ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය වීමට නම්

140

රජයේ ණය බැඳීම් අඩු කිරීමේ මාර්ගය ලෙස EPF සහ ETF අරමුදල් භාවිත කිරීමේ අසාධාරණය අතපසුවීම් දෙකකින් තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. පළමු අතපසුවීම නම් බැංකු, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු, ව්‍යාජ ආයතනවලට සහ දේශපාලනිකව සම්බන්ධ පුද්ගලයන්ට ලබාදී ඇති දැවැන්ත ණය ආපසු අයකර ගැනීමට රජය පියවර නොගැනීමයි. දෙවැනි අතපසුවීම, සොරකම් කළ වත්කම් ආපසු අයකර ගැනීමට පියවර නොගැනීමයි. ජනාධිපති වික්‍රමසිංහ මහතා අනපේක්ෂිත ලෙස සහ අහඹු ලෙස බලයට ගෙන ආ පසුගිය වසරේ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම වූයේ මෙයයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ (DDR) වැඩපිළිවෙළ සඳහා මන්ත්‍රීවරුන් 122 දෙනකු පක්ෂවද, 62 දෙනකු විපක්ෂවද ඡන්දය ලබාදීම සහ 40 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටීමද සමඟ, පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 60 කින් එය අනුමත කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් ජයග්‍රහණයක් සටහන් කළේය. නැවත බලයට පැමිණීමේ කැමැත්තෙන් සිටින පාර්ලිමේන්තු ඇතැම් මන්ත්‍රීවරුන්, දැනටමත් ඇති තරම් බර පටවා ඇති ජනතාව මත තවත් බරක් පටවන වැඩපිළිවෙළකට ඡන්දය දීමට මැළි වන්නට ඇත. එහෙත් ජනාධිපතිවරයා තම ස්ථාවරයේ සිටි අතර, රටේ ආර්ථික අනාගතය පිළිබඳ ඔහුගේ දැක්ම අනුව ආණ්ඩුවේ සෙසු පිරිස් ඊට එකඟ වූහ. රාජ්‍යය නමැති නැව සන්සුන් ජල තලයක් වෙත යොමු කිරීමට ජනාධිපතිවරයා සමත් වී ඇත. ඔහු, යෝජිත ත්‍රස්ත විරෝධී පනත, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සහ විවේචකයන් නිහඬ කිරීමට සහ ඔවුන් නිශ්චල කිරීමට නවීන ආකාරයෙන් භාවිත කළ හැකි, අපේක්ෂිත රාජ්‍ය නොවන සංවිධාන පනත වැනි නීති ද සකසමින් සිටී.

නෞකාව ආරක්ෂිත වරායට ආසන්නව ඇති අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය අපේක්ෂාවෙන් පසුවෙයි. දැන් ජනාධිපතිවරයාට ඇති අභියෝගය වනුයේ, තමන් වටා සිටින පිරිසට, තමන් නොමැතිව මෙම කටයුතු කළමනාකරණය කළ නොහැකි බව සිතීම සහතික කිරීමයි. කෙසේවෙතත් එම ක්‍රියාවලියට අවශ්‍ය ‘මර්දන නීති අවි ගබඩාව’ පවතින්නේ මුහුදු කොල්ලකරුවන් ලෙස ක්‍රියාකිරීමට තෝරාගත හැකි පුද්ගලයන් අතේ නම්, අනාගතයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ගුවන් විදුලි අධිකාරී පනත සහ රාජ්‍ය නොවන සංවිධාන පනත භාවිත කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව සිතීම බියජනක ය. බලයේ සිටි තවත් නායකයකු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය නෞකාව සුළි කුණාටුවක් මැදට ගෙනයෑමෙන් පසු, ජනාධිපති වික්‍රමසිංහ මහතා එහි වගකීම භාරගත්තේය. 2001-04 සහ 2015-19 යන කාල වකවානු දෙකේදීම, ජනාධිපතිවරයා තමන් බලය බෙදාගැනීමට කැමැත්තක් දක්වන අනෙක් අය අභිබවා යෑමට තමාට ඇති හැකියාව අධිතක්සේරු කළේය. මෙවරද නැවතත් එයම සිදුවීමේ අවදානම පවතී. අවසන් වරට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් කිහිපදෙනකු නොසිටීම තුළින් ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳ පෙර දැක්මක් ප්‍රදර්ශනය විය.

