ණය තිරසරභාවයක් ඇතිවන ආකාරයට කළමනාකරණය කිරීම පනතේ අරමුණයි

46

– මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

2024 වසරේ මුල් කාර්තුවට ඩොලර් බිලියන 4ක් ණය අරන් : ණය අර්බුදය වැඩිවෙනවා මිස සමනය වීමක් නෑ – විජිත හේරත් (ජාජබ)
ආර්ථිකය ගොඩ නැගීමේ සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහයි
ඇමැති බන්දුල ගුණවර්ධන
බන්දුල ඇමැති හිටපු කැබිනට්වල තමයි මූල්‍ය විනය කඩා වැටෙන තීන්දු ගත්තේ
මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ)

ණය කළමනාකරණය පිළිබඳව රටේ මෙතෙක් පැවැති සියලු ගැටලු නිරාකරණය කරමින් තිරසාර ණය කළමනාකරණයක් ඇති කිරීමට නව පනත විශාල ශක්තියක් වන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ණය කළමනාකරණ පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදයේ දී කරුණු දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ :

ණය කළමනාකරණය පිළිබඳ රටේ අද ලොකු ගැටලුවක් තිබෙනවා. ණය තිරසරභාවයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙනවා. සිදුකරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට විරුද්ධ පක්‍ෂය අපට සහය දුන්නේ නෑ. නමුත් සිදුකළ යුතුව තිබෙන දේ වෙනස් කිරීමට අපි ක්‍රියා කළා.

අපේ රටේ මෙතෙක් පැවති ණය කළමනාකරණ ක්‍රමය වෙනස් කරලා කේන්ද්‍රගත තැනකට ණය කළමනාකරණයේ වගකීම අරගෙන ඉදිරියට ණය තිරසරභාවයක් ඇතිවන ආකාරයට කළමනාකරණය කිරීම මේ පනතේ අරමුණයි.

2022 වසරේ රාජ්‍ය ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 128ක් පැවතුනා. එය 2032 වෙද්දී සියයට 95 දක්වාඅඩුකර ගැනීම අරමුණයි.

ඒ වගේම විදේශ ණය සේවා ණය සියයට 4.5 දක්වා අඩුකර ගැනීම යන කාරණා මත අපට ජාත්‍යන්තර සහය ලැබුණා. කවුරු පාලනය කළත් වෙනස් විය යුතු කාරණා ඉටුකිරීම රජයක අරමුණයි.

රටේ අවශ්‍යතාව අනුවයි එදා ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව හැදුවේ. දේශපාලන අවශ්‍යතා අනුව එදා කවුරුවත් සම්බන්ධ වුණේ නෑ.

දේශීය ණය ප්‍රමාණය 2023 අවසානයේ රුපියල් බිලියන 17051 යි. 2024 මාර්තු අවසාන වෙද්දී රුපියල් බිලියන 17252යි. ඩොලර් අනුපාතය අනුව මේවෙනස සිදුවී තිබෙනවා. විදේශ ණය ප්‍රමාණ ඩොලර් බිලියන 37යි. එහි 5.5ක් 2022 සිට ඇතුළත් ප්‍රමාණයන් තියෙනවා.

අසීරු තීන්දු රැසක් අපි පසුගිය කාලයේ ගත්තා. 2022 ඇතිවූ තත්ත්වය 2024 මැයි වනවිට ඇති නොවීම විපක්‍ෂයට ප්‍රශ්නයක්. උද්ධමනය අඩුවීම, ඩොලරය ස්ථාවර වීම ඇතුළු ස්ථාවරයන් ඇති කර ගැනීමට ආණ්ඩුව විශාල කැපවීමක් සිදු කළා. ජනතාව කැපවීම් කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) :

අපි පනතට එකඟයි. කාලයක් තිස්සේ විය යුතුව තිබූ දෙයක්. දැන් හරි ඉදිරිපත් වීම ගැන සතුටුයි.

අස්වැසුම ලබාදීම ගැන අපේ විරෝධතාවක් නෑ. අපි එකඟයි.

මාස 9කටයි අස්වැසුම දෙනවා කිව්වේ. තව මාස 12කට දීම වැඩිකරන්න කියලා ඉල්ලා තිබෙනවා. ඊට අපි එකඟ වෙනවා. යථාර්තය පිළිගත යුතුයි. අස්වැසුම දීර්ඝ කරන්න කරපු ඉල්ලීමක් මහ පොළොවේ යථාර්තය පේනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. ඒ ගැන තවදුරටත් කතාකර වැඩක් නෑ.

අපි එදා සිටම කිව්වා මූල්‍ය අරමුදල හමුවට යන්න කියලා. ආණ්ඩුව යන්න ඕන නෑ කිව්වා. අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. බංකොළොත් වෙන්න කලින් පිළියම් යොදන්න කියලා අපි කියද්දී අපිට සමච්චල් කළා.

අපිට ණය ගෙවාගන්න බෑ කියලා එදා කිව්වා. එවිට බංකොළොත් බව ප්‍රකාශ වුණා. රටේ තියෙන ගැටලු තේරුම් ගත යුතුයි. කාටවත් බැනලා වැඩක් නෑ.

මහාමාර්ග ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන :

2001 චන්ද්‍රිකා රජය සමයේ දී ලංකාවේ ආර්ථිකය පළමු වතාවට සෘණ 1.2ක් වුණා. විදේශ සංචිත කඩා වැටිලා. රටම විනාශ වෙලා යනවිට අපි එස්. බී. දිසානායක, ජී. එල්. පීරිස්, මහින්ද විජේසේකර, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් රනිල් සමග ආණ්ඩුවක් පිහිටුවලා කඩා වැටුණු රට අවුරුද්දක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් අත්සන් කර දූරදර්ශී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ආර්ථිකය සෘණ තත්ත්වයෙන් ධන බවට පත් කළා. ඒ කාලයේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිව සිටිය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආර්ථිකය ගැන කිසිම දැනුමක් තිබුණේ නෑ.

ආර්ථිකය ගොඩ නැගීමේ සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. එදා තිබූ අත්දැකීම හා පළපුරුද්ද නිසා 2022 දී ආණ්ඩුව භාර අරන් ගොඩනැගීමට ක්‍රියා කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ) :

ගෝඨාභය ජනපතිගේ පසුගිය කාලයේ වැරැදි තීන්දු නිා රට වැටුණා. රට වැටුණට පස්සේ බදු අසීමිත ලෙස අයකරන්න පටන් ගත්තා. රජයේ බදු ප්‍රතිපත්ති හා නීති කඩලා අධික බදු අය කළා. වැඩිහිටි ගිනුම්වලට ලබාදුන් සියයට 15 පොළියත් කප්පාදු කළා. වහාම ඔවුන්ගේ පොළිය වැඩි කළ යුතුයි.

අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අයකරනවා අනීතික විදියටයි මේ බදු අය කළේ. මේ තත්ත්වය වහාම නිවැරදි කරන්න. රටේ විශාල ව්‍යාපෘති විවිධ ආණ්ඩු ආරම්භ කළා. ආණ්ඩු වැටෙනකොට ඒවා නතර වෙනවා. කෝටි ගණන් වැඩ කරලා හදපු ගොඩනැඟිලි, ව්‍යාපෘති විනාශ වෙනවා. මේවා මහජන මුදල්. කෝටි 1515ක් වැය කරලා හදපු ව්‍යාපෘතිවල අද වව්ලන් ලගිනවා.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ) :

ආණ්ඩු ගණනාවක් එක දිගට ණය අරගෙන

ගෙවාගන්න බැරිව දැන හිරවෙලා ඉන්නවා. මේ ප්‍රශ්නය හරියට ආමන්ත්‍රණය කරන්නේ නැතිව ආර්ථිකය ගැන හිතන්න බෑ. මේ ප්‍රශ්නයෙන් එළියට යන්නේ කවදාද කියලා සංවාදයක් ඇතිවිය යුතුයි. ජනාධිපතිවරණයේ දී එය ප්‍රධාන මාතෘකාවක් වේවි.

රාජ්‍ය ණය කළමනාකරණ පනත හා ආර්ථික සංවර්ධන පනත ගැන වෙනසක් හිතනවා. ආර්ථීක පනත මූල්‍ය අරමුදලේ හිර කරලා හදලා තියෙන්නේ. බන්දුල ඇමැති හිටපු කැබිනට්වල තමයි මූල්‍ය විනය කඩා වැටෙන තීන්දු තීරණ ඔක්කොම අත උස්සලා අරගත්තේ. ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිටපු අය ඊට වගකිව යුතුයි.

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) :

2020 සමස්ත ණය රුපියල් බිලියන 15117ක් 2023 දී රුපියල් බිලියන 28695 යි. සියයට 90කින් විතර වැඩිවෙලා. දේශීය ණය සියයට 58ක් වී තිබුණා. 2023 වනවිට ඉහළ ගියා.

රට බංකොළොත් බව ප්‍රකාශ කළ පසු අපේ පක්‍ෂය අධීකරණයට ගිහින් ඊට වගකිවයුත්තන් කවුද ඇහුවා. ඊට ජනාධිපති, අගමැති හා මුදල් ඇමැති නම් වුණා. ඒ තිදෙනාම එකම පවුලේ අය. මේක අධිකරණයේ තීරණයක්. ඊට අමතරව නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුළත්.

මේ කෙටුම්පතේ අරමුණු හොඳයි. ණය ගැනීම හා ඇපකර ගැනත් කරුණු තියෙනවා.

ආණ්ඩුවේ මූල්‍ය කාර්යක්ෂමතාවක් තිබිය යුතුමයි. වියදම තදින් පාලනය කළ යුතුයි. දූෂණය පාලනය විය යුතුයි. දැන් හැමතැනම දූෂණය ගැන කතා කරනවා ඉහළ සිටම පහළටම චෝදනා නැගෙනවා. රටේ නායකයන් මේ ගැන ක්‍රියා කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර (ශ්‍රීලපොපෙ) :

රටේ ණය බර ඩොලර් බිලියන 100.1 යි කියලා ආණ්ඩුව කීවා. 2023 ඩොලර් බිලියන 83යි. මේ වනවිට බිලියන 17කින් වැඩිවෙලා. වසරකදී මේ ප්‍රමාණය වැඩිවන විට දේශීය ණය බරත් වැඩිවෙනවා.

රටක බඩු මිල පහළ වැටීමක් සිදුවෙනවානම් දෙපැත්තකින් බැලිය යුතුයි. පාරිභෝගිකයා වගේම ගොවියා ගැනත් බැලිය යුතුයි.

රටේ ආර්ථිකය දියුණු වෙලා කියලා උඩින් පෙනුනත් යටින් එය යථාර්තවාදී නෑ. ණය කළමනාකරණ්‍ය නැතිව ණය බර වැඩිවනවිට නිෂ්පාදන ක්‍රියාවලියට බලපානවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) :

ඩොලර් මිලියන 100 දක්වා දේශීය ණය වැඩිවෙලා කියලා ආණ්ඩුව කියනවා. ගිය වසරේ දෙසැම්බර් වනවිට බිලියන 96යි. අවසන් කාර්තුවට ඩොලර් බිලියන 4ක් ණය අරන්. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරලා ණය අරගෙන තියෙන්නේ. කාර්තුවට 4 යි නම් වසරකට බිලියන 12ක් ණය ගන්න වෙනවා. මොන පනත් ගෙනාවත් හරියට ණය කළමනාකරණය කර නෑ. හැමදේම ආණ්ඩුව කිව්වත් ණය ගැනීම ගැන ආණ්ඩුව තොරතුරු හංගනවා. ණය කළමනාකරණය වෙනවානම් මෙහෙම අලුතෙන් ණය බරක් එන්නේ නෑ.

ණය වැඩිවීම මත ණය පොලියත් වැඩිපුර ගෙවන්න වෙනවා. අද වනවිට විදේශ ණය එක ඩොලරයක්වත් ප්‍රතිව්‍යුහගත කර නෑ. කියනවා විතරයි. ණය අර්බුදය වැඩිවෙනවා මිස සමනය වීමක් නෑ.

මතුපිටින් ආර්ථිකය හොඳයි කියලා ආණ්ඩුව කිව්වත් හුස්ම ගන්න බැරි තරමට ආර්ථිකය හිරවෙලා.

විදේශ ඇමැති අලි සබි්‍ර :

ණය ගෙවාගන්න බැරිනම් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. 2022 දී අපි එය ආරම්භ කළා. විදේශ ණය ගෙවීම නවත්වපු හින්දා ඩොලර් එක වැඩිවීම නවත්වා ගන්න හැකිවුණා. රුපියල් 376ක් වූ ඩොලරය 300 දක්වා ගේන්න හැකිවුණා. ඒ අපි නිවැරදි තීන්දු තීරණ ගත් නිසයි. ඉවක්බවක්නැතිවණය ගත්තා. භාණ්ඩාගාරය තුළවත් නිවැරදි තොරතුරු තිබුණේ නෑ. ඒ නිසා මධ්‍යගත ක්‍රමයකට ණය පාලනය ගෙන ඒම සිදු කරනවා. ණය ගැනීම සීමාකර ගත් ණය ක්‍රමවත්ව ගෙවීමට මේ නීති උපයෝගි වෙනවා.


අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment