ව්‍යාපාර කරගෙන යෑමේ පහසු බවේ දර්ශකය 116
වෙළෙඳාමේ විවෘතභාවය පිළිබඳ දර්ශකය 43
අල්ලස් හෝ දූෂණ සංජායන දර්ශකය 115
රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දර්ශකය 93
නීතියේ ගුණාත්මකභවය පිළිබඳ දර්ශකය 105
ඉදිරි වසර පහ සඳහා රට මෙහෙයවීමේ වගකීම පැවරීමට නමවන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා මේ දිනවල මෙරට ජනාධිපතිවරණය ක්‍රියාත්මක වේ. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වී ඇති පසුබිමක ජනාධිපතිවරණයට පෙර පළවන අවසන් ඉරිදා පුවත්පතෙන් අප මීට පෙර රට පාලනය කළ නායකයන් 76 වසරක් තිස්සේ රටට කළ සේවය සහ අනාගත අභියෝග පිළිබඳ සොයා බැලීමට තීරණය කළේ එය ඡන්ද දායකයන්ටද සිය තීන්දුව ගැනීමට පෙර එය වැදගත් වේවි යැයි සිතූ නිසාය.
ලංකාව මේ වන විට විධායක නොවන ජනාධිපතිවරයෙක් සහ විධායක ජනාධිපතිවරු 8 දෙනෙක්, අගමැතිවරුන් 26 දෙනෙක් මේ වනවිට රට පාලනය කර තිබේ. නමුත් එදා මෙදා තුර ආර්ථිකයේ ප්‍රගමනය සහ සමාජ ප්‍රගමනයන් පිළිබඳව විමසා බැලීමේදී කිසිසේත්ම ජනතාවට සතුටු විය හැකි මට්ටමකට රටේ ආර්ථිකය පත්කොට නොමැත.
අතීත කෙරුවාව
රටේ ආර්ථිකය පිළිබඳ විමසා බැලීමේදී කාලවකවානු කිහිපයකට වෙන් කළ හැකිය. අප රට නිදහස ලැබූ 1948 සිට 1972 දක්වා එක වකවානුවක් ලෙස ආර්ථිකය ක්‍රියාත්මක විය . 1972 -77 කාලය තුළ දැඩිව පාලනය වෙච්ච ආර්ථිකයක් සහ 78න් පසුව නිදහස් කරන ලද ආර්ථිකයක් මෙරට තුළ ක්‍රියාත්මක විය. මේ කාල පරිච්ඡේදයේ ආර්ථික වර්ධනය පිළිබඳව සලකා බලනවිට පෙනීයන්නේ 1950 වැනි කාලවකවානුව වනවිට ආසියානු ආර්ථිකයන් අතර ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් මෙරටට හිමි වී තිබූ බව.
මේ විශේෂ මේ පරිවර්තනයත් සමඟ 1951 වෙනකොට මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 6.2%කි. 1952 වනවිට 4.6%ක ආර්ථික වර්ධනයකුත් හිමිකරගෙන අනිත් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතිණි.
රට තුළ සිදුවූ ආර්ථික ප්‍රතිපත්තිවල ඉතිහාසය පිළිබඳ විමසා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.
සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට ලැබුණු ප්‍රතිලාභවලට වඩා පිටට ගලා ගිය මුදල් ප්‍රමාණයක් වැඩියි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල
විදේශ විනිමයෙන් ආතල් ගැනීම
“1950 ගණන් වල කොරියන් උත්පාතය සමය තුළ රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වීමක් දක්නට ලැබුණා. ආර්ථික ප්‍රතිපත්තිවල ඉතිහාසය බලනකොට ප්‍රධාන වැරැද්ද සිදු කරන්නේ මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාල පරිච්ඡේදයේ අපට විදේශ විනිමය විශාල වශයෙන් ලැබුණු කාලයක්. ඒ විදේශ විනිමයේ අතිරික්තය භාවිත කරලා රටේ සමාජ සංවර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කියන දෙක සමගාමීව ගෙන යා යුතුයි. නමුත් ලංකාවේ සිද්ධ වුණේ බොහෝ විට සමාජ සංවර්ධනය, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා විශාල වශයෙ න් වියදම් කිරීමක්. යටිතල පහසුකම් සංවර්ධනයට එදා සිට එතරම් අවධානය යොමු කිරීමක් දක්නට ලැබුණේ නැහැ.”
රටේ පාලකයන් එදා සිටම සිදුකර ඇත්තේ ලැබෙන මුදලින් කා බී විනෝද වීම පමණි. රට සංවර්ධනයට නව කර්මාන්ත බිහිකිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මානව ප්‍රාග්ධනයට සමගාමීව රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමක් සිදු වූයේ නැත. රටක් සංවර්ධනය වීමට නම් යටිතල පහසුකම් වර්ධනය විය යුතුය. කර්මාන්තකරුවන්, ආයෝජකයන් රට තුළ ආයෝජනය කිරීමට පෙළඹෙන්නේ රටතුළ ඊට සුදුසු යටිතල පහසුකම් සංවර්ධනය වී තිබුණොත් පමණි.
එදා පාලකයන් සිදුකළ සහනාධාර දීමේ ක්‍රමවේදය 1970 ගණන් වනවිට වඩාත් වර්ධනය වී තිබේ. මේ නිසා එදා සිට අද දක්වාම සහනාධාර මත යැපෙන ජන කොට්ඨාසක් රට තුළ බිහිවී තිබේ. 1951 – 60 අතර කාලය තුළ ආර්ථික වර්ධනය 3.46%කි. 1961 – 70 කාලය තුළ ආර්ථික වර්ධනය 4.4%කි. 1971 – 80 අතර කාලය තුළ ආර්ථික වර්ධනය 4.1%කි. 1981 – 90 අතර කාලය තුළ 4.3%ක ආර්ථික වර්ධනයකුත් 1991 – 2000 අතර කාලය තුළ 5.2% ආර්ථික වර්ධනයකුත් 2001 – 2010 කාලය තුළත් 5.2% ආර්ථික වර්ධනයකුත් 2011 – 2020 දක්වා 3.9% ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. 2019, 2020 වසරේ මෙන්ම 2022 වසරේ මෙරට වාර්තා කර ඇත්තේ සෘණ ආර්ථිකයකි.
පසුගිය දශක කීපය දෙසම අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ මේ කිසිදු දශකයක් තුළ 10%ක ආර්ථික වර්ධනයක් වාර්තා කර නැත. එයට ප්‍රධාන හේතුව බවට ඇත්තේ රට තුළ කර්මාන්ත එසේත් නැත්නම් නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ක්‍රියා නොකිරීමය. මේ නිසා රටේ ආර්ථිකය එක තැන පල්වෙන ආර්ථිකයක් බවට පත්ව තිබේ.
කොරෝනා අර්බුදය සහ ගෝලීයව පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ලොව අනෙකුත් 2020 සෘණ ආර්ථිකයක් වාර්තා කළත් 2021 වනවිට ධන ආර්ථිකයන් බවට පරිවර්තනය කරගන්නට සමත්විය. ලොව අනෙක් රටවල් 2022-2023 වර්ෂ වලත් ධන ආර්ථික වර්ධනයක් වාර්තා කළත් මෙරට 2022-2023 යන වර්ෂ දෙක තුළම වාර්තා කොට ඇත්තේ සෘණ ආර්ථික වර්ධනයකි.
මේ සඳහා බලපාන ලද සාධක කවරේදැයි අප මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.
1950 ආසියානු ආර්ථිකයන් අතර ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රට
දේශීය ණය රුපියල් මිලියන 529
විදේශීය ණය රුපියල් මිලියන 654
ඇ.එ.ජ. ඩොලර් එකක් රු. 4.76
“මේ සඳහා බලපාන කරුණු රාශියක් අපිට හඳුනාගන්නට පුළුවන්. පළවෙනි සාධකය තමයි ලංකාවේ ප්‍රතිපත්තිවල පවත්නා වූ අවිනිශ්චිතතාව. විවිධ කාලවල විවිධ පොරොන්දු දෙමින් බලයට පත් වූ විවිධ රාජ්‍යයන් විසින් යම් යම් දේවල් ක්‍රියාත්මක කළාට නිශ්චිත වැඩපිළිවෙළක් ඔස්සේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමේ අරමුණින් රට මෙහෙයවීමක් දක්නට ලැබුණේ නෑ. ලෝකයේ අනෙකුත් රටවල් තාක්ෂණය මත පදනම් වී ඉදිරියට යනකොට අපේ ආර්ථිකයේ බොහෝ විට ආගම, විශ්වාස වගේ දේවල් මත පදනම් වෙලා මෙහෙයවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ක්‍රියා කිරීමක් දක්නට ලැබුණා.
දෙවන කාරණය වන්නේ අවිනිශ්චිත ප්‍රතිපත්ති රට තුළ දිගින් දිගටම ක්‍රියාත්මක වීම. මේනිසා සමාජය තුළ දැඩි පීඩන තත්ත්වයක් ඇතිවුණා වගේම තිස් වසරක යුද්ධයක් රට තුළ ක්‍රියාත්මක වීමක්. ඒ වගේම වෙනත් කැරලි කෝලහාල වලටත් මුහුණ දීමක් දක්නට ලැබුණා. ඒක නිසා රට තුළ සිටි රට මෙහෙයවන්නට හිටපු දක්ෂ පුද්ගලයන් රටට අහිමිවීමක් දක්නට ලැබුණා වගේම ආර්ථිකය මන්දගාමී තත්ත්වයක් කරා ගමන් කරා.
තුන්වැනි කාරණය තමයි අපේ රටේ පවතින සම්පත්වල වටිනාකම නිවැරදි ආකාරයට තේරුම් අරගෙන මේ ආර්ථිකය මෙහෙයවීම සඳහා ක්‍රියා නොකිරීම. රටක ප්‍රතිපත්ති සම්පාදනය තුළ අංශ දෙකක් වැදගත් වෙනවා. එකක් තමයි මධ්‍යම බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙවීම. දෙවෙනි එක මුදල් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුව මේ රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ක්‍රියාකාරීත්වය බලනකොට දිගින් දිගටම ඒක රටේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වීමක් හෝ නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වීමත් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ.”
2024 ආසියාවේ බංකොලොත්ම රට
මුළු ණය රුපියල් බිලියන 28,062
දේශීය ණය රුපියල් බිලියන 17,349
විදේශීය ණය රුපියල් බිලියන 10,713
ඇ.එ.ජ. ඩොලර් එකක් රු. 300
කාලෙන් කාලෙට පත් වූ ආණ්ඩු විසින් නැවත බලයට ඒම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කරා මිස රටේ අනාගතය ගැන සිතා ක්‍රියා කළ ආකාරයක් දක්නට ලැබෙන්නේ නැත. මේ නිසා සිදුව ඇත්තේ දිගින් දිගටම මෙරට ණය ගැති රාජ්‍යයක් බවට රට පරිවර්තනය වීම පමණි.
එහි ප්‍රතිඵල අද ඇස් පනාපිට දැක ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ මේවනවිට ඩොලර් බිලියන 100කට ආසන්න ණය ප්‍රමාණයක වගඋත්තරකරුවන් වීමට සිදුවීම හේතුවෙනි.
ඒ පිළිබඳ අතුකෝරල මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“රටේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සලකා බලනකොට මේ සංවර්ධන ව්‍යාපෘති තුළින් ආර්ථිකයට සහනුබල සැපයෙන සංවර්ධන ව්‍යාපෘති සැලසුම් සහගතව රටට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කළේ නැහැ. ක්‍රියාත්මක කළ මහා පරිමාණ ව්‍යාපෘති තුළින් ලැබෙන ප්‍රතිලාභවලට වඩා පිටට ගලා ගිය මුදල් ප්‍රමාණයක් වැඩියි. නිවැරදි දැක්මක් සහිතව රටේ තියෙන සම්පත් නිවැරදි ආකාරයට තේරුම් අරගෙන කටයුතු කිරීමක් සිදුවුණේ නැහැ.”
ගෙවීගිය අවුරුදු 76 තුළ රට පාලනය කළ නායකයන් ජනතාව ණයකාරයන් කළ ආකාරය ඒ පිළිබඳ විමසා බැලීමේදී හොඳින් අවබෝධ කරගත හැක.
1950 වනවිට මෙරට දේශීය ණය පැවතියේ රුපියල් මිලියන 529ක ප්‍රමාණයක් සහ විදේශීය ණය රුපියල් මිලියන 654ක ප්‍රමාණයකි. පාලකයන් රට පාලනය කිරීමේ හොඳකම නිසා 1978 දී අප විවෘත ආර්ථිකයක් කරා ගමන් කරන අවස්ථාව වනවිට දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16.36ක් හා විදේශීය ණය රුපියල් බිලියන 14.58ක් දක්වා වර්ධනය කොට අවසන්ය.
වසර 2000 වනවිට දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 676 දක්වාත් විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 542 දක්වාත් වර්ධනය වී ඇත. එසේම අපව තවදුරටත් ණයකාරයන් කරමින් 2022 වනවිට දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 15033 දක්වාත් විදේශීය ණය ප්‍රමාණයේ රුපියල් බිලියන 12458 දක්වාත් වර්ධනය වී තිබේ.
මේ තරම් රටේ ජනතාව ණයකාරයන් බවට පත්වූයේ මන්දැයි අප මහාචාර්ය අතුකෝරල මහතාගෙන් විමසීමට අමතක නොකළෙමු. ඔහු ඊට පැවසූයේ මෙවැනි පිළිතුරකි.
වගකීම කර ඇරපු මහ බැංකුව
“රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය රට තුළ හරියට ක්‍රියාත්මක නොවීම ප්‍රධාන හේතුවයි. රජයේ ආදායම් කළමනාකරණය, වියදම් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය වැනි දේවල් ආර්ථික විශේෂඥයන් විසින් මෙහෙයවිය යුතුයි. එවන් තත්ත්වයක් දකින්නට ලැබුණේ නැහැ.
අනිත් පැත්තෙන් මධ්‍යම බැංකුව තමයි රටේ මූල්‍ය පාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. මූල්‍ය පාලන ප්‍රතිපත්තිය තුළ බොහෝ විට පොලී අනුපාතිකය, මුදල් සැපයීම, විනිමය වගේ දේවල් ඒ තුළට අන්තර්ගතයි.
1950 වෙනකොට ඩොලර් එකක රුපියල් වටිනාකම රුපියල් 4.76යි. 1978 වනවිට රුපියල් 16.53 දක්වා වර්ධනය වෙනවා. නමුත් 2000 වනවිට රුපියල් 75.78 දක්වාත් 2020 වනවිට රුපියල් 185.52 දක්වා වර්ධනය වී 2022 වනවිට 324.55 දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේ වෙනස්වීම සමග පොලී අනුපාතිකය දැඩි උච්ඡාවචනයන්ගෙන් යුක්තව ක්‍රියාත්මක වීම කියන කාරණය දැකගන්න පුළුවන්. ඒ තුළින් අපිට පැහැදිලි වන්නේ මධ්‍යම බැංකුව තම මූල්‍ය පාලන ප්‍රතිපත්තිය ඉතාමත් වගකීමෙන් ක්‍රියාත්මක කරලා නැහැ කියන කාරණය.”
මෙම කාරණයෙන් පැහැදිලි වන්නේ 1950දී පිහිටු වූ මහ බැංකුවත් සිය වගකීම් කොටස නිවැරදි ආකාරයෙන් කිසිදු දැක්මක් සහිතව ක්‍රියාත්මක කොට නැති බවයි. 1950 ගණන් වනවිට දක්නට ලැබුණේ තේ, රබර් ආදී කෘෂි ආර්ථිකය තවදුරටත් වර්ධනය කරමින් නව තාක්ෂණය ඔස්සේ මෙහෙයවමින් ලංකාවේ නම ඉස්සරහට අරන් යන ආකාරය. නමුත් එම ආර්ථිකය දැන් සම්පූර්ණයෙන් කඩා වැටී අවසන්ය.
වතුකරයේ මේ වනවිට ලක්ෂ 10කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් සිටී. මේ පුද්ගලයන් 76 වසරක් තිස්සේම වතු කම්කරුවන් ලෙස ගෙවන්නේ ඉතා දුක්ඛිත ජීවිතයකි. එසේම ධීවර ජනතාව මෙන්ම ග්‍රාමීයව ජීවත්වන ජනතාව අන්ත අසරණ ජන කොට්ඨාසයක් ලෙස ජීවත්වන ආකාරයක් දක්නට ලැබේ. මෙරට පුද්ගලයන්ගෙන් 80%ක් පමණ තවමත් කල් ගෙවන්නේ ග්‍රාමීයවය.
නීති නිසා එකතැන පල්වෙන ආර්ථිකය
ආර්ථිකය නිශ්චිත දිශාවකට ගමන් නොකිරීමට බලපාන තවත් කරුණක් වන්නේ කාලයක් තිස්සේ පවතින නීති සම්ප්‍රදායන් මත පදනම් වී ඒවා මතම ක්‍රියාත්මක වීම. වෙනත් රටවල් එම නීති සංශෝධනය කොට ආර්ථිකය නිදහස් ආර්ථිකයක් ලෙස ක්‍රියාත්මක කළත් අප එකතැන පල්වන ආකාරයක් දක්නට ලැබේ.
ඒ පිළිබඳවද මහාචාර්ය අතුකෝරල මහතා අදහස් දැක්විය.
“2021 වනවිට ව්‍යාපාර කරගෙන යෑමේ පහසුබවේ දර්ශකය අතින් ලංකාවේ සිටින්නේ 116 වැනි තැන. වෙළෙඳාමේ විවෘත භාවය සම්බන්ධ දර්ශකයෙන් ලංකාව සිටින්නේ 43 වැනි ස්ථානයේ. 2023 වනවිට අල්ලස් හෝ දූෂණ සංජායන දර්ශකයෙන් අපි සිටින්නේ 115 වැනි තැන. 2012දී සිටියේ 79 වෙනි තැන. 2021 වනවිට 102 දක්වාත් 2023 වනවිට 115 දක්වාත් තවදුරටත් පරිහානියට යෑමක් තමයි පෙන්නුම් කරන්නේ.
අලුතින් දේවල් හොයා ගැනීමේ දර්ශකය පර්යේෂණ සඳහා කරන වියදම්, තාක්ෂණය භාවිතා කිරීම වැනි දේවල් සමග අනෙකුත් රටවල් වේගයෙන් ඉදිරියට යද්දි අපි මේ කෙරෙහි කිසිදු අවධානයක් යොමුකර නැහැ. රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දර්ශකයෙන් 93 වැනි තැන. 2020 වනවිට අල්ලස් පාලනය සම්බන්ධයෙන් 101 වන තැන ඉන්නේ. නීතියේ ගුණාත්මකතාව පිළිබඳ දර්ශකයෙන් අප සිටින්නේ 105 තැන.
මෙවැනි බොහොමයක් දර්ශක තුළින් අපි පසුගාමී රාජ්‍යයක් බවට පත්වීම නිසා ප්‍රමාණවත් ආයෝජකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී නැහැ.
අපේ සමාජය ගතික සමාජයක් නෙවෙයි. සමාජය ස්ථිතික සමාජයක්. සමාජයේ වෙනස්වීම කියන කාරණය පිළිගැනීමට දැඩි අකැමැත්තක් තියෙන සමාජයක්. ඒ නිසාම දේශපාලනඥයන්ට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ට හැකිවී තිබෙනවා විටින් විට තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු පෙරළෙමින් ඔවුන්ගේ බලය රැකගෙන ඉස්සරහට ගෙනයන්න.
බොහෝ අවුරුදුවල මෙරට ඉතුරු කිරීම සහ ආයෝජනය ක්‍රියාත්මක වී ඇත්තේ 30%ටත් වඩා අඩු මට්ටමකයි. රටේ ආයෝජන එලෙස ක්‍රියාත්මක නොවුණේ අවුරුදු 60-70 තිස්සේ පැවති ව්‍යුහාත්මක ගැටලු කිසිවකට පිළියම් නොයෙදීම නිසයි.”
මේ වනවිටත් ජනතාවට ලයිසන් හෝ පාස්පෝර්ට් එකක් ගන්න දවස් ගණන් පෝලිම්වල සිටීමට හෝ අල්ලස් දීමට සිදුව ඇත. මේවා සමාජයක මූලික අවශ්‍යතා වේ. සුදුසුකම් තියෙන කෙනෙකුට එවැනි දෙයක් පහසුවෙන් ලබා ගන්නට පුළුවන් විය යුතුය. ගොවීන්ට වී ටික අදටත් විකුණා ගන්නට බැරිය. තේවතු කම්කරුවන්ගේ ගැටලුව එක තැනමය.
මෙරට සතු සම්පත් වලින් රට ගොඩදැමීම අමාරු කාර්යයක් නොවේ. නමුත් පසුගිය 76 වසර තුළම එවැනි වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වී නැත. ආර්ථිකයේ දැඩි අර්බුදකාරී තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුව ඇත්තේ 2019 වසරින් පසුය. යුද්ධය පැවති සමයේවත් රට තුළ මෙවැනි අර්බුද පැවතියේ නැත. මෙවැනි පසුබිමක් තුළ අපේ රට නැවතත් එකිනෙකා විවේචනය කර ගනිමින් එකිනෙකාට චෝදනා කර ගනිමින් ජීවත් වෙන තාක් මේ ප්‍රශ්නයෙන් ගොඩ ආ නොහැක. අපි මේ ප්‍රශ්නවලට එකා වගේ විසඳුම් සොයන්නට අසමත් වන තාක් ජාතියක් විදිහට ගොඩ ආ නොහැක.
ඉදිරි ජනාධිපතිවරණයේදී පසුගිය 76 වසර තුළ රටේ සිදුවූ තත්ත්වයන් පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුක්තව ඒ සියල්ල විශ්ලේෂණය කර රටට සුබවාදී ගමනක් යෑමට ඇති අවස්ථා අහිමි නොකරගනිමින් ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරොත් පමණක් අපිට යන්නට පුළුවන් වේවි යැයි වසන්ත අතුකෝරල මහතා පැවසීය.
මැතිවරණ කාලවලදී ජනතාවට විවිධ වරදාන වරප්‍රසාද ලබාදෙන ආකාරය දැකගත හැකිය. ඒ අතර වැඩිපුරම පවතින්නේ සෙවිලි තහඩු, ප්ලාස්ටික් පුටු, සිමෙන්ති කොට්ට යනාදියයි. එලෙස විවිධ භාණ්ඩ ලබාදී ඡන්දය ගන්නා දේශපානඥයන් යළි දැක ගත හැකි වන්නේ ඊළඟ මැතිවරණය පැමිණි පසුය. එය මෙවරත් ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක වේ. ඡන්ද අල්ලසට රැවටුණොත් ජනතාවට සිදුවන්නේ තවත් වසර පහක් හීල්ලීම පමණි.
සමීර කන්නන්ගර
[email protected]