රාජ්‍ය නෞකාවේ සිටින මගීන්ට වඩා හොඳින් සැලකීමේදී සිදුවන කාර්ය මණ්ඩලයේ කැරැල්ලකදී නායකයා වෙනස් කිරීමට ඔවුහු සහාය නොදක්වති. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ (DDR) බර ජනතාව මත පැටවී ඇති බවට විවාදයක් නැත. පසුගිය වසරේ සියයට 70 ක ආරම්භක උද්ධමන අනුපාතයකින් පසුව, ජනතාවගේ ඉතුරුම් ප්‍රායෝගිකව අඩකින් අඩු වූ අතර, දැන් උද්ධමනය පසුගිය මාසයේ සියයට 12 ක් දක්වා අඩුවී යැයි පැවසුවද, උද්ධමනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. රජය සිය DDR සැලැස්මේ දී බැංකුවලට හිතකර ලෙස සලකමින් ජනතාවගේ ඉතිරිකිරීම්වලින් භාගයක් පමණක් සුරක්ෂිත කිරීමට වගබලා ගෙන ඇත.

එසේ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමේදී රජය විසින් නව ධනය උත්පාදනය කරන ආයතනික අංශයේ අවශ්‍යතාද ආරක්ෂා කර ඇත. දේශීය ජනතාව තම ධනයෙන් කොටසක් අහිමිවීමේ වේදනාවට උරදිය යුතු බවට විදේශීය ණය හිමියන් ඉදිරිපත් කර ඇති අසාධාරණ තර්කයට ද මෙහිදී එකඟතාව පළකර තිබේ. විදේශීය ණයහිමියන් ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී තමන් ගන්නා අවදානම් දැන සිටි අතර, ඔවුන් ස්වෙච්ඡාවෙන්ම එසේ කළේ ඉන් ලබාගත හැකි විශාල ලාභයක් නිසාය. ඊට හාත්පසින්ම වෙනස්ව, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ බර තමන් සමග බෙදාගැනීමට දැන් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික ජනතාවට එවැනි විකල්පයක් නොතිබූ අතර, ශ්‍රී ලංකාව මෙම කනගාටුදායක තත්ත්වයට ගෙනඒමට වගකිවයුත්තන් ආරම්භ කරන ප්‍රතිසංස්කරණවලින් ඔවුහුම අඛණ්ඩව ප්‍රතිලාභ ලබමින් සිටිති.

● අසමාන ඉලක්ක ලබාගැනීම

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රධානතම වින්දිතයන් වන්නේ, ජනතාවට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා විකල්පයක් වශයෙන්, විශ්‍රාම යන අවස්ථාවේදී එකවර ගෙවීමක් ලෙස ලබාදීමට රජය විසින් පිහිටුවා ඇති සේවක අර්ථසාධක සහ සේවක භාරකාර (ඊපීඑෆ් සහ ඊටීඑෆ්) විශ්‍රාම වැටුප් අරමුදල්ය. සෑම කෙනකුටම නොමිලේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආහාර ද්‍රව්‍ය (එක කාලයකදී) ලබාදුන් සුබසාධන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව බොහෝ කලක සිට ආඩම්බර වුවත්, රට විසින් කිසිවිටෙක රැකියාවක් නොමැති හෝ රැකියාවක් කිරීමට වයසින් වැඩි අයට යම් තරමක ගරුත්වයක් සහිතව ජීවත් වීමට හැකි වන පරිදි විශ්වීය සමාජ ආරක්ෂාවක් ලබාදුන්නේ නැත.
EPF සහ ETF විශ්‍රාම වැටුප් අරමුදල් සියයට 30ක බද්දක් සඳහා ඉලක්ක කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කිරීමට රජය උත්සාහ කළද, එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. විශ්‍රාම වැටුප් අරමුදලට සියයට 14ක බදු ප්‍රමාණයක් පමණක් පනවා ඇති අතර, බැංකුවලට සියයට 50ක බද්දක් පනවා ඇති බව රජය ප්‍රකාශ කර ඇත. විශ්‍රාම වැටුප් අරමුදල් හොබ්සන්ගේ තේරීමක් සිහිපත් කරයි. එංගලන්තයේ අශ්ව හිමිකරුවෙකු වන තෝමස් හොබ්සන් (1544-1631), තම පාරිභෝගිකයන්ට දොර ළඟම ඇති ඔහුගේ කුටිය තුළට අශ්වයා රැගෙන යෑම හෝ කිසිසේත්ම ඇතුළතට අශ්වයා නොගැනීම යන තේරීම පාරිභෝගිකයන්ට ලබාදුන් අයෙකි. විශ්‍රාම වැටුප් අරමුදල් සඳහාද ආදායමින් සියයට 30 ක බදු අය කර ගැනීමේ විකල්පය ලබා දී ඇති අතර, එය විශ්‍රාම වැටුප් අරමුදලේ ප්‍රතිලාභ ලබන්නන් ලබන වර්තමාන අනුපාතය මෙන් දෙගුණයකට වඩා වැඩි ය.

විශ්‍රාම වැටුප් අරමුදල්වලට ඉහළ බදු අනුපාත ගෙවීමේ හෝ අඩු පොලී අනුපාත ලබාගැනීමේ විකල්පය ලබාදීමේ ගැටලුව නම්, විශ්‍රාම වැටුප් අරමුදල් තනි තනි හිමිකම්වල එකතුවකින් සමන්විත වන අතර, ඒවාට තනි තනිව බදු අය කළහොත් අඩු බදු මට්ටමකට පමණක් යටත්වීමයි. සාපේක්ෂ වශයෙන් කුඩා, රුපියල් මිලියන කිහිපයක් පමණක් වන EPF සහ ETF හිමියන්ගේ මෙම හිමිකම, සිය ඉතිරි ජීවිත කාලය ගතකිරීම සඳහා ඔවුන්ට ඇති එකම ඉතිරිය වේ. අනෙකුත් බොහෝ සිවිල් අයිතීන් ඉහළ රටවල මෙන්, ශ්‍රී ලංකාව ජීවිත කාලය පුරාම සමාජ ආරක්ෂණයක් හෝ විශ්‍රාම වැටුප් (රාජ්‍ය සේවකයන්ට හැර) ලබා නොදේ. මීට අමතරව, EPF සහ ETF සඳහා දායක මුදල් දෙනු ලබන්නේ, ප්‍රේෂණ කිරීමට පෙර බදු ගෙවීමෙන් පසුවය. මෙම දෘෂ්ටිකෝණයෙන් ගත්කල දායකයන්ගෙන් දෙවරක් බදු අය කෙරේ.

රජයේ ණය බැඳීම් අඩු කිරීමේ මාර්ගය ලෙස EPF සහ ETF අරමුදල් භාවිත කිරීමේ අසාධාරණය අතපසුවීම් දෙකකින් තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. පළමු අතපසුවීම නම් බැංකු, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු, ව්‍යාජ ආයතනවලට සහ දේශපාලනිකව සම්බන්ධ පුද්ගලයන්ට ලබාදී ඇති දැවැන්ත ණය ආපසු අයකර ගැනීමට රජය පියවර නොගැනීමයි. දෙවැනි අතපසුවීම, සොරකම් කළ වත්කම් ආපසු අයකර ගැනීමට පියවර නොගැනීමයි. ජනාධිපති වික්‍රමසිංහ මහතා අනපේක්ෂිත ලෙස සහ අහඹු ලෙස බලයට ගෙන ආ පසුගිය වසරේ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම වූයේ මෙයයි.

● වගවීමක් නොමැත

විපක්ෂයේ ප්‍රධාන දේශපාලකයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ අසාධාරණය සාරාංශගත කර ඇත. මෙම වැඩසටහනේදී ආරක්ෂා වී සිටින ආයෝජකයන් ගැන ඔහු පවසා ඇත්තේ, “ඔවුන්ගේ චේතනාව වුණේ අපේ ආර්ථිකයේ භයානක තත්ත්වය යොදාගෙන ඝාතනයක් සිදු කිරීමයි. ඔවුහු හැකිතාක් කෙටි කාලයක් තුළ නොසැලකිලිමත් ලාභයක් අපේක්ෂා කළහ. මෙම ධනවත් ආයෝජකයන්ට ගෙවිය යුතු අනුපාතවලට අත තබා නැත. ඒ වෙනුවට සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන් වන වැඩ කරන ජනතාවට ලැබිය යුතු පොලී අනුපාතය අඩුකර ඇත”. යනුවෙනි.’

