ විදේශ විනිමය සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී වැටුණු බව ද අමතක නොකළ යුතුය. එසේ නම් දැන් අපට සංචිත වර්ධනය කර ගැනීමට සිදු වේ. මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසන්නේ අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම් සහ පිටතට ගලායාම් සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ අපට භාවිත කළ හැකි විදෙස් සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බවයි. මෙසේ අප මේ ප‍්‍රශ්නය කළමනාකරණය කරගත්තත් අපට ඉදිරි වර්ෂ කිහිපයේම දිගටම විශාල විදේශ ණය පියවීමට ද තිබේ.

මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා සඳහන් කරන ඉදිරි කාලයේ අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් මාර්ග කිහිපයක් වන්නේ ඉන්දියාව සමග සිදු කරන විදේශ විනිමය හුවමාරු පහසුකම මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක්, බංගලාදේශය සමග සිදු කරන විදේශ විනිමය හුවමාරු පහසුකම මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක්, චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ ගැනුම් හිමිකම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 800 ක්, ඉදිරි මාස 3 තුළ මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට අපේක්ෂිත විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්, දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගලා ඒම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් සහ ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් අපේක්ෂිත ගලා ඒම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් යනාදී වශයෙන් රටට ලබා ගැනීමයි. විනිමය ගලා ඒම්වල එකතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2650 ක් පමණ වේ. මේ විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ මේ විදේශ විනිමය ප‍්‍රමාණය මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කබ්රාල් මහතා පවසයි. මෙසේ ණය නොවන මාර්ගවලින් විදේශ විනිමය ලබා ගැනීම් වර්ධනය කර ගැනීම රජයේ අරමුණ වී තිබේ.

විදේශ සංචිත සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් රට විදේශ මුදල් හිඟයකට මුහුණ දී සිටින බවත් පැහැදිලිය. කොවිඞ් හමුවේ මේ ප‍්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට රජයට පිළියම් තිබේ නම් ප‍්‍රශ්නයක් නැත.

මේ සඳහා පිළියම් යෙදීම නොපමාව කළ යුතුව ද තිබේ. නැතහොත් අපට ඉදිරි වර්ෂවල ණය ගෙවීම දුෂ්කර වීමට ඉඩ තිබේ.

කොවිඞ් වසංගත තත්ත්වයට ද මේ වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගත වෙමින් තිබුණත් ආනයන සීමා පනවනවා හැර විදේශ විනිමය ඉපයීම් වැඩි කර ගැනීමේ මාර්ග ගැන හෝ විදේශ විනිමය ඉතුරු කරගත හැකි විකල්ප මාර්ග ගැන ද රජය එතරම් අවධානය යොමු කළ බවක් අපට පෙනෙන්නේ නැත. ආනයන පාලන තිබුණත් ඇතැම් ව්‍යාපාරිකයන්ට පසුගිය කාලයේ විදේශ විනිමය වැය කර ඇති තරම් සීනි ආනයනය කිරීමට කිසිදු බාධාවක් සිදුව නැත. මේ නිසා රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වීමේ දී පරස්පරයන් දක්නට ඇත. මෙවැනි තත්ත්වයන් වළක්වා ගත යුතුව තිබේ. රජය නම් පවසන්නේ විදේශ විනිමයෙන් කරන සෑම ණය සහ පොලී ආපසු ගෙවීමක්ම නියමිත වේලාවට සිදු කළ හැකි වන පරිදි ශ‍්‍රී ලංකාව සිය බාහිර මුදල් ප‍්‍රවාහයන් සකස් කර තිබෙන බවයි. එම පසුබිම තුළ වඩාත්ම වැදගත් වන්නේ මුදල් ප‍්‍රවාහය මිස නිශ්චිත වේලාවක පවතින විදෙස් සංචිත මට්ටම නොවන බව ද රජය පවසයි. පෙර සඳහන් කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2650 ක විදේශ විනිමය ගලා ඒම්වලට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක විදේශ විනිමය හුවමාරු පහසුකමක් සඳහා අපට ලබා දීම සඳහා චීන මහජන බැංකුව ශ‍්‍රී ලංකා මහ බැංකුවට එකඟ වී ඇති අතර එය ද අපේ විදෙස් සංචිතවල කොටසක් ලෙස ඇතුළත් කළ හැකි බව මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා පවසයි. ඒ සියල්ලේම එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 4150 ක් පමණ වේ. මීට අමතරව මේ වසරේ (2021) ඉතිරි කාලය තුළ කල් පිරෙන ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශ විනිමය බැංකු ඒකක යන ණය සියල්ලම පාහේ කල් දිගු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින අතර ඒ නිසා එවැනි කල් පිරීම් විදෙස් සංචිතය අඩු වීමට හේතු නොවෙනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

පසුගිය ජුලි 27 වන දින කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ආපසු ගෙවීමත් සමඟ මේ වසරේ (2021) රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වීමත් සමග වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ක‍්‍රමයෙන් ශක්තිමත් කර ගැනීමට ඉඩ සැලසෙන අතර එසේම මේ සමග අපේ විදෙස් ණය පියවීම සම්බන්ධයෙන් පවතින නිකැළැල් වාර්තාව තවදුරටත් ආරක්ෂා වීම ද සිදු වේ. එහෙත් මේ සමග අපේ සංචිත තත්ත්වය පහත වැටීමත් සමග මේ වසරේ (2021) මෙම විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කර ගැනීමට අප සමත් වන නමුත් අපට ඉදිරි වසරවලදී පියවීමට තිබෙන ණය වගකීම් සමග අප මේ තත්ත්වය කළමනාකරණය කරන්නේ කෙසේ ද යන අභියෝගය දිගටම තිබේ. අපට දැනගැනීමට තිබෙන පරිදි මේ වසරේ (2021) අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලයේ දී අපට තවදුරටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක පමණ විදෙස් ණය වගකීම් පියවීමට තිබේ. මේ නිසා අප ඉකුත් 27 වැනිදා ගෙවන ලද මුදලටත් වැඩියෙන් මේ වසරේ දෙසැම්බර් දක්වා කාලයේ දී අපට විදෙස් මුදලින් ණය පියවීමට තිබේ. එසේම වසර 2022 සිට 2025 දක්වා කාලයේ දී අපට වසරකට සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදෙස් ණය (විදෙස් ණය වාරික සහ පොලී ගෙවීම්) පියවීමට තිබේ. රජය කියන සියලූ විදේශ විනිමය ලැබීම්වල එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 4150 ක ප‍්‍රමාණය අපට එක වසරක හෝ විදෙස් ණය වගකීම් මුළුමනින්ම පියවීමටවත් එය ප‍්‍රමාණවත් නොවන බව ද සැලකිය යුතුය. සෑම වසරකම අපට වෙනත් රටවල්වලින් විදේශ විනිමය හුවමාරු පහසුකම් ද ලබා ගැනීමට ද අපහසුය. ඒවාද නියමිත කාලයෙන් පසුව පියවීමට ද සිදු වේ. එසේ නම් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදෙස් ණය වගකීම් ඉදිරි වසරවල දී පියවීමේ අභියෝගයට අප මුහුණ දිය යුතු වේ. අපට තිබෙන ශුභවාදී තත්ත්වයක් වන්නේ කොවිඞ් වෛරසයට එරෙහි එන්නත්කරණය නිසා ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට තිබෙන ඉඩ කඩයි. මෙසේ එන්නත්කරණය සමග ලෝකයේ කොවිඞ් වසංගතය ඉදිරි කාලයේ දී සැලකිය යුතු ලෙස සමනය වී නව සාමාන්‍ය තත්ත්වයක් ඇති වුවහොත් අපට නැවත අපේ සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික කටයුතු පණ ගන්වා ගත හැකිය. එහෙත් ඒ සඳහා අප දැන් සිටම නිසි පෙර සූදානමක් ඇති කර ගත යුතුවේ. එසේ නිසි උපායමාර්ග අනුගමනය කිරීමෙන් අපට ණය ගෙවාගන්න බැරුව රට බංකොලොත් වන තත්ත්වයකට පත්වීම වළක්වා ගත හැකි වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment