දෙදෙනකුට බරපතළ තුවාල
හේතුව පාතාල ගැටුම් – පෞද්ගලික ආරවුල්
දේශපාලනයක් ගෑවිලා නෑ – පොලිසිය කියයි
තංගල්ල, දෙහිවල, රස්නායකපුර සහ මිදිගම ප්‍රදේශවල දී සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් සිවු දෙනකු ඝාතනයට ලක්ව තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම මිනිස් ඝාතන හතරම පෞද්ගලික ආරවුල් සහ පාතාල ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මෙම ඝාතන කිසිවකට දේශපාලන සම්බන්ධයක් නොමැති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.
දෙහිවල කළුබෝවිල සරණංකර පාරේ හෝටලයකට පෙරේදා (18දා) රාත්‍රි කඩාවැදුණු පාතාල අපරාධකරුවන් දෙදෙනකු එම හෝටලයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ නායගම් විශ්වනාදන් නමැති 33 හැවිරිදි දෙදරු පියෙකි.
පෙරේදා රාත්‍රි 10.45ට පමණ යතුරුපැදියකින් පැමිණි පාතාල මිනීමරුවන් දෙදෙනකු හෝටලය ඉදිරිපිට එය නතර කර එක් අයකු එහි ගොස් ඇත.
දුම්වැටියක් මිලදී ගන්නා මුවාවෙන් එහි ඇතුළු වූ පාතාල අපරාධකරු හෝටල් හිමියාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
ඝාතනයට ලක්වූ හෝටල්හිමියා පාතාලයට හෝ අපරාධ කිසිවකට සම්බන්ධ නැති බව පොලිසිය පවසයි.
මීට දින කීපයකට පෙර ගොනාකෝවිලේ කුඩු අසංකගේ ගෝලයකු කොස්මල්ලී නමැති පාතාල නායකයාගේ ගෝලයන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එසේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අවමඟුලට හෝටල්හිමියා විසින් කෑම පාර්සල් 400ක් ලබා දී තිබිණි. එම කෑම ලබාදී තිබුණේ ඩුබායිහි සැඟවී සිටින කුඩු අසංකගේ නියෝගය මත බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
කුඩු අසංකගේ ගෝලයාගේ අවමඟුලට කෑම ලබාදීම සම්බන්ධයෙන් පළිගැනීම සඳහා කොස්මල්ලීගේ ගෝලයන් විසින් හෝටල් හිමියා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
මේ අතර මාතර මිදිගම ප්‍රදේශයේ මාළු වෙළෙඳසලකට ඊයේ (19දා) පෙරවරුවේ යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල මැරයන් දෙදෙනකු විසින් මාළු ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි කැළුම් චතුරංග නමැති අයෙකි.
ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මිදිගම චූටි නමැති පාතාල නායකයාගේ නියෝගය මත ඔහුගේ ගෝලයන් විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මාළු මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනකු ද තුවාල ලබා ඇති අතර ඔවුහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ අතර ඊයේ අලුයම කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ ආපන ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක් විය.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ රස්නායකපුර තම්මුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා ආපන ශාලාව තුළ වෙඩි වැදී බරපතළ තුවාල සහිතව වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කර තිබිණි.
එහෙත් ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇත. ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා රස්නායකපුර පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
තංගල්ල, නලගම, පොල්තවාන හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවකු විසින් 33 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නලගම විහාරන්දෙණිය තංගල්ල ලිපිනයේ පදිංචිව සිටි හේවාමාලගේ දේශාන් එරංද නමැති අයෙකි.
වෘත්තියෙන් ගව පාලනයේ නිරතව සිටි මෙම පුද්ගලයා පෙරේදා සවස ගවයන් රැගෙන ඒමට දෙමටවැව ප්‍රදේශයට ගොස් ආපසු නොපැමිණි නිසා ඒ පිළිබඳව නිවැසියන් පරීක්ෂා කර ඇත.
එහිදී මෙම පුද්ගලයා වෙඩි වැදී බරපතළ තුවාල ලබා වැටී සිටිනු දැක නිවැසියන් විසින් රෝහල්ගත කර තිබේ.
රෝහල්ගත කිරීමෙන් පසු මොහු මියගොස් ඇත. බෝර 12 පතරොම් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.තංගල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, දිලිප් එන්. ජයසේකර සහ පින්සිරි ආරියරත්න, වැලිගම – ලලිත් පද්මසිරි, සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්,