පුවත්පත් කතුවැකි ඔස්සේද මේ කරුණු අවධාරණය කර ඇත. සන්ඩේ ටයිම්ස් ප්‍රකාශ කර ඇත්තේ “මෙම ආර්ථික ප්‍රතිසංස්කරණවල වාසිදායක ප්‍රතිඵල දැකීමට වසර ගණනාවක් ගතවනු ඇත. මෙය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ පළමු අදියර පමණක් විය හැකිය. කෙසේ වෙතත් සෑම පුරවැසියකුම අසන ප්‍රශ්නය නම්; දේශීය බැංකුවලින් බිලියන ගණන් ණයට ගෙන ණය නොගෙවා, බැංකුවලට ගොස් දිගින් දිගටම සිනාසෙන ‘ස්පර්ශ කළ නොහැකි’ පුද්ගලයන්, දස මහා ණයකාරයන්, ලොක්කන්, මංකොල්ලකරුවන් සේ ධනවත් වූ පුද්ගලයන්ට අත නොතබන්නේ ඇයි? යන්නය. ඒ ඔවුන්ගේ දේශපාලන සබඳතා නිසාද? රටේ ආර්ථික අභාග්‍යයට වගකිවයුත්තන්ට ‘සිරෙන් එළියට යෑමට’ කාඩ්පතක් නිකුත් කරන්නේ ඇයි?” යනුවෙනි.

‘දි අයිලන්ඩ්‘ පුවත්පත එහි කතුවැකියේ සඳහන් කර ඇත්තේ “EPF විසින් ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ අරමුදල්වලින් අතිමහත් බහුතරයක් බ්‍රහස්පතින්දා වනතුරු ‘ගිල්ට්-එජ් ආයෝජන‘(gilt-edge investments) ලෙස සලකනු ලැබූ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබිණි. EPF අරමුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම, කුණු කූඩයට යැවෙන ක්‍රියාවලියක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව ඇත. එම වැරදි ක්‍රියාවන් කිසිවකු ගණන් ගෙන නැත. එහෙත් මිලියන සංඛ්‍යාත බදු ගෙවන්නන්ගෙන්, නැවත වරක් බංකොලොත් ජාතියකට සාත්තු කිරීමේ වේදනාව බෙදාගන්නා ලෙස රජය ඉල්ලා සිටී. රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ සහ එහි සමස්ත පාලනයේ කැපීපෙනෙන තත්ත්වය වන්නේ, ඉන් වගවීම අතුරුදන් වී තිබීමයි.

යුද පිටියේදී යුද්ධය ලේ වැකි ලෙස අවසන් වූ දා සිට, අන්තර්ජාතික මානව හිමිකම් සංසදවල, විශේෂයෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රළු පොළොව මතින් ශ්‍රී ලංකාව ඇදගෙන ගොස් ඇත. බරපතළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගවීම නොමැතිවීම එහිදීද අතුරුදන් වූ මානයයි. සත්‍යය, වගවීම, වන්දි ගෙවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ යන සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය හරහා යායුතු වන්නේ, එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට වගබලා ගැනීමට අවශ්‍ය බැවිනි. ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොපෙන්වූ පුද්ගලයන් විසින් 2018 වසරේදී ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වයට පත්ව තිබූ රටක ආර්ථිකය කඩාවැට්ටවීම වැනි ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ද එය එසේම වේ. රාජ්‍යය නමැති නෞකාවට, මගීන්ට වගකියන නව කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන අතර, එමඟින් අකාර්යක්ෂම හා වංක පාලනය, දූෂණය සහ ආර්ථික කඩාවැටීමේ විෂම චක්‍රය නැවත ඇති නොවනු ඇත.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment