ණය පියවීමේ අභියෝගය 2025 තෙක් තීරණාත්මකයි

140

මේ වන විට අප රට මුහුණ දී සිටින බරපතළම ප‍්‍රශ්නය වන්නේ විදේශ විනිමය අර්බුදය උග‍්‍ර තත්ත්වයට පත් වීමයි. අපේ රට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින්නේ කොවිඞ් වසංගත තත්ත්වයට පෙර සිටම බව ද අප අමතක කළ යුතු නොවේ. කොවිඞ් වසංගත තත්ත්වය නිසා සිදුව ඇත්තේ එම විනිමය අර්බුදය වඩාත්ම උග‍්‍ර තත්ත්වයට පත් වීමයි. සරලවම මේ ප‍්‍රශ්නයේ කේන්ද්‍රය වන්නේ අපේ වෙළෙඳ හිඟය හෙවත් ආනයන සහ අපනයන අතර පරතරය සැලකිය යුතු ඉහළ මට්ටමක තිබීමයි. එනම් කොවිඞ්වලට පෙර සිටම අප ලබන අපනයන ආදායම මෙන් දෙගුණයක් වටිනා භාණ්ඩ ආනයන කරමින් තිබීම නිසා ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක පමණ වෙළෙඳ හිඟයකට අප දිගටම මුහුණ දෙමින් සිටියේය. මේ තත්ත්වය තරමක් හෝ සමනය වූයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සහ සංචාරක ඉපයුම්වලිනි. මේ අංශ දෙකේම විනිමය ඉපයුම්වලට කොවිඞ් වසංගත තත්ත්වයෙන් බලවත් අහිතකර බලපෑම් ඇති වූ අතර සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම අති මහත්ය. මේ නිසා වෙනදාටත් වඩා වෙළෙඳ හිඟයේ ප‍්‍රශ්නය බරපතළ වී ඇති බව කිව යුතුය.

මෙසේ අප විනිමය අර්බුදයකට මුහුණ දී සිටින්නේ කොවිඞ්වලට බොහෝ කලකට පෙර සිට වුවත් පසුගිය කිසිම ආණ්ඩුවක් මේ සඳහා සාර්ථක පිළියම් යෙදීමට අසමත් වූ බව කිව යුතුය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය මෙන්ම යහපාලන රජය ද එසේමය. මේ නිසා පසුගිය රජයන් පොදුවේ මේ ප‍්‍රශ්නයට සාර්ථක පිළියම් නොයෙදූ නිසා අද ආනයන පාලන ක‍්‍රියාමාර්ග හමුවේ පවා මේ ප‍්‍රශ්නය මෙතරම් උග‍්‍ර වී අපගේ විදේශ ණය පියවීමට පවා අවදානම් තත්ත්වයක් මතුව ඇත. රජය වෙනුවෙන් මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක විශාල මුදලක් කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා පසුගිය සඳුදා එනම් ජූලි 27 වැනිදා ගෙවනු ලැබීය. මේ ඇමරිකානු ඩොලර් බිලියනය ගෙවීමෙන් පසු අපේ විදේශ විනිමය සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ. එහෙත් අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම් සහ පිටතට ගලායෑම් සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ අපට භාවිත කළ හැකි විදෙස් සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 3 දක්වා පහත වැටුණු අපේ විදේශ සංචිතය ඉදිරි කාලයේ දී කබ්රාල් ඇමැතිවරයා පවසන පරිදි ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා යන්නේ කෙසේ ද? ඒ සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක පමණ විදේශ විනිමය ලැබීම් තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කරන අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් මාර්ග කිහිපයක් මේ ලිපිය මගින් වෙනම දක්වා ඇත. ඇමැතිවරයා පවසන එම අගයන් පරීක්ෂා කිරීමේ දී එම විනිමය ගලා ඒම්වල එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2650 ක් පමණ වේ. කබ්රාල් ඇමැතිවරයා සඳහන් කරන්නේ මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ මේ විදේශ විනිමය ප‍්‍රමාණය මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

දේශපාලන අරමුණු ඇතිව මෙන්ම ඇතැම් විද්වතුන් ස්වාධීන වශයෙන් ද ශ‍්‍රී ලංකාවේ වත්මන් විදේශ විනිමය සංචිත මට්ටම පිළිබඳව විවිධ මත පළ කරමින් සිටින බව පෙනේ. එහෙත් අපේ පවතින විදේශ විනිමය අර්බුදය උග‍්‍ර වී විදේශ සංචිත සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව බොරුවක් නොවේ. ඒ නිසා රජය මූලිකවම ප‍්‍රශ්නයක් තිබෙන බව පිළිගත යුතුය. එසේ නැතුව අපට කිසි ප‍්‍රශ්නයක් නෑ කියමින් දේශපාලන වහසි බස් දෙඞීමෙන් වන්නේ ප‍්‍රශ්නයට විසඳුම් ඇති කරගන්නවා වෙනුවට ප‍්‍රශ්නය තවත් උග‍්‍ර අතට හැරී ජනයාට ද වඩාත් ආර්ථික පීඩාවලට මුහුණ දෙන්නට සිදු වීමයි. පසුගියදා මේ ලියුම්කරු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා හමු වූ අවස්ථාවේ දී ඔහු ද රටේ පවතින වත්මන් විදේශ විනිමය අර්බුදය පිළිගත්තේය. ඒ නිසා මූලිකවම අපගේ පැවැති විනිමය ප‍්‍රශ්නය බලවත් වී ඇති බව පිළිගෙන එයට පිළියම් යෙදීම සඳහා නොපමාව පියවර ගත යුතු වේ. කොවිඞ් වසංගත තත්ත්වයට ද මේ වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගත වෙමින් තිබේ. මේ කාලයේ දී පවා රජයේ ආර්ථික කළමනාකරණයේ බලවත් අඩුපාඩු අපට පෙනෙන්නට තිබේ. කෙතරම් ආනයන පාලන තිබුණත් ඇතැම් ව්‍යාපාරිකයන්ට විදේශ විනිමය වැය කර ඇති තරම් සීනි ආනයනය කිරීමට කිසිදු බාධාවක් සිදුව නොමැති බව ද පෙනේ. කිලෝවකට ශත 25 දක්වා සීනි බදු අඩු කර, රජය බදු ආදායම් අහිමි කරගත්තාට අමතරව ජනයාට ද ඉන් කිසිදු ඵලක් නොමැති වූ බවක් පෙනේ. මේ නිසා රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වීමේ දී පරස්පරයන් තිබෙන පෙනේ. මේ ගැන නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ද අවධානය වහාම යොමු කර සුදුසු පියවර ගැනීම වැදගත්ය.

දැනට පවත්නා සංචිත මෙන්ම අපේක්ෂිත විනිමය ගලා ඒම් සහ පිටතට ගලායෑම් ඉතා ප‍්‍රවේශමෙන් කළමනාකරණය කිරීම තුළින් විදේශ විනිමයෙන් කරන සෑම ණය සහ පොලී ආපසු ගෙවීමක්ම නියමිත වේලාවට සිදු කළ හැකි වන පරිදි ශ‍්‍රී ලංකාව සිය බාහිර මුදල් ප‍්‍රවාහයන් සකස් කර තිබෙන බව රජය කියයි. එම පසුබිම තුළ වඩාත්ම වැදගත් වන්නේ මුදල් ප‍්‍රවාහය මිස නිශ්චිත වේලාවක පවතින විදෙස් සංචිත මට්ටම නොවන බව ද රජය අවධාරණය කරයි. පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් සංචිත මට්ටමේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් මුදල් ප‍්‍රවාහයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බවත් මේ නිසා මුදල් ප‍්‍රවාහය සාර්ථකව කළමනාකරණය කළහොත් කිසිදු අස්ථාවරත්වයක් සිදු නොවන බවත් දැන් රටේ පවතින විදේශ විනිමය වාතාවරණය ගැන රජයේ බලධාරීන් පවසයි. ඉහතින් සඳහන් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2650 ක විදේශ විනිමය ගලා ඒම්වලට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක විදේශ විනිමය හුවමාරු පහසුකමක් අපට ලබා දීම සඳහා චීන මහජන බැංකුව ශ‍්‍රී ලංකා මහ බැංකුවට එකඟ වී ඇති අතර එය ද අපේ විදෙස් සංචිතවල කොටසක් ලෙස ඇතුළත් කළ හැකි බව මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා පවසයි. ඒ සියල්ලේම එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 4150 ක් පමණ වේ. මීට අමතරව මේ වසරේ (2021) ඉතිරි කාලය තුළ කල් පිරෙන ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශ විනිමය බැංකු ඒකක (FCBU) යන ණය සියල්ලම පාහේ කල් දිගු කිරීමට (roll-over) අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින අතර ඒ නිසා එවැනි කල් පිරීම් විදෙස් සංචිතය අඩු වීමට හේතු නොවෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පවසයි.

පසුගිය ජුලි 27 වැනි දින කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ආපසු ගෙවීමත් සමඟ මේ වසරේ (2021) රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වීමත් සමග වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ක‍්‍රමයෙන් ශක්තිමත් කර ගැනීමට ඉඩ සැලසෙන අතර එසේම මේ සමග අපේ විදෙස් ණය පියවීම සම්බන්ධයෙන් පවතින නිකැළැල් වාර්තාව තවදුරටත් ආරක්ෂා වීම ද සිදු වේ. එහෙත් අපේ සංචිත තත්ත්වය පහත වැටීමත් සමග මේ වසරේ (2021) මෙම විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කර ගැනීමට අප සමත් වන නමුත් අපට ඉදිරි වසරවලදී පියවීමට තිබෙන ණය වගකීම් සමග අප මේ තත්ත්වය කළමනාකරණය කරන්නේ කෙසේ ද යන අභියෝගය දිගටම තිබේ. අපට දැනගැනීමට තිබෙන පරිදි මේ වසරේ (2021) අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලයේ දී අපට තවදුරටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක පමණ විදෙස් ණය වගකීම් පියවීමට තිබේ. මේ නිසා අප ඉකුත් 27 වැනිදා ගෙවන ලද මුදලටත් වැඩියෙන් මේ වසරේ දෙසැම්බර් දක්වා කාලයේ දී අපට විදෙස් මුදලින් ණය පියවීමට තිබේ. එසේම වසර 2022 සිට 2025 දක්වා කාලයේ දී අපට වසරකට සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදෙස් ණය (විදෙස් ණය වාරික සහ පොලී ගෙවීම්) පියවීමට තිබේ. කබ්රාල් ඇමැතිවරයා සඳහන් කරන සියලූ විදේශ විනිමය ලැබීම්වල එකතුව ගත්විට (ඇමෙරිකානු ඩොලර් මිලියන 4150 ක්) මේ එක වසරක හෝ විදෙස් ණය වගකීම් මුළුමනින්ම පියවීමටවත් එය ප‍්‍රමාණවත් නොවේ. සෑම වසරකම ඔවැනි විදේශ විනිමය හුවමාරු පහසුකම් ද වෙනත් රටවලින් අපට ලබා ගත නොහැකිය. ඒ ගන්නා ඒවා ද නියමිත කාලයෙන් පසුව එම රටට පියවීමට ද සිදු වේ. එසේ නම් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදෙස් ණය වගකීම් පියවීමේ උපායමාර්ගය කුමක් ද? අපි රජයෙන් ප‍්‍රශ්න කර සිටිමු.

කොවිඞ් වෛරසයට එරෙහි එන්නත්කරණය හේතුවෙන් ලෝකයේ කොවිඞ් වසංගතය ඉදිරි කාලයේ දී සැලකිය යුතු ලෙස සමනය වුවහොත් අපට නැවත අපේ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගත හැකිය. එහෙත් ඒ සඳහා අප දැන් සිටම සූදානම් විය යුතුය. වෙනත් රටවල් විශේෂයෙන් මාලදිවයින වැනි රටවල් කොවිඞ්වලින් පසු සංචාරක පැමිණීම් හොඳින් වර්ධනය කර ගැනීමට සමත් වී තිබුණත් ඒ අතින් අප අන්තිම දුර්වල ය. ඒ නිසා රට බලවත් විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක දී සංචාරක කර්මාන්තය වේගයෙන් පණගන්වා ගැනීමට නිසි උපායමාර්ග අප සතුව තිබිය යුතුය. ඒ සඳහා සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ට ඉතා හොඳින් සවන් දී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන හොඳ නායකත්වයක් අපේ සංචාරක ආයතනවලට අවශ්‍ය වෙයි. එහෙත් අපේ සංචාරක කර්මාන්තයේ විවිධ පාර්ශ්වකරුවන් අපට කියන අදහස් අනුව මේ සම්බන්ධයෙන් බලවත් ගැටලූ තිබෙන බවත්, එය කොරෝනා සමග අපේ සංචාරක කර්මාන්තය පණගන්වා ගැනීමට සැලකිය යුතු බාධාවක් වනු ඇති බවත් පැහැදිලි වී ඇත. මේ සම්බන්ධයෙන් දැන්ම නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ග නොගතහොත් අනාගතයේ දී අපට පසුතැවීමට සිදුවනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාට ද අප සිහිපත් කිරීමට කැමතිය.

මේ බලවත් විනිමය හිඟය හමුවේ අප ඉතා අමාරු වාතාවරණයකට මුහුණ දී සිටියදී රත්නපුරේ කහවත්තෙන් කිලෝග‍්‍රෑම් 510 ක් බරැුති විශාල මැණිකක් ද හමුවී ඇත. එය කැරට් ලක්ෂ විසිපහමාරකින් යුතු ලොව විශාලතම මැණික් ගල බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙය හොඳ මුදලකට විකුණා ගතහොත් අපට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකිය. ඒ නිසා ඉදිරි වර්ෂවල දී අපට වැඩි වැඩියෙන් විදෙස් මුදල් උපයාගැනීමට හැකිවන පරිදි මෙවැනි වටිනා මැණික් ගල් තව තවත් රටේ සෑම ප‍්‍රදේශයකින්ම පහළ වේවායි අපි ප‍්‍රාර්ථනය කරමු.

අපේක්ෂිත විදේශ විනිමය ලැබීම්

*  ඉන්දියාව සමග සිදු කරන විදේශ විනිමය හුවමාරු පහසුකම මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400

* බංගලාදේශය සමග සිදු කරන විදේශ විනිමය හුවමාරු පහසුකම මගින් ඇමෙරිකානු ඩොලර්  මිලියන 250

* චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 300

* ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (Special Drawing Rights allocation from the IMF)යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 800

* ඉදිරි මාස 3 තුළ මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට අපේක්ෂිත විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200

* දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගලා ඒම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300

* ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් අපේක්ෂිත ගලා ඒම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

 

advertistmentadvertistment
advertistmentadvertistment